චන්ද්‍රිකා තාක්ෂණය ගැන අපි මීට පෙර ලිපි කිහිපයකින්ම සාකච්ඡාකර තිබෙනවා. වර්තමානය වනවිට ඉතා දියුණු පරිසර හිතකාමී චන්ද්‍රිකා හා රොකට් නිර්මාණයට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. මෑතකදී අභ්‍යවකාශ ගත කළ ලිග්නොසැට් දැවමය චන්ද්‍රිකාව එවැනි පරිසර හිතකාමී චන්ද්‍රිකාවක්. ලතින් බසින් ලිග්නො යනුවෙන් හඳුන්වන්නේ දැව යන තේරුමයි. ඉතින් දුවේ පුතේ, ඒ ගැන කියන්නයි අපේ මේ සූදානම.
ජපානයේ ක්යෝටෝ විශ්වවිද්‍යාලයේ හා Sumitomo Forestry සමාගමේ විද්‍යාඥයන් ජපානයට ආවේණික magnolia කියන දැවයෙන් මෙම චන්ද්‍රිකාව සාදලා තිබෙනවා. 2024 නොවැම්බර් 5 වැනි දින SpaceX Dragon රොකට්ටුවක් ඔස්සේ ජාත්‍යන්තර අභ්‍යවකාශ ස්ථානයට (ISS) රැගෙන ගිය මෙය ග්‍රෑම් 900ක් බරැති, සෙන්ටිමීටර් 10ක කුඩා ඝනකයක්.
චන්ද්‍රිකාවට දැව භාවිත කිරීමේ වැදගත්කම කුමක්ද?
අභ්‍යවකාශයේ ජලය හෝ ඔක්සිජන් නොමැති බැවින් දැව සිදුරු කරගැනීමට අපහසු වේ. අභ්‍යවකාශයේදී ගිනි ගැනීමට බඳුන් වෙන්නේ නෑ. මේ නිසා දැවමය චන්ද්‍රිකා පරිසර හිතකාමී ද වේ. එහෙත් මේවා නැවත පෘථිවියට වැටෙනවිට හොඳීන් දහනය වේ.
මෙහෙයුමේ අරමුණ
LignoSat උල්කාය මාස හයක් පමණ අභ්‍යවකාශයේ රැ¼දී තිබේ. මෙහිදී දැව දැඩි පරිසර තත්ත්වයකට ප්‍රතිචාර දක්වන බව පරීක්ෂා කිරීමට හැකියාව ලැබේ. මෙහිදී උෂ්ණත්වයේ පීඩනයේ ඇතිවන වෙනස්කම් මැනීමට ද හැකියාව ලැබේ. ඒ සඳහා උපකරණයක් ද මෙහි තිබේ.
මෙම කාර්යයේ ඇති අනාගත බලපෑම කුමක්ද?
LignoSat මෙහෙයුම සාර්ථක වුවහොත්, අභ්‍යවකාශ යානා සෑදීම සඳහා දැව භාවිත කිරීමේ හැකියාව ඇති වේ. එමෙන්ම අභ්‍යවකාශ තාක්ෂණයේදී සිදුවන වායු දූෂණය අවම කරගැනීමට ද හැකි වේ. මේ අනුව දැවමය චන්ද්‍රිකා පරිසර හිතකාමී වේ. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයට දිවෙන උල්කා සංඛ්‍යාව වැඩිවෙමින් පවති. එහෙත් දැව චන්ද්‍රිකා භාවිතයෙන් පරිසරයට අහිතකර ප්‍රතිවිපාක ඇති නොවේ. එමෙන්ම අභ්‍යවකාශ මෙහෙයුම් නිසා පරිසරයට සිදුවන හානිය ද අවම වේ.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය
එක ලොකු කැලෑවක ලොකු ගහක් තිබුණා. මේ ගහේ ගිරා පවුලක් ජීවත් වුණා. ගිරා අම්මයි තාත්තයි පුතාලා දෙන්නයි තමයි හිටියේ. මේ ගිරා අම්මයි තාත්තයි හරිම හොඳයි. කරුණාවන්තයි. ඒත් ගිරා පුතාලා දෙන්නා හරිම සැරයි. නපුරුයි. එයාලා හැමදාම අනෙක් අයට කරදර හිරිහැර කළා. ඒ නිසා එයාලාට කැලෑ ගමේ කවුරුත් කැමැති නෑ.
දවසක් මේ දෙන්නා අම්මටයි තාත්තටයි හොරෙන් ගමට ගියා. එයාලා දැක්කා ලොකු අඹ ගහක් තිබෙනවා. ඒ ගහේ අඹ පිරිලා. ඉදිලා. කහම කහ පාටයි.
ඒ දෙන්නා හරිම සතුටින් අඹ ගහට පියාඹාගෙන ගියා. ඒ දෙන්නා දැක්කා මේ ගහ උඩ උසම අත්තක කෙළවරට වෙන්න ලෙන් කූඩුවක් තිබෙනවා. ඒ කූඩුවේ පුංචිම පුංචි ලේන් පැටව් තුන් දෙනෙක් හිටියා.
“අයියේ … අයියේ …. අන්න අතන ලේන් කූඩුවක් තියෙනවා” ගිරා මල්ලි කිව්වා.
“ඔව් ඔව් මං දැක්කා. ඒකෙ පැටවු තුන් දෙනෙකුත් ඉන්නවා” ගිරා අයියා උත්තර දුන්නා.
“මට හොඳ උපායක් කල්පනා වුණා. අපි මේ ලේන් පැටව් තුන්දෙනා එළවලා දාමු. එතකොට අපිට පුළුවන් තනියම මේ අඹ සේරම කන්න” ගිරා මල්ලි කිව්වා.
“ඉතින් අපි කොහොමද මේ ලේන් පැටවු එළවන්නේ?” ගිරා අයියා ඇහුවා.
“එයාලා තාම පුංචිනේ. අපි බය කරලා මේ ලේන් පැටවු එළවලා දාමු” ගිරා මල්ලි උත්තර දුන්නා.
එහෙම කතා වුණු ගිරා අයියයි ගිරා මල්ලියි දෙන්නා හෙමින් හෙමින් ලේන් කූඩුව ළඟට කිට්ටු වුණා. එහෙම කිට්ටු වුණු මේ දෙන්නා එක පාරටම මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඒ සද්දෙට ලේන් පැටවු හොඳටම බය වුණා. එකපාරටම කලබල වුණු ලේන් පැටවු තුන්දෙනා අඹ ගහෙන් බිමට වැටුණා. වේදනාවෙන් පැටවු තුන්දෙනා මහ හයියෙන් අඬන්න පටන් ගත්තා. එයාලගේ සද්දේ ඇහිලා ලේන් අම්මයි ලේන් තාත්තයි දෙන්නම එතැනට දුවගෙන ආවා.
“අනේ මගේ අහිංසක දරුවෝ තුන්දෙනා කොහොමද එයාලා මේ බිමට වැටුණේ?” ලේන් අම්මා අඬ අඬා ඇහුවා.
ලේන් තාත්තා ටිකක් වටපිට සෝදිසි කරලා බැලුවා. එයා දැක්කා අඹ ගහේ උඩම අත්තකට වෙලා හැංගිලා බලන් ඉන්න ගිරා පැටවු දෙන්නා.
“පුතේ මොකද වුණේ ඔයාලා කොහොමද බිමට වැටුණේ ?” ලේන් තාත්තා ඇහුවා.
“එකපාරටම ලොකු සද්දයක් ඇහුණා. අපි හොඳටම බය වුණා. අපි කලබල වෙච්ච නිසා කූඩුවෙන් බිමට වැටුණා” ලේන් පැටවු උත්තර දුන්නා.
ටිකක් වෙලා කල්පනා කරපු ලේන් අම්මටයි තාත්තටයි වෙලා තියෙන දේ වැටහුණා. ලේන් තාත්තා කේන්තියෙන් ගහ උඩට ගියා. ගිහින් මේ නපුරු ගිරා පැටවු දෙන්නව අල්ලා ගත්තා.
“ඔයාලා ඇයි අපේ පැටවු තුන්දෙනාව බය කළේ? එයාලා මොකක්ද ඔයාට කරපු වරද?” ලේන් තාත්තා කේන්තියෙන් ඇසුුවා.
“අනේ අනේ අපි මොකුත් කළේ නෑ. අපි මේ අඹ ගෙඩියක් කන්න ආවා විතරයි”. ගිරා මල්ලි උත්තර දුන්නා.
“වැරැදි කරලා තවත් බොරු කියන්නත් එනවද? ඔයාලාට හොඳ දඬුවමක් දෙනවා. කවදාවත් මේ විදිහේ වැඩ නොකරන්න” ගිරා තාත්තා තරහින් කිව්වා.
“අනේ අපට යන්න දෙන්න. අපට දඬුවම් කරන්න එපා. අපි ආයේ කවදාවත් එහෙම වැඩ කරන්නේ නැහැ” ගිරා අයියා බැගෑපත් වුණා.
හොඳටම බය වුණු ගිරා පැටවු දෙන්නා, හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒක දැකපු ලේන් අම්මටයි තාත්තටයි දුක හිතුණා.
“හරි දරුවනේ අඬන්න එපා. අපි ඔයාලාට යන්න දෙන්නම්. හැබැයි ආයේ කවදාවත් මේ විදියේ නපුරු වැඩ නම් කරන්න එපා. බිමට වැටුණහම ඔයාලාට කොච්චර රිදෙනවද? ඒ වගේ මේ පුංචි පැටවුන්ටත් ගොඩාක් රිදෙන්න ඇති. බලන්න එයාලත් ඔයාලා වගේම හයියෙන් අඬනවා” ගිරා අම්මා කිව්වා.
ඒක අහපු ගිරා පැටවු දෙන්නාට එයාලා කළ වරද තේරුම් ගියා. එයාලා දෙන්නා බිමට බැහැලා පුංචි ලේන් පැටවුන්ගෙන් සමාව ගත්තා. ලේන් පැටවු එක්ක යාළුවෙලා ඇති වෙන්න අඹ කෑව ඒ දෙන්නා සතුටින් කැලෑවට පියාඹලා ගියා. එදා ඉඳලා ඒ දෙන්නා හරිම හොඳ ගිරා දරුවො දෙන්නෙක් වුණා. කවදාවත් කාටවත් නපුරුකම් කළේ නෑ. හැමෝටම ආදරෙන් සැලකුවා. හැමෝම එක්කම සමගියෙන් ජීවත් වුණා.
ටී. ඩබ්ලිව්. මෙතුලි උමල්ජා
5 ශ්‍රේණිය
මො/ මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලය
ශීත ඍතුව අතර කාලයේදී ලොව පුරා විශාල පක්ෂීහු ප්‍රමාණයක් විවිධ ප්‍රදේශ කරා සංක්‍රමණය වෙති. මේ සංක්‍රමණය නිසා විශාල පක්ෂීන් ප්‍රමාණයක් මරණයට පවා පත් වෙන අවස්ථා තිබේ. ප්‍රධාන වශයෙන් මේ පක්ෂීන්ගේ සංක්‍රමණය සිදුවන්නේ උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධගෝලය දක්වා වන අතර, ආහාර තිබෙන ප්‍රමාණය, දේශගුණය වැනි හේතූන් මත ඇතැම් සංක්‍රමණ සිදු වේ. ඔවුන්ගේ පියාඹා යෑමේ වේගය සිදුවන්නේ පියාසර වේගය මත ය. දුවේ පුතේ, සමහර අවස්ථාවල අපේ රටේ නොමැති කුරුල්ලන් ඔබට දැක ගැනීමට අවස්ථාව ඇති වන්නේ මේ කුරුල්ලන්ගේ සංක්‍රමණ ක්‍රියාවලිය නිසා ය. වර්ෂයේ සෑම මාසයකම මෙවැනි සංක්‍රමණ සිදු නොවන අතර ඒ සඳහා විශේෂිත මාස තිබේ. ශ්‍රී ලංකාවේ කුරුලු සංගමයේ නාමාවලිය අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ 439ක් සිටිති. මොවුන්ගෙන් විශේෂිතයන් 33ක් අපේ රටට ආවේණික පක්ෂියෝ වෙති. ඒ අනුව සංචාරක කුරුල්ලෝ 189ක් වෙති. ඉතින් දුවේ පුතේ, අද ඔබට කියන්නට සූදානම් වන්නේ සංචාරක කුරුල්ලන් පිළිබඳයි.
අටු වැහි ළිහිණියෝ
මොවුහු කැනේඩියාවේ තුන්ද්‍රා ප්‍රදේශවල සිට ඇන්ටාක්ටිකා දක්වා දීර්ඝ ගමනක් පියාසර කරති. තවත් අටු වැහි ළිහිණියෝ පිරිසක් යුරෝපය, අප්‍රිකාව, අමෙරිකාව, ආසියානු කලාපවලට අයත් ප්‍රදේශවල සිට ද පැමිණෙති. ශීත කාලය ඇරැඹීමත් සමඟ ඔවුහු තමන්ගේ ප්‍රදේශය හැර දමා වෙනත් ප්‍රදේශ කරා යෑමට පටන් ගනිති. ශ්‍රී ලංකාවට පැමිණෙන අටු වැහි ළිහිණියන්ගේ වඩාත් සුප්‍රකට නවාතැන වනුයේ රත්නපුර ප්රදේශයයි. ඒ හැරුණුවිට ඔවුහු රත්මලාන ප්‍රදේශයේ ද ලැගුම් ගනිති. නළල සහ උගුර රක්ත වර්ණ දුඹුරු පැහැයකින් දිලෙන අතර, උඩු කය නිල් පැහැති ය. මොහුගේ යටි කය ප්‍රදේශය කළු පැහැති ය. ශ්‍රී ලංකාවේ නවාතැන් කාලය මාස අටකි.
සුදු රෙදි හොරා
යුගල පෙඳයක් ඇති අලංකාර පක්ෂියකු වන සුදු රෙදි හොරා, ශීත ඍතුවේදී හිමාල අඩවියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙයි. මේ පක්ෂියා ඉන්දියාවේ අඩි 5000ක් දක්වා උස් කඳුකරයේ සිට පහත් තැනිතලා දක්වා විහිදී ඇති බිම් පෙදෙස්වල වෙසෙයි. අඟල් දහයේ සිට පහළොව දක්වා දිග යුගල පෙඳයක් ඇති සුදු රෙදි හොරා විශාලත්වයෙන් කොණ්ඩ කුරුල්ලා තරම් වන අතර, පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබේ.
සිවුරු හොරා
සිවුරු හොරා, ‘ගිනි හොරා’ යන නමින් ද හඳුන්වයි. සංචාරක කුරුල්ලන් පැමිණෙන කාලපරිච්ඡේදයේදී මේ කුරුල්ලෝ ගෙවත්තට ද පැමිණෙති. මොවුහු අප්‍රේල්, ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේ වුවද බිත්තර දමති. මොහුගේ බඩ පෙදෙස සුදු පැහැයක් ගන්නා අතර, හිස කළු පැහැයක් ගනියි.
රංචු පිටින් සංචාරය කරන කුරුල්ලකු නොවන අතර, ශ්‍රී ලංකාවේ තනිව සංචාරය කරයි. එහෙත් හිමාලයේ සිට පැමිණෙන විට මොවුහු රංචු පිටින් පැමිණෙති.
මලයානු මැටි කොකා
චීනය, පිලිපීනය සහ මලයාසියාව යන රටවල සිට මේ කුරුල්ලෝ පැමිණෙති. නිවෙස්වල ඇති කරන කිකිළියන් තරම් විශාල මලයානු මැටි කොකාට දිගු හොටයක් ඇත. ශරීරය දුඹුරු පැහැයෙන් යුක්ත ය. කුඩා ශරීරය නිසා ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව ඇත. මඩ වගුරුවල ජීවත් වන මේ කුරුල්ලෝ බොහෝ විට තනිව ජීවත්වීමටත්, තනිව සැරිසැරීමටත් කැමැත්තක් දක්වති.ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණෙන මලයානු මැටි කොක්කු ශ්‍රී ලංකාවේ මැටි වගුරුවල ලැගුම් ගනිති.
මහ කුරුමිණි කුරුල්ලා
මේ පක්ෂියා ‘නත්තල් කුරුල්ලා’ යනුවෙන් ද හඳුන්වයි. අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙයි. මේ කුරුල්ලා ‘රනිල්ලා,’ ‘අම්බෙයා’ යන නම්වලින් ද හඳුන්වයි. කොණ්ඩ කුරුල්ලකු තරම් විශාල මහ කුරුමිණි කුරුල්ලා සංචාරයට ශ්‍රී ලංකාවට පැමිණ සෑම ප්‍රදේශයක් පුරාම විසිරී යයි. සාමාන්‍යයෙන් කණ්ඩායම් වශයෙන් සැරිසරන මේ කුරුල්ලා උස ගස්වල කොළ රහිත අතු රිකිලි මත සිට ඉගිළෙන කෘමියන් අල්ලා ගනියි.
උල් පෙඳ කැස්වටුවා
උල් වූ පෙඳයක් ඇති මෙම වටුවෝ උතුරු හිමාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙති. අඩි 6000ක් දක්වා උස් බිම් පෙදෙස්වල මොවුහු විසිරී සිටිති. වැව්, කුඹුරු හා වගුරු බිම්වලට කැමැති වටුවෝ දුඹුරු පැහැයක් ගනිති. සාමාන්‍යයෙන් උදයේ සහ සවස් යාමේ මොවුහු එළියට පැමිණෙති. විශාල වශයෙන් පහත් බිම් පෙදෙස්වල මේ කුරුල්ලෝ දක්නට ලැබෙති. මේ පක්ෂීහු සයිබීරියාවේ සිට තිබ්බතන් හා හිමාලය හා ඉන්දියාවේ නැඟෙනහිර වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙති.
වන හැලපෙන්දා
සුදු, කළු, අළු සහ දුඹුරු පැහැ මිශ්‍රිත සිරුරක් ඇතිව වලිගය වනමින් යන ඉතා සුලබ සංචාරක කුරුල්ලෙකි. ඉංග්‍රීසි බසින් ෆොරස්ට් වැග්ටේල් නමින් හඳුන්වන වන හැලපෙන්දා වන ගත පක්ෂියකු ලෙස හඳුන්වයි. මොහු කඩිසර කුරුල්ලෙකි. උඩුකය තද කළුවන් දුඹුරු ය. සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණෙන වන හැලපෙන්දාගේ නිජ බිම වන්නේ දකුණු කොරියාවයි. එමෙන්ම චීනයේ සහ සයිබීරියාවේ ද මොවුහු වාසය කරති. කුඩා කෘමීන් ආහාරයට ගන්නා වන හැලපෙන්දා ශීත ඍතුව පැමිණීමත් සමඟ සැතැපුම් දහස් ගණනක් ගෙවා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
නිල් පෙඳ බිඟුහරයා
මේ පක්ෂියාගේ පෙඳය නිල්පැහැති ය. බිඟුන් හෙවත් මී මැස්සන් ආහාරයට ගැනීම හේතුවෙන් මේ කුරුල්ලා ‘නිල් පෙඳ බිඟුහරයා’ යනුවෙන් හඳුන්වයි. මේ පක්ෂි විශේෂය ඉතාමත් ශක්තිමත් මෙන් ම ප්‍රබල කුරුලු විශේෂයක් ලෙස හඳුන්වයි. මේ පක්ෂියා ඉතාමත් වර්ණවත් වන අතර, පිහාටුවල බහුලව දක්නට ලැබෙන්නේ කොළ සහ දුඹුරු මිශ්‍ර වර්ණයකි. මේ කුරුල්ලාගේ පෙඳය මැදින් දික් වූ නිල් පැහැති පිහාටු දෙකක් ඇත.
අළු ඔලෙයියා
මේ සංක්‍රමණ කුරුල්ලා කිරලකු තරම් විශාල ය. කෙටි බෙල්ලක් ඇති අතර මධ්‍යම ප්‍රමාණයේ පාද ඇත. උතුරු යුරෝපයේත්, ආසියාතික රටවලත්, අමෙරිකාවෙත් බිත්තර දමයි. සංචාරය කළ පසු ලැගුම් ගන්නේ ශ්‍රී ලංකාවේ උතුරේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ය. මොවුන් පියාසර කරන විට පියාපත් හා සිරුර යා වන ස්ථානයේ කළු ලපය නිසා මේ පක්ෂියා පැහැයෙන් හඳුනා ගැනීමට ඉතාමත් පහසු ය.
අවිච්චියා
උතුරු අර්ධගෝලයට ශීත ඍතුව උදාවීමත් සමඟ අවිච්චියෝ ඉතාමත් වෙහෙසකර ගමන් මඟක් ගෙවාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙති. අවිච්චියා ඉන්දියාව නිජබිම කරගත් පක්ෂියෙකි. හිමාලය කඳු පාමුලත් මධ්‍යම ඉන්දියාවේත් අවිච්චියෝ සුලබ ය. ශීත කාලයේ දී විශාල දුරක් ගෙවා මෙරටට පැමිණීමට අවිච්චියන්ට හැකියාව ඇත. ඔස්ට්‍රේලියාවට ආවේණික අවිච්චියෝ ද සිටිති. මොවුහු ද ශ්‍රී ලංකාවට පැමිණෙති. කොළ, නිල්, කළු, සුදු, කහ, දුඹුරු, රතු, පැහැයෙන් යුත් පිහාටු නිසා අවිච්චියා අලංකාර වෙයි. සාමාන්‍යයෙන් අවිච්චියකු වැඩුණු මයිනකුගේ ප්‍රමාණයෙන් යුක්ත ය.
වන්දනා අබේසේකර
සමස්තලංකා සංගීත තරගාවලියේදී පස්සර මහා විද්‍යාලයට ජයග්‍රහණ දෙකක්
2024 සමස්තලංකා පාසල් සංගීත තරගාවලියේදී පස්සර මහා විද්‍යාලය ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන ඇත. ශාස්ත්‍රීය වයලීන් වාදනය ඒකල තරගයෙන් දෙවැනි ස්ථානය බී.එම්. නතාෂා නිම්සරණී හිමිකරගෙන ඇති අතර, ඇයගේ ගායනයට ඩී.එම්. ඉෂාර ලක්මාල්, ඩබ්ලිව්.එම්. ජනිත් මිහිරංග, ඩී.එම්. සත්සර ගිම්හාන යන සිසුන් සහාය වාදනය ලබා දුන්හ. හාමෝනියම් වාදනය ඒකල තරගයේ දෙවැනි ස්ථානය එම්.ඉසුරි ශිෂ්‍යාව හිමිකර ගත්තා ය. ඇයට සහාය වාදනය කවිඳු මෙත්සිත් ශිෂ්‍යයා ලබා දුන්නේ ය. විදුහල්පති ලුතිනන් කර්නල් ආර්.එම්.ටී.කේ. රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ සංගීත භාර ගුරුභවතුන් වන වයි.පී. ධම්මිකා සහ ඉරේෂා රසාංජලී මහත්ම මහත්මීහු පුහුණු කටයුතු සිදු කළහ.
ඩී. එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ
සෙවනගල මහා විද්‍යාලයේ සසිඳුට රිදී පදක්කමක්
සමස්තලංකා නවෝත්පාදන තරගාවලිය පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි. SMART ELECTRIC FAN (ඉලෙක්ට්‍රොනික් විදුලි පංකාවක්) නිර්මාණය කළ තණමල්විල අධ්‍යාපන කලාපයේ සෙවනගල මහා විද්‍යාලයේ සසිඳු මනෝද්‍ය පතිරණ ශිෂ්‍යයා සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමි කරගත්තේ ය. විදුහල්පති ජී. වසන්ත කුමාර මහතාගේ මඟපෙන්වීම මත එරංග බණ්ඩාර සහ ඉසුරු දිල්ශාන් යන මහත්වරු ඔහුගේ නිර්මාණය සඳහා සහාය ලබා දුන්හ.
ඩී. එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ
ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන් ලූස් ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් කොළඹ ආනන්ද විද්‍යාලයට
දිවයිනේ හොඳම පාසල් ශිෂ්‍යභට ඛණ්ඩය සඳහා පිරිනැමෙන හර්මන් ලූස් ශූරතා කුසලානය අඛණ්ඩව දෙවැනි වරටත් හිමි කරගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම සමත් විය. ජාතික ශිෂ්‍යභට බළකායේ බළඇණි 30 කට අයත් පාසල් 1,405ක ශිෂ්‍යභට ඛණ්ඩ අතර, පුරා දින 10 ක් පැවති හර්මන් ලූස් ශුරතා වාර්ෂික කඳවුර, පසුගියදා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී අවසන් විය.
වර්ෂ 2002 දී හර්මන් ලූස් ශූරතාව දිනාගත් ආනන්ද විද්‍යාලය වසර 20කට පසු නැවත 2022 වසරේදී එහි අනුශූරතාවට හිමිකම් කීය. පසුගිය වර්ෂයේ (2023) සහ මෙම වර්ෂයේ අඛණ්ඩව දෙවැනි වරටත් ඔවුන් එම ශූරතාව දිනාගැනීමට සමත් වීම විශේෂත්වයකි.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල් ගුණතිලක
ජූඩෝ තරගාවලියේදී සෝමාදේවී මහා විද්‍යාලයට රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක්
ඉන්දියාවේදි දිල්ලි නගරයේදී පසුගිය දා පැවති SPARDHA 2024 INTERNATIONAL SPORTS OLYMPIAD JUDO ( (ජූඩෝ) තරගාවලියේදී තණමල්විල අධ්‍යාපන කලාපයට අයත් සෝමාදේවී මහා විද්‍යාලය රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් හිමිකර ගත්තේ ය.
කිලෝග්‍රෑම් 44 පන්තියට ඉදිරිපත්වූ ආර්. එම්. චතුනි බිහංසා රන් පදක්කමක් ද, කිලෝග්‍රෑම් 28 බර පන්තියට ඉදිරිපත්වූ ආර්. ඒ. විදුෂි ප්‍රාර්ථනා සහ කිලෝග්‍රෑම් 36 බර පන්තිය ඉදිරිපත්වූ කේ. නවානි සත්සරා යන ක්‍රීඩිකාවන් දෙදෙනා රිදී පදක්කම් දෙකක් ද හිමි කරගත්හ.විදුහල්පති චමින්ද කුමාර මහතාගේ මඟපෙන්වීම යටතේ සුරනි උපමාලි ගුරුතුමිය ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු කළා ය.
ඩී. එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ
මීගහකිවුල ජාතික පාසලේ ඔවිඳු ඉඳුසරගේ සිතුවම් දැක්ම
“නේක හැඩතල වර්ණ රසින් හැඩ කළ” තේමාව යටතේ සංවිධානය කළ මීගහකිවුල ජාතික පාසලේ ඔවිඳු ඉඳුසර ශිෂ්‍යයාගේ “නෙතු රස“ ඒකපුද්ගල සිතුවම් දැක්ම මීගහකිවුල ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විණි. 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉඳුසර චිත්‍ර කලාවට දක්ෂතාවක් දක්වන බව පාසලේ විදුහල්පති අජන්ත පත්ම කුමාර මහතා පැවසුවේ ය. ඔහු විසින් දිය සායම් ඇතුළු මාධ්‍ය රැසකින් අඳීන ලද සිතුවම් සියයක් පමණ ප්‍රදර්ශනයට එක්කර තිබිණි.
මෙම සිතුවම් දැක්මේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වියලුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. එන්. හෙට්ටිආරච්චි මහත්මිය සහභාගි වූවා ය.
ඩී. එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ
සිනමා නිර්මාණයක් පටිගතකිරීම හා දෙදින වැඩමුළුවක්
සිනමා නිර්මාණයක් පටිගත කිරීම සහ සිනමා නිර්මාණය පිළිබඳ දෙදින වැඩමුළුවක් බිබිල යකුන්නෑව විදුහලේදී සහ එම ගම්මානයේදී පසුගිය දා පැවැත්විණි. ප්‍රජා චිත්‍රපට සංකල්පය හඳුන්වාදීමේ අරමුණෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මෙය සංවිධානයකර තිබිණි.මෙම චිත්‍රපටයේ පටිගත කිරීමේ සියලුම කටයුතු යකුන්නෑව විදුහලේ දරුදැරියන්, ගුරුවරුන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි. ප්‍රජා චිත්‍රපට සංකල්පය ජනගතකර ජාතික සංවර්ධනයට ප්‍රජා මාධ්‍ය බල ගැන්වීමෙන් ගමේ නගරයේ තිබෙන ගැටලු, සංස්කෘතිය සහ කතන්දර සමාජගත කිරීමට ද මෙය ආරම්භයක් බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල පැස්කුවල් මහතා සහ කථිකාචාර්ය ඉලේකා රුවන්පතිරණ යන මහත්ම මහත්මීහු පැවසූහ.
ඩී.එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ
ජපානයේ ෂිනානෝ (Shinano) ගඟ, චිකුමා ගංගාව නමින් ද හඳුන්වයි. මෙම ගංගාව ජපානයේ දිගින් සහ පළලින් වැඩිම ගංගාව ලෙස ද හඳුන්වයි. Shinano ගංගාව ඊසාන දිග හොන්ෂු ප්‍රදේශයේ පිහිටා තිබේ. මෙම ගංගාව ජපානයේ ඇල්ප්ස් කඳුකරයෙන් ආරම්භ වී ඊසාන දෙසින් ඇති ගලානෝ සහ නීගතා ප්‍රාන්ත ඔස්සේ ගලා බසියි. හොන්ෂු ප්‍රදේශයට ආවේණික දිගු ඉතිහාසයක් ෂිනානෝ ගඟට තිබේ. මේ කලාපයේ ඇති අනෙකුත් ගංගා සමඟ සැසඳීමේදී ෂිනානෝ ගඟ ප්‍රදේශයේ භූගෝලීය පරිසරය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදුකර තිබේ. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට Shinano ගංගාව පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
ලොව පුරා අනෙකුත් ගංගා මෙන් Shinano ගංගාව ඔස්සේ ද ප්‍රවාහන කටයුතු සිදු විය. ප්‍රවාහන නුටාරු, නීගතා සහ කම්බරා පළාත් වරාය යන වරාය තුනෙන් එකකට භාණ්ඩ ගෙන ගියේ ය. හොන්ෂුහි එක් ප්‍රධාන අභ්‍යන්තර මාර්ගයක් ජපාන ඇල්ප්ස් කඳුකරයේ ෂිනානෝ නිම්නය ඔස්සේ ගමන් කළේ ය. මෙයින් පෙන්නුම් කරන්නේ Shinano ගංගාව දේශීය වෙළෙඳාමේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවයි. ජපානයේ පළමු ජල විදුලි බලාගාරය පද්ධතිය පිහිටා තිබීමත් සමඟ Shinano ගංගා පද්ධතියට ජල විදුලිබල උත්පාදනය පිළිබඳ දිගු ඉතිහාසයක් තිබේ.
Shinano ගංගාව අවට ප්‍රදේශය සංචාරක කර්මාන්තය සඳහා වඩාත් යෝග්‍ය වේ. එයට ප්‍රදේශයේ පවතින ආකර්ෂණීය ස්වරූපය බලපා තිබේ. චිකුමා ගංගාවේ උණු දිය උල්පත් බහුලව තිබේ. මෙම ස්ථානයේ මත්ස්‍යයන් ඇල්ලීමට හැකියාව තිබේ. ෂිනානෝ ගංගාව අවට කඳුකරයේ ඉහළ හිම අනුපාතයක් ඇත. මෙහි යන බොහෝ දෙනා හිම ක්‍රීඩාවේ නිරත වෙති. එය මෙම ප්‍රදේශයේ ජනප්‍රිය ක්‍රීඩාවකි.
Shinano ද්‍රෝණියේ සහ ගං පතුලේ ශාක විශේෂ 1100ක් පමණ මේ වන විටත් වර්ධනය වේ. ෂිනානෝ ද්‍රෝණියේ ජපානයට ආවේණික මත්ස්‍ය විශේෂ විසි පහක් පමණ වාසය කරති. මෙම ද්‍රෝණිය ආශ්‍රිතව සහ ඒ අවට විශාල සත්ත්ව ප්‍රමාණයක් ජීවත් වෙති. එමෙන්ම මෙම ප්‍රදේශය අලංකාර කුරුල්ලන්ගේ ද තෝතැන්නකි.
මේ අනුව ගංගා පද්ධතියේ නිරන්තරයෙන් ගැවසෙන පක්ෂි විශේෂ 130කට වඩා වැඩි ප්‍රමාණයක් දැකගත හැකි වේ. තාරාවන් , කොකුන් සහ අයිබිස් වැනි සංක්‍රමණික පක්ෂියෝ ද මේ අවට සිටිති.
Shinano ගංගාවට අයත් ප්‍රධාන වේලි ගණනාවක් තිබේ. එහෙත් මෙම වේලි, ප්‍රධාන ගංගාවට අයත් නොවේ. එහි අතු ගංගා, පුළුල් ලෙස විහිදී තිබේ. වේලි බැඳ විදුලි උත්පාදනය සඳහා ද ක්‍රමවේද මෙහි සකස්කර තිබේ. මෙහි ඇති ප්‍රධාන වේල්ල නම් සායි ගඟේ අතු ගංගාවක් වන ටකාසේ ගඟේ පිහිටි ටකාසේ වේල්ලයි. ම්භපධඡඥ වේල්ලට පසු ජපානයේ දෙවැනි උසම වේල්ල වන්නේ ද මෙයයි. සකුරිගාවා වේල්ල උධදධ ගඟේ අතු ගංගාවක් වන සංකුනි ගංගාවට සම්බන්ධ වී තිබේ. නාගවාඩෝ වේල්ල, සායි ගඟේ තවත් අතු ගංගාවක් වන අසූසා ගංගාව සමඟ එක්ව තිබේ.
චතුරි ලක්ෂිකා
කෑමෙන් බීමෙන් අනතුරුව අපි මඳ විවේකයක් ගතිමු.
“ගෙදරට පැනගන්න බැරිවේද කංචු?”
“ඒ ගැන තමයි කරුණෙ මාත් හිතුවෙ“
“වෙදමාමා හරි උපක්‍රමශීලියි. අද ඉතින් කාලා බීලා යන එක හරි නෑ. ඔන්න ඔහෙ ඉඳලාම හවස්කොරේම යමු” විමලෙ කියයි.
“ඉතින් දරුවනේ දැන් මෙහෙට ආවා නම්” වෙද බාප්පා කතා කරයි.
අපි එකා දෙන්නා කල්ක හැළිය වටා රොක් වුණෙමු.
“ගුණපාල ?….. අර අර බෝතල් ටික පැහිදාන වතුරෙන් ගත්තද?”
“තාම නෑ වෙද මහත්තයා. එහෙනම් දැන් බාන්නද?”
“ඇයි උඹට අමතක වුණාද වෙනදා කරන දේ?”
“නෑ…………නෑ…….හරි වෙද මහත්තයා” කියන ගුණේ මාමා ලොකු කුඩා බෝතල් පනහක් පමණ එහි වාෂ්ප යන්නටත් මත්තෙන් දැල් ගොටුවකට බේරා පැදුර මත ගෙනැවිත් දැම්මේ ය.
“දරුවනේ අත ඉක්මන් කරපල්ලා. ඔය බෝතල්වලට අවුන්ස හැඳි පහ ගණනෙ පූරවපල්ලා. එක්කෙනෙක් රස්නෙ පිටම මූඩිය වහනවා. අනෙක් කෙනා ටික ටික එක තැනකට කල්කය එකතු කරනවා. තේරුණාද මං කියූ දේ?” වෙද මාමා අසයි.
අපි මාරුවෙන් මාරුවට සියලුම බෝතල් පිරවීමු. ඉතුරු වුණේ තඹලේරුවේ අඩිය හා වටේ ගෑවුණු ප්‍රමාණ පමණකි.
“කෝ බලන්න?” කියූ වෙද බාප්පා “මේක පුතේ හොඳ ඖෂධයක්. කෙට්ටු අය මහත් කරනවා. මාන්දම නැති කරනවා. ආහාර අරුචිය නැති කරනවා. ශරීරය ශක්තිමත් කරනවා. මේක අපූරු ඖෂධයක්. උඹහෙලත් කාලා බලලා හිටිය නම්” .
“මෙන්න මේක මගෙන්. තාමත් රස්නෙයි. මේන් බලනවා පුතේ.” වෙද බාප්පා තඹලේරුවක් පත්තත් සූරා කුඩා දොඹ ගෙඩි තරම් ගුළි තුන හතරක් අපට දුන්නේය. අපි ඒවා කෑවෙමු. එළඟි තෙල් රසත්, මීපැණි රසත් විටින් විට මතුව ආවේය. කිසිදු බෙහෙත් රසයක් එහි නොවුණද අමුතුම නැවුම්, පි‍්‍රයමනාප ගතියක් එහි රසයෙන් දැනුණි.
ඉර අවරට හැරී හෝරා දෙකක් පමණ ගත වන විට කරන ලද වැඩයේ නිමාව ආසන්න වෙමින් තිබුණි.
“වෙද බාප්පෙ අපි එහෙනම් දැන් යන්නම්”
“මේ ඔහොම හිටිල්ලා. කොපි පොතක්, පැන්සලක් ගන්න මේ ගතමනාව තියාගනිල්ලා.” වෙද බාප්පා අපට යම්කිසි මුදල් ප්‍රමාණයක් දෙන්නට සූදානම් විය.
අපි හතර දෙනාම එම මුදල් ප්‍රතික්ෂේප කළේ, එය මුදලට කළ කාරියක් නොවන නිසාම ය.
“දැන් අදට ඉතුරු වුණේ බෝතල්වල ලේබලය අලවන එක විතරයි. ඒක නම් ගුණේ කරලා දාවි. මේ බේත් ඖෂධේ කළුතර මහා සාප්පුවට ගෙනියන්න හෙට එහෙන් තුන් හතර දෙනෙක් එනවා. ඒකයි කලබලේ තිබුණෙ.” වෙද බාප්පා කීවේ අපට දැන ගන්නට විය හැකි ය.
සපත්තු කානුව ළඟදී අපි වෙන්ව ගෙවල්වලට යන්නට කතා කර ගතිමු.
මා ගෙට ගොඩ වෙත්ම ආත්තම්මා සතුටු සිතින් මා දෙස බැලූ බවක් මට දැනුණි.
“අද කෙරුම් කාරයො ටික වෙදඋන්නැහේට අහුවෙලා. හරේ මෙහේ රස්තියාදු ගහනවට වඩා බේතක් හේතක් හදන්න දැන ගන්න එක ලොකු දෙයක් නේ.” ඇය කීවාය.
“අද බෙහෙත නම් හදන්න දන්නවා. ඒත් ඒකෙ නම අහගන්න බැරිවුණා නේ”
“හරි…….හරි………..ඒකට කාරි නෑ”
“මොකද පුතේ අද මහප්පලගෙ ගෙදරින් කිව්වෙ? වෙද බාප්පා එහෙම හොඳට සංගරහේ කෙරුවද?”
“අප්පේ ඒ වැයින් නම් අඩුවක් නෑ. ඒ වුණාට අත නොනවත්වා වැඩ කරන්න එපා ය. කිසිම නිදහසක් මට නම් දැනුණෙ නෑ. ආයෙ හෙටත් එන්නලු. මට නම් යන්න බෑ ආත්තම්මෙ”
“ඉතින් …….මොනවද පුතේ කරන්න තිබුණෙ?” අප්පච්චි ඇසුවේ පෙර කී දෙයට නෑසූ කන්ව සිටි නිසා ය.
“අනේ අප්පච්චි එතැන වැඩ කරන්න බෑ. එක වැඩක් නෙවෙයි. අප්පා වැඩ කෝටියක් එතැන. හෙටත් එන්න කීවා. අපි මුකුත් කීවෙ නෑ. ඒ වගේම යන්නත් බෑ” මම කීමි.
“බැරිනම් මොනවා කරන්නද? දැන් ඉතින් ඉස්කෝලෙ යන්නත් ළඟයි නේ” අප්පච්චි කීවේ ය. බේත් ගෙයි සුවඳ තවමත් මට දැනෙන්නට විය. ඒත් එහි නියැළෙන්නට මා සූදානම් නැත.
වෙද මහත්තයගෙ හැටි අපි නොදන්න වැයි. පුංචි එකෙක් හරි එයාගෙ වැඩ ටික කරලා දෙනවා නම් එච්චරයි එයාට ඕන” අම්මා කීවාය.
“එහෙම කියන්න එපා හාමිනේ. උන්දැ බේත් හේත්වලට කවදාවත් අපෙන් සල්ලි ගන්නේ නැහැනේ.” අප්පච්චි කීවේය.
වෙනදා මෙන් සපත්තු පාලම ළඟට එක්වූ අපි නව පාසල් වාරය ගැන කතා කළෙමු.
අලුත් පොත්, අලුත් පන්තිය සමහර විට අප පන්තියට පිටතින් පැමිණෙන ළමයින් හා ඇඳුම ගැන
අපි කතා කළෙමු.
ගැහැනු ළමයින් නොවූ අප පාසලේ සියලුම කටයුතු පැවරෙන්නේ අපටම ය.
පාසලේ දඟ ළමයකු වී කෙතරම් ගුටි කෑවද මෙවර නව වසරේ හොඳ ළමයකු වී ඉගෙනීම නිසියාකාරව කිරීමට අපි සනිටුහන් කර ගතිමු. ඉගෙනීමෙන් අපට අනාගතයේ යහපත් තැනක් ලබා ගැනීමටත් අපි එකිනෙකාට සහයෝගය ලබා දී දැනුම හුවමාරු කර ගැනීමටත් අපි සිව් දෙනා එකා මෙන් අදිටන්කර ගතිමු.
නිමි.
මෙම උදෘත පාඨය බොහෝ බාලදක්ෂයන් විශේෂයෙන් ආදි බාලදක්ෂයන්ගේ සංගම්වල භාවිතයට ගනු ලබන පාඨයකි.
මෙය බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩ්න් පවෙල් සාමිවරයා විසින් කළ ප්‍රකාශයක් යැයි බොහෝ දෙනකු සිතන මුත් මෙම ප්‍රකාශය කළේ බ්‍රිතාන්‍ය යුද හමුදාවේ හිටපු ෆීල්ඩ් මාර්ෂල්වරයකු වූ හර්බට් ආර්ල් කිචනර් සාමිවරයා විසිනි.
ඔහු හා බාලදක්ෂ ව්‍යාපාරය අතර ඇති සම්බන්ධතාව කුමක්ද ?
ෆීල්ඩ් මාර්ෂල් හර්බට් කිචනර් දකුණු අප්‍රිකාවේ ඇන්ග්ලෝ බෝයර් යුද්ධය වෙනුවෙන් 1899 දී දකුණු අප්‍රිකා බ්‍රිතාන්‍ය යුද හමුදාවේ අණදෙන නිලධාරී ෆීල්ඩ් මාර්ෂල් රොබට්ස් සාමිවරයා විසින් දකුණු අප්‍රිකාව වෙත කැඳවනු ලැබූ අතර, දකුණු අප්‍රිකාවේ යුද මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය. බෝයර් සටන අවසානයේදී 1900 දී දකුණු අප්‍රිකාවේ සමස්ත අණදෙන නිලධාරියා ලෙස පත් විය. බේඩ්න් පවෙල් හා හර්බට් කිචනර් මුණගැසුණේ එහිදී වන අතර, දෙදෙනා අතර කුළුපග මිත්‍රත්වයක් ගොඩ නැඟුණි. බෝයර් සටන අවසානයේදී හෙතෙම බෝයර්වරුන්ගේ ගොවිබිම් පුලුස්සා දමමින් වධකාගාර තුළට අප්‍රිකානු කාන්තාවන් හා ළමයින් ගාල් කිරීම ආදී කෲර වධහිංසන නිසා මුළු මහත් ලෝකයාගේ අප්‍රසාදයට ලක්වූ අතර, එහි ප්‍රතිඵල විඳීමට සිදුවූයේ බ්‍රිතාන්‍යයට ය.
වර්ෂ 1902 දී දකුණු අප්‍රිකාවෙන් සමුගත් අතර, ඔහු එක්සත් රාජධානිය බලා ගියේය . එයින් අනතුරුව ඉන්දියාවේ ප්‍රධාන අණදෙන නිලධාරී ලෙස පත් කළ කිචනර් සාමිවරයා ඉන්දීය හමුදාව ප්‍රතිසංවිධානය කළේ ය.
දැඩි මුරණ්ඩු හා තද ගතිපැවතුම් ඇති ෆීල්ඩ් මාර්ෂල් කිචනර් බොහෝ නිලධාරීන් හා සොල්දාදුවන්ගේ අප්‍රසාදයට ලක්වූ අයෙක් විය. පළමු ලෝක යුද්ධයේ බේඩ්න් පවෙල් සාමිවරයා විසින් තම රටට කෙරෙනා සේවය ලෙස සළකා ආරම්භ කළ “රතු පිහාටු බළකායට “සහයෝගය දීමෙන් වැළකී සිටියේ ය. පළමු ලෝක යුද්ධය අතර තුර එනම් 1916 දී ඔහු හැම්ෂයර් නෞකාවෙන් රුසියාව බලා ගමන් ගත් අතර, ලද බුද්ධි තොරතුරු හා නිරීක්ෂණයන් නොසලකා හැරීමෙන් ජර්මානු සම්බැරීනයක් විසින් ඔහු ගමන් ගත් නෞකාවට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ඇතුළු 737 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දිවි ගලවා ගනු ලැබුවේ දොළොස් දෙනකු පමණි. ඔහුගේ සිරුර කිසිදා ගොඩගැනීමට නොහැකි විය.
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ
අම්පාර බාලදක්ෂයෝ දෙහිඅත්තකණ්ඩිය රෝහල පිරිසුදු කරති
අම්පාර දිසා බාලදක්ෂ සංගමයට අනුබද්ධිත දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර හා හෙන්නානිගල බාලදක්ෂ සමූහයන් එක්ව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල පිරිසුදුකර එහි රෝගීන්හට කැඳ ලබාදීමට පසුගියදා කටයුතු කරන ලදි.
නුවන් කොඩිකාර
————————
කෑගල්ලේ ප්‍රවීණතා පදක්කම් වැඩමුළුවක්
කෑගල්ල දිසා බාලදක්ෂ සංගමය මඟින් සංවිධානය කළ ජාත්‍යන්තර ප්‍රවීණතා පදක්කම් පුහුණු වැඩමුළුවක් කෑගල්ල විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේදී පසුගියදා පැවැත්විණි.
එය, දිසා කොමසාරිස් ප්‍රසාද් වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර පදක්කම් පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
කෑගල්ල දිසාවේ බාලදක්ෂ නායක නායිකාවන්හට පදක්කම් දිනාගැනීම පිළිබඳ සාර්ථක වැඩසටහනක් සහය දිසා කොමසාරිස් (ජාත්‍යන්තර) රිෆ්කා උස්මාන් මහත්මිය විසින් සංවිධානය කරන ලදි. ඉදිරි වර්ෂවලදී බාලදක්ෂයන්ට ජාත්‍යන්තර ප්‍රවීණතා පදක්කම් දිනාගැනීමට අවස්ථාව සැලසීම මෙහි ප්‍රධාන අරමුණ විය.
පරිසරය, සොබාදහම පිළිබඳ ගීත නිර්මාණය කිරීම එතරම්ම සුලබ නොවුණත්, වර්තමානයේ එවැනි නිර්මාණ කිරීම අගය කළ යුතුයි. එවැනි නිර්මාණයක් කෙරෙහි යොමු වුණු පුතකු පිළිබඳ කතාවක් කීමටයි.
මේ සූදානම. ඔහු නමින් නිතිෂ් සදෙව් කවිරත්නයි. ඉතින් අපි ඔහුගේ කතාව විමසා බලමු.
” මගේ නම නිතිෂ් සදෙව් කවිරත්න. මම අධ්‍යාපනය ලබන්නේ මිනුවන්ගොඩ හුණුමුල්ල මහා විද්‍යාලයෙයි. මේ වන විට මම 6 ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ. මම සංගීතය ඉගෙන ගන්න ගොඩක් කැමැතියි. පාසලේදිත් සංගීත විෂය ඉගෙන ගන්නවා. ඒ සඳහා පාසලේ ගුරුවරු මට ගොඩක් උදව් කරනවා. මම 2 ශ්‍රේණියෙ ඉඳලා තමයි සංගීතය ඉගෙන ගන්න යොමු වුණේ. මගේ අම්මාත් තාත්තාත් ඒ වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබාදුන්නා. රන්වල බළකායේ විශාරද ජනක මහතා මෙන්ම මම දැනට සංගීතය ඉගෙන ගන්න විශාරද හේමන්ත ලියන පතිරණ මහතාත් මට ගොඩක් උදව් කළා. මේ හැමදේටම මාව යොමු කළේ මගේ අම්මායි තාත්තායි. ඒ දෙන්නා මගේ දක්ෂතා පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. ඒ වගේම මට සන්නිවේදන කටයුතු ඉගැන්නුව නිලන්ති කරුණාරත්න මිස්වත් මම ආදරයෙන් මතක් කරනවා. නිලන්ති මිස් මට බණ්ඩාර මාමාවත් ඉනෝකා නැන්දාවත් හඳුන්වලා දුන්නා. ඒ අය මට සන්නිවේදන කටයුතු පිළිබඳ පුහුණුවක් ලබාදුන්නා. ඒකත් මට ලොකු ශක්තියක් වුණා. බණ්ඩාර මාමා මගේ සින්දු අහලා මට අලුත් සින්දුවක් ලියලා දෙන්න පොරොන්දු වුණා. ඒ අනුව එයා පරිසරය ගැන සින්දුවක් ලියලා දුන්නා. ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ඒ සින්දුවට තනුවක් දාලා ලස්සන කරලා දුන්නා. ඒ ගැන මට ගොඩක් සතුටයි. ”
නිතිෂ්ගේ සින්දුව පිළිබඳ අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා මෙහෙම කිව්වා. ”දේදුන්නේ පාට වගේ මල් පිපිලා හිනා වෙවි සුළඟේ තාලෙට ගහ කොළ නැටුම් නටනවා” සින්දුව මම ලිව්වේ නිතිෂ්ගේ මවුපියන්ගේ ඉල්ලීම අනුවයි. නිතිෂ් කියන්නේ දක්ෂ දරුවෙක්. නිතිෂ් ඒ වෙන කොට සංගීතය හදාරමින් තමයි හිටියේ. දැන් එයා සංගීත විශාරද විභාගයේ ගායන විශාරද විභාගය පාස් වෙලා ඉන්නේ. ඒ නිසා ඒ දරුවා අනාගතයක් තිබෙන දරුවෙක්. වර්තමාන දරුවන් පරිසරයට ආදරය කරනවා. එලෙස ආදරය කළ යුතු වන්නේ ඇයි කියලාත් අප ඔවුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. ඒ අවබෝධය වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් අවවාදයක් විදිහට කියනවාට වඩා ගීත නිර්මාණයකින් එය පැහැදිලි කිරීම ලස්සනයි.
ඒ නිසා මම මේ ගීතය නිර්මාණය කළා. නිතිෂ්ගේ ගායන ස්වභාවයටත් මේ පද ගැළපෙනවා. කියන්න තියෙන අනෙක් කාරණාව තමයි නිතිෂ් මෙම ගීතය අපූරුවට ගායනා කළා. හැටේ දශකය, හැත්තෑවේ දශකය වගේ දශකවල අපූරු ළමා ගීත නිර්මාණය වුණා. අපි ඒ ළමා ගීත රස වින්දා. ඒ නිසා අපේ සිතට සතුටක් ප්රබෝධයක් ලැබුණා. ඒත් වර්තමානයේදී එතරම්ම ළමා ගීත නිර්මාණය වන්නේ නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව යම්තාක් දුරට මඟහරින්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මම හිතන්නේ ඒ වෙනුවෙන් ගීතයටත් ඒ දරුවාටත් මම සාධාරණයක් ඉටු කළා කියලයි.”
ගී පද රචක ශාන්ත බණ්ඩාර මහතා එලෙස පැවසූ අතර, මේ ගීතය වෙනුවෙන් තනු නිර්මාණය කළ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා නිතිෂ්ගේ දක්ෂතා පිළිබඳ මේ අයුරින් පැහැදිලි කළේ ය. ”වර්තමානයේ බහුල වශයෙන් ළමා ගීත රචනා වෙන්නේ නැහැ. බොහෝ අම්මලා තාත්තලා රියැලිටි සන්දර්ශනවලට දරුවන් යොමු කරනවා. ඒක ලොකු අඩුපාඩුවක්. ඒත් නිතිෂ්ගේ මවුපියන් දෙදෙනාම ඒ දරුවාව ළමා ගීතයක් ගායනා කරන්න යොමු කරලා තිබෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක් ලෙස මම දකිනවා. මේ වගේම ළමා වියේ සිට තම හැකියාවන් දැක්වූ දරුවකු ලෙස හර්ෂණ දිසානායකත් මට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ දරුවාත් ළමා ගීත ගායනයට උනන්දුවක් දැක්වූ දරුවෙක්. ඒ කියන්නේ අපට සම්පතක්. ඒ වගේම නිතිෂ් පුතාත් අපේ රටට සම්පතක් වේවි.”
නිතිෂ් කියන්නේ දේදුන්නේ පාට වගේ ලස්සන දක්ෂතා රැසක් ඇති දරුවෙක්. අපි නිතිෂ් පුතාට මිහිර වෙතින් සුබපතමු.
රූපාන්ති බුලත්සිංහල