ආදරණීය දුවේ පුතේ, අද දවසේ උරුමයක වගතුගවලින් අපි පින්බර කුඩුම්බිගල තපෝවනයෙහි තොරතුරු සොයා බලමු. අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම ගමේ මෙම තපෝවනය පිහිටා තිබේ. විශාල ගල් පර්වත හා ඝන කැලෑවක පිහිටි රමණීය භූමියකට උරුමකම් කියන මෙම තපෝවනය විල ඔය, කුඹුකන් ඔය, සැලව ආර හා බැලුම්ගල වැනි ස්වාභාවික ගංගා හා පර්වතයන්ගෙන් වටව පිහිටා තිබේ. ප්‍රධාන පර්වත පහකින් වටවී ඇති මෙම තපෝවනය නටබුන් රාශියකින් ගහනව පවතින අතර, දේවානම්පියතිස්ස රජ සමයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා මෙහි වැඩ සිටින ලදැයි විශ්වාස කෙරේ. එනිසාම මෙම භූමිය ‘රෝහණ චේතිය පබ්බතය’ වශයෙන් ද හඳුන්වා ඇත.
18 වැනි සියවසේ ඇති වූ මැලේරියා වසංගතයත් සමඟ ක්‍රමයෙන් අත්හැර දමන ලද මෙම තපෝ වනය නැවතත් කතෝලික ආගමිකයකු වූ ඉමානිස් මහතා විසින් බුදු දහම වැලඳගෙන 1952දී තාඹුගල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ වශයෙන් නම් ලැබ සුදර්ශන ලෙන නම් ස්ථානයට වැඩමකර සංවර්ධනය කොට පවත්වාගෙන යෑම ආරම්භ කරන ලදි.
ඓතිහාසික රෝහණ රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශයක් වන මෙම භූමිය තවමත් හරිහැටි පුරාවිද්‍යා පර්යේෂණයන්ට බඳුන් නොවූ ඉසව්වකි. ශ්‍රී ලංකාවේ අප්‍රකට ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගිය හෙන්රි පාකර් මහතා ඔහු විසින් රචිත ඒදජඪඥදබ ඛ්ඥරතධද කෘතියෙහි ද කුඩුම්බිගල පිළිබඳ දක්වා තිබේ. ඒ අනුව පාකර් මහතා මුලින්ම කුඩුම්බිගල සුදර්ශන ලෙනෙහි තිබෙන “මිත්‍රගේ ලෙන් ලිපිය” ඇතුළු ලිපි 5ක් පිටපත්කර තිබෙන අතර, එමඟින් එහි යටගියාව අනාවරණය කරගැනීමට පහසු වී ඇත. එසේම පුරාවිද්‍යා නිලධාරියකු වූ හෙන්රි හෝකාට් මහතා, සෙනරත් පරණවිතානයන් , ආචාර්ය ශිරාන් දැරණියගල මහතා වැනි බොහෝ පුරාවිද්‍යාඥයන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගවේෂණ සිදුකර ඇත. එහිදී ඔවුන් විසින් අනාවරණය කරගන්නා ලද තොරතුරු රාශියකි.
කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට ප්‍රවේශ වීමේදී අපට මුලින්ම හමු වන්නේ කුඩුම්බිගල විශ්‍රාම ශාලාවයි. එහි සිට කිලෝමීටර් 2ක් පමණ ගිය පසු ස්වාමීන් වහන්සේලා රැස්වන, පොහොය කරන, දේශනා පවත්වන මධ්‍ය මණ්ඩල ශාලාව තිබෙන තපෝවනය ආරණ්‍යයට ප්‍රවේශ විය හැකි ය. වියළි කලාපයෙහි පිහිටා තිබුණ ද මෙම ආරණ්‍ය සේනාසනයෙහි දවස පුරාම අඳුරු සිසිලසක් පවතී . මෙහි තැන් තැන්වල සුපිරිසුදු ජලය සහිත දිය උල්පත් දක්නට හැකි අතර, විශ්‍රාම ශාලාව අසලින් ගලා බසිනා දිය ඇල්ල මනරම් දර්ශනයක් නිර්මාණය කරයි. එය අවුරුද්දේ මාස නවයක් පුරා නොසි¼දී පවතින අතර, විශ්‍රාම ශාලාවට දකුණු පසින් පිහිටි බුද්ධ රූප පබ්බතය පාමුල ද නොසිඳෙන ජල පොකුණක් දැකිය හැකි ය.
මෙහි ස්තූප වශයෙන් ගත හැකි ගොඩනැඟිලි 8ක් දැකිය හැකි අතර, එයින් තුනක් “සඳගිරි බැලුම්ගල” නමින් හඳුන්වන පර්වත මුදුනේ එකකට එකක් සමීප වන ලෙස පිහිටා තිබේ. මෙහි ප්‍රධාන ස්තූපය ප්රතිසංස්කරණයකර ඇති අතර, සෙසු ඒවා පස් ගොඩැලි ලෙස පවතියි. “සුමනකූටය” නමින් ව්‍යවහාර වන පර්වත මුදුනේ ද ස්තූප 3ක් පිහිටා තිබේ. මේවා හැර ගොඩනැඟිලි කිහිපයකට අයත් ගඩොලු දක්නට ලැබේ. අක්ෂර කොටන ලද ගඩොලු කැට 18ක් ද මෙහි තිබී හමුවී ඇත. ඒවා යුග තුනකට අයත් ලෙස හඳුනාගෙන තිබේ. මෙහි ලෙන් තුළ බිත්ති බැඳ ඇති අතර, ගොඩනැඟිලි ඉදිකිරීමේදී පාදම ගැඹුරට හාරා ඉතා ශක්තිමත් ලෙස සකස්කර තිබුණු බවක් පෙනෙයි. බදාම ලෙස භාවිතකර තිබෙන්නේ
“බෙලිකටු මිශ්‍ර හුනු බදාමයකි.” මෙවැනි ගොඩනැඟිලි 18ක්වත් මෙහි තිබූ බවට විශ්වාස කෙරේ.
මෙහි තැනින් තැන ඉතා චාම් ලෙස නිර්මාණය කරන ලද සඳකඩ පහණ කිහිපයක් දක්නට ලැබේ. මුරගල් වශයෙන් හඳුනාගෙන ඇති නිර්මාණ ද කිහිපයකි.
මෙහි ඇති කටාරම් කෙටූ ගල් ලෙන් 105ක් ආරණ්‍යගත භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නට ඇත. එසේම පැරැණි චෛත්‍ය දෙකක් ද කුඩුම්බිගලදී දැකිය හැකි අතර, එක් චෛත්‍යයක් විශේෂ සිලින්ඩරාකාර හැඩයකින් නිමවා තිබේ. මෙම ආරණ්‍ය නෂ්ටාවශේෂ අතරින් පෘතුගීසි හේවායන්ගේ කවන්ධ රූප, මැටි ජෝගු කැබලි, කාසි වැනි දේ ද හමු වී ඇත. එයින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පෘතුගීසි හා ලන්දේසි බළකොටු පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙහි පවතින භික්ෂූන් වහන්සේලාගේ කුටි, මැටි බදාමයෙන් නිමවා ඇති අතර, වර්තමානය වන විට ඒවා ප්‍රතිසංස්කරණය කළයුතු මට්ටමක පවතියි. එසේම මෙහි තිබෙන ශෛලමය සඳකඩපහණ, මුරගල්, කොරවක්ගල්, මලසුන් ගල්, පියගැටපෙළවල් හා ස්තූප ආදී නටබුන් ද සංරක්ෂණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත.
එම තපෝවනය ආශ්‍රිතව පිහිටා ඇති වැව් ද රාශියකි. එහි ගිනිකොන දෙසින් පිහිටි කුඩුම්බිගල වැවත්, බටහිරින් පිහිටි බඹරගස්තලා වැවත්, වයඹින් පිහිටි ඉයග්ගහ වැවත්, උතුරු දෙසින් පිහිටි උඩහැලව වැවත් ඒ අතර ප්‍රධාන වේ. තවත් ලොකු, කුඩා වැව් රාශියක් කුඩුම්බිගල අවට පිහිටා තිබුණ ද මේ වැව් පුරාණ ගල් බැමි, සොරොව් සමඟම
මඩ ගොහොරු හා වියළි පිටි බවට පත්ව විනාශ වෙමින් පවතියි. එහෙයින් මෙකී පුරාණ උරුමයන් ආරක්ෂා කරගැනීම අප සියලු දෙනාගේම වගකීමකි.
ලක්නා නිරෝෂිමාලා
Polaris Dawn මෙහෙයුම, පෞද්ගලික අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව ඉසව්වක් වෙත යොමු වීමට සැලසුම්කර තිබේ. මෙය බිලියනපති ව්‍යවසායක Jared Isaacman විසින් ආරම්භ කරන ලද Polaris වැඩසටහනේ පළමු අදියරක් වේ. ප්‍රථම වතාවට පෞද්ගලික අභ්‍යවකාශ ඇවිදීමක් සිදු කිරීම සහ විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් සිදු කිරීම මඟින් අභ්‍යවකාශ සංචරණයේ සීමාවන් වර්ධනය කිරීමට මෙමඟින් ඉලක්ක කරයි.
1. Polaris වැඩසටහන පිළිබඳ පසුබැසීම
Jared Isaacman, ආර්ථික සේවා සමාගමක් වන Shift4 Payments හි ආරම්භකයා ලෙස, 2021දී ආරම්භ කළ **Inspiration4 මෙහෙයුම සමඟ පෞද්ගලික අභ්‍යවකාශ සංචරණයේ විශේෂ කඩඉමක් ස්ථාපිත කළේය. මෙම මෙහෙයුම සමඟ St. Jude ළමා රෝහල සඳහා ඩොලර් මිලියන 200කට වැඩි අරමුදලක් එකතු කිරීමට හැකි වූ අතර, මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ අය නායකත්වය දරන පළමු මෙහෙයුමක් විය. ඒ පසුබැසීම මතින්, Jared අභ්‍යවකාශය වෙත යෑමට අරමුණු කරගත් Polaris වැඩසටහන ආරම්භ කළේය. එහිදී නියමිත තෙවැනි මෙහෙයුම SpaceX සමාගමේ Starship යානය භාවිත කරමින් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
2. Polaris Dawn මෙහෙයුමේ අරමුණු සහ කාර්ය මණ්ඩලය
Polaris Dawn , අභ්‍යවකාශ ක්ෂේත්රයේ විශේෂ වාර්තා කිහිපයක් පිහිටුවීමට සැලසුම්කර තිබේ. මෙහිදී වාර්තාගත උසකින් අභ්‍යවකාශ කක්ෂයකට යෑමට නියමිත ය. එනම් පෘථිවියෙන් කිලෝමීටර් 1,400ක් පමණ ඉහළට ය. මෙහිදී අධික විකිරණ ප්‍රදේශයක් ලෙස හැඳීන්වෙන South Atlantic Anomaly හරහා ගමන් කරමින් විවිධ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමටයි සැලසුම්කර තිබෙන්නේ. එමෙන්ම, ගගනගාමීන්ගේ ශරීරයට විකිරණ බලපාන ආකාරය පිළිබඳ අලුත් තොරතුරු ලබා ගැනීමට ද කටයුතු කරයි.
මෙම මෙහෙයුමේ ප්‍රධාන ක්‍රියාකාරීත්වය දරන්නෝ
Jared Isaacman- මෙහෙයුමේ නායකයා සහ ව්‍යාපාරිකයා
Sarah Gillis – SpaceX සමාගමේ Crew Dragon පුහුණු අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරිය
Anna Menon – SpaceX සමාගමේ මෙහෙයුම් පාලකවරියක්
Scott Poteet – අවකාශයේ විශේෂ කාර්යභාරයක් දැරීම සහ ගුවන් යානා නියමුවකු ලෙස වැඩසටහනට දායක වීම.
3. ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ ඇවිදීම
Polaris Dawn මෙහෙයුමේ විශේෂ ලක්ෂණය වන්නේ ‘ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ ඇවිදීමක්’ සිදු කිරීමයි. SpaceX සමාගම මෙම මෙහෙයුම සඳහා අභ්‍යවකාශ ඇඳුමක් නිර්මාණය කර තිබේ. NASA ඇඳුම්වලට වඩා මෙය සරල වූවත් Crew Dragon යානයේ සිටින ගගනගාමීහු ඉතාමත් ආරක්ෂිත පරිදි අභ්‍යවකාශයෙන් පිටතට ගොස් පර්යේෂණ සිදු කිරීමට කටයුතු කරති.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය
සීත හිම වැටෙන ඈත රටක රොසාර්කා නම් කුඩා දැරියක් සිටියා. රැලි සහිත හිසකෙස් ඇති රොසාර්කාට ආදරේට කවුරුත් කතා කළේ රෝසි කියලයි. රෝසි තම මව්පියන් සහ කුඩා සහෝදරයා සමඟ ජීවත් වුණේ වනාන්තරයක් අසල කුඩා කඳු ගැටිත්තක පිහිටා තිබූ කුඩා නිවෙසකයි . ඒ සීත ඍතුවයි. සීතල එක් දවසක රෝසි ඇගේ කුඩා සොහොයුරා වන සෑම් සමඟ ඔවුන්ගේ හිම යානයේ නැඟී කන්දෙන් බැස පහළට ගියේ හිම සෙල්ලම් කිරීමටයි.
ඔවුන් හිම ගොඩැල්ලෙහි එකිනෙකා ලුහුබැඳ දිව ගියා. හිම මත එහා මෙහා පෙරළී ගිය අතර, වරින්වර හිම යානය ද පැද ගියා. හිම යානයෙන් හිම බෑවුම පහළට වේගයෙන් යා හැක්කේ කාටදැයි කියා සෙව්වා. දවස පුරාම රෝසි සහ සෑම් එක් වී හිම ගොඩේ සෙල්ලම් කළා. ඒත් සෑම් සෑමවිටම රෝසිට වඩා දක්ෂ වූ අතර, රෝසිට වඩා කඩිසර වුණා.
සෑම් හරිම ඉක්මනට විශාල හිම මිනිසෙක් ගොඩ නැඟුවා. ඒත් රෝසිට ඒ තරම් ඉක්මනට හිම මිනිසෙක් සකසන්න බැරි වුණා. එයිනුත් ජයග්‍රහණය කළේ සෑම්. බෑවුම පහළට හිම යානය දක්ෂ විදිහට පදවන්නත් සෑම්ට හැකි වුණා. රෝසිටත් ඕනෑ වුණේ මොකක් හරි දේකට දක්ෂ වෙන්නයි. “අපි තවත් හිම මිනිසෙක් ගොඩනඟමු!” තම ජයග්රහණයෙන් උද්දාමයට පත් වූ සෑම්, තම වැඩිමහල් සහෝදරිය වූ රෝසිට පැවසුවා. ඒත් රෝසිට හිම මිනිසෙක් සෑදීමට අවශ්‍ය නොවූ අතර, ඇයට අවශ්‍ය වූයේ හිමවලින් දේවදූතයකු සෑදීමටයි . තමන්ගේ කුඩා සහෝදරයා තමන්ට වඩා හැමදේකින්ම දක්ෂයි කියලා සිතෙන කොට ඇයට දුකක් දැනුණා.
හිමේ සෙල්ලම් කරමින් සිටිද්දී රෝසිගේ නාසයට කුඩා හිම පියල්ලක් වැටුණා. රෝසි එය ඇගේ ඇඟිල්ලට රැගෙන හිම පියල්ලේ හැඩය කෙතරම් අලංකාර ද කියා සහ එය හිරු එළියෙන් බබළන ආකාරය නිරීක්ෂණය කළා. එවිට හිම පියල්ල රෝසිට කතා කළා.
“පුංචි ගැහැනු ළමයෝ ඔයා මොකද දුකෙන් වගේ?”
“ඔයාට කතා කරන්න පුළුවන් ද?” රෝසි ඇයගෙන් ඇසුවේ පුදුමයෙන්.
“ඔව්. ඒත් මං කතා කරන්නේ දුකෙන් සිටින අය ඉදිරියේ විතරයි. ඔවුන් සතුටු කිරීමට මට උදව් කරන්න පුළුවන්” හිම පියල්ල සතුටු සිතින් පිළිතුරු දුන්නා.
රෝසි හිම පියල්ලට පැවසුවේ තම කුඩා සහෝදරයා සෑම විටම ඇයව අභිබවා යෑම සහ ඇයට වඩා දක්ෂ වීම ගැන ඇය කෙතරම් දුක් වනවාද යන්නයි.
“වධවෙන්න එපා, ඔයත් යම් දෙයකට දක්ෂ වේවි. ඔයා හොඳ ගැහැනු ළමයෙක් කියලා මට විශ්වාසයි. සමහරවිට ඔයා ඒක දන්නේවත් නැතිව ඇති,”
දිලිසෙන කුඩා හිම පියල්ල රෝසිව ධෛර්යවත් කළා. හිම පියල්ල කතා කළේ කෙසේදැයි රෝසිට තේරුණේ නැහැ.
හිම පියල්ල තමන්ව සතුටු කරන්නේ කෙසේදැයි රෝසිට තේරුණේත් නැහැ. හිම පියල්ල ඇයට පැහැදිලි කිරීමට උත්සාහ කළේ සෑම දෙයකම පළමුවැන්නා වීම වැදගත් නොවන බවත්, වඩා වැදගත් වන්නේ අපව සතුටට පත් කරන දෙයක් කිරීම බවත් ය.
“ඒත් මගේ කුඩා සහෝදරයා සෑම විටම හිම බෑවුමේ දිව එනවිට මට වඩා ගොඩක් වේගවත් වෙනවා. එයා සෑම විටම මට වඩා ඉක්මනින් ලස්සන හිම මිනිසුන් ගොඩනඟන්නේ කොහොමද? ඔහු සෑම විටම මට වඩා දක්ෂයි! ” රෝසි, හිම පියල්ලෙන් ඇසුවේ දුකෙන් වගෙයි. රෝසිගේ කුඩා සහෝදරයා සෑම්, ලොකු හිම මිනිසෙක් හදන හැටි දිහා බලමිනුයි රෝසි හිම පියල්ලෙන් ඒ ප්රශ්නය ඇසුවේ. කෙසේ වෙතත්, සෑම් හිම ගොඩේ දිව යෑමට සහ හිම මිනිසුන් සෑදීමට දක්ෂ විය හැකි වුවත් ඔහු සමහර දේවලට දක්ෂ නොවිය හැකි බව
හිම පියල්ල රෝසිට පැහැදිලි කළා.
“ඔයා ඒ ගැන සෑම්ට ඊර්ෂ්‍යා කරන්න එපා. සෑම කෙනකුටම වෙනස් දෙයක් කරන්න පුළුවන්. සෑම්ට ඔයාට තරම් ලස්සනට ගීත ගායනා කරන්න නොහැකි වෙන්න පුළුවන්. මට විශ්වාසයි! ඔයාට සෑම්ට වඩා ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. ඔයා සෑම් එක්ක එකට සෙල්ලම් කරන කොට ඔයා හරිම ලස්සනට ගායනා කරනවා මට ඇසුණා!” හිම පියල්ල උද්යෝගිමත් හඬකින් පැවසුවා. හිම පියල්ල පැවසූදේ නිවැරැදියි කියලා රෝසිට සිතුණා. මොකද ඇගේ කුඩා සහෝදරයාට ඇයට තරම් හොඳීන් ගායනා කරන්න බැහැ.
හිම පියල්ල කීවාක් මෙන් සෑම කෙනකුටම වෙනස් දෙයක් කළ හැකි නිසා තමන් කුඩා සහෝදරයාට ඊර්ෂ්‍යා නොකළ යුතු බව රෝසිට වැටහුණා. රෝසි හිම පියල්ලට සවන් දුන් අතර, තවදුරටත් දුක් නොවී ඉන්නට ඇය තීරණය කළා. ඇය සතුටින් ගායනා කිරීමටත් ඇගේ කුඩා සහෝදරයා සමඟ හිම මත සෙල්ලම් කිරීමටත් පටන් ගත්තා. හිම පියල්ලෙන් ලැබුණු වටිනා උපදෙස් ගැන රෝසි සතුටු වුණා. ඇය තවදුරටත් තම කුඩා සහෝදරයා වඩා දක්ෂ මොනවාටද හෝ තමන් වඩා දක්ෂ මොනවාටද කියා සොයා බලන්න වධ වුණේ නැහැ. හිම පියල්ල පැවසූ පරිදි, වැදගත් දෙය වන්නේ අප සතුටක් ලබන දේ සහ අප දක්ෂ දේ සොයා ගැනීමයි.
ඉංග්‍රීසි ළමා කතාවක් ඇසුරෙන්
හර්ෂණී ගමගේ
ලොව සෑම රටකම වාගේ ජාතික සංකේත අතරට ජාතික ක්‍රීඩා ද එක්කර තිබේ. එම රටෙහි උපන් ක්‍රීඩාවක් වීම හෝ එම රටෙහි සංස්කෘතියට එම ක්‍රීඩාව විශේෂ සම්බන්ධකමක් දැක්වීම ආදී විවිධ හේතු නිසා එම ක්‍රීඩා එම රටවල ජාතික ක්‍රීඩා බවට පත් වී තිබේ. අද අපි ලොව රටවල් කිහිපයක ජාතික ක්‍රීඩා මොනවාදැයි හඳුනා ගනිමු.
නවසීලන්තය – රග්බි
රග්බි යනු නවසීලන්තයේ ජාතික ක්‍රීඩාවයි. රග්බි ක්‍රීඩාව කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කරයි. එහි එක් කණ්ඩායමකට සාමාජිකයන් පහළොස් දෙනකු ඇතුළත් වේ . රග්බි ක්‍රීඩාව නිර්මාණය වීම සඳහා පාපන්දු ක්‍රීඩාවේ ආභාසය ලැබී ඇති බවට ද කරුණු හමුවී ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රග්බි ක්‍රීඩාව වඩාත් ප්‍රචලිත රට ලෙස අපට නවසීලන්තය පෙන්වා දිය හැකි ය. මෙම ක්‍රීඩාව ක්‍රීඩකයන්ගේ වේගය, ශරීර ශක්තිය හා උපක්රමශීලිත්වය උරගා බලන ක්‍රීඩාවක් ලෙස අපට පෙන්වා දිය හැකි ය.
ප්‍රංශය – ටෙනිස්
ටෙනිස් යනු ප්‍රංශයේ ජාතික ක්‍රීඩාවයි. මෙම ක්‍රීඩාව කේවල හෝ යුගල වශයෙන් සිදු කරන ක්‍රීඩාවකි. මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙඳීවලින් නිමවන ලද පිත්තක් හා ලෝහමය කවරයකින් වැසුණු රබර් බෝලයක් භාවිත කරනු ලැබේ. දැලට උඩින් බෝලය ප්‍රතිවාදී පිටියට පතිත කිරීම සිදුකරනු ලැබේ. රැකට්ටුව නිවැරැදිව භාවිත කළ හැකි සියලු දෙනාට සේම රෝද පුටුවක යන ආබාධිත අයට වුවද මෙම ක්‍රීඩාව සිදු කළ හැකි ය.
රුසියාව – චෙස්
චෙස් යනු රුසියාවේ ජාතික ක්‍රීඩාවයි. මෙය ක්‍රීඩකයන් දෙදෙනකු අතර සිදුවන ක්‍රීඩාවකි. එය ප්රතිනිර්මාණකාරී හා තරගකාරී ක්‍රීඩාවකි. මුල් කාලීන චෙස් ආකාරවලින් හා අනෙකුත් චෙස් ආකාරවලින් එය වෙන්කර හඳුනා ගැනීම සඳහා මෙම ක්‍රීඩාව සමහරවිට බටහිර චෙස් හෝ ජාත්‍යන්තර චෙස් ලෙස හඳුන්වනු ලැබේ. මෙම ක්‍රීඩාව කරනු ලබන්නේ හතරැස් ආකාරයෙන් යුත් චෙස් පුවරුවක ය.
ඔස්ට්‍රේලියාව – ක්‍රිකට්
ක්‍රිකට් ක්‍රීඩාව යනු ඔස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාවයි. මෙය ක්‍රීඩකයන් එකොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩාවකි. මෙය ලොව දෙවැනි ජනප්‍රියම ක්‍රීඩාවයි. මෙය මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස ද හැඳීන්වේ. ක්‍රිකට් ක්‍රීඩාව ටෙස්ට් තරග, විස්සයි විස්ස තරග හා එක් දින තරග වශයෙන් කොටස් තුනකට බෙදනු ලැබේ. මෙහිදී එක් කණ්ඩායමක් පන්දු යැවීම සිදු කරන අතර, අනෙක් කණ්ඩායම පන්දුවට පහර දීම සිදු කරයි.
ස්කොට්ලන්තය – ගොල්ෆ්
ගොල්ෆ් යනු ස්කොට්ලන්තයේ ජාතික ක්‍රීඩාවයි. මෙය එළිමහන් ක්‍රීඩාවක් ලෙස අපට හඳුන්වා දිය හැකි ය. මෙය පිත්තක් හා බෝලයක් භාවිතයෙන් කරනු ලැබේ. මෙහිදී ක්‍රීඩකයන් බෝලයට පහර දීම සඳහා විවිධ පිති භාවිත කරනු ලැබේ. අවම පහරදීම් සංඛ්‍යාවක් මඟින් ගොල්ෆ් පිටිය මත ඇති සිදුරු ශ්‍රේණියක් තුළට බෝලය ඇතුළු වීමට ඉඩ සැලැස්විය යුතු ය.
ඉන්දියාව – හොකී
හොකී යනු ඉන්දියාවේ ජාතික ක්‍රීඩාවයි. එහි එක් පිලකට ක්‍රීඩකයන් එකොළොස් දෙනකු සහභාගි වේ. මෙහිදී ‘ඩධජඬඥර නභජඬ’ නමින් හැඳීන්වෙන බෝලයක් හෝ තද රවුම් ඩිස්කයක් භාවිත කරයි. විරුද්ධ පිලේ දැල තුළට එය පිත්තෙන් වීසි කිරීම මඟින් ගෝලයක් ලබාගත හැකි ය. හොකී යනු කණ්ඩායම් දෙකක් එකිනෙකා පරයා ගෝලයක් වාර්තා කිරීමට ප්රයත්න දරන ක්‍රීඩාවකි.
භූතානය – දුනු ශිල්පය
දුනු ශිල්පය යනු භූතානයේ ජාතික ක්‍රීඩාවයි. දුනු ශිල්පය දළ වශයෙන් ආකාර දෙකක් ලෙස අපට දැක ගත හැකි ය. උසස් තත්වයේ ක්‍රීඩා දුන්නක් සෑදීම සඳහා නිෂ්පාදකයා විසින් ක්‍රීඩකයාගේ වර්ධනය, අත්වල දිග, භෞතික දර්ශක ඊතලය හා වෙඩි තැබීමේ විලාසය යන පරාමිතින් සලකා බලනු ලැබේ. වර්තමානයේ ක්‍රීඩා දුන්නක බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 3.5 – 4.5 අතර වේ. මෙම ක්‍රීඩාව මඟින් අපට වාසි රාශියක් ලබාගත හැකි අතර, එක් අරමුණක් සඳහා සිත යොමු කරගැනීම එයින් ප්‍රධාන වේ.
දකුණු කොරියාව – ටයිකොන්ඩෝ
ටයිකොන්ඩෝ යනු දකුණු කොරියාවේ ජාතික ක්‍රීඩාවයි. ටයිකොන්ඩෝ යනු කොරියානු සටන් කලාවකි. පහරදීම සහ පයින් ගැසීම යන ශිල්පීය ක්‍රම මෙම ක්‍රීඩාවෙහි දැකගත හැකි ය. අපට මෙම ක්‍රීඩාව ආත්මාරක්ෂක ක්‍රීඩාවක් ලෙස ද හඳුන්වා දිය හැකි ය. ටයිකොන්ඩෝ යනු ලෝකයේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවකි.
ඉතාලිය – පාපන්දු
පාපන්දු යනු ඉතාලියේ ජාතික ක්‍රීඩාවයි. පාපන්දු යනු ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාවයි. මෙහිදී එක් කණ්ඩායමක ක්‍රීඩකයන් පහළොස් දෙනෙකු සිටින අතර, එයින් ක්‍රීඩකයන් එකොළොස්දෙනකු පමණක් පිටියේ ක්‍රීඩා කරනු ලැබේ. එයින් එක් අයෙක් දැල් රකින්නා ලෙස ක්‍රීඩා කරනු ලැබේ. සාමාන්‍යයෙන් ගෝල රකින්නාට පමණක් පන්දුව දෑතින් ඇල්ලීමට අවසර ඇති අතර, සෙසු ක්‍රීඩකයන්ට පාදයෙන්, සිරසෙන් හෝ කඳ ආශ්රිත කොටසෙන් පන්දුවට පහර දීමට හැකි ය. මෙහිදී වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගන්නා ලද පිල ජයග්‍රහණය කරනු ලැබේ.
අමෙරිකා එක්සත් ජනපදය – බේස්බෝල්
බේස් බෝල් යනු අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රීඩාවයි. බේස්බෝල් ක්‍රීඩාවට පිත්තක් හා පන්දුවක් භාවිත කරනු ලැබේ. මෙහිදී එක් පිලකට ක්‍රීඩකයන් නව දෙනකු බැගින් ක්‍රීඩා කරනු ලැබේ. කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට පන්දුවට පහර දෙන අතර, මාරුවීමක් සිදුවන්නේ පන්දුවට පහර දෙන කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු දැවී ගිය පසුව ය. ඉනිම නවයක් පුරා දිවයන මෙම ක්‍රීඩාවේ ජයග්‍රහණය ලබාගන්නේ ඉනිම නවයේම වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායමයි.
ශ්වේතා ගිමානි
කහවත්ත මහා විද්‍යාලය
ස්ටැන්ලි මිචෙල් පැල්පත කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ පිහිටා ඇත. මෙය සංචාරකයන්ගේ අවධානයට ලක් වූ ස්ථානයකි. මෙම පැල්පත පිහිටා ඇත්තේ The President නමින් හඳුන්වන කන්ද පාමුල කුඩා තණබිමක ය. ස්ටැන්ලි මිචෙල් පැල්පත නඩත්තු කරන්නේ කැනඩාවේ ඇල්පයින් සමාජය (The Alpine Club of Canada) මඟිනි. ස්ටැන්ලි මිචෙල් වර්ෂ 1907 සිට වර්ෂ 1930 දක්වා කාලයේ මෙහි භාණ්ඩාගාරික සහ ලේකම් ලෙස කටයුතුකර තිබේ. මොහුට එහිදී හමු වූ සාමාජිකයන්ගෙන් සහ සෙසු නිර්මාතෘවරුන්ගෙන් ඔහුට ප්‍රශංසා හිමි විය. වර්ෂ 1940දී ස්ටැන්ලි මිචෙල් මිය ගියේ ය. ඔහුගේ මිය යෑමත් සමඟ මෙම පැල්පතට ඔහුගේ නම තබා ඇත. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට ස්ටැන්ලි මිචෙල් පැල්පත ගැන තොරතුරු රැගෙන එන්නයි.
වර්ෂ 1954 සිට 70 දශකයේ මැද භාගය දක්වා කඳු නැඟීමේ ක්‍රීඩාව ජනප්‍රිය විය. හාන්ස් ග්මෝසර් ඔහුගේ චාරිකාව සඳහා විවිධ ස්ථාන තෝරා ගත්තේ ය. එවැනි අවස්ථාවල ඔහු ස්ටැන්ලි මිචෙල් පැල්පත පිළිබඳ අවධානය යොමු කළේ ය. මෙම පැල්පත අවට අලංකාර තණබිම්, කඳුකර භූමි ද පිහිටා තිබේ. ස්ටැන්ලි මිචෙල් පැල්පත වර්ෂ 1997දී ෆෙඩරල් උරුම ගොඩනැඟිල්ලක් ලෙස නම් කළේ ය.
ස්ටැන්ලි මිචෙල් පැල්පතෙහි විශාල මුළුතැන්ගෙයක් ද ඇත. මෙම මුළුතැන්ගෙය මේස, ළිප, ආසන සහ කෑම කාමරයකින් ද සමන්විත වේ. පිඟන්, හැඳී සහ ගෑරුප්පු වැනි උපකරණ ද මෙම මුළුතැන්ගෙයි ඇත. වතුර බාල්දි, පොරෝ, කියත් සහ සවල් යන මෙවලම් ද මෙහි දැක ගත හැකි ය. ස්ටැන්ලි මිචෙල් පැල්පත ප්‍රොපේන් විදුලි පහන්වලින් ආලෝකවත් වී තිබේ. ඇඳුම් වියළීමට සහ රෙදි මැදීම සඳහා දර ළිපක් ද ඇත. මෙම පැල්පත පිටුපස දර ගබඩාකර තිබේ. ස්ටැන්ලි මිචෙල් පැල්පතට මීටර් 60ක් දකුණින් ඇති තණබිම ඔස්සේ දිවෙන කිවෙටිනොක් විල (Kiwetinok Lake) මඟින් පෝෂණය වන කුඩා දිය පහරක් ඇති අතර, පානය කිරීම සඳහා එහි වැසියෝ මෙයින් දිය ගනිති.
රථයකින් ස්ටැන්ලි මිචෙල් හට් වෙත පැමිණෙන්නෙක් එහි ළඟා වන්නේ යොහෝ වැලි පාරේ සිට ටකාකාව් ඇල්ල දක්වා ධාවනය කිරීමෙන් පසුවයි. එතැන් සිට ලිට්ල් යෝහෝ නිම්න මාවත දිගේ මීටර් 550ක උන්නතාංශයක් සමඟ කිලෝමීටර 10කට ආසන්න දුරක් ඇවිද යෑමට හැකියාව ලැබේ. ඒ යන අතරමඟදී ලාෆින් ඇල්ල ද හමු වේ.
ස්ටැන්ලි මිචෙල් පැල්පතට යෑමට ප්රවේශයන් දෙකක් තිබේ. එනම් ලිට්ල් යෝහෝ නිම්නය සහ අයිස්ලයින් ට්‍රේල් ය. ලිට්ල් යෝහෝ නිම්නය මාර්ගය නිසි ලෙස සංවර්ධනයකර ඇත. මෙම මාර්ගය ඉතා දර්ශනීය වේ. ස්ටැන්ලි මිචෙල් පැල්පත නැරැඹීමට යෑමෙන් ඒ අවට ඇති විස්මයජනක දේවල් නැරැඹීමට ද හැකියාව ලැබේ.
චතුරි ලක්ෂිකා
විදේශීය තොරතුරු
1. ග්‍රීන්ලන්තය පිහිටා ඇත්තේ කුමන සාගරයක ද?
2. නිව්ගිනියාව පිහිටා ඇත්තේ කුමන සාගරයක ද?
3. බෝර්නියෝව පිහිටා ඇත්තේ කුමන සාගරයක ද?
4. මැඩගස්කරය පිහිටා ඇත්තේ කුමන සාගරයක ද?
5. සුමාත්‍රා පිහිටා ඇත්තේ කුමන සාගරයක ද?
6. බැෆින් පිහිටා ඇත්තේ කුමන සාගරයක ද?
7. චිම්බොරසෝ යමහල පිහිටා ඇත්තේ කුමන රටක ද?
8. ගුලාටිරි යමහල පිහිටා ඇත්තේ කුමන රටක ද?
9. ලස්කාර් යමහල පිහිටා ඇත්තේ කුමන රටක ද?
10. කොටොපැස්කි යමහල පිහිටා ඇත්තේ කුමන රටක ද?
11. මිස්ටි යමහල පිහිටා ඇත්තේ කුමන රටක ද?
12. මුහුදු වෙරළක් නොමැති දකුණු ආසියාතික රට කුමක් ද?
13. ලොව දෙවැනියට විශාලතම රට කුමක් ද?
14. ලොව විශාලතම මුහුද කුමක් ද?
15. ටුගෙලා දිය ඇල්ල ඇත්තේ කුමන රටක ද?
16. ඔලෝ වූ පෙනා දිය ඇල්ල ඇත්තේ කුමන රටක ද?
17. ඵඥමඥද ඵඪඵබඥපඵ දිය ඇල්ල ඇත්තේ කුමන රටක ද?
18. ලොව දෙවැනියට උසම දිය ඇල්ල කුමක් ද?
19. ලෝකයේ විශාලතම විල කුමක් ද?
20. සුපීරියර් විල ඇත්තේ කුමන රටක ද?
විද්‍යා තොරතුරු
1. බටනළාව හඬ සම්පාදනය කරන්නේ කෙසේ ද?
2. මුහුදු ජලයේ ඝනත්වය කොපමණ ද?
3. ජලයේ ඝනත්වය කොපමණ ද?
4. පොල්තෙල්වල ඝනත්වය කොපමණ ද?
5. භූමිතෙල්වල ඝනත්වය කොපමණ ද?
6. මළ මුහුදේ ඝනත්වය කොපමණ ද?
7. සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසු ඇයි?
8. පීඩන උඳුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උඳුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩු ය. ඒ ඇයි?
9. හොඳීන් ආලෝකය ඇති තැනක සිට කාමරයක් තුළට පැමිණි විගස මඳ
වේලාවක් යනතුරු කාමරය තුළ ඇති භාණ්ඩ නොපෙනේ. ඒ ඇයි?
10. සහල්වල ඇති ගල්, වැලි ගැරීමෙන් ඉවත් කළ හැක්කේ කෙසේද?
11. කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත. ඒ ඇයි?
12. පලතුරු නරක් නොවී තබා ගැනීම සඳහා ඒවා සාන්ද්‍ර සීනි ද්‍රාවණයක බහා තබනු ලබන්නේ ඇයි?
13. විකිණීමට තබා ඇති පලා ගොඩවල් මතට නිතර නිතර ජලය ඉසින්නේ ඇයි?
14. හාල්මැස්සන් සහ කරවල තක්කාලි දමා පිසීම සුදුසු නොවේ. ඒ ඇයි?
15. මඤ්ඤොක්කා තම්බන විට බඳුන විවෘතව තබන්නේ ඇයි?
16. රසදියේ ඝනත්වය කොපමණ ද?
17. කිරිවල ඝනත්වය කොපමණ ද?
18. පෙට්රල්වල ඝනත්වය කොපමණ ද?
19. ඔලිව් තෙල්හි ඝනත්වය කොපමණ ද?
20. ආලෝකයේ වේගය කොපමණ ද?
දේශීය තොරතුරු
1. ශ්‍රී ලංකාව සිතියම් කීයකට බෙදා තිබේ ද?
2. මින්නේරිය වැව් බැම්මේ උස කොපමණ ද?
3. කලා වැව් බැම්මේ උස කොපමණ ද?
4. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ උස කොපමණ ද?
5. ථූපාරාමය සෑදුවේ කවුරුන් ද?
6. අභයගිරිය සෑදුවේ කවුරුන් ද?
7. ජේතවනාරාමය සෑදුවේ කවුරුන් ද?
8. රුවන්වැලිසෑය සෑදුවේ කවුරුන් ද?
9. මිරිසවැටිය සෑදුවේ කවුරුන් ද?
10. රන්කොත් වෙහෙර සෑදුවේ කවුරුන් ද?
11. පොලොන්නරුව කිරි වෙහෙර සෑදුවේ කවුරුන් ද?
12. යුදගනාව දාගැබ සෑදුවේ කවුරුන් ද?
13. දැදිගම කොටවෙහෙර සෑදුවේ කවුරුන් ද?
14. දෙමළ මහා සෑය සෑදුවේ කවුරුන් ද?
15. මහනුවර රාජධානියේ පළමු රජු කවුරුන් ද?
16. මහනුවර රාජධානියේ දෙවැනි රජු කවුරුන් ද?
17. මහනුවර රාජධානියේ තෙවැනි රජු කවුරුන් ද?
18. යමසිංහ බණ්ඩාර පලා ගියේ කුමන දිස්ත්‍රික්කයකට ද?
19. දෝන කතරිනා යනු කවුරුන් ද?
20. දොන් පිලිප් යනු කවුරුන් ද?
කලා තොරතුරු
1. පබාවතී රචනා කළේ කවුරුන් ද?
2. හුණුවටයේ කතාව රචනා කළේ කවුරුන් ද?
3. The Caucasian chalk circle රචනා කළේ කවුරුන් ද?
4. 20,000 leagues under the sea රචනා කළේ කවුරුන් ද?
5. කබි කහානි රචනා කළේ කවුරුන් ද?
6. සිලිලාරෙක හෙල් මැලී ගායනා කළේ කවුරුන් ද?
7. කබුලිවාලා කෙටිකතාව රචනා කළේ කවුරුන් ද?
8. සිලිලාරෙක හෙල් මැලී රචනා කළේ කවුරුන් ද?
9. සන්ධ්‍යා සංගීත් රචනා කළේ කවුරුන් ද?
10. මල් මල් වාරම් ගීතය රචනා කළේ කවුරුන් ද?
11. මල් මල් වාරම් ගීතය ගායනා කළේ කවුරුන් ද?
12. පියාසර කර ආමි ගීතය රචනා කළේ කවුරුන් ද?
13. පියාසර කර ආමි ගීතය ගායනා කළේ කවුරුන් ද?
14. “ඇත්ත කියනු යෙහෙකි” මෙය කුමන නාට්‍යයක කොටසක් ද?
15. යළි උපන්නෙමි රචනා කළේ කවුරුන් ද?
16. රන් තැටියක කඳුළු රචනා කළේ කවුරුන් ද?
17. රන් තැටියක කඳුළු රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ කුමන අවුරුද්දක ද?
18. කවි දසුන රචනා කළේ කවුරුන් ද?
19. ඇසේ මතු වන ගීතය රචනා කළේ කවුරුන් ද?
20. ඇසේ මතු වන ගීතය ගායනා කළේ කවුරුන් ද?
නව සොයා ගැනීම්
1. රේඩියම් සොයා ගත්තේ කවුරුන් ද?
2. යුද සබ්මැරීනයක් පළමු වරට නිර්මාණය කළේ කවුරුන් ද?
3. ටයිටැනික් නැව නිර්මාණය කළේ කවුරුන් ද?
4. පොලෝනියම් සොයා ගත්තේ කවුරුන් ද?
5. ඇමොක්සිලින් සොයා ගත්තේ කවුරුන් ද?
6. ඇමොක්සිලින් සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
7. එරිත්‍රොමයිසින් සොයා ගත්තේ කවුරුන් ද?
8. එරිත්‍රොමයිසින් සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
09. ග්රැමෆෝනය නිර්මාණය කළේ කවුරුන් ද?
10 ග්රැමෆෝනය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
11. ඩී. එන්.ඒ. සොයා ගත්තේ කවුරුන් ද?
12. ඩී.එන්.ඒ. සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
13. බයිසිකලය නිර්මාණය කළේ කවුරුන් ද?
14. බයිසිකලය නිර්මාණය කළේ කුමන අවුරුද්දක ද?
15. ගුරුත්වාකර්ෂණය සොයා ගත්තේ කවුරුන් ද?
16. ගුරුත්වාකර්ෂණය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
17. ගූගල් නිර්මාණය කළේ කවුරුන් ද?
18. ගූගල් නිර්මාණය කළේ කුමන අවුරුද්දක ද?
*******************
දේශීය තොරතුරු – පිළිතුරු
1. 92
2. 44
3. 40
4. 40
5. දේවානම්පියතිස්ස රජු
6. වළගම්බා රජු
7. මහසෙන් රජු
8. දුටුගැමුණු රජු
9. දුටුගැමුණු රජු
10. නිශ්ශංකමල්ල රජු
11. පරාක්‍රමබාහු රජු
12. පරාක්‍රමබාහු රජු
13. පරාක්‍රමබාහු රජු
14. පරාක්‍රමබාහු රජු
15. සේනාසම්මත වික්‍රමබාහු රජු
16. ජයවීර බණ්ඩාර රජු
17. කරලියද්දේ බණ්ඩාර රජු
18. මන්නාරම
19. කුසුමාසන දේවිය
20. යමසිංහ බණ්ඩාර
විදේශීය තොරතුරු- පිළිතුරු
1. අත්ලාන්තික් සාගරය
2. පැසිෆික් සාගරය
3. පැසිෆික් සාගරය
4. ඉන්දියන් සාගරය
5. ඉන්දියන් සාගරය
6. අත්ලාන්තික් සාගරය
7. ඉක්වදෝරය
8. චිලී
9. චිලී
10. ඉක්වදෝරය
11. පේරු
12. භූතානය
13. කැනඩාව
14. දකුණු චීන මුහුද
15. දකුණු අප්‍රිකාවේ
16. අමෙරිකා එක්සත් ජනපදය
17. නෝර්වේ
18. ටුගෙලා
19. සුපීරියර් විල
20. උතුරු අමෙරිකාවේ
කලා තොරතුරු – පිළිතුරු
1. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
2. හෙන්රි ජයසේන
3. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
4. ජූල්ස් වර්න්
5. රබීන්ද්‍රනාත් තාගෝර් මහතා
6. ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා
7. රබීන්ද්‍රනාත් තාගෝර් මහතා
8. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා
9. රබීන්ද්‍රනාත් තාගෝර් මහතා
10. කැලිස්ටස් ජයසිංහ
11. සුනිල් සාන්ත
12. සුනිල් සරත් පෙරේරා
13. ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා
14. සිංහබාහු නාට්‍යය
15. ගුණදාස අමරසේකර මහතා
16. දයාසේන ගුණසිංහ
17. 1947 වසරේදී
18. පී. මල්ලගොඩ
19. මහගමසේකර මහතා
20. ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා
විද්‍යා තොරතුරු – පිළිතුරු
1. වාතයෙන්
2. 1025 kg/m3
3. 1000 kg/m3
4. 900 kg/m3
5. 790 kg/m3
6. 1240 kg/m3
7. සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසු ය. පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩු ය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩි වේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකි ය.
8. පීඩන උඳුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උඳුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩු ය. පීඩන උඳුනක් තුළ පීඩනය අධික ය. එම නිසා කඩල සමඟ ඇති ජලයේ තාපාංකය ඉහළ යයි. සෙන්ටිග්‍රේඩ් අංශක 100දී ජලය හුමාලය බවට පත් නොවී ජලයේ උෂ්ණත්වය ඉහළ යයි. එම නිසා කඩල ඉක්මනින් තැම්බේ.
9. හොඳීන් ආලෝකය ඇති තැනක සිට කාමරයට පැමිණි විගස මඳ වේලාවක් යනතුරු කාමරයෙහි ඇති භාණ්ඩ නොපෙනේ. ඇසේ කණීනිකාව හොඳීන් ආලෝකය ඇති විට කුඩා වේ. ආලෝකය අඩු වූ විට විශාල වේ. ආලෝකය ලැබෙන ස්ථානයේ සිටින විට කුඩා වූ කණීනිකාව කාමරයට පැමිණි විගස විශාල නොවීමෙන් කාමරයෙහි අඩංගු භාණ්ඩ පැහැදිලිව නොපෙනේ.
10. ගල්, වැලිවල ඝනත්වය සහල්වල ඝනත්වයට වඩා වැඩි ය. එම නිසා සහල්වලට වඩා ගල් වැලි යටට යයි. සහල් ගැරීමේදී ඝනත්වයෙන් අඩු සහල් ඉවත් වන අතර, ඝනත්වයෙන් වැඩි ගල් වැලි භාජනය පතුලේ රැඳෙයි.
11. කල්ගත වූ ආප්ප සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත. පිටි පිපීම සඳහා භාවිත කරන ආප්ප සෝඩා හෙවත් සෝඩියම් බයිකාබනේට් මඟින් කාබන්ඩයොක්සයිඩ් සෑදෙයි. එහෙත් කල්ගත වූ ආප්ප සෝඩා යෙදූ විට කාබන්ඩයොක්සයිඩ් සෑදීම සිදු නොවන නිසා පිටි පිපීම සිදු නොවේ.
12. පලතුරු නරක් නොවී තබා ගැනීම සඳහා ඒවා සාන්ද්‍ර සීනි ද්‍රාවණයක බහා තබනු ලැබේ. පලතුරු මත ක්ෂුදු ජීවීන්ගේ වර්ධනය නිසා ඒවා නරක් වේ. එහෙත් පලතුරු සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් තුළ බහා තැබීමේදී සීනි ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි නිසා පලතුරුවල ජලය සීනි ද්‍රාවණය මඟින් උරා ගනී. එවිට ක්ෂුදු ජීවීන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ජලය නොලැබී යෑමෙන් වර්ධනය අඩාල වීම නිසා පලතුරු නරක් නොවේ.
13. විකිණීමට තබා ඇති පලා ගොඩවල් මතට නිතර නිතර ජලය ඉසිනු ලැබේ. පලා ගොඩවල් මතට ජලය ඉසීමෙන් ඒ අවට වාතයේ ආර්ද්‍රතාව වැඩි වේ. මේ නිසා පලාවල උත්ස්වේදනය මඟින් ජලය ඉවත් වී යෑම අඩු වී පලා වියළීමෙන් ආරක්ෂා වේ.
14. හාල්මැස්සන් සහ කරවල තක්කාලි දමා පිසීම සුදුසු නොවේ. හාල්මැස්සන්ගේ කැල්සියම් වැඩිපුර අඩංගු ය. තක්කාලිවල ඔක්සලික් අම්ලය තිබේ. මේ දෙක එකතුවීමේ දී කැල්සියම් ඔක්සලේට් නමැති ජලයේ එතරම් දිය නොවන ස්ඵටික සාදයි. මේවා මූත්‍රාශයේ බිත්තිවල තැන්පත් වීමෙන් මූත්‍රා රෝග සෑදීමට හේතු වෙයි.
15. මඤ්ඤොක්කා තම්බන විට බඳුන විවෘතව තැබිය යුතු ය. මඤ්ඤොක්කාවල සයනයිට් සංයෝග ඇත. ඒවා සිරුරට විෂ සහිත ය. මඤ්ඤොක්කා තැම්බීමේදී සයනයිට් සංයෝග වාෂ්ප වී යයි. එහෙත් බඳුන වසා තැම්බූ විට මෙම සයනයිට් පිට නොවී බඳුනේ රැඳී ජලයේ දිය වෙයි. ඒ නිසා ඒවා අනුභව කිරීමෙන් ශරීරයට හානි පැමිණිය හැකි ය.
16. 13,600 kg/m3
17. 1030 kg/m3
18. 800 kg/m3
19. 920 kg/m3
20. 300, 000, 000 km/h
නව සොයා ගැනීම්
1. මාරි කියුරි සහ පියරේ කියුරි
2. Robert Fulton, 1800 පමණ.
3. රොබට් බාලඩ් (Robert Ballard), 1985
4. මාරි කියුරි සහ පියරේ කියුරි
5. බැක්ටීරියා විනාශකයක් ලෙස බිහි කළේ 1970 දී, Beecham Group විසින්
6. 1970.
7. Abelardo Aguilar (පිලිපීන ජාතිකයකු), 1949
8. 1949
9. තෝමස් අල්වා එඩිසන්
10. 1877
11 වොට්සන් සහ ක්‍රික් (James Watson සහ Francis Crick)), 1953
12. 1953
13. Karl von Drais
14. 1817
15. අයිසැක් නිව්ටන්
16. 1687 පමණ.
17. ලැරී පේජ් සහ සර්ජි බ්‍රින්, 1998
18. 1998
අකීෆ් අහමඩ්
මුළු අහසම වසාගත් බීරානිය පරිසරයම අඳුරුකර ඇත. වැස්සක ලකුණුූ පහළ වන්නට විය. හීන් සිරිපොද එක, දෙක වැටෙද්දී අම්මා අප දෙදෙනාට කතා කළා ය.
“නියඟට ගුඩුවෙලා තිබුණ පොළොව තෙතබරියන් කරන්නයි හදන්නෙ. මං පියදාසට එන්න කිව්වා අර බතල කඳු ටික හදාගන්න. ලොකු වැස්සක් ආවොත් නම් කරන්න බැරිවෙයි.” ආත්තම්මා කීවා ය.
“ඔන්න කංචු වහිනවා. උඹ මොකද කරන්නේ?” යැයි අසාගෙන කරුණෙ ගෙට ගොඩ විය.
මම කුස්සියේ සිට කරුණෙගෙ හඬ ඔස්සේ මිදුල අයිනට ගියෙමි.
“මට තේරුණා ගෙම්බො කෑ ගහන සද්දෙන්ම ළඟදි වැහි ඇල්ලක් එයි කියලා”
අප්පච්චි තමන්ගේ අනාවැකිය හරි බව සනාථකර සිටියේ ය.
“කොහොමද මාමා ගෙම්බන් කෑගැහුවාම වහී කියන්නෙ?”
“ඒ කෑ ගහන සද්දෙට. හොඳට බිමට බරට කෑගැහුවොත් දවස් දෙක තුනක් ඇතුළතදී වහිනවාමයි. ඒ වගේම මම ඔය ළමයට තව එකක් කියන්නම්. ඔය දිගින් දිගට පේළි හැදිලා කුහුඹුවො යන්නෙ, උනුත් කියන්නෙ අපට වැස්සක් ළඟ බව පුතේ. ඊළඟට කොබෙයියන් ගුරු ගුරු ගගා කරන සද්දෙන් අඟවන්නෙත් වැස්සක් ළඟ බවමයි. වැහි ලිහිණි උඩ ආකාසේ කැරකෙමින් පියාඹයි නම් ඒකත් එක වැහි ලකුණක්. ඕව පුතේ ඔය පාරම්පරික ඥානය” අප්පච්චි කීවේ ය.
“ඒ වගේම තමයි වෙලාව බලාගැනීම. ඒකටත් ඔය වගේ ක්‍රම තියෙනවනේ. එකක් තමා හෙවණැල්ල අනෙක හිටි පියවර මැනීම. ඉස්සර අපේ අප්පච්චිලාගෙ කාලෙ ඔය ඔරලෝසු තිබුණ යැ. එහෙම නැතත් ඒ මිනිස්සුත් වෙලාව බැලුවනේ.” අප්පච්චි අපට දිගු විස්තරයක් කළේ ය.
“ඔය වගේ සිරිත් කොයි තරමක් නම් අපේ පැරැණි මුතුන් මිත්තන් අතර තිබුණ ද? ඒත් දැන් ඒවා හුඟක් දුරට විනාශ වෙලා ගිහින්. කොටින්ම කියනවනම් බාලපරම්පරාව ඒවා අමතක කරදාමින් ගිහිල්ලා. එහෙම හොඳ නෑ. අපි එකල පැවති එයාලාගෙ ඥානයට, දැනුමට ගරු කරන්න ඕනේ.”
“ආං……….අර දෙන්නත් මේ පැත්තට එනවා.” විමලෙත් සුගතෙත් ගේ පැත්තට එමින් සිටිනු දුටු කරුණේ කීවේ ය.
“මොකද මේගොල්ල මේ පාන්දරම ලොකු සාකච්ඡාවක් ද?” විමලේ ඇසුවේ ය.
“මේ විදානෙ මාමා අපට ඉස්සර තිබූ තොරතුරු ටිකක් කිව්වනේ. අනේ මාමෙ ඒ වගේ පරණ විස්තර තියෙනවා නම් අපටත් කියන්නකො.” සුගතේ ආරාධනා කළේ ය.
“ඔන්න එහෙනම් අහගන්නකො. මං අහපුව, දොඩාපුවා දෙක තුනක් කියන්නම්” අප්පච්චි කතාවට හවුල් වූයේ ය.
“අපේ පැරැණි අය හරියට නැකැත් විශ්වාස කළා. ඉතින් ඒව බොහොම වෙලාවට හරි.”
“ගමනක් බිමනක් යද්දිං……..ඔන්න පිටත් වෙන්න හදන කොටම හූනෙක් ඇඬුවොත් මිනිත්තුවක් දෙකක් පහුවෙලා තමයි ඒ ගමන යන්නෙ. ඉතින් ඒක වරදින්නෙ නෑ. ඊළඟට හොඳ ගමනක් (මනාලියක් බලන්න යන එකක් නැතිනම් ආණ්ඩුවෙ රස්සාවකට යන එකක්) යන්න ඕනෙනම් දකුණු කකුල ඉස්සරහට තියලා, මරුට පිටුපාලා දිසාව තීරණය කරගෙන තමා යන්නෙ. දැන් වගේ ඔය හිතුණ හිතුණ ගමන් බැහැලා යන්නෙ නෑ.” අප්පච්චි තම දැනුම බෙදා දුන්නේ ය.
“ඉස්සර වගේ හූනො දැන් නෑ මාමා. උන් නැකැත් දන්නව නම් මොකද මාමා පොල් අත්තෙත් බිත්තර දාන්නෙ ?” කරුණේ තම ගැටලුව අප්පච්චිට ඉදිරිපත් කළේ ය.
“ඔය උඹලගෙ පැහිච්චකම් හින්ද තමයි කිසි දෙයක් යා දෙන්නෙ නැත්තෙ.” මේසය ළඟ ඉඳගෙන පැදුරක් පුරන ආත්තම්මා කීවා ය.
“දරුවනේ කාලයත් එක්ක මිනිසුන් විශ්වාස කරපු සමහර දේවල් වරදිනවා. මම අද කියන්නම්. ඔය පෙර කාලෙත් අද වගේම නුවණින් අඩු මහදැනමුත්තා තමයි ගමටම හිටිය දැන මුත්තා. ඒත් එයාගෙ වැඩ හරි ද? ඔය දරුවො අහලා ඇතිනේ ඒ කතන්දර. අර එළුවා බේරපු හැටි එහෙම. ඔළුව මුට්ටියට දාපු එළුවගේ හිස බේරන්න ඕනේ කොහොමද කියල මහදැනමුත්තගෙන් ඇහුවම මුට්ටිය බේරගන්න එළුවගෙ බෙල්ල කපන්න කීවලු. ඊට පස්සේ අර හිස බේරන්න මුට්ටිය බිඳින්න ඕනේ කිව්වලු. ඔන්න මහදැනමුත්තගෙ නුවණ. මුට්ටියත් බිඳුණා. එළුවත් මැරුණා.
කතන්දර එහෙම හැදුවට දරුවනේ සිංහලයො එච්චර
මෝඩ නෑ. “ ආත්තම්මාගේ ප්‍රතිචාරය එයයි.
“මෝඩ නැත්නම් ආත්තම්මෙ අර මී රා බීපු මිනිස්සු ඒවා ළිඳේ වතුරය කියලා රෑ රාත්තිරියෙ ළිඳ තඩලාගෙන යන්න ආවාය කියන්නෙ.”
“හරි…………හරි…………ඒවා ගොතපු කතන්දරය කියලා හිතන්න බැරි අයත් ඉන්නවනේ. අන්න උනුත් මෝඩයො.”
“අපි ඔය කතාවල් ඇදගෙන හිත් අමනාප කරගන්න කාරි නැහැනේ.” ආත්තම්මා නැඟිට ගෙට ගියා ය.
“කොහෙද ඉතින්…….මුකුත් කියන්න හැටියක් නැහැනේ. ආත්තම්මාට කේන්ති යනවා.”
“ඉතින් කංචු අද මොකද කරන්නෙ?”
“මං දන්නෙ නෑ. ඔයාල කරන දේකට මාත් මල්ලිත් එක්ක එනවා……..”
“සුගතෙ, කියනවා සිරිමලා තොරණට රූප රාමු අඳින තැනට යමු කියලා. විමලෙ කියනවා මහවළේ කොහිල කපන්න යමු කියලා. සෝමෙ කතා කළා. එයාලගෙ දෙණියෙ තේ පැළ හිටෝමු කියලා. සල්ලිත් දෙන කතාවකුත් කිව්වා.”
“ඉතින් අපි මොනවද කරන්නෙ.?
“සෝමෙ අපි එක්ක වැඩි ආස්සරයක් නම් නෑ. ඒ වුණත්.තරහක් නෑ. ඌ අපට ඉහළ කැලෑසියෙ නොව.”
“කොහෙද එයාලගෙ ගෙවල්. මං නම් දන්නෙ නෑ. ඔය තලාව කියන හරියෙලු. එහෙනම් අපි එයාට දවසෙන් බාගයක්වත් උදව් වෙලා එමු නේද?”
ගල් මුල් උඩින් පැන පැන අපි කැකිල්ල ගාලවල් මැදින් සෝමේ කියූ ඉසව්වට යෑමට පිටත් වුණෙමු.
“කොල්ලො වුණහම ගමේ, රටේ ඇවිදින්න ඕනෙ. ඔය කඳු දෙවරාව මැදින් ගියාම මහවේල්ල හමුවෙනවා. ඒ වේල්ල දෙපසෙ තියෙන්නෙ කුඹුරු යායක්. ඒ කුඹුරු යාය අයිනෙන් ගලාගෙන යනවා පිටවාන් වේල්ලක්. ඒ වේල්ලෙන් එගොඩ වුණාම හමුවෙන්නෙ දෙණිය. දෙණිය පහු කළාම හම්බ වෙන්නෙ තලාව. ඒක ලොකු ප්‍රදේශයක්. ඒකෙ ගෙවල් තියෙනවා. ඔය හරියට ගෙහුන් සෝමෙලාගේ ගෙදර ගැන අහලා බැලුවම හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.” අප්පච්චි කීවේ ය.
“අනේ හැබෑටම මේ අප්පොච්චා නම් පුදුම ජාතියෙ මිනිහෙක්. කොල්ලන්ට යන්න පාරත් කියල දෙනවා.” ආත්තම්මා කියවන්නට වූවා ය.
“කොල්ලො රට, ගම, මඟතොට දැන ගන්න ඕනෙ අම්මෙ. නිකං ගෙහුං අතරමං වුණාම කාලය අපරාදෙනේ. අම්මෙ.”
“ඔව්……..ඉතින් උඹලා කරන කියන සේරම හරි.” ඇය කියනු ඇසුණි.
අප දෙණියෙ ළඟට යද්දින්ම සෝමෙ අප ඉදිරියට දිවගෙන ආවේ ය.
“මහ ගෙදර දන්නෙ නෑ ඔයාලා එන බව. කිව්වට මම හිතුවෙත් නෑ ඔයාලා ඒවිය කියලා. අහළ පහළ මාමලා තුන් හතර දෙනෙකුත් ආවා.
දැන් ඔයාලත් හතර දෙනෙක් ඉන්නවා.”
සමහරෙක් අලවංගු ගෙන කබොක්ගල් පල්ලමට පෙරළා දමති. තව කෙනෙක් අවට බටපඳුරු මුලින්ම ගලවා පල්ලමටම රූටා දමති. සෙලවීමටවත් බැරි මහ ගල් පරුවතය මඟහැර සෙසු බිම මට්ටම් කරන්නට
අපි ද දායක වීමු. උඩහින් තිබූ මායිමේ පැළක තේ මුට්ටියක් පැහැ දමමින් තිබෙනු දැකිය හැකි විය. මඤ්ඤොක්කා අල පුලුස්සා පුවක් කොළපතක තබා ඇත.
“පුතේ! ඔය යාළුවන්ව එක්ක එන්න. මාමලාටත් එන්න කියන්න කහට ටිකක් බොන්න” සෝමෙගෙ තාත්තා දෙණිය ඉහත්තාවේ සිට කෑ ගසයි.
“හා….හා…. යමු. යමු මාමලත් යමුකො තේ බොන්න.” සෝමේ කීවේ ය.
අපි කවුරුත් එකාවන්ව ආවෙමු. පැල ඇත්තේ මහා දඹ ගසක් සෙවණේ ය. සුළං පහර නිසා දාහය එතරම් නොදැනුණ ද, දැඩි වෙහෙසක් දැනෙන්නට විය. අපි සෝමෙගේ වාඩි තේ එකක රස බලන ගමන් වේලාසනින් යන බව ද ඔහුට කීවෙමු.
“අපි ආවෙ උදව්වට. සල්ලි බලාගෙන නෙවෙයි සෝමෙ.
“මේ විදානෙ මහත්තයගෙ පුතංඩිය නේද ?” කෙනෙක් සෝමෙගෙන් ඇසුවේ ය.
“ඔව් මාමා හරි. ඔය ටිකිරි මල්ලියි කංචුයි දෙන්නම එහේ ගෙදර..” සෝමේ කීවේ ය.
“මං මේ දරුව දැකලා තියෙනවා හාල්පොත් ගන්න ගියපු දවසෙ. ඒකයි ටක්කෙට මතක හිටියෙ.” ඒ මාමා කීවේ ය.
“ඒ වුණාට තව ටිකකින් යන්න ඕනෙලු. මං ඊයෙ කිව්වට හිතුවෙ නැ මෙයාලා එයි කියලා.”
“ඔන්න අපි ගැන විශ්වාස කරාපු හැටි නැද්ද මාමෙ.” කරුණේ කීවේ ය.
“එහෙම යන්න බෑ. දවල්ට මොනාහරි කාලා යන්න. අම්මා තව පොඩ්ඩකින් කෑම ටික අරන් ඒවි..” සෝමේ කීවේ ය.
අපි කිසිවක් නොකියා සකස් කරන ලද වළවල්වල තේ පැළ සිටවූයෙමු.
රත්නා කහඳගමගේ