ආදරණීය දුවේ පුතේ, අදත් ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තියෙන උරුමයක වගතුග සොයාගෙන යන්නයි අපේ මේ සූදානම.
ඓතිහාසික වශයෙන් විශාල වැදගත්කමක් තිබෙන උඩුපියන් ලෙන බලන්ගොඩ කල්තොට මාර්ගයේ පිහිටා තිබේ. බලන්ගොඩ කල්තොට මාර්ගයේ දියවින්න දිය ඇල්ලට නුදුරු වනාන්තරයේ පිහිටා ඇති මෙම ලෙනට දියවින්න දේවගිරි විහාරය අසලින් වනයේ ඇති අඩි පාර දිගේ ගමන් කිරීමෙන් ප්‍රවේශ විය හැකි ය.
ජල දහරාවන්ගෙන් අලංකෘත සුන්දර වටපිටාවක පිහිටා ඇති මෙම ලෙන පිළිබඳ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා 1936 දී මුලින්ම කැණීම් සිදු කර ඇත. එහෙත් එය විධිමත් ක්‍රමයකට සිදු කරන ලද කැණීම් මාලාවක් නොවන අතර, මෙහි කැණීම් ක්‍රමවත්ව ආරම්භ කරන ලද්දේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් 2016 දී ය. එම කැණීම් මඟින් ශ්‍රී ලංකාවේ යුග සංක්‍රාන්තියක වැදගත් තොරතුරු අනාවරණය වී තිබේ. ඒ දඩයම් යුගයේ සිට මානවයා ක්‍රමයෙන් ගොවි යුගයට අවතීර්ණ වීමේ අවස්ථාව පිළිබඳයි.
ආචාර්ය රාජ් සෝමදේව මහතා මෙම ගල්ලෙන ආශ්‍රිතව සිදු කරන ලද කැණීම් මඟින් බිම් වීදුරු ගල්, නියන් ආයුධ, ගල් ආයුධ, අස්ථි උල් ආයුධ කොටස් මෙන්ම ආහාරයට ගත් ගොළුබෙල්ලන්ගේ කොටස් ද පිලිස්සූ ධාන්‍ය ඇට ද හමුවූ බව ප්‍රකාශ කරයි. ඔහු විසින් මෙම ලෙනෙහි ජීවත් වූ මානවයා බලන්ගොඩ මානවයාගේ නියෝජනයක් බව හඳුනාගෙන ඇත. ඔහු තමන් සොයා ගන්නා ලද තොරතුරු විශ්ලේෂණය කරමින් මෙම ලෙන ආශ්‍රිතව ජීවත් වූ මිනිසා දඩයම් කර ආහාර සපයා ගැනීමට වඩා ගොළුබෙල්ලන් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වා ඇති බව ප්‍රකාශ කරයි. උඩුපියන් ලෙන ආශ්‍රිතව දියකඩිති බොහොමයක් පිහිටා ඇති අතර, ඒවායේ ගස් ගොළුබෙල්ලන්, මිරිදිය ගොළුබෙල්ලන් බහුලව ජීවත් වී ඇති බවත් ගොළුබෙල්ලන් පහසුවෙන් ලබා ගැනීමේ හැකිවූ නිසා මෙම රුචිකත්වය නිර්මාණය වී ඇති බවත් තවදුරටත් ඔහු විස්තර කරයි. මෙම බෙල්ලන්ගේ මස් උගුල්ලා පුලුස්සා ආහාරයට ගැනීම ඔවුන් විසින් සිදුකර ඇත. මෙම ලෙනෙහි වසර 5000ත් 4500ත් අතර කාලයේ මිනිසුන් ජීවත්ව සිට ඇති බව ඔහු විසින් අනාවරණය කරගෙන ඇත. මේ තොරතුරු හරහා බලන්ගොඩ ආදි මානවයාට නෑකම් කියන මොවුන්ගේ දඩයම් යුගයේ ජීවන රටාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි ය.
ආචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කරන ලද කැණීම්වලින් සොයා ගත් පිලිස්සුණු වී ඇට දෙක ශ්‍රී ලංකාවේ යුග සංක්රාන්තියේ තීරණාත්මක අවස්ථාවක් වශයෙන් සැලකයි.
ඒ අනුව එම සාධක පදනම් කරගනිමින් ආදි මානවයා කලකදී වනගතව දඩයමින් ජීවත්වීම, සතුන් මරා ආහාරයට ගැනීම, තැන් තැන්වල ඇවිද ආහාර එකතු කිරීම අඩුකර
ඒ වෙනුවට ධාන්‍ය වර්ග, කැලේ නිරායාසයෙන් හැදෙන වල් වී වර්ග, තෘණ වර්ග ආහාර පරිභෝජන රටාවකට හුරු වීමට පෙලඹවීමට පටන් ගැනීමේ මුල් අවස්ථාව බව පෙන්වා දෙයි. ආදි මානවයා ශාක ආහාර රටාවකට පරිවර්තනය වීමේ මුල් අවස්ථාව මෙයයි.
එම ලෙන ආශ්‍රිතව සිදු කරන ලද කැණීම්වලින් හමුවී ඇති මාල පෙත්ත ද තවත් විශේෂිත වූවකි. එම මාල පෙත්ත වසර පන්දහසක් පමණ පැරැණි බව විශ්වාස කරනු ලැබේ. එය රතු කඳ පාෂාණයෙන් මිනිස් හදවතක හැඩයට කපා සකස්කර ඇති අතර, උඩින් විද මාල පෙත්තක ආකාරයට නිර්මාණය කර තිබේ. ඒ මඟින් ඔවුන් ශරීර අලංකාරය කෙරෙහි අවධානයක් යොමු කරන ලද බව පැහැදිලි වේ.
ලක්නා නිරෝෂිමාලා