මිනිසාගේ දැනුම වර්ධනය කරගැනීමට පොත්පත් මඟින් ඉටුකරනුයේ මහඟු සේවාවකි. එලෙස පොත්පත් රාශියකින් යුතු පුස්තකාලයක් යනු දැනුම් ගබඩාවකි. ලොව පුරා පුස්තකාල රාශියක් විවිධ ස්ථානවල පිහිටා ඇති අතර, අද අපි විස්තර ගෙන එන්නේ ලොව දැවැන්තම පුස්තකාලය පිළිබඳ ය. අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි කොංග්රස් සභාවට අයත් පුස්තකාලය එනම් Library of Congress ලොව දැවැන්තම පුස්තකාලය වේ. අමෙරිකාවේ රාජ්‍ය පුස්තකාලය වන්නේ ද මෙයයි.
මිනිස් දැනුමේ කාලීන මංජුසාව, අමෙරිකානු ජාතික සිහිවටන ගබඩාව හා මිහිපිට ඇති ලොකුම පුස්තකාලය යන අන්වර්ථ නාමයන්ගෙන් ද හඳුන්වන්නේ මෙම කොංග්රස් සභාවට අයත් පුස්තකාලයයි. මෙය අමෙරිකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියා ලෙස විරුදාවලි ලත් ජේම්ස් මෙඩිසන්ගේ යෝජනාවකට අනුව කොංග්රස් සභිකයන්ගේ පරිහරණය සඳහා 1800 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලදි.
එසේ වුවත් 1812 දී ඇතිවූ බ්‍රිතාන්‍ය හා අමෙරිකා යුද්ධයේදී මෙම පුස්තකාලය විනාශ වූ අතර, අමෙරිකානු නිදහස් නායකයා මෙන්ම අමෙරිකාවේ තුන්වැනි ජනාධිපතිවරයා වූ තෝමස් ජෙෆර්සන් විසින් මෙය නැවත ප්‍රතිෂ්ඨාපනය කරන ලදි . එම අවස්ථාවේදී ඔහු විසින් මෙම පුස්තකාලයට පොත් 6,487ක් ලබා දුන් බව සඳහන් වේ. නැවත 1851දී ඇතිවූ හදිස්සි ගින්නක් හේතුවෙන් මෙය යළි විනාශ වූ අතර, යළිත් සියලුම බාධක බිඳ දමා නව ජවයකින් යුතුව අමෙරිකා සිවිල් යුද්ධය අවසානයේදී මෙය ගොඩනඟන ලදි.
මෙම පුස්තකාලයෙහි ඓතිහාසික වටිනාකමින් යුත් පොත්පත්, ලිපිලේඛන මිලියන 167ක් පමණ අදටත් සුරක්ෂිතව ඇත . ඒ අතර පොත්පත් මිලියන 38කට අධික ප්‍රමාණයක් ද ඉතා විරල පැරැණි සිතියම් වර්ග මිලියන 5.5කට වඩා වැඩි ප්‍රමාණයක් ද ඇත.
මෙහි විවිධ වටිනාකම්වලින් යුත් පොත් රාශියක් ඇති අතර, මුද්‍රණ ඉතිහාසයේ පෙරළියක් ඇති කෙරූ 1453දී මුද්‍රණය කරන ලද ගුටෙන්බර්ග් බයිබලයේ පිටපතක් ද, ස්කොට්ලන්තයේ මුද්‍රණය කරන ලද කුහුඹුවකු තරම් කුඩා ලොව කුඩාම පොත වූ Old Kiacole කෘතිය මෙන්ම ලොව නිපදවූ මුල්ම චලන චිත්‍රපටයේ පිටපත ද වැදගත් තැනක් ගනී.
ලොව විවිධ භාෂා 500කට වඩා අධික සංඛ්‍යාවකින් රචනා වූ කෘතීන් රාශියක් ද මෙහි ඇති අතර, සූක්ෂම චිත්‍ර සහිත අඟල් 4ට වඩා අඩු පොත් කාණ්ඩ 1.500 ක් ද එයට අයත් වේ. එසේම මිලියන 85කට වඩා වැඩි පැරැණි භාණ්ඩ රාශියක් ද මෙහි සුරැකිව ගබඩා කර ඇත. මෙම පුස්තකාලයෙහි ඇති පොත් හා ලිපි ලේඛන තැන්පත්කර ඇති රාක්ක එක පෙළට තැබූ විට එහි දිග සැතපුම් 535කට වඩා වැඩි වේ.
අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වෙඩි තබා ඝාතනය කළ නාට්‍ය ශාලාවේ හිමිකරුගේ මුනුබුරා විසින් තමන් සතු වූ මිල කළ නොහැකි නාට්‍ය පිටපත්, බිල්පත් හා පොත්පත් රාශියක් මෙන්ම ජනාධිපති ලින්කන් ඝාතනයට සම්බන්ධ බොහෝ දේ ද මෙම පුස්තකාලයට පිරිනමා ඇත. එසේම ලින්කන් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැලඳ සිටි රන් රාමු කණ්නාඩි කුට්ටම, දුනු පිහිය හා ඩොලර් පහේ නෝට්ටු සහිත මුදල් පසුම්බිය ද මෙයට ඇතුළත් වේ.
මිලක් නියම කළ නොහැකි ලොවට අහිමි වීමට ගිය ගැමි කලාව මෙහි දක්නට ලැබෙන අතර, ලෝකයේම ගැමි ගී තැටි 3,000,000කට අධික ප්‍රමාණයක් මෙහි ගබඩාකර ඇත. මෙහි ප්‍රධාන ගොඩනැඟිල්ල රෝම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනඟා ඇති අතර, මෙහි චිත්‍ර නිර්මාණයට කලාකරුවන් 50ක් පමණ දායක වී ඇත.කොංග්රස් පුස්තකාලයෙහි පොත් හා ලිපිලේඛන පිටතට ගෙනයෑම පාඨකයන්ට තහනම් වේ. මෙම පුස්තකාලය සඳහා දිනපතා එළිදක්වන ග්රන්ථ, චිත්‍රපට, පුවත්පත්, සගරා හා ගීතැට් 31,000ක් පමණ ලැබේ.
පොත්පත්වලට ආදරය කරන අයට පුස්තකාලයක් යනු හදවතට දැනෙන ළඟම තැනකි. ජීවිත කාලයටම කියවා ඉවරකර නොහැකි තරම් පොත්වලින් ගහණ මෙම කොංග්රස් පුස්තකාලයෙහි වටිනාකම කියා නිමකළ නොහැකි ය.
මිහි දීගොඩගේ