සංගීතය විශ්ව භාෂාවකි. පාසල් විෂය ධාරාවේ සෞන්දර්ය විෂයක් ලෙස බොහෝ දරුවන් පිරිසක් මේ විෂය ඉගෙනුම ලබන්නේ එහි අගය නිසාමයි. මෙලෙසින් ඉගෙනුම ලැබූ දරුවන් ජාතික තලය දක්වා පැමිණ ඇත්තේ ඔවුන්ගේ සහජ කුසලතාව ඔපමට්ටම් කරගනිමිනි. ඈත එපිට ගම් දනව්වල දරුවන් පවා විවිධ තරගවලින් ජාතික තලය දක්වා පැමිණ ඇත්තේ ඔවුන්ගේ හැකියාවෙනි. මෙලෙසින් තම හැකියාව ප්‍රගුණ කරමින් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලැබූ පුවතක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ බුලත්කොහුපිටිය පන්නල මහා විද්‍යාලයෙනි. දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාසය විහේලි සෙන්සදී පෙරේරා දියණිය මේ වසරේ සමස්ත ලංකා සරල ගී ඒකල තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීම විශේෂ සිදුවීමකි. ඒ ලැබූ ජයග්‍රහණය පිළිබඳ ඇය අපට සඳහන් කළේ මහත් සතුටිනි.
”අපේ පාසලේ කණ්ඩායමක්ම මේ වසරේ සමස්ත ලංකා ගායන හා වාදන තරගයට ඉදිරිපත් වුණා. අපට ජයග්‍රහණ රැසක්ම ලබා ගන්නත් අවස්ථාව ලැබුණා. මාත් සමඟ ඒ තරගයට ඉදිරිපත් වූ අනෙක් අය තමයි ගයාත්‍රි, ශෂිනි, තිළිණි සහ නිම්සරණි කියන අප පාසලේ සහෝදර සහෝදරියෝ. අපි ලබපු මේ ජයග්‍රහණ සියල්ලේම ගෞරවය හිමි විය යුත්තේ අපේ පාසලේ සංගීත ගුරුතුමිය මල්ෂි අනුරාධා ගුරුතුමියටයි. ඇය අප වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ඒ වගේම අපගේ විද්‍යාලයේ විදුහල්පතිතුමත් අපිට විශාල ධෛර්යයක් වුණා. ඔහු සැමවිටම අපව දිරිමත් කළා.”
”මගේ මේ හැකියා හුඟක්ම ඔපමට්ටම් වුණේ දහම් පාසල නිසයි. මම මුලින්ම ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබුවේ දහම් පාසල් ගාථා හා ගායනා තරගයකට ඉදිරිපත් වෙලා.
මම දැන් ඉගෙනුම ලබන්නේ හත ශ්‍රේණියේයි. මේ තරග ජයග්‍රහණයට අමතරව මේ වසරේ ජාතික සංහිඳීයාව පදනම විසින් සංවිධානය කළ ගායනා තරගයෙන් විශිෂ්ට සම්මානයක් ලබා ගත්තා. ඒ වගේම 2023 වසරේ දහම් පාසල් ශ්‍රේණි විභාගයෙන් විශේෂ සම්මානයක් ලැබුවා. සිංහල භාෂා සාහිත්‍යය තරගාවලියේ කලාප තරග රාශියකින් මම ජයග්‍රහණය ලබා තිබෙනවා.”
”මේ ජයග්‍රහණය මට ලබන්න හැකියාව ලැබුණේ සංගීතය පිළිබඳ මම ඉගෙන ගන්න නිසයි. දැන් මම විශාරද විභාගය සඳහා සූදානම් වෙනවා. ඊට අමතරව ඉන්දීය භාරතීය ප්‍රවේශිකා විභාගයටත් පෙනී සිටින්න දැන් ඉගෙන ගන්නවා. මේ හැමදේටම ශක්තියක් වෙන්නේ මගේ අම්මයි තාත්තායි දෙන්නා. ඊට අමතරව මගේ සංගීත ගුරුතුමියට මගේ ස්තුතිය සහ ගෞරවය පිරිනමනවා.”
දුමින්ද කාරියවසම්