ආදරණීය දුවේ පුතේ, අද දවසේ උරුමයක වගතුගවලින් මම ඔයාලට කියා දෙන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති පුරාණ ලෙන් විහාරස්ථානයක් වූ ගොනාගොල්ල විහාරස්ථානය පිළිබඳයි.
අම්පාර ගොනාගොල්ල මාර්ගයේ කොහොඹාන හන්දියේ සිට සැතපුම් තුනක් ගිය පසු මෙම විහාරස්ථානයට ප්‍රවේශ විය හැකි අතර, වේරන්කැටගොඩ නගරයේ සිට සේනගම – ගොනාගොල්ල මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගමන් කළ පසුව ද මෙම ස්ථානයට ළඟා විය හැකි ය. මෙම විහාරස්ථානය සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජි තිස්ස රජතුමන් විසින් කරන ලද්දක් ලෙස සැලකෙන අතර, විහාරස්ථානයේ දක්නට ලැබෙන ගල් ලෙන් පුරාණ වැදි මිනිසුන්ගේ වාසස්ථාන වශයෙන් හඳුනාගෙන ඇත. ඔවුන් විසින් අඳීන ලදැයි සැලකෙන සිතුවම් විශාල ප්‍රමාණයක් මෙම ගල් ලෙන් ආශ්‍රිතව අපට දැකගත හැකි ය. මෙහි ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යයි. මෙම සිතුවම්වලට අමතරව පැරැණි පොකුණු දෙකක නටබුන් ද මෙම විහාරස්ථානයේදී අපට දැක ගත හැකි ය. මෙහි අනුරාධපුර යුගයට අයත් ස්තූපය, කටාරම් සහිත ලෙන්, පැරැණි ශිලා ලිපි ආදිය දැකගත හැකි අතර, තුන්වැනි සියවසට අයත් වටදාගෙය, චත්රගල්, කැටයම් කළ ගල් කණු සහිත මහා විහාර ගොඩනැඟිලි, ගල්පඩි පෙළ ආදී තවත් නටබුන් ද හමු වේ.
ගොනාගොල්ල රජමහා විහාරස්ථානය අපට වඩාත් වැදගත් වෙන්නේ එහි දක්නට ලැබෙන සිතුවම් නිසා ය. වර්ෂ 1956දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැණීම්වලින් මෙහි ලෙනක සිවිලිමේ තිබී බිතු සිතුවම් කිහිපයක් සොයාගෙන ඇත. ඒවා ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසට අයත් යැයි සැලකෙයි. මෙහි බිතු සිතුවම් ඇඳ ඇත්තේ විශේෂයෙන් කපරාරු කරන ලද මතුපිටක වන අතර, තරුණ නර්තන ශිල්පිනියක් හා බෝධිසත්ව යැයි කියනු ලබන පිරිමියකුගේ සිතුවමක් එයින් නිරූපිත වේ. එහි ඇඳ ඇති කාන්තා රූපය බොහෝ සෙයින් සීගිරි ලලනාවන්ට සමාන වන අතර, ඒ දෙකම රතු, කහ, කොළ සහ සුදු වර්ණ යොදා ගනිමින් වර්ණ ගන්වා ඇත. මෙහි ඇඳ ඇති පිරිමි රූපය නෙළුම් දණ්ඩක් අල්ලාගෙන සිටියි. මෙහි අර්ථය විග්රහ කරන දාර්ශනිකයන් කාන්තා රූපය මඟින් පිරිමි රූපය කෙරෙහි ගෞරව කිරීමක් හෝ ආයාචනා කිරීමක් වන බව ප්‍රකාශ කරයි.
සෙනරත් පරණවිතානයන්ට අනුව මෙම සිතුවම් කොටස සීගිරි හා පොලොන්නරු යුග අතර කාලයට අයත් යැයි විශ්වාස කරයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම සිතුවමෙන් වැස්ස ලබා ගැනීම සඳහා කරන ලද පැරැණි චාරිත්‍රයක් නිරූපණය වන බවයි. සේනක බණ්ඩාරනායක මහතා තම “ශ්‍රී ලංකාවේ ගල්ගුහා සහ බිතු සිතුවම්” යන ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙම විහාරස්ථානයේ දක්නට ලැබෙන සිතුවම් සීගිරියේ හා වෙස්සගිරියේ සිතුවම්වලට සමාන වන බවයි. ඒ අනුව මෙම සිතුවම් ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවස දක්වා කාලයට අයත් වන බව ප්‍රකාශ කරයි. මෙහි දක්නට ලැබෙන සිතුවම් බොහෝ දුරට සීගිරියේ සිතුවම්වලට සමාන වන හෙයින් මෙම විහාරස්ථානයට ‘පුංචි සීගිරිය’ යන නම ද භාවිත කරනු ලැබේ.
එසේම මෙම විහාරස්ථානයේ ගල් ලෙන් කිහිපයක වැදි ජනතාව විසින් අඳීන ලද ප්රාග් ඓතිහාසික යුගයට අයත් සිතුවම් ද දක්නට ලැබේ. මෙම විහාරස්ථානයේ දක්නට ලැබෙන ශිලා ලිපි දෙකකි. එයින් එකක් ක්‍රිස්තු වර්ෂ තුන හෝ හතර සියවස්වලට අයත් ලෙස සැලකෙන අතර, පුරාණ බ්රාහ්මී අක්ෂර භාවිතයෙන් එය ලියා තිබේ. එහි අන්තර්ගත වන්නේ අලිතක විහාරස්ථානයට සිදු කරනු ලැබූ පූජාවන් පිළිබඳයි. දෙවැනි ලිපියෙහි සඳහන් වන්නේ ආරාමයේ භික්ෂූන් වහන්සේලාට කරන ලද පරිත්‍යාගයක් පිළිබඳයි.
එහි ගෝටිගම නඩසබ නමැත්තා විසින් පියගැට පෙළක් ඉදිකරන ලද බව ද සඳහන්කර ඇත. මෙම ලිපි දෙකම ක්‍රිස්තු වර්ෂ හතරවැනි පස් වැනි සියවසට අයත් විය හැකි බව විශ්වාස කරයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙම විහාරස්ථානයේ කැණීම් සිදුකර ඇති අතර, එම කැණීම්වලදී ඓතිහාසික වශයෙන් වටිනා තවත් බොහෝ වස්තූන් හමුවී ඇත. මළුවේ කැණීම් කිරීමේදී හමුවී ඇති කුඩා සිරිපතුල එයින් විශේෂිත වේ. එම සිරිපතුල නෙළුම් මලක් මත නිර්මාණයකර තිබීම විශේෂිත ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ අරියවංශ දේශනාව කරඇති විහාරස්ථාන කිහිපය අතරින් එක් විහාරස්ථානයක් වන්නේ ද මෙම විහාරස්ථානයයි. මෙහි හමුවී ඇති ගිරි ලිපියක අරියවංශ පූජාව සඳහා කරන ලද කහවණු පූජාවක් පිළිබඳ සඳහන්ව තිබීමෙන් ඒ බව සනාථ වේ.
ලක්නා නිරෝෂිමාලා
ආදරණීය දුවේ පුතේ, අපේ විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක් වෙනවා. එහෙත් පුදුමයට කාරණාව නම් තාරකා විද්‍යාඥයන් මෑතකදී සොයාගත් තාරකාවක් විශ්වයේ වයසටත් වඩා වැඩි වීමයි. මේ තාරකාව Methuselah Star ( HD140283 ) ලෙස හඳුන්වනු ලබනවා.
එය පිහිටා තිබෙන්නේ පෘථිවියට ආලෝක වර්ෂ 190.1ක් පමණ ඈතින්.
මෙය තුලා (Libra) රාශියට ආසන්නව පවතින අතර, කුඩා ප්‍රමාණයේ දුරේක්ෂයක් භාවිතයෙන් මෙය නිරීක්ෂණය කිරීමට
හැකියාව තිබෙනවා.
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ(EUROPEAN SPACE AGENCY) දියත් කළ Hipparcos නම් චන්ද්‍රිකාවෙන් ලද තොරතුරු ඇසුරෙන් 2000 වසරේදී මෙම තාරකාවේ වයස තාරකා විද්‍යාඥයන් ගණනය කළා. ඒ අනුව මෙම තාරකාවේ වයස අවුරුදු බිලියන 16ක් පමණ පැරැණි විය යුතු බව ඔවුන් නිරීක්ෂණය කළා.
එය විශ්වයේ වයසටත් වඩා වැඩි නිසා තාරකා විද්‍යාඥයන් නැවත වරක් තාරකාවේ වයස නිර්ණය කිරීමට පර්යේෂණයක් සිදු කළා. ඒ අනුව 2013 වසරේදී දෙවැනි වතාවට කළ ගණනය කිරීම්වලට අනුව මෙම තාරකාවේ වයස අවුරුදු බිලියන 13.66 සිට 15.28 දක්වා අගයක තිබිය හැකි බව නිරීක්ෂණය කළා.
එයත් විශ්වයේ වයසට වඩා වැඩි අගයක් නිසා තාරකා විද්‍යාඥයන් නැවත වරක් 2018දී තෙවැනි වරටත් තවත් නිවැරැදිව මෙහි වයස ගණනය කරනු ලැබුවා. එවිට ඔවුන්ට ලැබුණේ මෙම තාරකාවේ වයස අවුරුදු මිලියන 13.723 සිට 13.799 දක්වා විය හැකි බවයි. එනිසා තාරකා විද්‍යාඥයන් 2021දී නැවතත් සිදුකරන ලද පර්යේෂණවලට අනුව මෙහි වයස අවුරුදු බිලියන 11.52 සිට 12.5 දක්වා වූ පරාසයක අගයක් විය හැකි බව පෙන්වා දුන්නා. Methuselah තාරකාව සඳහා මෙම අගය පරාසය නම් පිළිගත හැකි අගයක් බව විද්‍යාඥයන් පවසනවා. එහෙත් මේ පිළිබඳ දිගින් දිගින්ට පර්යේෂණ තවමත් කරමින් පවතිනවා. මෑතකදී දියත් කළ ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලැබෙන දත්ත හා තොරතුරු පදනම් කරගෙන මීට වඩා නිවැරැදි තොරතුරු ඉදිරියට අපට දැනගැනීමට හැකියාව තිබෙනවා.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය
සෙලීනා කියන්නේ ගොඩාක් ලස්සන රාජධානියක්. මේ රාජධානිය හැදිලා තිබුණේ හිමවලින්. මේ රාජධානිය පාලනය කළේ ලීසා කියන හිම රැජිනියයි. එයා හරිම නපුරුයි. ආඩම්බරයි. කාටවත් ආදරයක් කරුණාවක් දැක්වූවේ නැහැ. ඒ නිසා එයාට කවුරුත් කැමැති නැහැ. ඒත් බය නිසා කවුරුත් එයාට විරුද්ධව කිසිම දෙයක් කළෙත් නැහැ. ලීසා රැජිනියගේ හොඳම යාළුවා වුණේ කැලී කියන උකුස්සා. එයා දවසට සැරයක් රාජධානිය වටේම පියාඹලා රැජිනියට විස්තර කියන්න පුරුදු වෙලා හිටියා. කැලී යටතේ වෙනම උකුසු හමුදාවකුත් හිටියා. එයාලත් දවස පුරාම ඔත්තු බලපු එක තමයි කළේ. ඒ නිසා කාටවත් රැජිනියට හොරෙන් කිසිම දෙයක් කරන්න බැරි වුණා. ජනතාවට මේක මහා කරදරයක් වුණා. එයාලා රහසේම සංවිධානය වෙන්න පටන් ගත්තා.
මේකෙ නායකයා වුණේ ක්‍රිෂ් කියන සොල්දාදුවෙක්. එයා හරිම නිර්භීතයි. ශක්තිමත්. එයා තමයි සෙලීනාවල ප්‍රධාන සෙන්පතියායි. එයා මහ කැලෑව ඇතුළේ බොහෝම රහසිගතව උකුසු හමුදාවට හොරෙන් තමයි සංවිධානය වුණේ. ටිකෙන් ටික රාජධානියේ ගැහැනු පිරිමි සියලු දෙනාම ක්‍රිෂ් වටේ එකතු වෙන්න පටන් ගත්තා. “මේ නපුරු ආඩම්බරකාර රැජිනිය අපිට මහා කරදරයක්. අපි මෙයාට හොඳ පාඩමක් උගන්නන්න ඕනෙ.” ඔවුන් කතිකාකර ගත්තා. “ඔව් ඔව් ඔය රැජිනිය ඔච්චර ආඩම්බර වෙලා තියෙන්නේ අර උකුසු හමුදාව නිසායි. අපි සේරටම කලින් උන්ව මරලා දාන්න ඕනෙ.” හැමෝම යෝජනා කළා. “නෑ නෑ ඒක හොඳ අදහසක් නෙවෙයි. උන් අහිංසක සත්තු. රැජිනිය තමයි උන්ට නරක දේවල් පුරුදු කරලා තියෙන්නේ. අපි අහිංසක සත්තු මැරුවොත් අපිත් රැජිනිය වගේ වෙනවා.” ක්‍රිෂ් පැහැදිලි කළා.
“එහෙනම් අපි මොකද කරන්නේ? උන් නිසා හෙට අනිද්දට අපි ගැනත් රැජිනිය දැන ගනීවි. එතකොට අපි හැමෝටම වෙන්නේ මැරුම් කන්න” හැමෝම කතා වෙන්න පටන් ගත්තා. “නෑ අපි උන්ව එක එකා අල්ලගෙන හිර කරමු. එතකොට උන්ටත් කරදරයක් නෑ අපිටත් කරදරයක් නෑ” ක්‍රිෂ් යෝජනා කළා.
ඒ විදිහට දවසින් දවස උපක්‍රමශීලිව උකුසු හමුදාව අල්ලගෙන හිර කරන්න ක්‍රිෂ් ඇතුළු පිරිසට හැකි වුණා. මුලදී රැජිනියට මේ ගැන තේරුමක් නැති වුණත් කාලයක් යද්දි ටිකෙන් ටික තමන්ගේ සේනාව අඩු වෙනවා කියලා තේරුණා. හැබැයි එයා ආඩම්බර නිසා කාගෙන්වත් මේ ගැන ඇහුවේ නෑ. ඒත් එයාට හේතුවක් හිතා ගන්න පුළුවන් වුණෙත් නෑ. ඔහොම කාලයක් ගත වුණා. අවසානේ රැජිනියට ඉතුරු වුණේ කැලී විතරයි. ඒත් කැලීත් හුඟක් තරහින් හිටියේ එයාගේ සේනාව නැති වෙච්ච එකට. “රැජිනිය මගේ සේනාවට වෙච්ච දෙයක් නැහැ. ඔබ ඒ ගැන කිසිම දෙයක් කරන්නෙත් නැහැ. වහාම මගේ සේනාව මට හොයලා දෙන්න.” කැලී තරහින් කිව්වා. “මම මොනා කරන්නද? උන් ඔය කොහේ හරි ගිහින් ඇති. ඔබට ඕනෙ නම් හොයා ගන්න. මට ඕවාට වෙලාවක් නැහැ.” ලීසා ආඩම්බරෙන් කිව්වා.
“ඔබ මහා අහංකාර නපුරු කෙනෙක්. ඔබට මෙච්චර උදව් කරපු අපිටත් ඔබ සලකන්නේ මෙහෙම නම් මට ඇත්තටම ඔබ ගැන හරිම කනගාටුයි. මමත් තවත් මේ මාලිගයේ රැ¼දී ඉන්නේ නැහැ. මම යනවා ඔවුන් හොයාගෙන. එහෙත් කවදාවත් නැවත එන්නේ නැහැ.” එහෙම කියපු කැලී ඈතට පියාඹාගෙන ගියා. ඔහොම ටික කාලයක් ගත වුණා.
කැලී තැනින් තැනට එයාගේ සේනාව හොයාගෙන පියාඹාගෙන ගියා. ලීසා රැජිනිය තනියම මාලිගාවට වෙලා හිටියා. එයාට දැන් රාජධානිය ගැන කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. එයා ආඩම්බර නිසා මාලිගාවෙන් පිටතට යන්නෙත් නැහැ. ඔන්න දවසක් කැලීට ක්‍රිෂ් සෙන්පතිතුමා මුණ ගැසුණා. එයා කොහොම හරි කැලීවත් අල්ලගෙන හිර කළා. එතකොට කැලී දැක්කා තමන්ගේ සේනාවේ සියලුම දෙනාත් ඒ විදිහටම හිර කරලා ඉන්නවා කියලා.
“ඇයි ඔබ අප සියලු දෙනාම මේ විදිහට හිර කරගෙන ඉන්නේ. අපි ඔබලාට කරපු වරද මොකක්ද?” කැලී ඇහුවා. “ඔබ හා ඔබේ සේනාව අපේ රාජධානියේ සියලු රහස් හිම රැජිනියට පැවසුවා. ඇය ඒවා අහලා කිසිම දෙයක් හොයන්නේ නැතුව මිනිස්සුන්ට දඬුවම් කරනවා. මේක අපි හැමෝටම ලොකු කරදරයක්. ඒ නිසයි අද ඔබලාට මෙහෙම හිර ගත වෙලා ඉන්න වුණේ.” ක්‍රිෂ් පැහැදිලි කළා.
ඒක අහලා කැලීට ලොකු දුකක් ඇති වුණා. එයා සියලු දෙනාගෙන්ම සමාව ගත්තා. ඒ වගේම ආයේ කවදාවත් රැජිනියට උදව් කරන්නෙත් නැහැ කියලා පොරොන්දු වුණා. ඒක විශ්වාස කරපු ක්‍රිෂ්, කැලී හා එයාගේ හමුදාව නිදහස් කළා. ඊට පස්සේ ලීසා රැජිනියගෙන් සෙලීනා රජධානිය බේරා ගන්නට සියලු දෙනාම එකතු වෙලා සැලසුමක් සකස් කළා.
මාලිගාවේ තිබෙන රහස් දොරටුවකින් කැලී හා එයාගේ හමුදාව හොර රහසේම මාලිගාවට ඇතුළු වුණා. මේ වෙලාවේ ලීසා රුජිනිය හිටියේ නිදාගෙන. ඒ නිසා කැලී ඇතුළු එයාගේ හමුදාව රැජිනිය නිදාගෙන හිටපු ඇඳ වට කළා. උකුස්සන් තටු ගහන ශබ්දය ඇහිලා රැජිනිය හෙමින් ඇස් ඇරලා බැලුවා. එතකොට කැලී දැක්කා රැජිනියගේ ඇස් රතුම රතු පාට වෙලා තිබෙන හැටි. එයා හයියෙන් වේවලනවා. එතකොට කැලීට තේරුම් ගියා රැජිනිය අසනීපෙන් ඉන්නේ කියලා. “රැජිනියනි ඔබට මේ කුමක් ද වුණේ. ඔබ මෙතරම් අසනීප වෙන තෙක් බෙහෙත් අර ගත්තේ නැද්ද?” කැලී ඇහුවා. “ඔබත් මාලිගාව අතහැර ගියාට පස්සේ මම තනි වුණා. කවුරුත් මාත් එක්ක කතා කරන්නේ වත් නැහැ. මම අසනීපෙන් කියල කවුරුත් දන්නේ නැහැ.” රැජිනිය අමාරුවෙන් උත්තර දුන්නා.
ඒක අහපු කැලීට හොඳටම දුක හිතුණා. එයා ක්‍රිෂ්ට මේ බව දැන්වූවා. ඉක්මනින් රාජකීය වෙදැදුරු කැඳවාගෙන ආපු ක්‍රිෂ් රැජිනියට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික රැජිනිය සුව අතට පත් වුණා. මාලිගාවේ හැමෝමත් රැජිනියව ආදරෙන් බලා ගත්තා. ලීසා රැජිනියට ටිකෙන් ටික තමන්ගේ වැරැදි අවබෝධ වුණා. එයා හැමෝමත් එක්ක කරුණාවෙන් ආදරෙන් කතා කරන්න පටන් ගත්තා. ඔහොම ටික දවසක් යනකොට රැජිනියට හොඳටම හොඳ වුණා. එයා ආයේ කවදාවත් නපුරු වුණේවත් ආඩම්බර වුණේවත් නැහැ. රාජධානිය සතුටින් පාලනය කළා. කැලීත් එයාගේ හමුදාව එක්ක පුළුවන් හැම වෙලාවකම අනෙක් අයට උදව් කළා. ඒ නිසා සෙලීනා රාජධානියේ හැමෝම හරි සතුටින් ජීවත් වුණා.
ටී.ඩබ්ලිව්. මෙතුලි උමල්ජා
5 ශ්‍රේණිය,
මො/මල්වත්තාවල
ප්‍රාථමික විද්‍යාලය
ආදරණීය දුවේ පුතේ, විවිධ රටවලට ආවේණික වූ ජාතික සත්ත්වයන් මේ වන විට නම්කර තිබේ. මේ සතුන් පිළිබඳ දැන ගැනීමට පුංචි ඔබත් කැමැති ඇති. ඉතින් දුවේ පුතේ, අද පුංචි ඔබට කියන්නට සූදානම් වන්නේ එවැනි සතුන් පිළිබඳ තොරතුරුයි. ඔවුන්ගේ ශරීර ප්‍රමාණ, පැහැය, දක්ෂතා පිළිබඳ මෙයින් කීමට බලාපොරොත්තු වෙමු. ඔබත් මේ තොරතුරු කියවලා බලන්නකෝ. ඔබටත් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වේවි.
දකුණු අප්‍රිකාව – ස්පි්රින්බොක් මුවා
( Springbok)
ස්ප්රින්බොක් මුවා දකුණු අප්‍රිකාවේ ජාතික සත්ත්වයා ය. මොවුන්ගේ සාමාන්‍ය වැඩුණු මුවකුගේ බර 27 kgත් 42 kgත් අතර වේ. මොවුන්ගේ අං වල දිග 35 cm – 50cmක් පමණ වන අතර, ඒවා පසුපසට නැමී ඇත. මොවුන්ගේ මුහුණ සුදු පැහැවන අතර, තද ඉරි ඇසෙහි සිට මුඛය දක්වා දැකිය හැකි ය. මොවුන්ගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 88ක් පමණ වේ.
පාකිස්තානය – මාකර්
( Markhor)
මාකර් පාකිස්ථානයේ ජාතික සත්ත්වයා ය. මොවුන්ගේ සාමාන්‍ය වැඩුණු සතකුගේ බර 32 kg -110 kgක් දක්වා වේ. පාකිස්ථානය, ඇෆ්ඝනිස්ථානය, හිමාලය ආදී ප්‍රදේශවල මොවුන් බොහෝ ලෙස දැකිය හැකි ය. 2015 වර්ෂයේදී මොවුන් වඳ වී යන සත්ත්වයකු ලෙස රතු දත්ත පොතට ඇතුළත් වී ඇත. මොවුන්ගේ අං සර්පයකුගේ ආකාරයට නැමී ඇති නිසා අතීත මුතුන්මිත්තන්ට සර්පයන් හා සම්බන්ධ වී කටයුතු කිරීමට එම අං මඟපෙන්වීමක් වූ බවට ද විශ්වාසයක් ඇත.
රුමේනියාව – කැලෑ බළලා
( Eurasian lynx )
කැලෑ බළලා රුමේනියාවේ ජාතික සත්ත්වයා ය. මොවුන් බොහෝ විට ටිබෙට් සානුව හිමාලය කඳු වැටිය ආශ්‍රිතව දැකිය හැකි ය. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි සතකුගේ බර 18 kg – 30 kgක් සහ ගැහැනු සතකුගේ බර 8 kg – 21 kgක් පමණ වේ. මෙවැනි සතකුගේ වලිගයේ දිග 11 cm – 24.5 cmක් පමණ වේ. මොවුන්ගේ ශරීරයේ කළු පැහැති තිත් සහ තද දුඹුරු පැහැති ඉරි දැකිය හැකි ය.
පැපුවා නිව්ගිනියා – ඩුගෝන් තල්මසා
( Dugong )
ඩුගෝන් තල්මසා පැපුවා නිව්ගිනියාවේ ජාතික සත්ත්වයා ය. මොවුන් බොහෝ ලෙස මිරිදියේ ජීවත් වන අතර, මොවුන්ගේ මව්රට වනුයේ ඔස්ට්‍රේලියාවයි. එහෙත් ඔවුන් ඔස්ට්‍රේලියාව හා ඒ ආශ්රිත මුහුදු ප්‍රදේශවල දැකගත හැකි ය. ඩුගෝන් තල්මසා යනු ක්ෂීරපායී සතෙකි. මොවුන්ට ඩොල්ෆින් මත්ස්‍යයාගේ වලිගය හා සමාන වලිගයක් ඇත. මොවුන්ට ආවේණික වූ හිස් කබලක් හා දත් පිහිටා ඇත. මොවුන්ගේ ශරීරය මත ඇල්ගී වර්ධනය වීම නිසා මොවුන්ගේ ශරීර වර්ණය වෙනස් වේ.
රුසියාව – යුරේසියානු දුඹුරු වලහා
( Eurasian Brown Bear )
යුරේසියානු වලහා රුසියාවේ ජාතික සත්ත්වයා ය. මොවුන් බොහෝ විට උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව හා යුරේසියා යන ප්‍රදේශවල දැකගත හැකි ය. මොවුන් බොහෝ විට ශාක භක්ෂක වන අතර සර්ව භක්ෂක යුරේසියානු වලසුන් ද දැකගත හැකි ය. දිවීමට, පිහිනීමට හා ගස් නැඟීමට විශේෂ දක්ෂතා ඇත. මොවුන්ගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 48ක් පමණ වේ.
පිලිපීනය – කැරබෝ ගවයා
( Carabao )
කැරබෝ ගවයා පිලිපීනයේ ජාතික සත්ත්වයා ය. මොවුන් උතුරු අමෙරිකානු හා දකුණු අමෙරිකානු රටවල දැකිය හැකි ය. මොවුන්ගේ උපතේදී වර්ණය අළු පැහැති වන අතර, පසුව කළු පැහැය දක්වා පරිවර්තනය වේ. පිරිමි ගවයකුගේ උස 129 cm – 133 cmක් වන අතර, වැඩුණු එළදෙනකගේ උස 120 cm- 127 cm ක් පමණ වේ. මොවුන්ගේ වලිගය කොට ය.
ශාන්ත කයිට් සහ නෙවිස් – වර්වෙට් වඳුරා
( Vervet monkey )
වර්වෙට් වඳුරා ශාන්ත කයිට් සහ නෙවිස්වල ජාතික සත්ත්වයා ය. මොවුන් ශාක භක්ෂක සත්ත්ව විශේෂයකි. මොවුන්ගේ මුහුණ කළු පැහැති වන අතර, ශරීරයේ අළු පැහැති ලොම් දැකගත හැකි ය. පිරිමි සතකුගේ ශරීරයේ දිග 50 cmක් පමණ වන අතර, ගැහැනු සතකුගේ ශරීරයේ දිග 40 cmක් පමණ වේ. පිරිමි සතකුගේ ශරීරයේ බර 3.9 kg – 8 kgක් පමණ වන අතර, ගැහැනු සතකුගේ ශරීරයේ බර 3.4 kg – 5.3 kgක් පමණ වේ.
සීෂෙල්ස් – ඉරි ඩොල්ෆින්
(Indian Oceanic Striped Dolphin )
ඉරි ඩොල්ෆින් සීෂෙල්ස් හි ජාතික සත්ත්වයා ය. මොවුන් ලෝකයේ සියලුම මුහුදුවල උෂ්ණත්වය තරමක් වැඩි ස්ථානවල දැකගත හැකි ය. මොවුන් අනෙකුත් ඩොල්ෆින් සත්ත්වයන්ගේ ප්‍රමාණයටම සමාන ය. මොවුන්ගේ කන ආසන්නයෙන් ඉරි දෙකක් දැකගත හැකි ය. එම ඉරි දෙකෙන් එක ඉරක් ප්‍රමාණයෙන් දිග වන අතර, අනෙක් ඉර ප්‍රමාණයෙන් කොට ය. මොවුන්ගේ උපතේදී බර 10 kgක් පමණ වන අතර, දිග අඩි තුනක් පමණ වේ. පසුව ඔවුන්ගේ බර 150 kg – 160 kgක් පමණ දක්වා වර්ධනය වේ.
නේපාලය – ගවයා
(Cow)
ගවයා යනු නේපාලයේ ජාතික සත්ත්වයා ය. ගවයා ශාක භක්ෂක සත්ත්වයෙකි. කිරි ලබා ගැනීම ප්රමුඛ වේ. වැඩුණු ගවයකුගේ බර ප්‍රමාණය 510 kgක් පමණ වේ. මොවුන් බොහෝවිට ආසියාතික රටවල සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ද දැකගත හැකි ය. මොවුන්ගේ ජීවන කාලය අවුරුදු 25ත් – 30ත් අතර වේ.
සයිබීරියාව – සයිබීරියානු ව්‍යාඝ්‍රයා
(Siberian Tiger)
ව්‍යාඝ්‍රයා යනු සර්බියාවේ ජාතික සත්ත්වයා ය. මොවුන් රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශවල හා ඊසාන දිග චීනයේ දැකගත හැකි ය. ව්‍යාඝ්‍රයා යනු මාංශ භක්ෂක සත්ත්වයෙකි. ඔවුහු මුවන්, ගෝනුන්, කැලෑ ඌරන්, ලින්ක්ස් සහ වලසුන් දඩයම් කරගෙන ආහාරයට ගනිති. රතු හෝ කහ පැහැයට හුරු සමෙහි කළු පැහැති පටු ඉරි තිබේ. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි ව්‍යාඝ්‍රයකුගේ බර කිලෝග්‍රෑම් 423ක් පමණ වේ.
ඇගේ නම පිප්පි. සම්පූර්ණ නම දිග මේස් දානලාගේ පිප්පි. නෑ එයාට ඊටත් වඩා දිග නමක් තිබෙනවා. ඒ නම තමයි පිප්පි ලොක්කි ලටපට සපයන්නී පටකම්බලි සැවැන්දරා නාවික පදක්කම්ගේ දෝන දිග මේස් කැකුළි. මිහිර කියවන පුංචි දඟකාරියෝ නම් පිප්පිට කැමැති ඇති. කවුද මේ පිප්පි? අපි දැන් සොයාබලමු.
ඒ 1941 වසරේ සීත ඍතුවේ දවසක්. රෝගාතුර වී ගිලන් යහනෙහි වැතිරී සිටි ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ දියණිය කරින් “අම්මේ මට කතන්දරයක් කියා දෙන්නකෝ. දිග මේස් දාන පිප්පි ගැන කතන්දරයක්” යැයි පවසා සිටියා. එයින් පසු ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් තම දියණියට පිප්පි නමැති දඟකාර දැරිය ගැන කතන්දර ගොතා පැවසුවා. රතු හිස කෙස් ඇති, ඉතා ඉක්මනින් කේන්ති යන , ඒත් ඉතා හොඳ හදවතක් ඇති , අශ්වයකු පවා එසවීමට හැකි අසාමාන්‍ය ශක්තියකින් යුක්ත පිප්පිගේ කතා ඇසීමට කරින් දියණිය බෙහෙවින් කැමැති වුණා. ඇය පමණක් නොව ඇයගේ යෙහෙළියන් සහ ඥාති සහෝදර සහෝදරියන් පවා ඒ කතන්දර ප්‍රිය කළා . වසර තුනකට පසු
මේ කතන්දර එකතු කර නැවත ලියා පොතක් ලෙස සැකසූ ඇස්ට්‍රිඩ් , එය කරින්ගේ උපන් දිනය යෙදුණු මැයි 21 දින ඇයට තෑගි කළා. ඇස්ට්‍රිඩ් එහි තවත් අත්පිටපතක් පොත් ප්‍රකාශන සමාගමක් වෙත ඉදිරිපත් කළා . එහෙත් එය ප්‍රතික්ෂේප වුණා. ඇස්ට්‍රිඩ් තම පොත ළමා
පුස්තකාලයාධිපතිනියක සහ ග්රන්ථ විචාරිකාවක වූ එල්සා ඔලිනියස් වෙත යොමු කළා. ඇය එහි ගුණ දොස් අඩු පාඩු පෙන්වා දුන්නා. එයින් පසු ඇස්ට්‍රිඩ් එම අඩු පාඩු සකසා නැවත පොත සැකසුවා.
1945 වසරේදී පොත් ප්‍රකාශන සමාගම් කිහිපයක් එක් වී ළමා ග්රන්ථ අත්පිටපත් තරගයක් පැවැත්වූවා. ඇස්ට්‍රිඩ් ‘පිප්පි’ අලුත්ම අත්පිටපත ඒ තරගය සඳහා යොමු කළා. එහිදී ප්‍රථම ස්ථානය ලබා ගැනීමට පිප්පි සමත් වුණා. එයින් පසු ඩෙන්මාර්ක් ජාතික ඉන්ග්‍රිඩ් වෑන්ග්නිමෑන්ගේ චිත්‍ර ද සහිතව 1945 වසරේ නොවැම්බර් මස පිප්පි පළමු ග්‍රන්ථය ‘Pippi Langstrump( Pippi Longstocking) යන නමින් ප්‍රකාශයට පත් කෙරුණා. මෙහි දෙවැනි කොටස 1946 දී Pippi Goes on Board යන නමින් ප්‍රකාශයට පත් වූ අතර, තෙවැනි කොටස Pippi in the South Sea යන නමින් 1948 දී ප්‍රකාශයට පත් වුණා.
පිප්පිගේ සම්පූර්ණ නම Pippilotta Delicatessa Windowshade Mackrelmint Ephraim’s Daughter Longstocking යන්නයි. පිප්පිගේ පියා දුර ඈත මුහුදේ යාත්‍රා කරන නැවක කපිතාන් කෙනෙක්. මේ නිසා පිප්පි ජීවත් වුණේ තනිවම යි. ඇය සමඟ අශ්වයෙක් සහ වඳුරෙක් ද ජීවත්වුණා. අසල්වැසි නිවෙසක වාසය කරන ටොමී සහ අනීකා ඇගේ මිතුරන්. දඟකාර, එඩිතර පිප්පි තම මිතුරන් ද සමඟ සිදු කරන විවිධ විස්මිත ක්‍රියා මෙම කතන්දරවල ඇතුළත් වී තිබෙනවා.
දඟකාර පිප්පිගේ කතා , ළමා සහ යොවුන් පාඨකයන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. තනිව තීරණ ගනිමින් තමන්ට ඕනෑ විදිහට වැඩ කටයුතු කරන, පාසල් නොයන පිප්පි ගැන වැඩිහිටි පාඨකයන් මුලදී ඒ තරම් කැමැත්තක් දැක් වූයේ නැහැ. එහෙත් අනුන්ට උදව් කරන, දඟකාරියගේ හොඳ හිත වටහා ගත් පසු සියලුදෙනා ඇයට ආදරය කරන්න පටන් ගත්තා. පිප්පි කතා, පින්තුර කතන්දර පොත් ලෙසින් ද ප්‍රකාශයට පත් වී තිබෙනවා. පිප්පි ළමා, යොවුන් පාඨක ආදරය දිනා ගත් නිසා ඒ කතා ඇසුරෙන් ළමා චිත්‍රපට, කාටූන් චිත්‍රපට සහ ටෙලි වෘත්තාන්ත ද පසුකාලීනව නිර්මාණය වුණා. 2005 වසරේ දී යුනෙස්කෝ සංවිධානය මඟින් භාෂා වැඩිම සංඛ්‍යාවකට පරිවර්තනය වූ ළමා ග්රන්ථ නම් කළ අතර, එහි පස්වැනි ස්ථානය පිප්පිට හිමි වී තිබුණා. ස්වීඩ්න් භාෂාවෙන් උපන් පිප්පි ලොව පුරා භාෂා 95කට පමණ පරිවර්තනය වී තිබෙනවා . මෙය ලේඛක විජිත ගුණරත්න මහතා විසින් සහ ලේඛක සරත් කැල්ලපත මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර තිබෙනවා. ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ උපන් ගම වූ ස්වීඩනයේ විම්මර්බිහි ‘ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් වර්ල්ඩ් ‘ නමින් විනෝද උද්‍යානයක් ද නිර්මාණයකර තිබෙනවා . එහි යන සංචාරකයන්ට ඇස්ට්‍රිඩ් නිර්මාණය කළ විවිධ ළමා කතාවල චරිත ජීවමානව (ඒ චරිත සැබෑ පුද්ගලයන් විසින් නිරූපණය කරනවා) මුණ ගැසෙන්න පුළුවන්. පිප්පිත් ඒ අතර සිටින විශේෂ චරිතයක්.
හර්ෂණී ගමගේ
සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක්
මොනරාගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන වෙල්ලස්සේ පාසල් දරුවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පසුගියදා විද්‍යාලයීය සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ළමා අපයෝජනය තුරන්කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණය, බාල වයස්කාර විවාහ නැවැත්වීම ආදිය පිළිබඳ සිසු සිසුවියන් දැනුම්වත් කරන ලද්දේ මොනරාගල පොලිස් කොට්ඨාස කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුරේඛා ද සිල්වා, ප්‍රජා සම්බන්ධීකාරකවරුන් වන ප්‍රියන්ත සිටිසේකර, මනෝජ් තුෂාර, පොලිස් සැරයන් 40959 සංජීව යන මහත්වරුන් විසිනි. මෙම අවස්ථාවට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත්, විදුහල්පති ඩී.එම්. ජයසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.
සිංහල භාෂා දිනයේ කියවීමේ තරගයේ දෙවැනි ස්ථානය තණමල්විල ජාතික පාසලට
2024 සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේදී කියවීම් තරගයට (ප්රවෘත්ති කියවීම) තණමල්විල ජාතික පාසලෙන් ඉදිරිපත්වූ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මනුල ප්රබුද්ධ ශිෂ්‍යයා දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත. මෙම තරග පසුගියදා කොළඹ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. තණමල්විල ජාතික පාසලේ විදුහල්පති එන්.ඩබ්ලිව්. බස්නායක මහතාගේ සහ නියෝජ්‍ය විදුහල්පති ගයනි ආරියතිලක මහත්මියගේ මඟ පෙන්වීම මත සිංහල භාෂා අංශයේ උමේෂා ප්‍රබෝදිනී ගුරුතුමිය මනුලගේ පුහුණුකරු ලෙස කටයුතුකර ඇත.
බුත්තල අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාසල් උපකරණ පිරිනැමීම පසුගියදා බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. බුත්තල ඩොල් ලංකා ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත පාසල් උපකරණ කට්ටල හා සපත්තු වවුචර්පත් 90ක් මෙහිදී බෙදාදෙන ලදි.
බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමිපාණෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එම පරිත්‍යාගයන් සිදු කළහ . මෙම අවස්ථාවට බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස්. තිලකරත්න මහතා පරිපාලන නිලධාරිනී රාජිකා දීශානී මෙනෙවිය සහ ඩෝල් ලංකා ආයතනයේ නිලධාරීහු සහභාගි වූහ.
රත්මල්ගහඇල්ල විද්‍යාලයට පන්ති කාමර ගොඩනැඟිල්ලක් පරිත්‍යාග කිරීම
ඇන්සල් ලංකා සමාගමේ ගෝලීය ඉංජිනේරු අංශයට දස වසරක් පිරිම නිමිත්තෙන් සිදු කළ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ බිබිල අධ්‍යාපන කලාපයේ පිහිටි අතිදුෂ්කර පාසලක් වන ඉඟිනියාගල රත්මල්ගහඇල්ල විද්‍යාලයට ඉදිකරන ලද පන්ති කාමර ගොඩනැඟිල්ලක් පසුගියදා සිසු අයිතියට පත් කිරීමට කටයුතු කළේ ය. ටකරන් තහඩු සෙවිලිකළ ඉටිරෙදිවලින් ආවරණයකර තිබූ පන්ති කාමර ගොඩනැඟිල්ලේ අටවැනි ශ්‍රේණියේ ළමයි අධ්‍යාපනය ලබති. එම තහඩුව ගොඩනැඟිල්ල වැසි කාලයට තෙමීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහෝ අපහසුතාවන්ට පත්ව සිටියහ. මේ පිළිබඳ අදාළ සමාගම දැන ගැනීමෙන් පසුව පාසලට අවශ්‍ය පන්තිකාමර ගොඩනැඟිල්ලක් මාස දෙකක් වැනි කෙටි කාලයකදී ඉදි කිරීමට කටයුතු කළේ ය. ඇන්සල් මව් සමාගමේ ප්‍රධාන විධායක නීල් සැල්මන් මහතා නව ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දීමට කටයුතු කළේ ය.
විදුහල්පති එල්. ඩබ්ලිව්. ඩී.ආර්. ප්‍රසාද් මහතා ඇතුළු ගුරු මණ්ඩලය, මව්පියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.
නුගයාය සහ අංජලීගම ප්‍රදේශවල දහම්පාසල්වලට ප්ලාස්ටික් පුටු බෙදා දීම
වැල්ලවාය පොලිසියට අනුබද්ධිත නුගයාය ප්‍රජා පොලිස් කමිටුව ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව නුගයාය සහ අංජලීගම දහම් පාසල්වලට ප්ලාස්ටික් පුටු පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරිණි. ප්‍රජා පොලිස් කමිටුවේ පොලිස් සැරයන් 1245 ජයරත්න මහතා විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
වෙල්ලස්ස ජාතික පාසලට සමස්ත ලංකා කරාතේ ලෝකඩ පදක්කම් දෙකක්
2024 සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලියේදී බිබිල වෙල්ලස්ස ජාතික පාසලට ලෝකඩ පදක්කම් දෙකක් හිමිවී ඇත. මෙම තරග පසුගියදා කිලිනොච්චියේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී අවුරුදු විස්සෙන් පහළ “කාතා” සහ “කුමිතේ” ඉසව්වලින් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට වෙල්ලස්ස ජාතික පාසලේ සසිඳු ගයාන් ශිෂ්‍යයා සමත් විය. විදුහල්පති ඒ.එච්. ටිකිරි බණ්ඩාර මහතාගේ මඟපෙන්වීම මත ක්‍රීඩා භාර ආචාර්ය එම්. එම්. ආර්. එච්. මනතුංග මහත්මියගේ අධීක්ෂණය යටතේ පුහුණුකරු ලෙස සමන්ත එන්. විජේසිංහ මහතා කටයුතු කර ඇත.
**************************
පාසල් වාර්තාකරුවන් කැඳවීම
ඔබේ පාසලේ සිදුවෙන අලුත්ම සිදුවීම් මිහිර පුවත්පත වෙත ගෙන්වා ගැනීම සඳහා ඔබ පාසලෙන් පාසල් වාර්තාකරුවන් කැඳවීමට මිහිර පුවත තීරණයකර තිබේ.
ඔබේ පාසලේ පුවත් සමඟ අප වෙත එවන්න.
මිහිර පාසල් වාර්තාකරු, මිහිර කර්තෘ.ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට එවන්න.
නම, ශ්‍රේණිය, පාසල සහ විදුහල්පති අත්සන සමඟ එවන්න.
ඩී.එස්. ගුණතිලක- ඌව වෙල්ලස්ස විශේෂ
Udine දුම්රිය ස්ථානය ඊසානදිග ඉතාලියේ Friuli- Venezia Giulia ප්‍රදේශයේ Udine නගරයට සමීපව පිහිටා තිබේ. දුම්රිය ස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ Rate Ferroviaria Italiana සමාගමයි. මගීන් ගැවසෙන ගොඩනැඟිලිවල කළමනාකරණය කරනු ලබන්නේ Centostazioni ආයතනයි. මෙම සෑම සමාගමක්ම ඉතාලියේ රජය සතු දුම්රිය සමාගම වන Ferrovie Deello Stato ආයතනයට අනුබද්ධිත ආයතනයන් ය. දුම්රිය ස්ථානයේ සහ එයින් පිටත දුම්රිය සේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ Trenitalia,OBB සහ Ferrovie Udine- Cividale ආයතනවලිනි. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට Udine දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
වර්ෂ 1860 ජූලි 21 වැනි දින Venice–Udine දුම්රිය මාර්ගයේ Cormons -Udine කොටස විවෘත කිරීමත් සමඟ මෙම දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ආරම්භ කරන ලදි. වර්ෂ 1860 ඔක්තෝබර් 3 වැනි දින, එම මාර්ගයේ Cormons -Udine කොටස විවෘත කිරීමත් සමඟ එය Udine-Trieste දුම්රිය මාර්ගයේ පර්යන්තය බවට පත් විය. Centostazioni ආයතනයේ කළමනාකාරිත්වය යටතේ, මඟී ගොඩනැඟිල්ල වර්ෂ 2005දී ප්‍රතිසංස්කරණය කළේ ය. මෙහිදී ප්‍රධාන ශාලාව නවීකරණය කිරීම සහ නව ප්‍රවේශ පත්‍ර කාර්යාලයක් වෙනුවෙන් නව තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම කෙරෙහි පාලනාධිකාරීහු අවධානය යොමු කළහ.
මෙම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ස්ථානයක් මෙන්ම බැංකු කටයුතු කිරීමට ස්ථානයක් ද බැතිමතුන්ට වන්දනාමාන කිරීමට දේවස්ථානයක් ද , හදිසි අවශ්‍යතාවකදී බෙහෙත් ගැනීමට ඔසුසලක් මෙන්ම අලංකාර සාප්පු සංකීර්ණයක් ද මගී ගොඩනැඟිල්ලේ තිබේ. හදිසි අවශ්‍යතාවකදී උපදෙස් ලබා ගැනීමට පොලිස් ස්ථානයක් ද මෙම ගොඩනැඟිල්ලේම ඇත.
දුම්රිය අංගණය මගී සේවාව සඳහා ධාවන පථ 7කින් යුක්ත වේ. වේදිකාවක් නොමැති ධාවන පථ අංක 2 ඇතුළුව, භාණ්ඩ ප්‍රවාහනය, මාරු කිරීම, ගබඩා කිරීම සඳහා පමණක් පීලි කිහිපයක් ඇත. අධිවේගී සේවා, රාත්‍රී දුම්රිය සේවා සහ ප්‍රාදේශීය සේවා සඳහා මෙම දුම්රිය ස්ථානය සේවා සපයනු ලබයි.
මෙම දුම්රිය ස්ථානයේ මගීන්ගේ ගමනාගමනය වසරකට මිලියන 7.6ක් පමණ වේ. මගීන් සංඛ්‍යාව අනුව ෆ්රියුලි-වෙනිසියා ජියුලියා හි කාර්යබහුලම ස්ථානය මෙම දුම්රිය ස්ථානයයි. උඤඪදඥ දුම්රිය ස්ථානයේ, විවිධ ගමනාන්ත සඳහා සියලු වර්ගවල දුම්රිය තිබේ. මෙම දුම්රිය ස්ථානය හෙක්ටයාර් 43ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබේ.
චතුරි ලක්ෂිකා
අප ලී කැබලි කැඩූ වැට අයිති මඟුල් ගෙදරට නොවන බව අපට වැටහුණි.
“දරුවනේ,…………ඩොංකා කාපල්ලා. අපේ වැට කඩා දාන්න එපා”. කවුදෝ කියනු ඇසුණි.
වට පිට බැලූ අපට පෙනුණේ එහායින් වූ ගොඩැල්ලක සිට අප දෙසට එන සීයා කෙනෙකි.
“අනේ! පව් රත්නෙ මල්ලි. අපි එයාටත් ඩොංකා දෙමු.”
“ඔය මෙහාට එන්නෙ. ආවහම දීලා බලමු”
“සීයෙ, සීයටත් මෙන්න ඩොංකා” මම කැඩූ ඒවායින් ගෙඩි දෙකක් දිගු කළෙමි.
“මට එපා. බලන්න මගෙ මිරිස් පැළ ටිකත් පාගලා. වැටත් කඩලා” සීයා ඩොංකා දෙස බැලුවේවත් නැත.
“උඹලා මඟුල් ගෙදර ආව නම් එහේ හිටපල්ලා. නරක කොල්ලෝ” ඔහු අපට බණින්නට විය.
“මොකද කිරි අප්පුහාමි? ඒ දරුවො ඕවා කාගෙද කින්ද මන්ද දන්නෙ නෑ. ඔය ගෙඩි දැක්කම කඩන්න ඇති”
“අනේ! අයියලා යමු යන්න. ඔය බූඩා කියන ඒව අහන්න ඕන් නෑ.” රත්නේ අපිව ද ඇදගෙන අඩිපාර දිගේ උඩහට පිය මැන්නේය.
“මල්ලි ඔය මඟුල් ගෙදර පැත්ත නොවෙයි. ආං අර ඉසව්වෙයි මඟුල් ගෙදර තියෙන්නෙ” කරුණෙ කීවේ ය.
අපි රබර් බෝල හැදිල්ල පැත්තකට දමා මඟුල් ගෙදර දෙසට ගියෙමු. අප යන විටත් ළිඳ ළඟට එකතු වූ පිරිසක් මොනවා දෝ කියමින් සිටියහ.
රත්නෙ මල්ලිව දුටු ඔහුගේ සුදු ආච්චි “මගෙ රත්තරන් පැටියෝ. කොහෙද මේ කොල්ලො කට්ටියක් එක්ක පණං වුණේ? මගේ ඇඟේ ලේ වතුර වෙලා හිටියේ. බුදු අම්මේ ඇති යංතං.” ඇය කීවා ය.
“කොල්ලො කට්ටියක් වෙන්නෙ කොහොමද? ඒ මගේ යාළුවො. සුදු ආච්චි මං ගැන හොයන්න එපා. මට ඕන තැනක මං යනවා. ඔයාලා මෙයා කියන ඒවා ගණන් ගන්න එපා අයියේ” ඔහු අපට ද කීවේ ය.
“ගෙදරදිත් ඔහොමමයි. හරිම දඩබ්බරයි. අම්මයි තාත්තයි කොලුවට ගහනවා. ඉතිං බලන්න මේ නාඳුනන පළාතකට ඇවිල්ලත් ඉන්න බැරි හැටි.” සුදු ආච්චි එතැන සිටින අයට කීවා ය.
අපි කිසිවක්ම නොකීවෙමු. ඒත් අපට නිගරු වෙන ලෙස කොල්ලන් යැයි කීම අපි අනුමත නොකළෙමු.
“අයියා ඒ ගොල්ලන් කියන විදිහට ඉන්න අපි රොබෝලයැ. එහෙම යටත් වෙලා ඉන්න අපි මොන බයකටද? මගේ අම්මත් මට ආදරේ නෑ. තාත්තත් ආදරේ නෑ. මේ සුදු ආච්චි මගේ පස්සේමයි.”
“මං ආස නැහැ එයාට. පුංච විතරයි මට ආදරෙන් හිටියෙ. එයත් මෙහේට ආවට පස්සෙ මං මට ඕන විදිහටයි වැඩ කරන්නෙ.” රත්නෙ මල්ලී කියයි.
ඇත්තටම ඔහු බය නැති කොල්ලෙකි. ඔහුට හිතුණ දේ ඔහු කරන්නේ ය. අප හැදී වැඩී ඇත්තේ ඒ ආකාරයට නොවේ. අපි හතර දෙනාම මව්පියන්ට කීකරු දරුවන් වෙමු.
“දවල් කෑමට වතුර අල්ලද්දී මං ඔය ගොල්ලන් හෙව්වා. කොහෙද හිටියේ ?” ආත්තම්මා ඇසුවාය. අපි කිසිත් නොකීමු.
“ඩොංකා කන්න ගිහින් කිරි අප්පු මාමගෙ වැට කඩලා ගහට පොලු ගහලා. ළමයි පස් දෙනෙක් හිටිය කියලා තමයි එතැන හිටපු අය කිව්වෙ හාමිනේ.”
ගංගොඩේ ජිනදාස ආත්තම්මාට කේලමක් කීවේය.
“හැබෑ ද කංචු මේ කියන්නෙ?”
“අනේ අපි දන්නෙ නෑ. ඔය කියපු කෙනාගෙන්ම ඇහුවානම් කියයි මයේ හිතේ” මම කීමි.
“ආ……..එහෙමද එහෙනම් ? උදේ අප්පච්චීගෙන් ඇහුවාම කීවෙ, කොහෙ ගියත් ගෙදර එන්න දන්නවනේ කියලා. මේ අප්පයි පුතයි දෙන්නම එකයි.” කියමින් ආත්තම්මා දඟ නොකර කෑම කන්නට කීවා ය.
කිරි අප්පුට අපි නරක කොල්ලන් ය.
සුදු ආච්චිට අපි කොල්ලන් ය.
අපේ ආත්තම්මට අපි පුතාල ය.
වෙනසක හැටි
“රත්නෙ මල්ලී අපි කෑම කමු” මම කීවෙමි.
“සුදු ආච්චිත් කතා කෙරුවා. මං ගියේ නෑ. මොකටද කංචු අයියා අපි බත් කටක් කන්න යටත් වෙන්නෙ? අපි පුංචි උන් නෙවෙයිනේ. ඔයා කියනවානම් මාත් එන්නම්. දැන් ඩොංකා ඇටත් එක්ක ගිලලා බඩගිනිත් නෑ. අනික අපි කැවිලිත් කෑවනේ. සුදු ආච්චිල දන්නව නම් අපට කැවිලි කන්නත් ලැබෙන්නේ නෑ.” රත්නෙ මල්ලී කීවේය.
අපි රත්නෙගේ අදහස්වලට කැමති වීමු. ඒත් වැඩිහිටියන්ගෙ වචනයකට විරුද්ධව කතා කිරීමට අපේ හිතට බියක් දැනේ. අපි එක්වී කෑම කෑවෙමු.
මනමාලියගේ නෑදෑයෝ දවල් කෑමෙන් පසු ආපසු යෑමට සූදානම් වූහ.
“මටත් ඉතින් යන්න වෙනව. අයියලත් ඒ පැත්තෙ එන්නකො.” ඔහු කියයි.
පුංචෝ ………..අනේ! ඔයා නැතුව මට පාළුයි. මං ගෙහුං ආපහු දොහක එන්නම්…….” රත්නෙ මනමාලියට වැඳ කීවේ ය.
“මයෙ රන් කොල්ලෝ. අම්ම තාත්තට කරදර නොකර දඟ කරන්නෙ නැතුව හොඳින් ඉන්න පුතේ” කියමින් මනමාලිය කඳුළු පිස දැම්මා ය.
“ඔයා අඬන්නෙපා. මං හොඳින් ඉන්නම්” රත්නෙ කීවේ ය.
“මටත් දුකයි අයියා ඔයාලව දාලා යන්න. ආයෙ අපට කවදාක මුණ ගැහෙන්න වේවිද දන්නෙ නෑ.” කියමින් රත්නේ මහත් දුකකින් අප දෙස බැලුවේ ය.
“මල්ලි ඔයා හොඳින් වැඩ ටික කර ගන්නකො”. අපි කීමු.
“හා……හා…..පුතේ. දැන් ඉතින් යමු. ඉර හැරිලා හෝරා දෙකක්ම ගෙවිලා. සැතපුම් හතරක් පහක්ම විතර අපි පයින්ම යන්න එපා ය. යාළුවන්ටත් කියලා යමු” සුදු ආච්චි කීවා ය.
රත්නෙ මල්ලී අපි හතර දෙනා සිටි තැනට ඇවිත් කී දෙය මගේ සිතෙත් දෝංකාර දෙන්නට විය.
“දවසක අපි අර කිරිඅප්පු කියූ බූඩාට අල්ලගෙන ගහමු.” ඔහු කීවේ ය.
“හරි මලයා ඒව අපි බලා ගන්නම්කො” අපි කීවෙමු.
පසු පස හැරී බලමින් රත්නෙ යන හැටි අපි බලා සිටියෙමු. අපට මහත් වූ පාළු බවක් දැනෙන්නට විය.
“මේ දවස් ටිකම ඉතින් මඟුල් ගෙදර වෙනුවෙන්ම කාලය ගෙවුණා. ගෙදර හරියෙ මගේ වැඩ කිසිම දෙයක් කරගන්න බැරි වුණා.” ආත්තම්මා කීවා ය.
“මොකෝ මඟුල් ගෙදර කටයුතු කෙරුවෙ ආත්තම්මයැ” මම කීවෙමි.
“මං කොරාපු වැඩ ටික දන්නෙ ඉතින් මං නොවැ. මං නොහිටින්න එතැන කිසිම අර පිරිමැස්මක් වෙන්නෙත් නැහැ. අර අමරෙල, රොහාන්ලා උන්ට ඕන හැටියටමයි වැඩ කටයුතු කරන්න දත කෑවෙ. මගේ කටේ බලේට තමයි ඔය තරමින් ගියෙ. මනමාලිගෙ අතටත් මං රුපියල් පහක්ම දුන්නා.”
“මායි හාමිනෙයි ඊයෙ රුපියල් දහයක්ම දුන්නා. දැන් ඉතින් ඔය කෙරුව ඇති.” අප්පච්චි කීවේය.
මේ කොල්ලො එක්කාසු වෙලා අර කිරි අප්පුගෙ කොරටුවෙ වැට කඩ කඩා ඩොංකා ගහට පොලු ගහලා. ඒ මනුස්සය ඇවිත් හොඳටෝම බැණලා.
මේ අපේ කංචුත් ඒකෙ හවුල්කාරයෙක් වෙන්න ඇති. මට වැඩ අව් අස්සෙ හොයන්න බලන්නත් බැරි වුණා. අහල බලන්න ඕන……” ආත්තම්මා කියනවා ඇසුණි.
“මඟුල් තියා මොනව තිබුණත් ඒ කොල්ලන්ගෙ හැටි තමා අම්මෙ. ඕවයෙ හොයා බලන්න දෙයක් නෑ අම්මෙ” අප්පච්චි කීවේ ය.
රත්නා කහඳගමගේ