රස්කින් බොන්ඩ්
ඔහු 1934 වසරේදී ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හිදී උපන්නේය. ඔහු බ්‍රිතාන්‍ය සම්භවය ඇත්තෙකි. සොබාදහමට බෙහෙවින් ලැදිව ළමා කතා සහ නවකතා රචනා කර තිබේ.
ඔහු කෙටිකකා 500කට අධික සංඛ්‍යාවක් රචනාකර තිබේ. ළමයින් සඳහා ග්රන්ථ 69ක්ද රචනාකර තිබේ. කාව්‍යාත්මක ලෙස ප්රබන්ධකරණයේ යෙදෙන ඔහුව
ඉන්දියාවේ විලියම් වර්ඩ්ස්වර්ත් ලෙස ද හඳුන්වයි.
ඔහු සාහිත්‍ය ඇකඩමි සම්මානයෙන්ද පද්ම ශ්‍රී සම්මානයෙන්ද පද්ම භූෂන් සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.
The Room on the Roof
Our Trees Still Grow in Dehra
A Flight of Pigeons
The Blue Umbrella
Granny’s Tree Climbing
Angry River
Vagrants in the Valley
Rusty Runs Away ඔහුගේ ප්‍රකටම කෘති වේ.
එතකොට රාකේෂ්ට වයස අවුරුදු හයයි. එක දවසක් රකේෂ් පාසල් ඇරිලා නිවෙසට යද්දී මස්සූරි කඩ මණ්ඩියෙන් චෙරි පොකුරක් මිලදී ගත්තා. ඔහු ඒකෙ රස බලමින් හෙමින් හෙමින් නිවෙස බලා ගමන් කළා.
ඒවා ටිකක් මිහිරි, ටිකක් ඇඹුල් පුංචි දීප්තිමත් රතු චෙරි ගෙඩි. ඒවා කාශ්මීර නිම්නයේ සිට මේ ප්‍රදේශයට ගෙන ආ චෙරි වර්ගයක්.
රාකේෂ් ජීවත් වූ හිමාල කඳු පාමුල පලතුරු ගස් එතරම් තිබුණේ නැහැ. පස ගල් සහිත වූ අතර, වියළි සීතල සුළං නිසා බොහෝ ශාකවල වර්ධනය අඩාල වුණා. ඒත් වඩාත් ආරක්ෂිත බෑවුම්වල ඕක් සහ දේවදාර වනාන්තර තිබුණා.
රාකේෂ් ජීවත් වූයේ ඔහුගේ සීයා සමඟ වනාන්තරය ආරම්භ වූ මුසෝරි තදාසන්න ප්‍රදේශයේයි.
සීයා විශ්‍රාමික වන සංරක්ෂණ නිලධාරියෙක්. ඔහුට නගරයෙන් පිටත කුඩා නිවසක් තිබුණා.
රාකේෂ් චෙරි මිලදී ගන්නා විට පාසල නිමවී නිවස බලා යමිනුයි සිටියේ. ඔහු චෙරි පොකුරට පයිසා පනහක් ගෙව්වා. ඔහුට නිවෙසට පයින් යෑමට පැය භාගයක් පමණ ගත වූ අතර, ඔහු නිවෙසට ළඟා වන විට චෙරි ගෙඩි තුනක් පමණක් අතෙහි ඉතිරිව තිබුණා.
වත්තේ සීයා ඉන්නවා දැක්ක ගමන් “චෙරි ගෙඩික් ගන්න සීයේ.“ කියලා රාකේෂ් සීයාටත් චෙරි දුන්නා.
සීයා චෙරි ගෙඩියක් ගත්තා. රාකේෂ් ඉක්මනින්ම අනෙක් චෙරි ගෙඩි දෙකෙහි රස බැලුවා. අන්තිම චෙරි ගෙඩියේ ඇටය ටික වෙලාවක් කටේ තියාගෙන දිවේ වටේට පෙරලමින් එහි රස බැලුවා ඔක්කොම ඉවර වෙනකන්. ඉන්පසු ඔහු තම අත්ල මත චෙරි බීජය තබා එය අධ්‍යයනය කළා.
“චෙරි බීජ වාසනාවන්තද සීයේ?”රාකේෂ් ඇසුවා.
“ඇත්ත වශයෙන්ම. ඔයා ඒක නිකම් පැත්තක තැබුවොත් එය වාසනාවන්ත වන්නේ නෑ. ඔයාට වාසනාව අවශ්‍ය නම්, ඔයා එය යම් ප්‍රයෝජනයකට යොදා ගන්න ඕනෑ.” සීයා කිව්වා.
“බීජයකින් මට කරන්න පුළුවන් මොකක්ද සීයේ?” රාකේෂ් ඇසුවා.
“සිටුවන්න.” සීයා කිව්වා.
ඉතින් රාකේෂ් පොඩි උදැල්ලක් හොයාගෙන මල් පාත්තියක් හාරන්න පටන් ගත්තා.
“ඒයි ඔතැන නෙවෙයි ” සීයා කිව්වා.
“මම ඒ පාත්තියේ අබ වපුරලා තිබෙනවා. සෙවන සහිත මුල්ලක ඒක සිටුවන්න, චෙරි බීජයට බාධා නොවෙන තැනක.” සීයා කියා දුන්නා.
රාකේෂ් වත්තේ කොනකට ගියා. එතැන පොළොව මෘදුයි. සාරවත් බවක් තිබුණා. ඔහුට එතැන මෘදු නිසා හාරන්නට අවශ්‍ය වුණෙත් නෑ. ඔහු තම මාපටැඟිල්ලෙන් බීජය පසට තද කළ අතර, එය කෙළින්ම පස ඇතුළට ගමන් කළා.
ඉන්පසු ඔහු දිවා ආහාරය ගෙන මිතුරන් සමඟ ක්‍රිකට් සෙල්ලම් කිරීමට දිව ගියා. චෙරි ඇටය ගැන ඔහුට අමතක වුණා.
කඳුකරයේ ශීත කාලය වන විට, හිම අතරින් සීතල සුළඟක් හූ හූ හඬ නංවමින් හමා ගොස් දේවදාර ගස් මතට පාවී ගියා. උද්‍යානය වියළි බවකින් හා හිස් බවකින් යුක්ත වුණා. සවස් වරුවේ සීයා සහ රාකේෂ් කුඩා ගිනිමැලයක් දැල් වූ අතර, සීයා සහ රාකේෂ් ඒ අසල වාඩි වුණා. සීයා රාකේෂ්ට කතන්දර කියා දුන්නා. සතුන් බවට පත් වූ මිනිසුන් සහ ගස්වල ජීවත් වූ අවතාර පිළිබඳ කතා, පැන පැන ගිය බෝංචි සහ ගල් අඬන කතා සීයා කියා දුන්නා. ඉන්පසු රාකේෂ් සීයාට ඇසෙන්නට පුවත්පත හඬ නඟා කියෙව්වා. මොකද කියනවා නම් සීයාගේ ඇස් පෙනීම තරමක් දුර්වල වූ නිසා ඔහුට පුවත්පත තනිව කියවීම අපහසු වුණා. රාකේෂ්ට පුවත්පත කියවීම ඉතා නීරස වුණා. ඒත් සීයාට සියලු ප්රවෘත්ති අවශ්‍ය වූ නිසා රාකේෂ්ට සියලු පුවත් කියවීමට සිදු වුණා.
කැලෑ පාත්තයන් නැවතත් උතුරට, සයිබීරියාව දෙසට පියාසර කරන විට වසන්තය ළං වන බව ඔවුන් දැන ගත්තා. හිමිදිරි පාන්දරම නැඟිට දර කඩා ගිනි දල්වන විට රාකේශ් දුටුවේ ඍ අකුරේ හැඩයෙන් පාත්ත රංචුව උතුරු දෙසට පියාසලන ආකාරයයි. සිහින් කඳුකර වාතය හරහා කුරුල්ලන්ගේ කෑගැසීම් පැහැදිලිවම ඔහුට ඇසුණා.
දිනක් උදයක රාකේෂ් ගෙවත්තේ ඇවිදමින් සිටියදී කුඩා අතු කැබැල්ලක් දැක එය අහුලා ගැනීමට නැමී බැලුවා. එම අතු කැබැල්ල හොඳීන් මුල් බැස ඇති බව දැක ඔහු පුදුමයට පත් වුණා. ඔහු මොහොතක් ඒ දෙස බලා සිටියා. ඉන්පසු ඔහු සීයා කැඳවාගෙන ඒමට දිව ගියේ, “දාදා(හින්දි බසින් සීයා) එන්න බලන්න, චෙරි පැළය උඩට මතු වෙලා!” කියමිනුයි.
“මොන චෙරි ගහක්ද?” එය අමතක වූ සීයා ඇසුවා.
‘පසුගිය අවුරුද්දේ අපි සිට වූ චෙරි බීජය – බලන්න, ඒක දල්ලක් වෙලා උඩට ඇවිත්!’
සීයා දෙගුණයකට ආසන්නව නැමී කුඩා පැළෑටිය දෙස බැලුවා, රාකේෂ් තවත් නැමී එය නැරැඹුවා. එය අඟල් හතරක් පමණ උස පැළෑටියක් වුණා.
“ඔව් ඒක චෙරි ගහක්. දැන් ඉඳලා ඔයා ඒකට වතුර දාන්න.” සීයා කිව්වා.
රාකේෂ් නිවෙස තුළට දිවගොස් වතුර බාල්දියක් රැගෙන ආපසු පැමිණියා.
“ඕක ගිලෙන්න වතුර ගොඩක් දාන්න එපා!” සීයා කිව්වා.
රාකේෂ් එයට දිය ඉස ගල් කැටවලින් එය වට කළා.
“මොකටද ගල් කැට?” සීයා ඇසුවා.
” චෙරි පැළයේ ආක්ෂාව සඳහා” රාකේෂ් පැවසුවා.
ඔහු සෑම උදෑසනකම ගස දෙස බැලූවත් එය ඉතා වේගයෙන් වර්ධනය වන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එබැවින් ඔහු එය දෙස බැලීම නතර කළා. ඔහුගේ ඇසේ කෙළවරින් විතරයි ඔහු පැළෑටිය දෙස බැලුවේ. .සතියකට හෝ දෙකකට පසු, ඔහු එය දෙස නිවැරැදිව කෙළින් බැලූ විට , එය වර්ධනය වී ඇති බව දුටුවා. අවම වශයෙන් අඟලක්වත්!
එම වසරේ මෝසම් වැස්ස ඉක්මනින්ම පැමිණි අතර, රාකේෂ් වැහි කබාය සහ බූට් සපත්තු පැලඳගෙනයි පාසලට ආවේ ගියේ. ගස් කඳන් අතරින් මීවන ශාක මතු වුණා. දිගු තණකොළ මත අමුතු පෙනුමක් ඇති ලිලී මල් මතු වුණා. වැසි නැති විට පවා ගස්වල පිනි බිංදු රැ¼දී තිබුණු අතර, මීදුම මිටියාවතට ගළි වුණා. මෙම කාලයේ දී චෙරි ගස ඉක්මනින් වර්ධනය වුණා.
එළුවෙක් වත්තට ඇතුළු වී එහි කොළ සියල්ලම අනුභව කරන විට එය අඩි දෙකක් පමණ උසින් යුක්තව තිබුණා. ප්‍රධාන කඳ සහ තුනී අතු දෙකක් පමණක් ඉතිරි වුණා.
“කමක් නෑ” රාකේෂ් කලබල වෙලා ඉන්නවා දැකලා සීයා කිව්වා. “ඒක නැවත වර්ධනය වේවි. චෙරි ගස් ශක්තිමත”
වැසි සමය අවසන් වන විට ගසේ අලුත් කොළ මතු වුණා. එක් දිනක් තණකොළ කපන කාන්තාවක් චෙරි ගස හඳුනා නොගෙන බැරිවීමකින් එය දෙකට කපා දමා තිබුණා.
සිදු වූ දේ දුටු සීයා එම කාන්තාව පසුපස ගොස් ඇයට බැණ වැදුණා. ඒත් එයින් ගසට සිදු වූ හානිය අලුත්වැඩියා කිරීමට නොහැකි වුණා.
“ඒක මැරේවි” රාකේෂ් කිව්වා.
“වෙන්න පුළුවන්” සීයා කිව්වා.
ඒත් චෙරි ගහට මැරෙන්න අදහසක් තිබුණේ නැහැ.
ගිම්හානය නැවත පැමිණෙන විට, එය මෘදු කොළ සහිත අලුත් අංකුර කිහිපයක් මතු කළා. ඒ වනවිට රාකේෂ් ද උස් මහත් වී සිටියා. ඔහුට දැන් වයස අවුරුදු අටයි. රැලි සහිත කළු හිසකෙස් සහ ගැඹුරු කළු ඇස් ඇති ශක්තිමත් පිරිමි ළමයෙක් බවට රාකේෂ් පත් වී සිටියා.. ‘බ්ලැක්බෙරි’ යනුවෙන් සීයා ඔහුට කතා කළා.
ඒ මෝසම් කාලයේ රාකේෂ් තම ගමට ගියේ ගම්මානයේ විසූ තම පියාට සහ මවට ගොයම් සිටුවීමට හා සීසෑමට සහ වැපිරීමට උදව් කිරීමටයි. ඔහු කෙට්ටු වුවත් ශක්තිමත්ව සිටියා. ඔහු වර්ෂාව අවසානයේ තම සීයාගේ නිවසට ආපසු පැමිණි විට චෙරි ගස තවත් අඩියක් වැඩී ඇති බව දුටුවා. එය දැන් ඔහුගේ ළය ප්‍රදේශය දක්වාම උසට වැඩී තිබුණා.
වැස්ස තිබුණත් රාකේෂ් සමහර වෙලාවට ගහට වතුර දැම්මා.
දිනක් ඔහු අත්තක වාඩි වී සිටින දීප්තිමත් කොළ පැහැති වන්දෙක් දුටුවා. රාකේෂ් වන්දාට එතැන ඉන්න දුන්නා. වන්දා චෙරි ගසේ පළමු අමුත්තා වුණා.
මීළඟ අමුත්තා වූයේ කොළවලින් කෑමක් සෑදීමට පටන් ගත් කෙස් සහිත දළඹුවෙකි. රාකේෂ් දළඹුවා ඉක්මනින් ඉවත් කර වියළි කොළ ගොඩක් මතට දැම්මා.
“ඔබ සමනලයෙක් වූ විට නැවත එන්න” ඔහු දළඹුවාට කිව්වා.
ශීත ඍතුව ඉක්මනින් පැමිණියා. චෙරි ගස හිමවල බරින් පහත් වුණා. ගෙවතු මීයන් නිවෙසේ වහලයේ නවාතැන් සෙව්වා. මිටියාවතේ සිට පාර අවහිර වූ අතර, දින කිහිපයක් පුවත්පතක් සීයාට නොලැබුණු නිසා සීයා තරමක් කෝපයට පත් වී නොසන්සුන්ව සිටියා.
පෙබරවාරි මාසයේ දී රාකේෂ්ගේ උපන්දිනය යෙදී තිබුණා. ඔහුට දැන් වයස අවුරුදු නවයයි . ගසට මාස හතරයි. ඒත් රාකේෂ් තරම්ම චෙරි ගස උසයි.
දවසක් උදේ ඉර එළිය වැටෙනකොට සීයා වත්තට ආවා. “මගේ ඇටකටුවලට යම් උණුසුමක් ඇතුළු වෙන්න” ඔහු කීව්වා. ඔහු චෙරි ගස ඉදිරිපිට නැවතී, මොහොතක් ඒ දෙස බලා සිට, පසුව, “රාකේෂ්! ඇවිත් බලන්න! වැටෙන්න කලින් ඉක්මනට එන්න!” කියා පැවසුවා.
රාකේෂ් සහ සීයා ගස දෙස බලා සිටියේ එය ආශ්චර්යයක් සිදුකර ඇති ආකාරයටයි. චෙරි අත්තක කෙළවරේ ළා රෝස පැහැති මලක් පිපී තිබුණා.
ඊළඟ අවුරුද්දේ තවත් චෙරි මල් පිපුණා. ඒ වගේම එකපාරටම ඒ ගහ රාකේෂ්ට වඩා උස ගියා. චෙරි ගස රාකේෂ්ගේ වයසෙන් අඩකටත් වඩා අඩු වුණත්. ඊට පස්සේ චෙරි ගස සමහර ඕක් ගස්වලටත් වඩා වැඩිමහල් සීයාටත් වඩා උස ගියා. රාකේෂ් ද තවත් උස ගොස් තිබුණා. බොහෝ පිරිමි ළමයින්ට මෙන්ම ඔහුට දුවන්න, පැනීමට සහ ගස් නැගීමට හැකි වූ අතර, ඔහු තවමත් සීයාගේ කතාවලට සවන් දීමට කැමැත්තෙන් ද සිටියා. ඒත් , ඔහු බොහෝ පොත් කියවන්නත් කාලය යොදා ගත්තා.
චෙරි ගසේ, මල්වල මල් පැණි අනුභව කිරීමට මී මැස්සන් පැමිණි අතර, කුඩා කුරුල්ලන් මල්වලට පහර දී ඒවා කඩා දැම්මා. ඒත් වසන්ත කාලය පුරාම චෙරි ගසේ මල් පිපුණු අතර, කුරුල්ලන්ටත් වඩා එහි සෑම විටම මල් පිපී තිබෙනු දැකගත හැකි වුණා.
ඒ ගිම්හානයේදී ගසේ කුඩා චෙරි ගෙඩි සෑදී තිබුණා. රාකේෂ් එක චෙරි ගෙඩියක රස බලලා කෙළ ගැසුවා.
“ඇඹුල් වැඩියි” ඔහු කිව්වා.
“චෙරි ගස තව අලුත්. එයා ලබන අවුරුද්දේ තව හොඳ රසවත් ගෙඩි දේවි අපට” සීයා පැවසුවා.
ඒත් කුරුල්ලන් ඒවාට කැමැති වුණා. විශේෂයෙන් තද රතු පාට කුඩා කුරුල්ලන් චෙරි ගසේ පලදාව අනුභව කරමින් ගසේ අතු අතරින් පිටතට පියාසර කළා.
මී මැස්සන් පවා නිදිමතෙන් සිටින බව පෙනෙන උණුසුම් අව්ව සහිත සන්ධ්‍යාවක, රාකේෂ් වටපිට බලමින් සීයා සොයමින් සිටියා. රාකේෂ් නිදන කාමරයේ ජනේලයෙන් එබී බැලූ විට ඔහු දුටුවේ චෙරි ගස යට වේවැල් පුටුවක සීයා හාන්සි වී සිටින ආකාරයයි.
“මෙතන හරි සෙවණක් තියෙනවා” සීයා කීව්වා . “ඒ වගේම මම මේ චෙරි ගසේ කොළ දිහා බලන්න ආසයි.”
සීයා කිව්වා.
“ඒවා ලස්සන කොළ” රාකේෂ් කිව්වා. “ඒ වගේම ඔවුන් හැම විටම නටන්න සූදානම්, සුළඟ තිබෙනවා නම්.”
සීයා නිවෙස තුළට ආවට පස්සේ රාකේෂ් ගෙවත්තට ගිහින් චෙරි ගස යට තණකොළ මත වැතිරුණා. ඔහු කොළ අතු අතරින් මහා නිල් අහස දෙස බලා සිටියා. කන්ද අසලින් වලාකුළු ඈතට ගමන් කරන ආකාරය ඔහුට දැකගන්න ලැබුණා. සවස් වරුවේ සෙවනැලි ගෙවත්ත හරහා රිංගා යනවිටත් රාකේෂ් ගස යට වැතිර සිටියා. සීයා ආපසු පැමිණ රාකේෂ් අසලින් වාඩි වූ අතර, ඔවුන් අඳුර වැටෙන තුරු නිහඬව බලා සිටියා.
“කැලේ කොච්චර ගස් තියෙනවද” රාකේෂ් කිව්වා.
. “මේ ගහේ තියෙන විශේෂත්වය මොකක්ද? ඇයි අපි මේ ගහට මේ තරම් කැමති?” රාකේෂ් සීයාගෙන් ඇසුවා.
“ඒකට හේතුව තමයි මේක නිකම්ම නිකම් චෙරි ගසක් නෙවෙයි. මේක අපිම තමයි පැළ කළෙ” සීයා කිව්වා.
“ඒකයි මේ චෙරි ගස ඒ තරම්ම විශේෂ.”
“එක පොඩි ඇටයක් විතරයි අපි පැළ කළේ. ඒක දැන් ලොකු ගසක් වෙලා ” කියා රාකේෂ් වැඩී තිබූ චෙරි ගසේ සිනිඳු පොත්ත ස්පර්ශ කළා. ඔහු ගසේ කඳ දිගේ අත යවා කොළයක අගට ඇඟිල්ල තැබුවා.
“මට පුදුමයි” ඔහු මිමිණුවා.
“දෙවියන් වගේ මට දැනෙන්නේ මෙම චෙරි ගස ද?”
ජීවිතය ජය ගැනීමට නම් ජීවිතය ඔබට එල්ල කරන සියලු දුෂ්කරතා නොතකා ඔබ දිගටම ගමන් කළ යුතුය. ඔබේ ඔරොත්තු දීමේ හැකියාව ඔබව ශක්තිමත් කරයි.
යන පණිවිඩය මෙම කතන්දරයෙන් පුංචි ඔයාලා ලබාගත්තා නේද? මං හිතනවා එහෙම.
ඉන්දියානු ජාතික ලේඛක රස්කින් බොන්ඩ් විසින් රචනා කරන ලද
The Cherry Tree කෙටි කතාව ඇසුරෙනි
හර්ෂණී ගමගේ