ලෝකයේ මිනිස් ශිෂ්ටාචාර ඇති වන්නේ ගංගා ආශ්‍රිතව ය. අතීතයේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට මෙම ගංගා විශාල සේවයක්කර ඇත.
ආදි මානවයාගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ජලය ද සපයා ඇත්තේ මෙම ගංගා ය. ඒ නිසා තමන්ට ජීවය ලබා දුන් ගංගා පූජනීයත්වයෙන් සැලකීමට ඔවුහු පුරුදුව සිටියහ. පරිසරය අලංකාර කිරීම, සතුන්ට වාසස්ථාන සැපයීම, විදුලිබලය නිෂ්පාදනය කිරීම සහ ජනතාවට ජලය සැපයීම ආදී කාර්යයන් රැසක් මෙම ගංගා ඉටු කරයි. වර්තමානයේ ද කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට මෙම ගංගා මහත් වෑයමක් දරයි. ඉතින් පරිසර අලංකාර කරන ලෝකයේ ගංගා ඇසුරින් මෙවර මිහිර පෝස්ටරය සකසනු ලබයි.
ලෙනා ගඟ
ලෙනා ගංගාව රුසියාවේ නැඟෙනහිර සයිබීරියාවේ පිහිටා ඇත. මෙම ගංගාව ආක්ටික් සාගරයට ගලා බසියි. ලෙනා ගංගාවේ දිග කිලෝමීටර් 4294ක් පමණ වේ. මෙම ගංගාව ආරම්භ වන්නේ මධ්‍යම සයිබීරියාවේ පිහිටි කඳු පන්තියක් වන බයිකල් කඳුකරයේ , බයිකල් විලට බටහිර දෙසින් ය.ලෙනා ගංගාව ඊසාන දෙසින් ගලා බසියි. මෙම ගංගාව එහි ජීවත්වන ජනතාවට මහඟු කාර්යභාරයක් ඉටු කරයි. ලෙනා ගංගාව පහත්බිම් ප්‍රදේශ ඔස්සේ ගලා යන ප්‍රදේශවල පිපිඤ්ඤා, අර්තාපල්, තිරිඟු සහ බාර්ලි වැනි විවිධ භෝග වර්ග වාණිජමය වශයෙන් වගා කරනු ලබයි. සතුන් පාලනය කිරීම ද මෙහි බහුලව දක්නට ලැබේ. සංක්‍රමණික පක්ෂීහු විශාල ප්‍රමාණයක් මෙහි වාසස්ථාන සාදා ජීවත් වෙති.
කහ ගඟ
කහ ගඟ පිහිටා තිබෙන්නේ චීනයේ ය. චීනයේ දෙවැනි දිගම ගංගාව වන්නේ කහ ගඟයි. කහ ගඟ කිලෝ මීටර් 5,464ක් පමණ දිගින් යුක්ත වේ. බටහිර චීනයේ කිංහයි පළාතේ බයාන් හාර් කඳු මුදුනින් කහ ගඟ ආරම්භ වේ. එලෙස ආරම්භ වන කහ ගඟ චීනයේ පළාත් නවය හරහා ගලාගෙන ගොස් බොහායි මුහුදට වැටෙයි. කහ ගඟෙහි දිග කිලෝ මීටර් 5464ක් පමණ වේ. කහ ගඟෙහි මුළු ද්‍රෝණියේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 742,443ක් පමණ වෙයි. කහ ගඟ කොටස් තුනකින් යුක්ත වේ. එනම් කඳු සහිත ඉහළ මාර්ගය , සානුවක් හරහා මැද මාවත සහ පහත් තැනිතලාවක් හරහා මාර්ගය වශයෙනි.
සතුන්ට ජීවත් වීමට ආකර්ෂණීය ස්ථානයක් වන්නේ කහ ගඟයි. මෙහි සත්ත්ව විශේෂ මෙන්ම ශාක ප්‍රභව ද දක්නට ලැබේ. කහ ගඟෙහි ශාක විශේෂ 1542ක් දැනට හඳුනාගෙන තිබේ. ඒ අතරින් වර්ධක ශාක විශේෂ 393ක් පමණ හමු වී තිබේ.
Sao Francisco ගඟ
Sao Francisco ගඟ බ්‍රසීලයේ විශාලතම ගංගාවයි. මෙම ගංගාව කිලෝමීටර් 2914 ක් පමණ දිගකින් යුක්ත වේ. යටත් විජිතකරණයට පෙර ආදිවාසීන් මෙම ගංගාව ඔපරා ලෙස හඳුන්වා ඇත. Sao Francisco ගඟ වර්තමානය වන විට වෙල්හෝ චිකෝ ලෙස හඳුන්වයි. මෙම ගංගා ද්‍රෝණියේ මත්ස්‍ය විශේෂ 200කට අධික ප්‍රමාණයක් ජීවත් වෙති. ද්‍රෝණියේ ඉහළ , තෙත් කොටසෙහි සෙරාඩෝස් ලෙස හඳුන්වන සැවානා විශේෂ සහ පතනශීලි ගස් වනාන්තරවලින් වැසී තිබේ . කොහොඹ පතොක්, කෝමාරිකා සහ වැනිලා ශාක ද මෙහි වර්ධනය වේ. කටු සහිත කොළ සහිත ශාක සහ විවිධ පතොක් වර්ග ද මෙහි තිබේ. ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනවත් කෙඳී සඳහා භාවිත කරන කැරෝවා ශාකය ද මෙම පරිසරයේ දක්නට ලැබේ. මෙම ගංගාව, ගංගා සහ ඇළ දොළ 168කින් ජලය ලබා ගන්නා අතර, එයින් 90ක් දකුණු ඉවුරේ ද 78ක් වම් ඉවුරේ ද වේ.
මිසිසිපි ගඟ
මිසිසිපි ගඟ අමෙරිකානු මහාද්වීපයේ නැඟෙනහිර දෙසින් පිහිටා ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ වැදගත්ම ගංගාව වන්නේ මිසිසිපි ගඟයි. එයට හේතුව වන්නේ රටෙන් අඩක් පමණ ආවරණය වන ලෙස පිහිටා ඇති දිගම ගංගාව මෙය නිසා ය. මෙම ගංගාව සංස්කෘතියට හා සමාජයේ දියුණුවට විශාල දායකත්වයක් ලබාදී ඇත. මිසිසිපි ගඟ, කඳු හරහා ගමන් කරයි. මෙක්සිකෝ බොක්කෙන් මෙම ගඟ අවසන් වේ. මිසිසිපි ගඟේ මුළු දිග කිලෝමීටර් 3766ක් පමණ වේ. මෙම ගංගාව ජෛව විවිධත්වයෙන් හා භූ විද්‍යාත්මක අංගවලින් පොහොසත් ගඟකි. මිසිසිපි ගඟෙහි ශාක හා සත්ත්ව විශේෂ දක්නට ලැබේ.
කොංගෝ ගඟ
කොංගෝ ගඟ අප්‍රිකාවේ බලවත්ම ගංගාවයි. මෙම ගංගාව කිලෝමීටර් 4700ක් පමණ දිගකින් යුක්ත වේ. කොංගෝ ගංගාවේ ගැඹුර අඩි 700 ක් පමණ වේ. අප්‍රිකාවේ දෙවැනි දිගම ගංගාව කොංගෝ ගංගාවයි. කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය මෙන්ම කොංගෝ-බ්‍රසාවිල්, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය , බුරුන්ඩි, ටැන්සානියාව, සැම්බියාව සහ ඇන්ගෝලාවේ කොටස් කොංගෝ ගඟ ආවරණය කරයි. කොංගෝ යන්නෙහි අදහස වන්නේ උතුම් යන්නයි. කොංගෝ රාජ්‍යයේ නමට අනුකූලව ගංගාවේ නම තබා ඇත. කොංගෝ ද්‍රෝණිය වැසි වනාන්තර ,අද්විතීය ශාක හා සත්ත්ව ජීවීන්ගේ නිවහන වේ. විද්‍යාඥයන් පවසා ඇත්තේ මෙම දැවැන්ත වැසි වනාන්තරයේ නිවර්තන ශාක විශේෂ 10,000ක් පමණ දක්නට ලැබෙන බවත් එයින් 30% ක් පමණ ලෝකයේ වෙනත් තැනක දක්නට නොලැබෙන බවත් ය. කොංගෝ ද්‍රෝණිය ක්ෂීරපායි විශේෂ 400ක්, පක්ෂි විශේෂ 1,000ක් සහ මත්ස්‍ය විශේෂ 700ක් පමණ ජීවත් වෙති. ලෝක වනජීවී අරමුදලට අනුව මිනිසුන් වසර 50,000ක කාලයක සිට කොංගෝ ගංගා ද්‍රෝණියේ ජීවත් වී ඇත.
හැන් ගඟ ( Han river)
හැන් ගඟ දකුණු කොරියාවේ ප්‍රධාන ගංගාවකි. මෙම ගංගාවේ අතු ගංගා සහ ජලාපවහන ද්‍රෝණි උතුරු කොරියාවේ ඇත. Yalu Tumen සහ Nakdong ගංගාවලට පසුව කොරියාවේ සිව්වැනි දිගම ගංගාව හැන් ගඟයි. මෙම ගඟෙහි දිග කිලෝමීටර 514ක් පමණ වේ. හැන් ගඟ කොරියානු අර්ධද්වීපයේ නැඟෙනහිර කඳුකරයේ කුඩා ගංගා දෙකක් ලෙස ආරම්භ වේ. මෙම ගංගාව කොරියානු ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත. කොරියාවේ රාජධානි තුන මෙම භූමිය පාලනය කිරීමට උත්සාහ ගත් අතර, හැන් ගංගාව චීනයේ කහ මුහුද හරහා වෙළෙඳ මාර්ගයක් ලෙස භාවිත කරන ලදි. මෙම ගංගාව දකුණු කොරියානුවන් මිලියන 12කට අධික පිරිසකට ජල මූලාශ්‍රයක් ලෙස සේවය කරයි. හැන් ගඟේ පහළ කොටසෙහි පදිකයන්ගේ ඇවිදීමේ මාර්ග, බයිසිකල් මාර්ග, පොදු උද්‍යාන සහ ආපනශාලා පිහිටා ඇත. කොරියානු ඉතිහාසය පුරා හැන් ගඟ විවිධ නම්වලින් හඳුන්වා ඇත.
යමුනා ගඟ
යමුනා ගංගාව ඉන්දියාවේ දිගම අතු ගංගාවයි. මෙම ගංගාවේ දිග කිලෝමීටර 1376ක් පමණ වේ. යමුනා ගංගාව සෑම වසර 12කට වරක් පැවැත්වෙන හින්දු උත්සවයක් වන කුම්භමේලා අඩවියක් වන අලහබාද්හි ත්රිවේනි සංගම්හිදී ගංගානම් ගඟ සමඟ ඒකාබද්ධ වේ. යමුනා ගංගාව හින්දු ආගමේ ඉතා ගෞරවයට පාත්‍ර වන අතර, යමුනා දෙවඟන ලෙස වන්දනාමාන කරයි . යමුනා යනු ස්වර්ගයේ ගංගාවක් ලෙස සැලකේ. මිලියන 57කට ආසන්න ජනතාවක් යමුනා ගඟේ ජලය මත යැපෙනු ලැබේ. යමුනා යන නම සංස්කෘත “යම” යන වචනයෙන් බිහි වී ඇති බව පෙනේ. එහි තේරුම නිවුන් යන්නයි. Cyprinidae පවුලේ මත්ස්‍යයන් ගඟේ දක්නට ලැබෙන විවිධ මත්ස්‍ය විශේෂවල ආධිපත්‍යය දරයි. කැට්ෆිෂ්, තිලාපියා, කාප් ඇතුළු මත්ස්‍ය විශේෂ 93ක් පමණ යමුනා ගඟේ ජීවත් වෙති.
නයිල් ගඟ
ලොව දිගම ගඟ ලෙස සලකනු ලබන්නේ නයිල් ගඟයි. “අප්‍රිකානු ගංගාවල පියා” යන නමින් ද මෙම ගංගාව හැඳීන්වේ. මෙම ගංගාව ඊසාන දිග අප්‍රිකාව හරහා ගලා ගොස් මධ්‍යධරණී මුහුද හා සම්බන්ධ වෙයි. නයිල් නදියේ දිග කිලෝමීටර් 6650ක් පමණ වේ. මෙම ගංගාවට වර්ග කිලෝමීටර් 3,349,000ක පමණ ජල පෝෂක කලාපයක් ද අයත් වේ. ටැන්සානියාව, කොන්ගෝ රාජ්‍යය, කෙන්යාව, උගන්ඩාව, ඉතියෝපියාව, සුඩානය හා ඊජිප්තුව හරහා නයිල් නදිය ගලා බසියි. වර්ෂය පුරාම ජලයෙන් පිරි ගඟක් වන හෙයින් ඉහළ උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල පවා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් නයිල් නදිය භාවිත කරනු ලැබේ. නයිල් නදිය ජල ප්‍රවාහන මාර්ගයක් ලෙස ද ප්‍රචලිත වේ.
යෙනිසි ගඟ
යෙනිසි ගංගාව ආක්ටික් සාගරයට ගලා බසින විශාල ගංගාවයි. රුසියාවේ දිගම ගංගාව වන මෙය මොංගෝලියාවෙන් ආරම්භ වේ. යෙනිසි ගංගාවේ දිග කිලෝමීටර් 3487ක් පමණ වේ. මෙම ගඟේ ගැඹුර අඩි 45ක් පමණ ය. යෙනිසි ගඟ රුසියානු ජනතාවගේ ජීවනාලිය වේ. මෙම ගංගාවේ හා එහි අතු ගංගා ආශ්‍රිතව නිර්මාණයකර ඇති ජල විදුලි බලාගාරවලින් ජනනය කරනු ලබන විදුලිබල ප්‍රමාණය කිලෝවොට් මිලියන 25ක් පමණකි. යෙනිසි ගංගාවේ මත්ස්‍ය විශේෂ 55ක් පමණ ජීවත් වෙති.
මීකොං ගඟ
මෙම ගංගාව නැඟෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ මායිම් ගංගාවකි. මීකොං ගඟ ලොව දොළොස්වැනි ගංගාව වන අතර, ආසියාවේ තුන්වැනි ගංගාව වේ. මෙම ගංගාවේ දිග කිලෝමීටර් 4900ක් පමණ වේ. මීකොං ගඟ මියන්මාරය, ලාඕසය , තායිලන්තය , කාම්බෝජය සහ දකුණු වියට්නාමය හරහා මෙම ගංගාව ගලා බසියි.
මීකොං ගංගාව, ටිබෙටය සහ අග්නිදිග ආසියාව අතර ප්‍රධාන වෙළෙඳ මාර්ගයකි. මෙහි ශාක විශේෂ 20,000ක් , ක්ෂීරපායි 430 ක්, පක්ෂීන් 1200 ක්, මත්ස්‍යයන් 850ක් මෙන්ම උරගයන් සහ උභයජීවීන් 800ක් පමණ ජීවත් වෙති.