ආදරණීය දුවේ පුතේ, ශාක පත්‍ර ගැන මේ වන විටත් දැනුමක් පුංචි ඔබට ඇති. එහෙත් ඒවායේ ස්වභාවය සහ ගුණ පිළිබඳ වඩාත් හොඳීන් අවබෝධකර දීම වෙනුවෙන් මෙවර මිහිර පෝස්ටරය සැකසේ. ඔබ ජීවත්වන පරිසරයේ විවිධ ශාක තිබෙන අතර, ඒවායේ පත්‍ර විවිධ හැඩ ගනියි. එමෙන්ම ඒවායේ ස්වභාවය එකිනෙකට වෙනස් ය. මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම වැදගත් ය. එම නිසා තෝරා ගත් ශාක පත්‍ර කිහිපයක් පිළිබඳ විස්තරයක් මෙවර අපි ඔබට කියමු.
ලුණුවිල ශාකය
උද්භිද විද්‍යාත්මක නාමය Virachola isocrates
විසිතුරු ජලජ පැළෑටියක් ලෙස ද මේ ශාකය වගා කළ හැකි ය. කොළ ඉතාමත් කුඩා ය. තෙත් ස්වභාවයක් ගනියි. කොළ සෑදීමේදී පොකුරු වශයෙන් සෑදෙයි. කුඩා දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමට ලුණුවිල ශාකයේ කොළවලට හැකියාව තිබේ. මාංශ පත්‍ර කුඩා බැවින්, කුඩා ශාක ඉත්තක් පොකුරක් සේ දිස්වෙයි. ස්නායු දුර්වලතා තිබෙන අයට මෙහි පත්‍ර ඉතාමත් ගුණදායක ය.
ගොටු කොළ ශාකය
උද්භිද විද්‍යාත්මක නාමය Mangitera indica
ආයුර්වේද ඔසුවක් ලෙස ගොටුකොළ පිළිගනියි. වැල්ගොටු කොළ, ගස් ගොටු කොළ වශයෙන් දෙවර්ගයකි. වැල්ගොටු කොළ පත්‍ර සිනිඳු ය. මෘදු ය. ගස් ගොටු කොළවල කොළ ගොරෝසු ය. මෙයින් වැල් ගොටුකොළ ඉතාමත් ගුණදායක හිස් කෙස් වැඩීමට, ශරීරයේ දැවිල්ලට ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇදුමට දියවැඩියාවට ඖෂධයකි.
කහ කොළය
උද්භිද විද්‍යාත්මක නාමය Curcum longa
මෙම පැළෑටිය බහුවාර්ෂික පැළෑටි ය. මෙහි කොළ දිග ය. එක් එක් කොළයේ පිහිටීම වෙනස් ය. පත්‍රයට ඇත්තේ සරල මතුපිටකි. පත්‍ර ගසේ එකිනෙක මත පඳුරක් ආකාරයට වැඩේ.
කතුරුමුරුංගා කොළය
උද්භිද විද්‍යාත්මක නාමය Sesbanla grandiflora
කතුරුමුරුංගා කොළ ඉතාමත් කුඩා ය. ගුණදායක ය. ඉක්මණින් කැඩී වැටෙන සුළු ය. කෘමි රෝගවලට ඉතාමත් ඉක්මණින් ගොදුරු වේ. ජලවහනය දුර්වල වුවොත් පත්‍ර හැකිලෙයි. කොළය තිත්ත රසයෙන් යුක්ත වුවත්, මැල්ලුම් ලෙස හෝ තෙල් දැමීමෙන් රසවත් ආහාරයක් සකස් කරගත හැකි ය.
පොල් පලා
උද්භිද විද්‍යාත්මක නාමය Aroaranthaceae
මෙහි පත්‍රය කුඩා ය. පත්‍රවල එතරම් තද පැහැති කොළ වර්ණයක් නොමැත. තිබෙන්නේ ළා පැහැති කොළ වර්ණයකි. එක පැඳුරක කොළ රාශියක් තිබේ. කැස්ස, මුත්‍රා දැවිල්ල, හෘද රෝගවලට, පොල්පලා ගුණදායක ය. බොහෝවිට වේලාගත් පොල්පලා තම්බාගෙන ඔසු පැන් ලෙස පානය කළ හැකි ය.
සියඹලා
උද්භිද විද්‍යාත්මක නාමය Tamarindusindica
පත්‍ර ඉතාමත් කුඩා ය. කුඩා පත්‍රයට එක් ප්‍රධාන නාරටියක් ඇත. මේ නිසා අත්තක පොකුරු වශයෙන් දිස්වේ. සියඹලා කොළ තම්බා සාදාගත් වතුර බඩේ අමාරු සඳහා ඉතාමත් වැදගත් ය. සියඹලා කොළවල කාබෝහයිඩ්රේට්, යකඩ, පොස්පරස් අඩංගු ය. එමෙන්ම ශරීරයට අවශ්‍ය විටමින් වර්ගයක් වන විටමින් සී බහුලව තිබේ.
දෙළුම් කොළ
උද්භිද විද්‍යාත්මක නාමය Virachola isocrates
දෙළුම් කොළය ඉතා කුඩා ය. තැම්බූ දෙළුම් කොළ ඇස් සේදීමට ගනු ලබයි. එමඟින් ඇස්වලට සිසිලසක් ලබාදෙයි. දිගින් දිගටම අක්ෂි රෝගවලින් පෙළෙන අයට
ගුණදායක ය. දෙළුම් කොළවල සුදු පුල්ලි හටගැනීම දක්නට ලැබේ. මෙවිට ශාකය පෝෂණ ගුණයෙන් දුර්වල වී ඇති බවත්, රෝගී තත්ත්වයකට ගොදුරු වූ බවටත් පැහැදිලි වේ.
අඹ කොළය
උද්භිද විද්‍යාත්මක නාමය Mangitera indica
අඹ කොළ දිගටි ය. ගොරෝසු ය. පත්‍රයේ ප්‍රධාන නාරටිය දිග අතට පිහිටා ඇත. අනෙකුත් නාරටි සිහින්ව දැලක් එලූ ආකාරයට පිහිටා තිබේ. පත්‍රයේ සුවඳින් අඹ විශේෂය හඳුනා ගැනීමට හැකියාවක් තිබේ. පත්‍රයේ කිරි ද ඉතාමත් සැර ය. පත්‍රවල කුඩා දුඹුරු පැහැති ලප සෑදී තිබුණෙත් එම ගස රෝගයකට ගොදුරු වන බව පැහැදිලි වේ.
කරවිල කොළය
උද්භිද විද්‍යාත්මක නාමය Momordica charantia
කොළය තරමක් විශාල ය. එය කවාකාර හැඩයකට පිහිටා තිබේ. පත්‍රය තුනී ය. එක් ප්‍රධාන ඝන නාරටියක් නොමැත. එහෙත් වේගයෙන් දිලීර සහ කෘමි රෝගවලට ගොදුරු වේ. එවැනි අවස්ථාවක පත්‍රය මත පුල්ලි දක්නට ලැබෙන අතර, ඒවා ක්‍රමයෙන් දුඹුරු පාට වේ. එවිට පිටිපුස් නම් රෝගයට ගොදුරුවීමේ හැකියාව ඇත.
කෝමාරිකා
උද්භිද විද්‍යාත්මක නාමය Aloe indica
මේ ශාකය ශුෂ්ක කලාපයේ බහුලව වැවේ. මෙහි කොළය දිගටි ය. පත්‍ර අග කටු ස්වරූපයක් ඇත. කොළයේ යුෂ ආලේප සෑදීමට ගනියි. පිළිස්සුණු විට ආලේප කිරීමට මේ කොළය යුෂ වැදගත් වේ. එමෙන්ම ගැස්ට්‍රයිසිස් රෝගයට ද මේ කෝමාරිකා කොළයේ් යුෂ වඩාත් වැදගත් වේ. එමෙන්ම
ඊ.එස්.ආර් පරීක්ෂණයේදී අගය ඉහළ විට එය පහළ දමා ගැනීමටද කෝමාරිකා යුෂ උපකාරී වේ.
ගම්මාලු
උද්භිද විද්‍යාත්මක නාමය Pterocarpus marsupium
මේ ශාකය ගම්බද ප්‍රදේශවල බහුලව වගා කරයි. කොළයට දිලිසෙන මතු පිටක් ඇත. පත්‍රයේ අග්‍රය දෙකට බෙදී තිබීම මෙහි විශේෂ ලක්ෂණයකි. ශරීරයේ වණ සේදීමට, ඉදිමුණු තැන් තැවීමට මේ කොළ යොදාගනියි. කෙස් කළඹට හිතකර බැවින් කාන්තාවන්ගේ කේශ වර්ධන තෛලය සෑදීමට මෙහි කොළ ගනු ලබයි. අතීතයේදී ස්ත්‍රීහු මේ කොළ කොටා ස්නානයට ප්‍රථම හිසේ ගල්වා ගත්හ.
ඉරිවේරිය
උද්භිද විද්‍යාත්මක නාමය Coleus hadiensis
ආයුර්වේදයේ පැළෑටියකි. මේ ශාකයේ කොළ එක පොකුරට පිහිටා තිබේ. පත්‍රය පළල් ය. වටකුරු ය. ඖෂධයක් මෙන්ම ගෘහ අලංකාරයට මේ ශාකය යොදා ගනියි. පොතු කබර සෑදී ඇති රෝගීන් සඳහා මෙහි කොළ ගනු ලබයි.
කරපිංචා කොළය
උද්භිද විද්‍යාත්මක නාමය Murraua koenigii
මෙහි කොළය ඉතා කුඩා ය. කොළවල විටමින් ඒ සහ සී ගුණය ඇත. ඔක්සිකාරක ගුණයෙන් යුක්ත කරපිංචා කොළ, කොලොස්ටරෝල් රෝගීන් ගුණදායක ය. කැඳවලට කරපිංචා බහුලව යොදා ගනියි. අඹරාගත් කරපිංචා කොළ සර්ප විෂවලට ඉතා යෝග්‍ය වේ. ව්‍යාංජනවලට නැතිවම බැරි කොළ වර්ගයක් වන කරපිංචා සම්බෝලය ද ඖෂධීය ආහාරයකි.
ඇඹරැල්ලා කොළය
උද්භිද විද්‍යාත්මක නාමය Spondias duleis
පත්‍රය කුඩා ය. ප්‍රණීත සුවඳ තිබේ. ඇඹරැල්ලා කොළයට දිලිසෙන මතු පිටක් තිබේ. අතින් පොඩිකළ විට ප්‍රණීත සුවඳක් දැනෙයි. ළපටි ඇඹරැල්ලා දලුවලින් සම්බෝල සාදයි. එමෙන්ම ළපටි ඇඹරැල්ල දලු මඟින් ඉතාමත් ප්‍රණීත ව්‍යාංජනයක් සෑදිය හැකි ය. මෙය කුඩා ළමයින්ගේ උදරයේ රෝග සඳහා ගුණදායක ය. විටමින් සී බහුල කොළ වර්ගයකි.
මුරුංගා කොළය
උද්භිද විද්‍යාත්මක නාමය Moringu oleifera
කොළය ඉතාමත් කුඩා ය. කොළ පාටින් අඩුයි. සිහින් ය. පෝෂණ ගුණයෙන් ඉහළ ය. මුරුංගා කොළ මැල්ලුම බඩේ අජීර්ණ රෝග සඳහා වඩාත් ගුණදායක ය. එහෙත් සමහර අයට පමණට වඩා අනුභවය සුදුසු නැත. මේ නිසා අවබෝධයෙන් ආහාරයට ගත යුතු ය. මුරුංගා ගස වැටවලට ද වවා ගත හැකි නිසා වගා කිරීමට අමතර වෙහෙසක් දැරිය යුතු නැත.
තෙඹු කොළය
උද්භිද විද්‍යාත්මක නාමය Chelocostus speciosus
මෙහි කොළය දිගටි ය. දිලිසෙන මතුපිටක් ඇත. දලු සම්බෝල සඳහා යොදා ගනියි. වැඩුණු කොළය මත ප්‍රධාන නාරටිය පිහිටා තිබේ. සෙසු නාරටි ඝනකමින් අඩු ය. රුධිරයේ සීනි මට්ටමට අඩුකර ගැනීමට කොළ ඉතාමත් ගුණදායක ය. නිතර නිතර කෑම යෝග්‍ය නැත. ඇස් දැවිල්ලට මෙන්ම ශරීරයේ සිසිලස ආරක්ෂා කිරීමට ද තෙඹු කොළ ගුණදයක ඔසුවකි.
මඤ්ඤොක්කා කොළය
උද්භිද විද්‍යාත්මක නාමය Manihot esculento
මෙහි කොළය කොටස් හයකට බෙදී තිබේ. මඤ්ඤොක්කා කොළය තද හරිත වර්ණයෙන් යුක්ත ය. මෙහි කොළ ඉතාමත් ගුණදායක ය. සිහින්ව ලියා ගත් කොළ මලවා කෑමෙන් ශරීරයේ රුධිරය පිරිසුදු වේ. ළපටි දලු සිහින්ව ලියා පොල් දමා රතු ලූනු ලියා දමා දෙහි ඇඹුල් දැමූ විට රසවත් ආහාරයකි.
හාතාවාරිය
උද්භිද විද්‍යාත්මක නාමය Asparagus racemosus
හාතවාරිය කොළය සිහින් ය. පත්‍රය මෙන්ම කඳ ද තද කොළ පැහැති ය. හාතාවාරිය කොළ යොදාගෙන කැඳ සාදා ගන්නා අතර, එය කුඩා දරුවන්ට මෙන්ම ශක්තිය අවශ්‍ය වැඩිහිටියන්ට ද ගුණදායක පත්රයකි. හාතාවාරිය කොළය දිගැටි නිසා මිදුලේ ආරුක්කු හැඩයට වගා කළ හැකි ය. පත්‍රයේ ඇත්තේ එක් ප්‍රධාන නාරටියක් පමණි.