මකාලු බරුන් ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ නේපාලයේ හිමාලයේ ය. මෙය සාගර්මාතා ජාතික වනෝද්‍යානයේ නැඟෙනහිර දිගුව ලෙස වර්ෂ 1992 දී පිහිටුවන ලදි. මෙම වනෝද්‍යානයේ වර්ග සැතපුම් 580ක් පමණ ප්‍රදේශයක් Solukhumbu සහ Sankhuwasabha දිස්ත්‍රික්කවල ආවරණය කරයි. මෙම වනෝද්‍යානය වර්ග කිලෝමීටර 830ක පමණ භූමි ප්‍රමාණයකින් දකුණට සහ ගිනිකොන දෙසින් ස්වාරක්ෂක කලාපයකින් වටවී ඇත. මෙම ස්වාරක්ෂක කලාප දිගුව සකසන ලද්දේ වර්ෂ 1999දී ය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ජාතික වනෝද්‍යානයේ පරිපාලන සහ කළමනාකරණ කටයුතු කරනු ලබයි.
Makalu Barun ජාතික වනෝද්‍යානය නම්කර ඇත්තේ ලෝකයේ පස්වැනි උසම කන්ද වන Makalu කන්දේ නම හා නේපාලයේ ප්‍රධාන ගංගාවක් වන Barun ගංගාවේ නම් අනුව ය. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට සුන්දරත්වයෙන් යුතු මකාලු බරුන් ජාතික වනෝද්‍යානය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
මකාලු බරුන් ජාතික වනෝද්‍යානය මීටර් 8000ට වැඩි උන්නතාංශයක් සහිත ලෝකයේ පිහිටා ඇති එකම ආරක්ෂිත ප්රදේශයයි. මෙම ජාතික වනෝද්‍යානයේ ඉහළ කොටස හිමෙන් සහ කඳු මුදුන්වලින් වැසී ඇත. ලෝකයේ පස්වැනි උසම කන්ද වන මීටර් 8463 ක් පමණ උස මකාලු (Makalu) කන්ද, මීටර් 7319 උසැති චැමලැං කන්ද (Chamalang),මීටර් 7129 ක් පමණ උසැති බරුන්ට්සේ කන්ද (Baruntse) සහ මීටර් 6683 ක් පමණ උස මෙරා (mere) කඳු මුදුන් මෙම ජාතික වනෝද්‍යානයට ඇතුළත්කර ඇත.
මෙම ජාතික වනෝද්‍යානය ටිබෙට් ස්වයං පාලන ප්‍රදේශයේ කොමොලංග්මා ජාතික ස්වභාව සංරක්ෂණය සමඟ ජාත්‍යන්තර දේශසීමා බෙදා ගනී.
මකාලු බරුන් ජාතික වනෝද්‍යානය නැඟෙනහිර හිමාලය දේශගුණික කලාපයට අයත් වේ. එ බැවින් මෝසම් වර්ෂාව ජූනි මාසයේ ආරම්භවන අතර, සැප්තැම්බර් අගදී
අවසන් වේ. ජූනි හා සැප්තැම්බර් මාසවල වර්ෂාපතනය සියයට 70කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබේ. අප්‍රේල් සහ මැයි මාසවලදී පූර්ව මෝසම් වර්ෂාව බහුලව ඇති වේ.
නිවර්තන සහ උපනිවර්තන කලාප හිමවලින් තොර වන අතර, සාමාන්‍ය මාසික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ට වඩා වැඩි ය. උන්නතාංශ වෙනස නිසා මෙම කලාපයේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස වෙනස් වේ. පහත් උන්නතාංශවල දේශගුණය ශීත ඍතුවේ දී එනම් , ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා මාසවල මධ්‍යස්ථ වන අතර, මාර්තු සහ මැයි මාසවල උණුසුම් වේ.
මෙම ජාතික වනෝද්‍යානයේ රෝඩොඩෙන්ඩ්රොන් (rhododendron) විශේෂ 25 ක්, ඕකිඩ් වර්ග 47ක් සහ දුර්ලභ ශාක 56ක් අඩංගු වේ. උණ ගස් වර්ග 19ක්, ඕක් ගස් වර්ග 15ක්, ආහාරයට ගත හැති ශාක පල දරන ගස් වර්ග 86 ක් , ආර්ථික වශයෙන් වටිනා සුවඳ හමන ශාක සහ ඖෂධීය ශාක 67ක් පමණ මෙම පරිසරයේ දක්නට ලැබේ. සපුෂ්පක ශාක විශේෂ 3128 ක් පමණ ඇති බව වාර්තා වී ඇත. මකාලු බරුන් ජාතික වනෝද්‍යානයේ විවිධ සත්ත්ව වර්ග ජීවත් වෙති. සමනලුන් විශේෂ 315ක්, උරඟ විශේෂ 43ක් සහ උභයජීවී විශේෂ 16ක් මෙහි සිටිති. මත්ස්‍ය වර්ග 78ක් පොකුණු , විල් හා ගංගාවල ජීවත් වෙති. රාජාලීන්, සුදු ගෙල සහිත කොකා සහ දීප්තිමත් වර්ණ සහිත හිරු කුරුල්ලන් යන පක්ෂි විශේෂ 440ක් පමණ මෙහි ජීවත් වන බව වාර්තා වී ඇත. හිම දිවියා, ඉන්දියානු දිවියා, වලාකුළු දිවියා, කැලෑ බළලා , දිවි බළලා, රන් හිවල්ලු, වෘකයා, රතු හිවලුන්, රතු පැන්ඩා, කළු වලසා , කස්තුරි මුවා සහ වල් ඌරා යන ක්ෂීරපායී සත්ත්ව විශේෂ 88ක් පමණ මෙම වනෝද්‍යානයේ ජීවත් වෙති.
ස්වාරක්ෂක කලාප ප්‍රදේශයේ ග්‍රාමීය මහ නගර සභා හතරක පුද්ගලයන් 38,977ක් පමණ වාසය කරති. ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායමට Rais, Sherpas සහ Bhotes ඇතුළත් වේ. ස්වාරක්ෂක කලාප පරිශීලක ප්‍රජාවන් 94ක් ඇති අතර, ඔවුන්ගේ ප්‍රධාන වෘත්තීන් වන්නේ කෘෂිකර්මය, පශු සම්පත් ගොවිතැන, වෙළෙඳාම සහ කම්කරු රැකියා ආදියයි. සංචාරක ව්‍යාපාරය ද ඔවුන්ගේ තවත් ආර්ථික ක්රමයකි. හෝටල්, නිවාඩු නිකේතන, දේශීය තේ කඩ සහ කඳවුරු කිහිපයක් සහ ප්‍රදේශවාසීන් විසින් පවත්වාගෙන යනු ලබන ස්වාරක්ෂක කලාප ප්‍රදේශ ද උද්‍යානයේ ඇත. හින්දු බැතිමතුන් සඳහා වූ සල්පා පොඛාරි නම් පූජනීය විල ද මෙහිදී නැරැඹිය හැකි ය . Yekle Pokhari, Teen Pokhari, Barun Pokhari, Dudh Pokhari, Panch Pokhari වැනි විල් ද මෙම ආරක්ෂිත ප්‍රදේශ ඔස්සේ ගමන් කරනවිට ඔබට දැකගත හැකි වේ.
චතුරි ලක්ෂිකා