මහියංගනං නාගදීපං – කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී – චේතියංච මුතිංගණං
තිස්සමහා විහාරංව – බෝධිමරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං – ථූපාරාම භයාගිරිං
ජේතවනං සේලචේතියං – තථා කාචරගාමකං
ඒතේ සොළසථානානි – අහං වන්දාමි සබ්බදා
බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ ස්ථාන දහසය පිළිබඳ මෙම ගාථාවෙන් කියැ වේ. සොළොස්මස්ථාන අතුරින් මහියංගණය , නාගදීපය , කැලණිය සහ ශ්‍රී පාදස්ථානය යන ස්ථාන සතරට බුදුරජාණන් වහන්සේගේ වැඩම කළ බව මහාවංශයේ කියැ වේ. මෙම ස්ථානවල බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් තැන්පත් කොට පුද සත්කාර කරනු ලබයි. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ සොළොස්මස්ථාන ඇසුරෙන් ය.
මහියංගණ චෛත්‍යය
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බිංතැන්න කෝරළයේ මහවැලි නදිය සමීපයේ මහියංගණ චෛත්‍යය පිහිටා ඇත.
ශ්‍රී ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය මුලින්ම සිදු වූයේ මෙම ස්ථානයේදී ය. බුද්ධත්වයෙන් මාස නවයකට පසු දුරුතු පෝය දිනෙක බුදුරජාණන් වහන්සේගේ යක්ෂ ගෝත්‍රිකයන් දමනයකර බුදු සසුන පිහිටුවීමට සුදුසු දේශයක් බවට පත් කිරීමේ අරමුණු ඇතිව මේ බිමට වැඩම කළ බව ඉතිහාසයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු මෙම චෛත්‍යයේ තැන්පත්කොට ඇත. මෙම චෛත්‍යය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිනි.
නාගදීපය
නාගදීප විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ බක් පොහොය දිනක මැණික් පුටුව වෙනුවෙන් අරගල කළ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දමනය කිරීම මෙහි විශේෂ සිදුවීම වේ. නාග ගෝත්‍රිකයන් විසූ දිවයින හෙයින් මෙය නාගදීපය නම් විය.
කැලණිය
කැලණිය රාජ මහා විහාරය හෙවත් කැලණිය පන්සල ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණි ගඟ අසබඩ කැලණිය ප්‍රදේශයේ පිහිටා ඇත.
කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවැනි මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8ක් ගත වූ කාලයේදී ය. බුදු හිමි වැඩ සිට ධර්මය දේශනා කළ මැණික් එබ්බ වූ ආසනය නිදන්කර කැලණිය ස්ථූපය ඉදිකරවා ඇති බව මහාවංශයේ සඳහන් වේ.
ශ්‍රී පාදස්ථානය
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසින් යුක්ත වේ.
ශ්‍රී පාදස්ථානය බෞද්ධයන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්තිවලින් වට වී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී වන සතුන් මෙන්ම ඒකදේශික සත්ත්ව විශේෂ ද ජීවත් වෙති.
ශ්‍රී පාදස්ථානය යනු සමනල කන්ද මුඳුනේ පිහිටා ඇති සිරි පතුල සහ ඒ ආශ්‍රිතව ගොඩනැඟී ඇති බෞද්ධ සිද්ධස්ථානයයි. එහි බුදුරදුන්ගේ වම් සිරිපා සලකුණ පිහිටුවා ඇත.
දිවා ගුහාව
දිවා ගුහාව පිහිටා ඇත්තේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බව විශ්වාස කෙරේ. බුදුරජාණන් වහන්සේ සමන්ත කූටයට වැඩ ගිරග මත සිරිපා ලකුණ සටහන්කර දිවා විහාරය සඳහා කඳු ශිඛර පාමුල වූ ගුහාවකට වැඩිය බව වංශ කතාවල සඳහන් වේ. බුදුරජාණන්වහන්සේ දිවා කාලය විවේක සුවයෙන් ගත කළ ස්ථානය නිසා මෙය දිවා ගුහාව ලෙස හඳුන්වයි. භගවා ගුහාව, භගවා ලෙන යන නම්වලින් මෙය හඳුන්වයි.
දීඝවාපී චෛත්‍යය
නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයේ සිට මඳ දුරක් ගියවිට දක්නට ලැබෙන තැනිතලා වෙල් යායක මෙම චෛත්‍යය පිහිටා ඇත. පාලි සහ සංස්කෘත වදනින් දීඝ යනු ‘දිග’ සහ වාපි යනු ‘ජලාශ’ය යන්න වේ. බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. බුද්ධ වර්ෂ 407 හෙවත් ක්‍රි.පූ.137 දී සද්ධාතිස්ස රජු විසින් සර්වඥ ධාතූන් ( බුදුරජාණන් වහන්සේගේ වම් නිය) නිදන් කොට මෙම චෛත්‍යය ඉදිකළ බව මහාවංශයේ සඳහන් වේ.
මුතියංගණය
මුතියංගණ රාජ මහා විහාරය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ පිහිටා ඇති පුරාණ රාජමහා විහාරයකි. ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවැනි දවස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟින් කැලණියට වැඩම කළ අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙත වැඩම කළ බව මූලාශ්රවල සඳහන් වේ. මෙම සෑ ගර්භයේ බුදුරජාණන් වහන්සේගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේශ ධාතුන් වහන්සේලා තැන්පත්කොට ඇත. බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කළ දාදිය බිඳු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.
තිස්සමහාරාම විහාරය
තිස්සමහාරාම විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ තිස්සමහාරාමයේ පිහිටා ඇත. මෙම විහාරය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී රුහුණේ කාවන්තිස්ස රජු විසින් ඉදිකර තිබේ. තිස්සමහාරාම රාජ මහා විහාර පරිශ්‍රයේ ඉදිකොට ඇති තිස්සමහාරාම දාගැබ, ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට ඇති විශාලතම දාගැබ් අතුරින් එකක් වෙයි. එය බුබ්බුලාකාර හැඩයෙන් නිමවා ඇත. මෙම චෛත්‍යයෙහි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන්කර ඇති බව කියැවේ.
ජය ශ්‍රී මහා බෝධිය
ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි පූජනීය ඇසතු වෘක්ෂයකි. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැළයකි. මෙය පැළ කරන ලද්දේ කි.පූ 288දී පමණ ය. එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිටවූ කාලය දන්නා පැරැණිම වෘක්ෂය ලෙස වාර්තාගත වෙයි. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ශ්‍රී ලංකාවේ දෙවැනි පෑතිස් රජතුමාගේ ඉල්ලීමක් අනුව ශ්‍රී මහා බෝධීන්වහන්සේ සඝමිත් තෙරණිය විසින් මෙරටට වැඩම කරන ලදි.
මිරිසවැටි වෙහෙර
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයට අයත් පෙදෙසේ පිහිටා ඇත.
ක්‍රිස්තු පූර්ව 161 – 137 කාලයේ ශ්‍රී ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස මිරිසවැටි චෛත්‍යය හැඳීන් වේ. මෙම චෛත්‍යය සාදා නිමවා පූජා කිරීමේදී රහතුන් වහන්සේලා එක්ලක්ෂ අනූදහසක් එම ස්ථානයට වැඩමකර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. දුටුගැමුණු රජතුමා විසින් මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් ව්‍යාංජනයක් වැළඳූ එක් අවස්ථාවක් සිහිවූ රජතුමන් මහා සංඝයාට පිළිගැන්වීමට මෙය කරවූ බව කියැවේ. මෙහි සර්වඥ ධාතූන් වහන්සේලා ද දුටුගැමුණු රජතුමාගේ කුන්තායුධය ද නිදන්කර ඇත.
රුවන්මැලි මහා සෑය
රුවන්මැලි මහා සෑය ස්වර්ණමාලි මහා සෑය, රත්නමාලී මහා සෑය, අසදෘශ මහා සෑය, මහා ථූපය හා මහා ස්ථූපය යන නම්වලින් ද හඳුන්වයි. මෙය ශ්‍රී ලංකාවේ ශාරීරික චෛත්‍යයකි. මෙය අතීතයේ මහා විහාරයට අයත් වූ ප්‍රධානතම දාගැබ විය. මෙය වර්තමනයේ අටමස්ථානවලට
අයත් වේ. උසින් අඩි 338ක් සහ අඩි 942ක් පමණ විෂ්කම්භයකින් යුක්ත මෙය ලෝකයේ උසම ස්මාරකය වේ. මෙම චෛත්‍යයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇත. දුටුගැමුණු රජු විසින් කරවන ලද මෙම සෑය සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලදි.
ථූපාරාමය
බුද්ධාගම හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද පළමු දාගැබ ථූපාරාමය වේ. ස්ථූපය සහ ආරාමය යන වචන එක්වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇත. මෙම ස්ථානය
සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය. මෙම චෛත්‍යය දෙවන පෑ තිස් රජු විසින් කරවන ලදි. උස අඩි 63ක් හා වට ප්‍රමාණය අඩි 194කි. මෙහි අලංකාරය හා ආරක්ෂාව පිණිස වටිනා වටදාගෙයක් ද සාදා ඇත. මෙම චෛත්‍යයෙහි කකුසඳ බුදුරදුන්ගේ ඩබරාධාතුව ද, කෝණාගමන බුදුරදුන්ගේ පටීධාතූන් ද, කාශ්‍යප බුදුරදුන්ගේ ජලසාටිකාව ද තැන්පත්කර ඇත.
අභයගිරි චෛත්‍යය
ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ, අභයගිරි දාගැබ පිහිටා ඇත.
වළගම්බා රජතුමන් විසින් ගිරි නම් නිගණ්ඨයා විසූ නිගණ්ඨාශ්රමය තිබූ තැන්හි ඉදිකළ හෙයින් අභයගිරිය යන නමින් හැඳීන්වේ. මෙම චෛත්‍යයෙහි සර්වඥ ධාතූන් ද, රන්පත් ඉරුවල ලියන ලද දහම් පොත් ද, මිණිකම් කරන ලද සුරම්‍ය ධාතු ද තැන්පත් කර ඇති බව කියැවේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් මත මෙම ස්ථූපය ඉදිකර ඇත.
ජේතවනාරාම චෛත්‍යය
ජේතවනාරාමය, ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ පිහිටා ඇත. ජේතවනාරාමය දාගැබකි. අඩි 269ක් උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම
ගොඩනැඟිල්ල වේ. බුදුරජාණන් වහන්සේ පැලඳී පඨී ධාතුවේ කොටසක් එහි නිදන්කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ. මෙම චෛත්‍යය මහසෙන් රජතුමා විසින් ඉදිකර ඇත. ජොතිවන නම් උද්‍යානයෙහි ඉදි කළ නිසා ජේතවනාරාමය මෙනමින් හඳුන්වයි.
සේල චෛත්‍යය
සේල චෛත්‍යය බෞද්ධයන්ගේ ප්‍රධාන වන්දනා ස්ථානයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත.මෙය ලජ්ජිතිස්ස රජු විසින් තනා ඇත. මෙහි සඳකඩ පහන දැකගත හැකි ය. බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව නිදන් කොට ඇත. සේල චෛත්‍යය ගන්ඨාකාර හැඩයට නිර්මාණයකර ඇත. මෙම චෛත්‍යයේ ඇති විශේෂ වැදගත්කම වන්නේ
ඒ වටා ඇති චේතියඝරයයි. මේ චේතියඝරය අවස්ථා කිහිපයකදී සංවර්ධනය වී ඇති අතර, දැනට දක්නට ලැබෙන චේතියඝරය කනිට්ඨ තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පැවසේ. මෙහි සිව් දිශාවන්ගෙන් ඇතුළු වීමට දොරටු හතරක් තිබෙන අතර, කොරවක් ගල් සහ මුරගල් සහිත දොරටු ඉතා පැරැණි කලා නිර්මාණ වේ.
කතරගම කිරි වෙහෙර
කිරි වෙහෙර මහසෙන් රජ විසින් ඉදිකරන ලදි. මෙය කතරගම පිහිටා ඇත. අඩි 95ක උසකින් යුතු එය අඩි 280ක වට ප්‍රමාණයකින් යුතු ය. බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේදී මෙම ස්ථානයට වැඩමකර,
වැඩ සිටි ස්වර්ණමය ආසනය ද, සිද්ධාර්ථ කුමරු පැවිදි වන අවස්ථාවේ කේශච්ඡේදනය කළ මඟුල්
කඩුව ද උන්වහන්සේගේ කේශධාතූන් ද තැන්පත්කර ඇති බව කියැවේ. කිරි ගස් බහුලව ඇති උයනක කරවූ හෙයින් ඛදිර විහාර හෙවත් කිරි වෙහෙර යැයි ව්යවහාරකර ඇත.
චතුරි ලක්ෂිකා