එදා සෙනසුරාදා දවසක්. නිවාඩු දවසක් වුණාට රෂේන්ගේ අම්මයි අප්පච්චියි ගෙදර සිටියේ නැහැ. ඒ දෙන්නා රාජකාරි වැඩකට දුර ඈතක ගිහිල්ලා. එනවා කිව්වේ පහුවදාටයි. එදා රෂේන්ගේ අත්තම්මාට ටිකක් සනීප නැහැ. ඒ නිසා අත්තම්මා රෑට කාලා බෙහෙත් බීලා කලින්ම නිදා ගත්තා. රෂේන්ට හරිම පාළු හිතුණා. වෙනදානම් අත්තම්මා කතන්දරයක් කියලා දෙනවා රෂේන්ට. රෂේන් නිදන කාමරයට ගිහින් පොත් රාක්කයෙන් සුරංගනා කතා පොතක් අරන් කියවන්න
පටන් ගත්තා. ටිකක් වෙලා කියවන කොට රෂේන්ට නිදිමතක් දැනුණා. එයා පොත මේසෙ උඩ තියලා නිදා ගත්තා. ටික වේලාවක් ගත වන විට රෂේන්ට තදින්ම නින්ද ගියා. එකපාරටම අමුතු සද්දයක් ඇහිලා රෂේන්ට ඇහැරුණා. රෂේන් වටපිට බැලුවා. කවුරුවත් පේන්න නැහැ. රෂේන් ආයෙත් ඇස් තද කරලා වසාගෙන නිදා ගත්තා. ආයෙත් අමුතු සද්දයක් ඇහුණා.
රෂේන් කොට්ටෙන් හිස යන්තමට ඔසවලා වටපිට බැලුවා. ළා නිල් පාට රාත්‍රී විදුලි බුබුළ සහිත මේස ලාම්පුව දල්වලා තිබුණ නිසා රෂේන්ට කාමරය ඇතුළ යන්තමට පෙනුණා. කවුදෝ පොත් රාක්කය අසල සද්ද කළා.
“මීයෙක් වත්ද? ඒත් සිවිලිම් ගහලා තියෙන නිසා මීයෙක් එන්න විදියක් නැහැනේ.”
රෂේන්ට බය හිතුණා. ආයෙමත් සද්දයක් ඇහුණා. රෂේන් ඔළුව උස්සලා හොඳට බැලුවා. පොත් රාක්කයෙන් බිමට බැස්සේ ලොකුම ලොකු ශබ්දකෝෂයක්.
“මොනවා! ශබ්දකෝෂය ඇවිදිනවා!”
රෂේන් පුදුමයෙන් බලා සිටියා. ඇස් දෙකත් පිස දාලා ආපහු බලා සිටියා. ඔව් ඒ නම් රතු පාට පිට කවරය තියෙන ඉංග්‍රීසි – සිංහල ශබ්ද කෝෂයමයි.
“මේ මේ ඔයාලා නිදිද? පොඩ්ඩක් ඇහරෙන්නකෝ” ශබ්දකෝෂය අනෙක් පොත්වලට කතා කළා.
පොත් එකින් එක පොත් රාක්කයෙන් බැහැලා බිමට ආවා.
“හච්චිං!” එක පොතක් කිවිසුම් ඇරියා.
“බලන්න මේ කාමරය පුරාම දූවිලි . අපේ ඇඟෙත් දූවිලි” තවත් පොතක් කිව්වා.
“ඔව් අනේ මටත් ඇති වෙලා මේ දූවිලි ගොඩේ ඉඳලා. අර අතන මකුළු දැල් ” තවත් කතන්දර පොතක් කිව්වා.
“ඒ මදිවට මේ ළමයා අපිව බිමත් දානවා. අපේ පිටු නවනවා. ඉරි කෑලි අඳීනවා. පැන්සලෙන් අපේ පිටුවල බලි කුරුටු අඳීනවා” තවත් පොතක් කිව්වා.
“අපටත් එපා වෙලා තියෙන්නේ. මේ ළමයා නම් හරිම නරකයි. අපි ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ” තව කවුදෝ කිව්වා. ඒ කවුද කියලා රෂේන් හොඳට බැලුවා.
ආ! ඒ රෂේන්ගේ සෙල්ලම් කාර් එක. කහ පාට කාර් එක.
“මේ බලන්න මගේ රෝදයක් ගැලවෙන්න ළඟයි. ඒත් මේ ළමයට ඒ ගැන වගක් නැහැ. මාත් එක්ක සෙල්ලම් කරනකම් හොඳයි. ඊට පස්සේ මං හොඳීන් ද කියලා නිකමටවත් බලන්නේ නැහැ”
කාර් එක බාගෙට බුරුල් වුණ රෝදය අමාරුවෙන් කරකවමින් කිව්වා.
“බලන්නකෝ මේ ළමයාට එයාගේ අම්මා බුක් මාර්ක් ගෙනත් දීලා තියෙනවා. ඒත් මේ ළමයා අපේ පිටු නවනවනේ. පොත කියවලා නවත්වපු තැනට බුක් මාර්ක් එකක් දාන්නේ නැතුව”
තවත් පොතක් කිව්වා.
“ඇයි මගේ! මගේ කොන්දත් රිදෙනවා . කොඳු නාරටියත් බුරුල් වෙලා මේ ළමයා මාව මුනින් අතට තියලාම” නිල් පාට පුංචි ශබ්දකෝෂය කිව්වා. ඒක රෂේන් ජපන්-සිංහල ඉගෙන ගන්න ශබ්ද කෝෂයයි.
“මාව ගෙනාව අලුත නම් එයා මට ගොඩක් ආදරෙයි. ඒත් දැන් නම් මගේ දූවිලි පිහදාන්නෙවත් නෑ. මේ බලන්න මගේ රිබන් පටියත් ගැලවෙන්න ළඟයි” සෙල්ලම් බඩු අතර සිටි විශාල ටෙඩි බෙයාර් කෙනෙක් එහෙම කිව්වා.
“ඤාව් ඤාව්” ඒ පාර රෂේන්ගේ පුංචි බළල් රාල මිකීත් එතැනට ආවා.
“ඔව්, ඔව් මේ ළමයා නම් හරිම අපිළිවෙල ළමයෙක්. මට කෑම දෙන පිඟානවත් හරියට පිරිසුදු කරන්නේ නැහැ සමහර දවසට” මිකී කිව්වා.
“බුහ්! බුහ්! ” බිරුම් හඬක් ඇසුණා.
“ආ මොනවා ඒ පාර බලු පැටියත් ගේ ඇතුළට ඇවිල්ලද?” රෂේන්ට පුදුම හිතුණා.
“මේ ළමයා මාවත් හරියට පිරිසුදු කරන්නේ නැහැනේ” බලු පැටියා කිව්වා.
“ඒ විතරක් නෙවෙයි එයා අපි දෙන්නාවත් දෙපැත්තකට වීසි කරලා දානවා.” තවත් කටහඬවල් දෙකක් ඇසුණා.
ඒ හඬ ඇසුණේ ඇඳ යටින්. එයාලා ඇඳ යටින් එළියට ඇවිදගෙන ආවා. ඒ තමයි රෂේන් සෙල්ලම් කරනකොට දාන ක්‍රීඩා සපත්තු කුට්ටම.
“මේ ළමයාට නම් අපි හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ”
මේසය මත සිටිය පොත් බෑගය එහෙම කිව්වා.
“අපි මොකක්ද මේකට කරන්නේ?”
ශබ්දකෝෂය ඇසුවා.
“අපි ඔක්කොමලා යන්න යමු වෙන ගෙදරකට. හොඳ පිළිවෙළට වැඩ කරන වෙන ළමයකුගේ ගෙදරට” මිකී කිව්වා.
“ඔව් ඔව් අපි දැන්ම යමු” කහපාට කාර් එකත් හෙමින් හෙමින් ඇවිදගෙන ආවා.
“අපි සුරංගනා කතා පොතටත් ඇහැරවලා එයාවත් එක්ක යමු” ශබ්දකෝෂය එහෙම කියලා මේසය දෙසට ඇවිදගෙන ආවා.
තවත් නම් බලාගෙන ඉඳලා බැහැ. රෂේන් ඇඳෙන් නැගිට්ටා.
“අනේ අනේ ඔයාලා යන්න එපා” රෂේන් කිව්වා.
“බැහැ බැහැ අපි නම් තවත් මෙහෙ ඉන්නේ නැහැ. අපට බැහැ මේ දූවිලි ගොඩේ ඉන්න. අපි යනවා වෙන හොඳ තැනක් හොයාගෙන”
පොත් ඔක්කොම එක හඬින් කිව්වා.
“අනේ එහෙම කරන්න එපා. මං ඔයාලාට පොරොන්දු වෙන්නම් මීට පස්සේ ඔයාලා හැමෝවම හොඳීන් බලා ගන්නවා කියලා”
රෂේන් කිව්වා.
“ඔයා කියන්නේ බොරු . අපට බැහැ, අපි යනවා යන්න ” එහෙම කියලා කහ පාට කාර් එක දොරෙන් එළියට ඇවිදගෙන ගියා. රතු පාට ශබ්දකෝෂයත් නිල් පාට ශබ්දකෝෂයේ අතින් අල්ලාගෙන යන්න පිටත් වුණා.
“අනේ යන්න එපා” රෂේන් මහ හඬින් කිව්වා.
“අපි යන එක යනවාමයි” විශාල සුරංගනා කතා පොතත් දොර ළඟටම ඇවිදගෙන ගියා.
“අනේ මං කියන එක අහන්නකෝ” රෂේන් මහ හයියෙන් කිව්වා.
“ඇයි ඇයි පුතා? මොකද මේ ඔයා හීනෙන් බය වුණා ද?” කවුදෝ රෂේන්ගේ උරහිසෙන් අල්ලලා සොලවනවා රෂේන්ට දැනුණා.
රෂේන් වටපිට බැලුවා. අත්තම්මා රෂේන්ගේ ඇඳ ළඟ බලා සිටියා.
“ඇයි පුතේ?”
අත්තම්මා ඇසුවා.
“මගේ පොත් ටික ගිහින් ද? මගේ කාර් එක? මිකී බූලා එයාලා ඔක්කොමලා ගිහින් ද?” රෂේන් නිදිමතේම ඇසුවා.
“මේ තියෙන්නේ පුතාගේ පොත් ටික. අර අතන සෙල්ලම් කාර් එකත් තියනවා. ඇයි පුතේ?”අත්තම්මා පුදුමයෙන් ඇසුවා.
“ආ එහෙනම් මං හීනයක් ද දැක්කේ? පොත් කතා කළේ නැද්ද? ” රෂේන් තනියම සිතුවා.
“අත්තම්මේ මං අද ඉඳන් මගේ පොත්, සෙල්ලම් බඩු, මිකී, බූලා මීට වැඩිය ආදරයෙන් බලාගන්නවා”
රෂේන් එහෙම කියලා නිදාගත්තා.
“පුතා හීනයක් දැකලා. හා දැන් නිදාගන්න”
අත්තම්මා එහෙම කියලා රෂේන්ගේ හිස අත ගාලා නිදාගන්න ගියා.
එදායින් පස්සේ රෂේන් කතන්දර පොත්වලට, ශබ්දකෝෂවලට, සෙල්ලම් බඩුවලට, සපත්තුවලට, බළල් පැටියාට සහ බලු පැටියාට වෙනදාට වැඩිය ආදරයෙන් සැලකුවා. හොඳීන් රැක බලා ගත්තා.
මේ කතන්දරය කියවූ පුංචි ඔයාලාත් ඔයාලාගේ කතන්දර පොත්, සෙල්ලම් බඩු සහ සුරතල් සතුන් ආදරයෙන් රැක බලා ගනීවි කියලා මං හිතනවා.
-හර්ෂණී ගමගේ
ප්‍රවාහනය යනු මිනිසුන්, සතුන් සහ භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යෑමයි. ප්‍රවාහනය මඟින් වෙළෙඳාම සඳහා අවස්ථාව මිනිසා හට උදා විය. දුම්රිය යනු මිනිසා හට උදවු කරන එක් ප්‍රවාහන ක්‍රමකි. ලෝකයේ සෑම රටකම පාහේ දුම්රිය ප්‍රවාහනය ක්‍රියාත්මක වේ. අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන්ට වඩා දුම්රිය ප්‍රවාහනය ගතික වේ. භාණ්ඩ ප්‍රවාහන සඳහා ද දුම්රිය භාවිත කරනු ලබයි. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ලෝකයේ දුම්රිය ස්ථාන ඇසුරෙනි .
Higashi-Hachimori Station
( හිගාෂි -හචිමොරි දුම්රිය ස්ථානය )
Higashi-Hachimori Station දුම්රිය ස්ථානය ජපානයේ අකිටා ප්‍රදේශයේ Happo නගරයේ පිහිටා ඇත. මෙය නැඟෙනහිර ජපන් දුම්රිය සමාගම පවත්වාගෙන යයි. Higashi-Hachimori දුම්රිය ස්ථානය කිලෝමීටර් 147.2ක් Gono Line මඟින් සේවා සපයනු ලබයි. මාර්ගයේ දකුණු පර්යන්තයේ සිට Higashi-Noshiro දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 18.0ක් දුරින් පිහිටා ඇත. වර්ෂ 1926 අප්‍රේල් 26 වැනි දින විවෘතකර තිබේ.
මෙම දුම්රිය ස්ථානයේ මගී ජනතාවට එහා මෙහා යා හැකි අයුරින් සියලු පහසුකම් තිබිණි.
Udine railway Station
( උඩිනේ දුම්රිය ස්ථානය)
Udine දුම්රිය ස්ථානය ඊසාන දිග ඉතාලියේ Friuli-Venezia Giulia හි ස්වාධීන ප්‍රදේශයේ සිට Udine නගරය දක්වා පිහිටා තිබේ. වර්ෂ 1860 ජූලි 21 වැනි දින මෙම දුම්රිය ස්ථානය විවෘත කළේ ය. Venice ,Trieste,Tarvisio,Cervignano සහ Cividale යන නම් ඇති පේළි පහකින් යුක්ත මංසන්ධියකි. Udine දුම්රිය ස්ථානය නගර මධ්‍යයේ දකුණු කෙළවරේ Viale Europa Unitaහි පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ප්රවෘත්ති නියෝජිතයන් දෙදෙනකු, බැංකුවක්, දේවස්ථානයක්, ෆාමසියක්, සාප්පු, යුරෝස්ටාර් ක්ලබ් සහ දුම්රිය පොලිස් මූලස්ථානය ඇතුළු බොහෝ සේවාවන් සපයන විශාල මගී ගොඩනැඟිල්ලක් ඇත. දුම්රිය අංගණය මගී සේවාව සඳහා ධාවන පථ 7 කින් සමන්විත වේ. වේදිකාවක් නොමැති ධාවන පථ අංක 2 ඇතුළුව, භාණ්ඩ ප්‍රවාහනය, මාරු කිරීම, ස්ථාවර කිරීම සහ ගබඩා කිරීම සඳහා පමණක් භාවිත කිරීම සඳහා මෙය පීලි කිහිපයකින් සමන්විත වේ.
Newark Penn Station
(නෙවාර්ක් පෙන් දුම්රිය ස්ථානය)
නෙවාර්ක් පෙන් දුම්රිය ස්ථානය නිව් ජර්සි හි නෙවාර්ක් හි අන්තර් මාදිලි මගී ස්ථානයකි. නිව්යෝර්ක් අගනගරයේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයකි. මෙම දුම්රිය ස්ථානය එක්සත් ජනපදයේ හත්වැනි කාර්ය බහුලම දුම්රිය ස්ථානය වන අතර, නිව්යෝර්ක් නගරයේ සිව්වැනි දුම්රිය ස්ථානයයි. නෙවාර්ක් පෙන් දුම්රිය ස්ථානය වර්ෂ 1935 මාර්තු 24 වැනි දින විවෘත කළේ ය. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 2007දී ප්රතිසංස්කරණයකර ඇත. නෙවාර්ක් පෙන් දුම්රිය ස්ථානය නිව්යෝර්ක් සහ නිව් ජර්සි වරාය අධිකාරිය මෙහෙයුම් කටයුතු සිදුකරයි.
Beijing South Railway Station
( බීජිං දකුණු දුම්රිය ස්ථානය)
මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ චීනයේ බීජිං නගරයේ සිට කිලෝමීටර 6ක් පමණ දකුණින් ය. බීජිං දකුණු දුම්රිය ස්ථානයේ මහල් 5ක් ඇත. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 1897දී පමණ විවෘත කරන ලදි. වර්ෂ 2006 සිට වර්ෂ 2008 කාලයේ මෙම දුම්රිය ස්ථානය ප්රතිසංස්කරණයකර ඇත. ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව නැවත මෙම දුම්රිය ස්ථානය වර්ෂ 2008 අගෝස්තු 1 වැනි දින විවෘතකර තිබේ. මෙම දුම්රිය ස්ථානය සාමාන්‍ය මගී දුම්රිය ස්ථානය සහ අධිවේගී දුම්රිය ස්ථානය යන දෙකම ඒකාබද්ධ කරයි. මෙය වර්ග මීටර් 320,000ක් ආවරණය වන අතර, වේදිකා 13කින් සහ දුම්රිය මාර්ග 24කින් සමන්විත වේ. මෙම ස්ථානය ප්‍රධාන වශයෙන් අධිවේගී දුම්රිය සඳහා සේවා සපයනු ලබයි. මෙහි අධිවේගී දුම්රිය 383ක් පමණ ක්‍රියාත්මක වන අතර, සාමාන්‍යයෙන් බීජිං-ෂැංහයි අධිවේගී දුම්රිය ඇතුළුව දිනකට ඇතුළුවීම් සහ පිටවීම් 135,000ක් පමණ ගමන් කරයි.
Brisbane Central Railway Station
(බ්‍රිස්බේන් මධ්‍යම දුම්රිය ස්ථානය)
බ්‍රිස්බේන් මධ්‍යම දුම්රිය ස්ථානය ඔස්ට්‍රේලියාවේ ඇන්සාක් චතුරශ්‍රයට එපිටින් ඇන් සහ එඩ්වඩ් වීදිවල බ්‍රිස්බේන් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරේ පිහිටා ඇත. ඇන් සහ එඩ්වඩ් වීදිවලට කෙළවරේ ඇති ප්‍රධාන දොරටුවෙන් සහ වික්හැම් ටෙරස් වෙතින් පදික ප්‍රවේශය ලබා ගත හැකි ය. මධ්‍යම දුම්රිය ස්ථානය සඳහා වූ පළමු ගොඩනැඟිල්ල ලී සහ රැලි සහිත ගැල්වනයිස් කරන ලද යකඩ ව්‍යුහයක් ලෙස නිර්මාණය කර තිබිණි. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 1889 අගෝස්තු 18 වැනි දින විවෘත කළේ ය. බ්‍රිස්බේන් හි නවීකරණය කරන ලද දුම්රිය ස්ථානය දැන් සංචාරකයන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයයි. එය වේදිකා 6 කින් සහ මගීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වේ. මෙම දුම්රිය ස්ථානය නගරයේ කාර්යබහුලම වීදිවලින් එකක පිහිටා ඇත.
Seoul Station
( සෝල් දුම්රිය ස්ථානය )
මෙම දුම්රිය ස්ථානය දකුණු කොරියාවේ අගනුවර වන සෝල්හි පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථානයට සේවය කරනු ලබන්නේ කෝරයිල් නගරාන්තර මාර්ග සහ සෝල් මෙට්‍රොපොලිටන් උමං මාර්ගයේ මගී දුම්රිය මඟිනි. වර්ෂ 1947 නොවැම්බර් 01 වැනි දින මෙම දුම්රිය නැවතුම්පොළ සෝල් ස්ටේෂන් ලෙස නම් කරන ලදි.පශ්චාද් කොරියානු යුද සමය පුරා මෙම දුම්රිය ස්ථානය පුළුල් කරන ලදි. සෝල් දුම්රිය ස්ථානයේ දක්ෂිණ ඇමුණුම වර්ෂ 1957 දෙසැම්බර් 30 දින නිම කරන ලද අතර, බටහිර ඇමුණුම වර්ෂ 1969 පෙබරවාරි 14 දින නිම කරන ලදි. මෙම දුම්රිය ස්ථානය සමහරITX – Saemaeul,Mugunghwa-Ho සහ Korail සංචාර දුම්රිය කිහිපයකට ද සේවය කරයි.
Trieste Centrale Railway Station
(ට්‍රයිස්ටේ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය)
ට්‍රයිස්ටේ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉතාලියේ ඊසානදිග Giulia හි ස්වාධීන ප්‍රදේශයේ ට්‍රයිස්ටේ නගරයට සහ මහ නගර සභාවට සේවය කරන ප්‍රධාන දුම්රිය ස්ථානයකි.වර්ෂ 1857 දී මෙම දුම්රිය ස්ථානය විවෘත කරන ලදි. ට්‍රයිස්ටේ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය කළමනාකරණය කරනු ලබන්නේ Rete Ferroviaria Italiana විසිනි. මගී ගොඩනැඟිල්ලේ වාණිජ ප්‍රදේශය Centostazioni විසින් කළමනාකරණය කරනු ලැබේ. ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කාර්යාලයක්, මධ්‍යම පොරොත්තු ප්‍රදේශයක්, දේවස්ථානයක්, සුපිරි වෙළෙඳසැලක්, පොත් සාප්පුවක්, ෆාමසියක් සහ අධිවේගී දුම්රිය මගීන් සඳහා වෙන් කරන ලද නව විවේකාගාරයක් ඇතුළු පහසුකම් සහිත විශාල මගී ගොඩනැඟිල්ලක් ඇත . දුම්රි පොලිසිය, Trenitalia සහ එහි මෙහෙයුම් කළමනාකරණය සඳහා තවත් එක් කාර්යාලයක් ඇත. සෑම වසරකම දුම්රිය ස්ථානයේ මගීන් මිලියන හයක් පමණ ගමන් කරයි. මෙය මුළු ඉතාලිය සමඟ සම්බන්ධ කරමින් දුම්රිය මගීන්ට සේවය කරයි.
Raghunathbari Railway Station
(රඝුනාත්බරි දුම්රිය ස්ථානය)
මෙම දුම්රිය ස්ථානය ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පිහිටා ඇත. රඝුනාත්බරි දුම්රිය ස්ථානය පූර්බා මෙඩිනිපූර් දිස්ත්‍රික්කයේ රඝුනාත්බරි කමිනාචක්-රඝුනාත්බරි සඳහා සේවය කරනු ලබයි. මෙය හවුරා දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 74ක් සහ පන්ස්කුරා සිට කිලෝමීටර 7ක් පමණ දුරින් පිහිටා ඇත. රඝුනාත්බරි දුම්රිය ස්ථානය Panskura – Haldia මාර්ගයේ කුඩා දුම්රිය ස්ථානකි. රඝුනාත්බරි දුම්රිය ස්ථානයේ සංකේත නාමය’RGX’වේ. Raghunathbari (RGX) හන්දිය හරහා ගමන් කරන මුළු දුම්රිය සංඛ්‍යාව 34ක් පමණ ය. RGX හරහා ගමන් කරන සමහර ප්‍රධාන දුම්රි වන්නේ දීඝා – මල්ඩා ටවුන් එක්ස්ප්‍රස් සහ මල්ඩා ටවුන් – දීඝා එක්ස්ප්‍රස් ආදියයි. රඝුනාත්බරි දුම්රිය ස්ථානය අග්නිදිග දුම්රිය කලාපයට අයත් වේ.RGX හි හොඳීන් ඉදිකරන ලද වේදිකා 3ක් ඇත.
Bigger Railway Station
(බිග්ගර් දුම්රිය ස්ථානය)
බිග්ගර් දුම්රිය ස්ථානය යනු කැනඩාවේ සස්කැච්වාන් හි බිගර් හි වයා රේල් විසින් මෙහෙයවනු ලබන දුම්රිය ස්ථානයකි. කැනේඩියානු – පැසිෆික් දුම්රිය ප්‍රදේශය ඔස්සේ ශාඛා මාර්ගයක් ඉදිකරන විට වර්ෂ 1907 දී බිග්ගාර්ට එහි පළමු දුම්රිය සේවය ලැබිණි . දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ල වර්ෂ 1909 දී GTP විසින් ඉදිකරන ලදි. වර්ෂ 1910 දී පමණ බිග්ගර් දුම්රිය ස්ථානය විවෘතකර ඇත. මෙය බටහිර කැනඩාවේ විශාලතම GTP මධ්‍යස්ථානය විය. බිග්ගර් දුම්රිය ස්ථානයේ මගීන් සහ දුම්රිය සේවකයන් සඳහා දිනකට පැය 24 පුරා ක්‍රියාත්මකවන ආපන ශාලාවක් ඉදිකර ඇත. වර්ෂ 1996 පෙබරවාරි 19 වැනි දින, නියෝජ්‍ය අගමැති සහ කැනේඩියානු උරුමය පිළිබඳ අමාත්‍යවරිය වන ෂීලා කොප්ස් විසින් බිග්ගාර් දුම්රිය ස්ථානය උරුම දුම්රිය ස්ථානයක් ලෙස නම්කර තිබේ.
චතුරි ලක්ෂිකා
Waikiki යනු හවායි දූපතේ පිහිටි හොනොලුලු ප්‍රදේශයට අසල්වැසි මුහුදු වෙරළ ප්රදේශයකි. මෙය ඕෂෝරියා ප්‍රදේශයේ දකුණු පළාතේ වෙරළ තීරයකි. Waikiki වර්ෂ 1795 සිට 1796 දක්වා හවායි රාජධානියේ පළමු අගනුවර වේ. Waikiki »{y… Ýyx Queens Beach , Kuhio Beach , Grays Beach, Fort DeRussy Beach සහ Kahanamoku Beach සමඟින් දිස්ත්‍රික්කයේ වෙරළ තීර හයෙන් එකකි. මෙම වෙරළ තීරය Kapiolani Park , Fort DeRussy , Kahanamoku Lagoon , Kuhio Beach Park සහ Ala Wai වරාය ඇතුළු පොදු ස්ථාන සඳහා නිවහන වේ . හවායි භාෂාවෙන් Waikiki යන්නෙහි තේරුම මිරිදිය පිටකිරීම යන්නයි. අතීතයේදී වයිකිකි අභ්‍යන්තරයෙන් වෙන් කළ තෙත්බිම් පෝෂණය කළ උල්පත් සහ ඇළ දොළ සඳහා මිරිදිය පිටකිරීම යන්නෙන් එම අදහස නිර්මාණය වී තිබේ. ඉතින් මේ සූදානම
පුංචි දූලා පුතාලට Waikiki මුහුදු වෙරළ තීරය ගැන තොරතුරු රැගෙන එන්නයි.
Waikiki බටහිරින් සහ උතුරින් අලා වායි ඇළේ සිට නැඟෙනහිරින් දියමන්ති හිස (Diamond Head) කඳු මුදුන දක්වා විහිදේ. මෙම මුහුදු වෙරළ සාමාන්‍යයෙන් උණුසුම් සහ වලාකුළු රහිත දේශගුණයකින් යුක්ත වේ. සැප්තැම්බර් මැද සිට මාර්තු අග දක්වා හිරු බැසීම මෙම වෙරළ තීරයේ සිට දැක ගැනීමට හැකි වේ. එචඪඬඪඬඪ අහසට උස තට්ටු ගොඩනැඟිලි සහ නිවාඩු නිකේතනවලින් පිරී ඇත. මෙම මුහුදු වෙරළේ අඩක් සංචාරකයන් සඳහා වෙන්කර ඇත. වර්ෂ 1951 සිට Waikiki වෙරළ තීරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මීටර් 80,000ක් පමණ වැලි එකතු කර ඇත. වර්ෂ 1900 මුල් කාලයේ දී Waikiki බොහෝ තෙත්බිම්වල නිවහන විය. මෙම තෙත්බිමේ රෝග වාහක මදුරුවන් සිටින බව තහවුරු වී ඇත. මෙම මදුරුවන්ගෙන් මිදීම සඳහා, සංවර්ධකයන් විසින් අලා වායි ඇළ නිර්මාණය කරන ලදි.
වයිකිකි යනු හවායිහි ඓතිහාසික සටනක පසුබිම විය. 1794 දී I වැනි Kamehameha විශාල දූපතේ සිට ඔරු සමූහයක් සමඟ මෙහි පැමිණියේය. ඔහුගේ හමුදාව Waikiki Beach වෙත කඩා වැදී පසුව Oahu ප්‍රධානී Kalanikupule සහ ඔහුගේ මිනිසුන් සමඟ සටන් කිරීමට Nuuanu වෙත පිටත් විය. Kamehameha ගේ හමුදාවන් උසස් බව ඔප්පු වූ අතර, Oahu රණශූරයන්ට නිම්නය දක්වා පසුබැසීමට සිදු විය. එහිදී ඔවුන් ලුහුබැඳ ගොස් ඔවුන් කඳු බෑවුම් සහිත පාලි කඳුකරයෙන් පලවා හරින ලදි.
ර්ණචඩභ සහ අනෙකුත් හවායි දූපත් ප්‍රථම වරට යුරෝපීයයන් විසින් සොයා ගන්නා ලද්දේ වර්ෂ 1778 ජනවාරි 18 වැනිදා ය. ඒ බ්‍රිතාන්‍ය ගවේෂක කපිතාන් ජේම්ස් කුක් හවායි හි සිව්වැනි විශාලතම දූපත වන ම්චභචඪ වෙත ගොඩබැසීමෙන් ය. හොනොලුලු ආරම්භ වූයේ වර්ෂ 1800 මුල් භාගයේදී විදේශීය ධීවරයන් විසින් පිහිටුවන ලද කුඩා වරාය ගම්මානයක් ලෙසිනි. නැඟෙනහිර දෙසින් ලොම් වෙළෙඳාම් කිරීම, ප්‍රදේශයේ ධීවර සහ තල්මසුන් ඇල්ලීමේ නැව් සඳහා විවේක ස්ථානයක් ලබා දීම නිසා මෙම ප්‍රදේශය වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් විය. වර්ෂ 1809දී පළමුවැනි කමේහමේහා රජු මෙහි පැමිණියේය. නැව්වලින් වර්ධනය වන වෙළෙඳාම දෙස අවධානයෙන් සිටීමට ඔහුගේ රාජකීය මළුව Waikiki ප්‍රදේශයට ගෙන එන ලදි.
වර්ෂ 1800 මැද සිට අග දක්වා Waikiki රාජධානිය රාජකීයයන් සඳහා නිවාඩු නිකේතනයක් බවට පත් කරන ලදි. විදේශීය අමුත්තෝ වර්ෂ 1830 දී Waikiki නැරැඹීමට පටන් ගත්හ. වර්ෂ 1901 මාර්තු 11 වැනි දින වයිකිකි සංචාරක ගමනාන්තයක් ලෙස ගෝලීය පිළිගැනීම ආරම්භ කළේ එහි පළමු ඓතිහාසික වාස්තු විද්‍යාත්මක නිධානය වන මොආනා හෝටලය ගොඩනැඟීමත් සමඟ ය.
එචඪඬඪඬඪ ලෝක ප්‍රසිද්ධ අසල්වැසි හවායි රාජකීයයන්ගේ ක්‍රීඩා පිටියක් විය. වයිකිකි ලොවට හඳුන්වා දෙනු ලැබුවේ වර්ෂ 1901 දී එහි පළමු හෝටලය වන මොආනා සර්ෆ්රයිඩර් එහි වෙරළ තීරයේ ඉදිකරන ලද අවස්ථාවේදී ය. වර්තමානය වන විට Waikiki ප්‍රධාන හෝටලයක් සහ නිවාඩු නිකේතන සහිත ප්‍රදේශයක් වී ඇත. මෙම ස්ථානය සතුට සැමරීමට හොඳ ස්ථානයකි. එචඪඬඪඬඪ හි සන්සුන් ජලය සර්ෆින් ජල ක්‍රීඩා පාඩමක් සඳහා හොඳීන් ගැළපේ. රන් පදක්කම්ලාභී පිහිනුම් ශූරයකු වූ ඩියුක් කහනාමොකු හැදී වැඩී ඇත්තේ වයිකිකි හි ජල තරංගවල සැරිසරමින් ය. මෙම ඔලිම්පික් රන් පදක්කම්ලාභී පිහිනුම් ශූරයා සියවස ආරම්භයේදී රළ පැදීමේ ආකාරය සංචාරකයන්ට ඉගැන්වී ය. “ඩියුක්” සර්ෆින් ක්‍රීඩාවේ වටිනාකම සහ ක්‍රීඩාව ලොවට බෙදා ගැනීමට උපකාරී විය. මොහු නූතන රළ පැදීමේ පියා ලෙස ද ප්‍රසිද්ධියට පත් විය. ඩියුක් කහනාමොකුගේ ප්‍රතිමාවක් ද මෙම වෙරළ තීරයේ නිර්මාණය කරතිබේ.
වර්තමානය වන විට Waikiki වර්ධනය වී ඇත. අක්කර 500 කපියෝලානි උද්‍යානය, වයිකිකි මින්මැඳුර, හොනොලුලු සත්වෝද්‍යානය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ එහි පිහිටා ඇත. Waikiki හවායි හි හොඳම අවන්හල් කිහිපයකට ද නිවහන වේ.
චතුරි ලක්ෂිකා
ශ්‍රී ලංකා බාදක්ෂ මූලස්ථානය සංවිධානය කරනු ලබන “02 වැනි ජාතික කිඩෝරිය -2024” විහාරමහාදේවි උද්‍යානයේ දී පසුගිය (07) සහ (08) වැනිදා පැවැත්විණි. “සිඟිති අතින් සොඳුරු ලොවක්” යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන මෙම ජාතික කිඩෝරියේ පළමු දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් Andalib Elias, දෙවැනි දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් Badli Hisham Bin Adam මහත්වරුන් සහභාගි වූහ. දිවයින පුරා සිටින සිඟිති බාලදක්ෂයන් 10000කට අධික සංඛ්‍යාවක් කිඩෝරියට එක් වූ අතර, ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම් හා විනෝදාත්මක වැඩසටහන් තුළින් සිය හැකියාවන් ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දී තිබිණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ මඟ පෙන්වීම මත සහය ප්‍රධාන කොමසාරිස් (සිඟිති) චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය ඇතුලු කමිටුව විසින් මෙය සංවිධාන කර තිබිණි.
2024 වසරේ නොවැම්බර් මස 13 වැනි දින ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට අලුතින් සිඟිති බාලදක්ෂ අංශය එක්කරනු ලැබූ අතර වයස අවුරුදු 05ත් 07 ත් අතර පසුවන දරු දැරියෝ මීට ඇතුළත් වෙති.
බාලදක්ෂ ව්‍යාපාරය තුළ බාලදක්ෂයන් සදහා ‘ජම්බෝරිය’ද පෝතක බාලදක්ෂයන් සඳහා ‘කබෝරිය’ ද පවත්වන අතර සිඟිති බාලදක්ෂ දරු දැරියන් ජාතික මට්ටමින් ඒකරාශී වීම ‘කිඩෝරිය ‘ නමින් හැඳන්වේ.
මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ජාත්‍යන්තර කොමසාරිස්, විශේෂඥ වෛද්‍ය රජීව් පීරිස්, ජාතික වැඩසටහන් කොමසාරිස්, වෛද්‍ය අසංක ඒරියාව මහත්වරුන්, සහය ප්‍රධාන කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
නුවන් කොඩිකාර
ඡායාරූප-දමිත් වන්නිආරච්චි
ශ්‍රී ලංකාවේ ලී පදක්කම්ධාරීන්ගේ සුහද හමුව හෙවත් ට්ඪතඹඥතත අඥ-උදඪධද පසුගියදා නුවරඑළිය පීඩෘ බාලදක්ෂ මධ්‍යස්ථානයේදී පැවති අතර, ඒ සඳහා, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින බාලදක්ෂ ආචාර්යවරුන් හා ආචාර්යවරියන් එක්ව සිටි අතර, ලී පදක්කම් පාඨමාලාව සම්පූර්ණ කළ ආචාර්යවරුන් හා ආචාර්වරියන් 200 කට ආසන්න පිරිසකට එදින ලී පදක්කම් ප්රදානය කරන ලදි.
බාලදක්ෂ ආචාර්යවරයෙකුට හෝ වරියකට දිනාගත හැකි ඉහළම ප්රදානය ලී පදක්කමය. ඒ සඳහා වෙනත් උපාධි ආදේශක නොමැත.
දින 7 ක හෝ දින 10 ක නේවාසික පාඨමාලාවක් වන 4 වන අදියර හෙවත් උසස් පාඨමාලාව නිම වන්නේ එහි ද්විතීයික කොටස ( අනේවාසික) සම්පූර්ණ කළ පසුවය. මේ කතාව ලොව පළමුවෙන්ම එම ද්විතීයික කොටස සම්පූර්ණ කළ බාලදක්ෂ නායකයා පිළිබඳවය .
1919 දී ගිල්වෙල් උද්‍යානයේ පැවති ලොව පළමු ලී පදක්කම් පුහුණු පාඨමාලාව කොටස් දෙකකින් යුක්ත විය. එනම් පුද්ගල පුහුණුව හා ඒකක පුහුණුව නමිනි. පාඨමාලාව හැදෑරූ පුද්ගලයන් ඉන් අනතුරුව තමන්ගේ කණ්ඩායම සමඟ කටයුතු කරමින් පුහුණුව ලැබීම මින් අදහස් කෙරේ. වර්තමානයේද බාලදක්ෂ නායකයන් සඳහා වූ උසස් පාඨමාලාවට මෙම ද්විතීයික පුහුණුව අනිවාර්ය අංගයකි. එදා එම පළමු පාඨමාලාවේ මෙකී ද්විත්ව පුහුණුව සම්පූර්ණ කළ ලොව ප්‍රථම බාලදක්ෂ නායකයා ලෙසින් වාර්තාව තබා ඇත්තේ ආචාර්ය ජෝන් ෆෙඩ්රික් ස්කිනර් විල්සන් මහතාය .
වර්ෂ 1908 ජනවාරියේ දිනෙක ඔහු මිතුරන් සමඟ මසුන් ඇල්ලීමට ගොස් සිටියේය. ඔවුන් සිය පාපැදිවලින් ආපසු එන ගමනේදී බ්ලැක්පූල් හි පුවත්පත් කඩයකට ගොඩවැදුණු කල අහම්බෙන් මෙන් දුටු බාලදක්ෂයන් සඳහා වූ බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු දෙසතියක සඟරාව ගෙන කියවන්නට විය. එහි යම් කොටස් පිටපත් කර එවා තම මිතුරන්ට ලබා දී පසුදා රැස්වීමක් සංවිධානය කළේය. එදා ඇරඹි එම රැස්වීම පසුව 1 වන බ්ලැක්පූල් බාලදක්ෂ කණ්ඩායම බවට පත්විය. පා ගමන්, මසුන් ඇල්ලීම, ගුවන් විදුලි සම්ප්‍රේෂණය ආදී කාණ්ඩ ක්‍රියාකාරකම් සඳහා තම සගයන් මෙහෙය වූ විල්සන් හෙවත් විල්කි 1913 දී රසායන විද්‍යව හැදෑරීම සඳහා මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. පසුව හෙතෙම රාජකීය නාවුක හමුදාවේ ගුවන් විදුලියට බැඳුණි.පසුව ප්‍රංශයේ යුද ටැංකි බලකායට අනුයුක්ත විය .
1919 දී නැවත සිය අධ්‍යයන කටයුතු ආරම්භ කළ අතර ඔහු රසායන විද්‍යා වෙනුවෙන් BSc (1 st Class Hon, Chemistry ) උපාධිය ලබාගත් අතර, පසුව DSC හා PhD යන උපාධිය ලබා මැන්චෙස්ටර් රාජකීය රෝහලේ අධ්යක්ෂ ලෙසින් කටයුතු කරන ලදි.
1919 දී පැවත්වූ ප්‍රථම ලී පදක්කම් පුහුණු පාඨමාලාවට සහභාගි වූ ඔහු පසුව ඇල්ඩර්ලි උද්‍යානයේ පැවති මුල් ලී පදක්කම් පාඨමාලාවට නායකත්වය දුන්නේ ය .පසුව ඇල්ඩර්ලි උද්‍යානයේ නියෝජ්‍ය කඳවුරු ප්‍රධානියා විය .
විශිෂ්ට බාලදක්ෂ සේවාව උදෙසා 1992 දී රිදී වුල්ෆ් සම්මානයෙන් පිදුම් ලත් විල්කි 1994 දී එවකට 97 හැවිරිදිව සිටියදී ගිල්වෙල් උද්‍යාන සුහද හමුවට ( Gillwell Re_union) සහභාගි විය.වසර 102 ක දිවි ගමන නිමා කරමින් විල්සන් මහතා 1998 අගෝස්තු 13 සිය නිවසේදී මිය ගියේ ය .
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ
“අද නම් ඉතිං කංචු නාවත් අපි යනවා හේන කන්දේ ඇවිදින්න. මොකද කංචු කියන්නේ?” විමලේ ඇසීය.
“ඇයි මොකද මං දාලා යන්නද හදන්නේ? ” මම ඇසුවෙමි.
“නෑ අනේ, අපට වගේ සැහැල්ලු නිදහසක් උඹට නෑ නොව. එක පැත්තකින් අප්පච්චී, ආයෙ අනෙක් පැත්තෙන් අත්තම්මා, ආයේ අම්මා…? නිතී රෙගුලාසි වැඩි නොව ඒකයි මම කිව්වේ”
“ආ…. හරි…. හරි…. ඒ ඕන රෙගුලාසියක් තිබුණාවෙ මාත් එනවා…” මම කීමි.
හේන කන්ද විශාල කඳුගැටයක් නොවේ. ඒ වුණත් එය කුඩාම කන්දකුත් නොවේ. එහි තේ පඳුරු ලස්සනට කප්පාදු කර ඇති අතර, ඉඳහිට කෝපි පඳුරු දෙකක් ද දකින්නට ලැබේ.
ඒ වගේම වැඩුණු මාරගස් කපන්නට සලකුණුකර ඇති ඒවායේ පිට පොත්ත රවුමට ගලවා දමා ඇත. ඒ නිසා එහි කොළ මල් වියළී ගොස් අතු ඉති පත්‍ර සලා දමා මියැදුණා මෙන් තිබේ. දිරා ගිය ඇතැම් කොටස්වල කොට්ටෝරුවන් කොටා හාරන ලද බෙනවල ගිරව්, මයිනෝ වැනි කුරුල්ලෝ පදිංචිව සිටිති.
බොහෝ අය උන්ගේ පැටවුන් කුඩා කාලයේදිම උන්ගේ වැඩිහිටියන්ගෙන් උදුරා ගනිති. එසේ අරගෙන සමහර දෙනෙක් කුඩා අවධියේදීම පැටවුන් මුදලට විකුණා දමති. සමහර පැටියෙක් දෙන්නෙක් ගෙවල්වල කූඩුකර සුරතලයට හදති. අපේ ගෙදර නම් එම පැටවුන් ගෙදරට ගෙන ඒම සපුරා තහනම් ය. ඒ නිසා මා යන්නේ විනෝදයට මිස මට ගෙන ඒමට නොවේ.
ගෙදරට පැමිණි කරුණේත්, ඔවුන් හා යන්නට මට කතා කළත් මා අදිමදි කළ නිසා කෙළින්ම අප්පච්චීට කීවේ ය.
“මොකද දරුවෝ උදැහැනැකම. අද රෝන්දයක්වත් ගහන්න ද?”
“ විදානේ මාමා අපි අද හේන කන්දේ ඇවිදින්නට යනවා”
“ ආ…… කජු, නාඹර වෙලා නැතුව ඇති තාම. කුරුලු පැටවු ඉගිලෙන විටදි තමයි ඒවායේ මද හයි ගැහෙන්නේ.”
“කෝ…. අපේ ඉලන්දාරියත් යනවද? මං කතා කළා මාමා පිළිතුරක් ලැබුණේ නෑ තාම”
“ හ්ම්… මං මොනව කීවත් අපේ අම්මාගෙන් බේරිලා යනවා බොරු. ඉලන්දාරින්ට මේ වයසේ නිදහස ඕන. තව මාස දෙකකට වඩා නැහැනේ.”
“ කංචු….. යමු..” කරුණෙ කීවේය.
“කොහෙද යන්නේ දරුවෝ?” අත්තම්මා ඇසුවා ය.
“අපි මේ හේනේ කන්දේ යනවා අත්තම්මේ” “ආ………… දැන් කජුනම් හැදිලා ඇති. මලු ගැටයකුත් අරගෙන යන්න දරුවෝ.” ඇය කීවා ය.
ලැබුණු ඉඩකඩින් අපි ගෙදරින් පැනගතිමු.
“පරිස්සමට ගෙහුං වරෙල්ලා දරුවනේ. කෝ තව කවුද යන්නෙ..?”
“ විමලෙයි… සුගතෙයි යනවා. අපි හතරදෙනයි”
“ හ්ම්…. සත්තු සර්පයො ඇති බලාගෙන යන්න.” අම්මා ද කීවා ය.
“කරුණේ ඔය ගස් බෙනවලට අත දාන්නේ බලාගෙන….. ඇහුණ ද මං කියපු එක”
“ ඔව්…….. විදාන මාමා……. ඔව්…..”
කංචු නම් කොහොමටත් ගස් නඟින්නේ නැත.
පන් මලු දෙකක් සිහින් කඹයක් ද, අත්පොරව ද, කුඩා පිහි දෙකක් ද අපේ ගමන් මල්ලට එකතු විය. වතුර ගැනීමට ද අපි අමතක නොකළෙමු.
උදේ තම්බා තිබූ බතල අල පහ හයක් ද මගේ ගමන් මල්ලට දා ගැනීමට ද මම අමතක නොකළෙමි.
දැවන්ත මාර ගස්වල ගිරා බෙන තිබෙන බව අපට පෙනිණි. ඒවායේ කුරුල්ලෝ අවට ගස්වල සිට ගීත ගයති.
“අර මාර ගස් මණ්ඩියේ නම් කුරුලු පැටවු ඇති. අපි යමුද බලන්න?”
විමලේගේ යෝජනාවට කරුණේ ද එකඟ විය.
“කෝ ඒ හරියට යන්නට අඩිපාරක් වත් නෑ නේ…”
“ඒකට තමයි කංචු පිහිය ගෙනාවේ. ඔය ගෝතමාන පඳුරු කප කපා ඒ හරියට යමු. එතකොට පාර ඉබේම හැදෙයි.”
කරුණේ කීවේ මගේ කම්මැළිකම පෙනුණ නිසා බව දනිමි. “ඒත් ඉතිං නතරවෙලා ඉන්නයැ. ඕන එකක්” මම නිහඬවම සුගතෙත් සමඟ උසට නැඟුණු ගෝතමාන පඳුරුවලට පිහියෙන් පහර දෙමින් ඉදිරියට ගියෙමි.
“ මගේ නම් අතත් රිදෙනවා සුගතේ”
“කෝ කංචු මෙහාට දීපන් ඔය පිහිය. දැන් කැලේ අඩු ඉසව්ව නේ තියෙන්නේ. “කරුණේ කිවේය.
අප දුටු දේ නිවැරදි ය. කුරුලු පැටවු තවම පරිසරයට නිදහස් කර නැත. මහ එවුන් කෑම ගෙනැවිත් පැටවුනට කවති. තවත් පොඩි ගලක් උඩ හිඳගත් අපි එදෙස බලා සිටියෙමු.
“අනේ කවුද පැටවු ගන්න ගහට නඟින්නේ?” මම ඇසුවෙමි.
“බලන්නකෝ කංචු උන් කොයිතරම් නිදහසේ ද ඉන්නේ.
අපට ඕන නෑ කුරුලු පැටවු. උන් අම්මලාගෙන් වෙන් කරල ගෙනියන එක කොයිතරම් පාපයක් ද?” විමලේ කීය.
“කුරුලු පැටවුන් උන්ගෙ අම්මලාගෙන් උදුරාගෙන නොයනවට මාත් කැමැතියි.” මමත් කියුවෙමි. අපි කවුරුත් එම පව්කාර සිතුවිල්ල නතර කළෙමු.
“අපි කජු කඩමු.” සියල්ලෝම එයට එකඟ වූහ. විමලේ නම් ගසට නැඟ පුහුලම හපකර එහි ඉස්ම බී ඇට ගස මුලට දැමීය. මම කජු ඇට ඇහිඳගත් අතර, පුහුලම් ද කඩා පැණි බීවෙමි.
කුඩා කජු ගසට නැඟුණ මම නාඹර කජු කඩා ගතිමි. ඒවා කිරි කජු මාළුවට කියාපු ගාණට පැහිලා ය.
“අන්න කංචු කජු ගහට නැඟලා. හැබැයි කඩන්නේ කිරිවත් මිදුණේ නැති ගොන් කජු” සුගතේ විහිළු කළේ ය.
කජු නාඹර මෙන්ම වවුලන් හපකර ඇටය ඉවත ලූ කජු ද අප අහුලා ගතිමු. නිවෙසට එන ගමනේදී ඇඹුල් පේර හා එරමිණිය ගෙඩි ද, ඇඹිල්ල ගෙඩි ද රොක්කර ගෙනාවෙමු.
ගෝතමාන පඳුරු කපමින් පාර සාදා ගෙනගිය නිසා ආපසු එන මඟ සොයා ගෙන එන්නට අපහසුවක් නොවී ය. කජු පුහුල් නොගෙනාව ද අපි හතර දෙනාම කජු ඇට ගෙනැවිත් තිබිණි.
හිරු ගරාකුල කන්දෙන් එහා පැත්තට පනින්නට කල්වේලා තබාම අපි ගෙවල්වලට ආවෙමු. හෙට කියන දවස ගැන අපි සපත්තු පාලම ළඟදී කතාකර ගත්තෙමු.
මා ගෙදර එනවිට අම්මා මඟ බලාගෙන ආලින්දයට වී සිටියා ය. අත්තම්මා තමා ගෙතූ පැදුර අවසානය නිමා කරමින් සිටියා ය. අප්පච්චී හින්නි අප්පු මාමා සමඟ ලොකු කතාවක ය.
“කෝ අයියෙ ඔයා අපට කජු පුහුලන් ගෙනාවද?”
මල්ලී වෙනුවෙන් කජු පුහුලන් එකක් හෝ ගෙන එන්නට බැරිවීම ගැන මම කම්පා වුණෙමි.
“පුහුලන් ගේන්න බෑ මල්ලි. ඒවා තැළෙනවා. හුඟ හරියක් වවුලො බීලා. අපි කවුරුත් කජු ඇට තමා ගෙනාවෙ.” මම මුසාවක් පැවසීමි. එහෙත් එරමිණියා, ඇඹිල්ල ලෑලි මේසය මතට දැමුවෙමි.
“හ්ම්… ඔය ගෙනැත් තියෙන්නේ.” කියු මල්ලී ඒ ගැන කිසිදු අගය කිරීමක් නොකළ නිසා මගේ සිතට දුකක් දැනුණි.
“හොඳ කජු ඇට ටිකක් නම් හම්බවෙලා තියෙනවා” අත්තම්මා එය අගය කළාය.
“ගිරා පැටවු අල්ල ගත්තද දරුවො? ගස් කීයකට බඩ ගෑවද?”
“ගිරා අම්මලා උන්ගෙ පැටවුන්ට ආදරෙන් කවන හැටි බලා උන්නා මිසක් අපි උන් අල්ලන්නට ගියේ නැහැ අප්පච්චී” මම කීවෙමි.
“ඇති. ඇති. ඒ පවුකාර වැඩේ තමන්ටම එපා වුණා නම්”.අම්මා ද කීවා ය.
“ඔය කජු ඇට එහෙම කවුරුත් කපන්න යන්න එපා. ඕවායෙ තියෙන කිරිවලට ගෑවුණ තැන වණ වෙනවා. කිරි ගතිය ටිකක් හේබෑවිලා ගියාම මං කපලා දෙන්නම්” අත්තම්මා කීවාය.
“දන්නෙම නැතුව ඉස්කෝලේ පටන්ගන්න දවසත් ළංවෙනවා. දැන් ඉතිං ඒවාට ලක ලැහැස්ති වුණොත් හොඳා නේද කංචු?”
“ඔව් අප්පච්චි මට අලුත් ඇඳුමකුත් ගන්න ඕන. පොත් ලිස්ට් එකනම් නිවාඩු දවසෙම දුන්නා. තාම ඒවා ගත්තෙත් නෑ නේද අප්පච්චි?” මම ඇසෙන නෑසෙන සේ කොඳුළෙමි.
“හුඟ දෙනෙක් රස්සාවලට ගෙහුං අපි හතර පස් දෙනා තමයි ගෙවල්වලට වෙලා ඉන්නේ.” මා කීවේ කිසිම රැකියාවකට යන්න ගෙදරින් ඉඩක් නොලද බැවිනි.
රත්නා කහඳගමගේ
බස් වහරේ රසය විඳගනිමු
සාමාන්‍ය ව්‍යංජනයකට වඩා ස්වාභාවික රසකාරක යොදා රසවත් ලෙස සාදාගන්නා ව්‍යංජනයක් ආහාරය ලෙස ගැනීමට අපි කවුරුත් වැඩි ප්‍රියතාවක් දක්වන්නෙමු.
ඒ මන්දයත් එය සුවඳීන්, රසයෙන්, හා වර්ණයෙන් අනූන වීම යැයි කිව හැකි ය.
අපි පරිශීලනය කරන නවකතා, කෙටිකතා හා ගද්‍ය පන්ති යනාදී නිර්මාණ ද එකිනෙකට වෙනස් බවක් උසුලයි. කියවීමේදී යම් නිර්මාණ නැවත නැවතත් කියවීමට රුචි බවක් ලබාදෙන අතර, ඒවා ඉහළ රසාස්වාදයක් ඇති නිර්මාණ වේ. ව්‍යංජනයේ රස වැඩිකරලීමට ස්වාභාවික රසකාරකයන් එකතු කරගන්නා සේම ලිඛිත බස් වහරේදී එහි රසය වැඩි කරලීමට ඒ සඳහා උපමා, රූපක, ව්‍යංගාර්ථය හා උත්ප්රේක්ෂාත්මක බස යොදා ගැනීම සිදුකරනු ලබයි. ඒ මඟින් ඉහත කී රසයෙන් වැඩි නිර්මාණ බිහිවී, ඒවා ගුණාත්මක නිර්මාණ ලෙස ප්‍රචලිතව බොහෝ පිරිසකගේ රුචිකත්වයට ද පාත්‍ර වනු ඇත.
මෙලෙස යම් නිර්මාණයක රසය හා අලංකරණය වැඩි කරගැනීම පිණිස යොදා ගනු ලබන එක් උපක්‍රමයක් ලෙස “උපමා – උපමේය” හැඳීන්වීමට හැකි ය.
පරිසරයේ ඇති ඕනෑම වස්තුවකට තවත් වස්තුවක් සමානකර දැක්වීම “උපමා” යෙදීමක් ලෙස ද, උපමාවෙන් සමාන කර දක්වන පදයට යටත්වන පදය එනම්, සැබෑ වස්තුව “උපමේය” ලෙස ද විග්රහ කළ හැකි ය. උපමාවක් සැමවිටම මෙන්, සේ, වැනි, වගේ, මෙනි, ලෙසේ, ලෙසිනි යන පදවලින් සමන්විත වෙයි.
ඒ අනුව,
“මල් වරුසා වස්සනවා මෙන් උදෑසන ඇද හැලෙන හිරි පොද වැස්ස”
යන වැකිය ගෙනහැර පෑ විට මෙහි “හිරිපොද වැස්ස” යන උපමේයට “මල් වරුසා” නමැති උපමාව ලබාදී එයට අලංකාරය එකතුකර ඇත.
කා අතරත් ජනප්‍රිය වූ ‘බැද්දේගම’ නවකතාවේ,
“නිරිත දිග තද සුළඟට ඇඹරවී ඇටුවන් බැහී ගිය ගහක් මෙන් ඇගේ ශරීරය ද නැමී ඇඹරී තිබිණ”
මෙම වැකිය අප කාගේත් නෙත ගැටෙන්නකි. කතා පුවතේ මෙම කොටසෙහි එන උපමේය වූ, නැමී කුදු වූ කෘශ ශරීරයකින් හෙබි වයෝවෘද්ධ කාන්තාවක් වූ කර්ලිනාහාමිගේ චරිතය පෙන්වාදී ඇත්තේ සුළඟට ඇඹරී ඇටුවන් බැහී ගිය ගසක් උපමා කරගනිමිනි. එලෙස කර්ලිනාහාමිගේ චරිතය ජීවමාන ලෙස අප සිතෙහි සනිටුහන් කරන්නේ උපමා උපමේය මඟිනි.
අදටත් මාර්ගෝපදේශ සපයන අලගියවන්න මුකවෙටිතුමා විසින් රචිත ‘සුභාෂිතය’ උපමා-උපමේය සහිත කවිවලින් යුක්ත ය.
නැණැති දනන් හට මඳ ගුණයක් කළ ද
පවති ගල කෙටූ අකුරක් මෙන් නිබඳ
විමති දනන් හට කළ කිසි ගුණ නොමඳ
එනැති වේය දිය පිට ඇඳී ඉරක් ලෙද
මෙහිදී “ගලක කෙටු අකුරක් මෙන්” උපමාව ලෙස යෙදෙන අතර, “නුවණැති මිනිසුන් හට සිදු කළ උපකාරය” උපමේය ලෙස යොදා ගනිමින් හොඳ මිනිසුන් හට කවුරුන් හෝ උපකාර කළ ද එය සදා තම මතකයේ තබාගන්නා අයුරු මනා අලංකාරවත් ලෙස පෙන්වාදී ඇත.
එහෙත් අනුවණ මිනිසා හට කොතරම් උපකාර කළත් එය එම මොහොතේම ඔවුන් අමතක කරදමන බව අලංකාරවත් ලෙස පෙන්වා දී ඇත්තේ, එම “අනුවණ මිනිසුන්” උපමේය ලෙස ද “දිය පිට ඇඳී ඉර” උපමාව කොට ගනිමින් ය.
විවිධ පොතපත පරිශීලනයේදී මෙවැනි වැකි බොහොමයක් අප නෙත ගැටෙනු ඇති අතර, උපමා-උපමේය යොදා බස රස ගැන්වූ නිර්මාණ මනා ලෙස ඇසුරු කරමින් අපි සාහිත්‍යාංග නිර්මාණයන්හි හා සිංහල භාෂාවේ රසය විඳගනිමු.
මෙතුම්ලි මුදලිගේ,
11 ශ්‍රේණිය,
මධ්‍ය විද්‍යාලය,
පිළියන්දල
වැව් ඉවුරක සිට අහස බලමි
අහස සුන්දරයි. වැව් දියෙන් අහස පෙනෙයි. මම වැව් ඉවුරේ සිට සිරි නරඹමින් සිටියෙමි. වැව් තලයට වැටුණු අහස පලසක් මෙනි. වලාකුළු අතරින් බලා හිනැහෙන තරු පොකුරු ය. කණාමැදිරියන් ද එළි දල්වාගෙන එහේ මෙහේ පියාඹති. කණාමැදිරියන්ගේ විදුලිපන්දම අපට එතරම් නොසෑහෙයි. ඈතින් කවුදෝ ගීතයක් ගායනා කරනු මම අසා සිටියෙමි. විටින් විට ඇසෙන ගී රාවය නිසා මගේ සිතට තවත් මිහිරක් ගෙන එයි. මේ ගීතයට මම ද ආසා කළෙමි. රෑ අහස පිළිබඳත්, ගං ඉවුරක සිට අහස දෙස බලන ආකාරයත් බොහෝ කවියෝ රචනයට නඟති. එහෙත් වැව් ඉවුරක සිට අහස දෙස බැලූ අයකු වෙත් ද යන්න නම් මම නොදනිමි. කෙසේ වුවත්, එය රසවත් අත්දැකීමකි. ඒ අත්දැකීම විඳ ගැනීමට මම භාග්‍යවත් වුණෙමි. එය වැව් අසල ජීවත්වන බොහෝ දෙනකුගේ අත්දැකීමක් වන බව නම් නිසැක ය.
ඩී. එම්. විදුනි අනුජනා දිසානායක
5 ශ්‍රේණිය
මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල
සැඳෑ අහස
දවස තිස්සෙම වැඩ කරලා ඉර මාමාට හරි ම මහන්සියිලු. ඔන්න දැන් එයා නිදා ගන්න යන්නයි සූදානම් වෙන්නේ. නිදා ගන්න කලින් රතු පාට රෙද්දක් එළලා ලස්සනට එයා වලාකුළු යහනාවක් හදාගෙන. ඉතින් පුංචි යාළුවනේ, ඔයාලත් එන්නකෝ මාත් එක්ක ඒ ලස්සන බලන්න රවුමක් යන්න.
හැබැයි ඉතින් අපේ ඉර මාමාට චුට්ටක් තරහා ගිහින් වගේ. එයා රතුම රතු පාට වෙලා. හරි ම ලස්සනයි. ඔව් හැන්දෑ අහස බලන අපට රතුම රතු පාටට ඉර මාමාව බලන්න පුළුවන්. එයා වටේ තියන වලාකුළුත් රෝස පාටයි. නැත්නම් රතු පාටයි. රාස්සිගේ අව්ව වැටිලා හැමතැනම රතු පාට වෙලා. රෝස පාට, රතු පාට වළාකුළු දිහා බලාගෙන ඉද්දි ලස්සන ලස්සන චිත්‍ර, හැඩතල මැවිලා පේනවා. එක තැනක පුංචි හාවෙක් වගේ. තව තැනක පුංචි කුරුලු පැටියෙක් වගේ. තැනින් තැන කැටි ගැහිච්ච වලාකුළු පුලුන් බෝල වගේ.
ඉර මාමා නින්දට යන නිසා දුක හිතුණ වද ගහේ මලුත් ටිකෙන් ටික පෙති හංගගෙන, දුකෙන් බිමට නැවිලා. අනෙක් මලුත් එහෙමයි. එයාලට ගොඩාක් දුක හිතිලා වෙන්න ඇති. පෙති ඇකිළිලා. බිමට වැටිලා. උදේ පාන්දර තිබිච්ච හිනාව ඈතට ගිහින්. හැබැයි සේපාලිකා මල්වලට නම් සතුටුයි වගේ. එයාල ටිකෙන් ටික හිනා වෙන්න පටන් ගන්නවා. ඉර මාමා ගියාට පස්සේ එන සඳ මාමාව පිළිගන්න අහස දිහා බලාගෙන හිනා වෙනවා.
පුංචි කුරුලු පැටව් කෑම හොයාගෙන අහස පුරාම පියාඹලා ඔන්න දැන් ආපහු එයාලගේ කූඩු හොයාගෙන යනවා. තනියම යන එයාලා දිහා බලන් ඉද්දි පුංචි අපටත් එහෙම පියාඹන්න තිබුණා නම් කියලා හිතෙනවා. තවත් අය රෑන් පිටින් පියාඹාගෙන යනවා. කුරුල්ලො සිය ගානක් අහස පුරාම පියාඹාගෙන යද්දි හරිම ලස්සනයි. එයාලගේ එකමුතුකම, සහෝදරත්වය, සමගිය අපි හැමෝටම ලොකු ආදර්ශයක්.
පියාඹාගෙන යන කුරුලු රෑන් එක්ක එහාට මෙහාට ඉගිල්ලෙන සරුංගලයකුත් ඔන්න අහසේ තියනවා. නූල් කැඩිලා ඈතට ඈතට එයා පාවෙලා යනවා වෙන්න ඇති. පුංචි අපිත් අම්මා අප්පච්චි කියන දේ ඇහුවේ නැතිව හිතුවක්කාර වුණොත් හරියට සරුංගලේ වගේ අතරමං වෙනවා. සැඳෑ අහසේ පාවෙන ලස්සන සරුංගලේ පුංචි අපට ලොකු පාඩමක් කියා දෙනවා.
තව ටිකක් වෙලා බලාගෙන ඉද්දි ඈත අහසේ සුදු පාට මහත දිග ඉරක් වගේ දුම් පාරක් හැදිලා පේනවා. ජෙට් එකක් හොරෙන්ම කොහේද ගිහින් යනවා. කිසිම සද්දයක් නැතුව. හැබැයි ඉතිං හෙලිකොප්ටරයක් නම් ඔන්න ලොකු සද්දෙකුත් එක්ක තමයි අපට දකින්න ලැබෙන්නේ. රතුපාට වලාකුළු මැද්දෙන් එයාලා එයාලගේ ගමන පරිස්සමට යනවා. හරියට ලස්සන චිත්‍රයක් ඇඳලා වගේ.
ඔන්න ඉතින් දැන් චුට්ට චුට්ට අඳුර වැටීගෙන එනවා. හැන්දෑ අහස ටිකෙන් ටික අපට නොපෙනී යනවා. ආයෙත් අලුත් දවසකට අලුත් එළියක් අරගෙන එන්න ඕන නිසා ඉර මාමාත් නින්දට යනවා. ඉතිං පුංචි යාළුවනේ සැන්දෑ අහසේ සුන්දරත්වය විඳීන ගමන් පුංචි අපිත් අපේ දවස නිමා කරන්නට සූදානම් වෙනවා. තවත් ලස්සන දවසක අපි හමුවෙමු.
ටී. ඩබ්ලිව්. මෙතුලි උමල්ජා
05 වසර
මො/ මල්වත්තාවල ප්‍රාථමික විදුහල
පුස්තකාලයට පියනඟමු
පුස්තකාලය යනු කාලීන පොත්පත් සඟරා ඇතුළු විවිධ තොරතුරු ඇතුළත් ග්රන්ථ තැන්පත්කර ඇති ස්ථානයයි. මෙය අතීතයේදී හඳුන්වාදී ඇත්තේ පොත් ගුල යන ලෙසට ය. ඉතා දිගු ඉතිහාසයක් පුස්තකාලයට ඇත. අද වනවිට පොත්පත් පමණක්ම නොව විද්‍යුත් සඟරා, පරිගණක කෘති ආදි විවිධ වූ නවීන මාදිලියේ තොරතුරු තැන්පත්කර ඇති ස්ථානයක් බවට පුස්තකාලය පත් වී ඇත. කියවීම යනු ඉතා වටිනා දෙයකි. මන්ද යත් කියවීම මඟින් අප හට විවිධ වූ භාෂා පිළිබඳ සාහිත්‍යමය කෘති පිළිබඳ විවිධ රටවල් පිළිබඳ නොයෙකුත් දේ ඉගෙන ගැනීමට හැකියාව තිබේ.
අද වන විට පුස්තකාල විවිධ ස්ථානවල විවිධාකාරයෙන් දක්නට ඇත. පාසල් පුස්තකාල, ආයතනික පුස්තකාල, ජංගම පුස්තකාල ඒවාට උදාහරණ වේ. ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලය, කොළඹ නිදහස් මාවතේ පිහිටි මහජන පුස්තකාලය කියවීමට ජනතාව යොමු කරන ආයතනයි. මෙවැනි විශාල වූ දැනුම් සම්භාරයක් අපට ලබා දෙන පුස්තකාලය අප ආරක්ෂා කළ යුතුයි. නිවැරැදිව බස පරිහරණය කිරීමට පුස්තකාලවලින් මනා පිටිවහලක් ලබා දෙයි.
සඳුන් ඉමන්ත දෙවනගල,
7 ශ්‍රේණිය,
කෑ/ ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය
කෑගල්ල
මුහුදේ පෙණ ඇති වූ අතර, රළ ගස් මුදුන් දක්වා ළඟා විය
මුහුදු රළ වෙරළට ආසන්නයි, කුතුහලයෙන් පිරි ඇස් හමුවේ
නොසන්සුන්, නොසන්සුන් සහ ගොරවන රළ, ගිගුරුම් සහිත ශක්තියකින් කඩාවැටිණි
කම්පනයට පත් වූවන්ගේ හැඬීම, රාත්‍රියේ දී ගිල දමනු ලැබේ
වටලෑමක් මෙන් බලවත් මුහුද දැවැන්ත රැල්ලක් දියත් කළේ ය
නගරය ජලයේ දිය වී යන පස් මෙන් ගසාගෙන ගියේය
එය ගින්නෙන් විනාශ වූ නගරයක් මෙනි
ජීවිතයක් ලෙස ඉතිරි වී ඇත්තේ දෝංකාරය පමණි
සුනාමිය යනු මුහුදෙන් පැමිණෙන විසල් රැල්ලකි. ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනයක් පැමිණියේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ය. ශ්‍රී ලංකාවට අසන්නට ලැබුණු දෙවැනි සුනාමිය එයයි. එනම්, පළමුවැනි සුනාමිය වන්නේ විහාර මහා දේවියගේ කාලයේ පැවති සුනාමියයි. 2004 දෙසැම්බර් මස 26 වෙනිදා පැමිණි සුනාමිය ශ්‍රී ලංකාවේ පොදු දේපළ මෙන්ම මාර්ග ද විනාශ කළ මහා සුනාමියකි. එම සුනාමිය මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කළ සුනාමියක් විය. මෙම ශ්‍රී ලංකාවට පැමිණි සුනාමිය ගැන ලියූ ඉංග්‍රීසි කෘතියක් ද විය. එනම්, “The wave” යන නවකතාවයි. එම නවකතාව රචනා කරන ලද්දේ සොනාලි දැරණියගල විසිනි.
ඉහත සඳහන් “ රළ පහරක මතකය” යන මාතෘකාව යටතේ රචනා වුණු කවිය ද මා විසින් රචිත සුනාමි ව්‍යසනය පිළිබඳ විස්තර කරන ඉංග්‍රීසි කවියකි.
මෙම කවියේ දී 2004 සුනාමියේ මුහුදු රළ හා මිනිසුන්ගේ හැසිරීම මනාව පාඨකයාට විද්‍යමාන කරයි. එමෙන්ම පාඨකයාට සුනාමියක ඇති දරුණුභාවය ද සුනාමි රැල්ලක ඇති විසල් බව ද මනාව පාඨකයාට විද්‍යමාන කරයි. මෙම කවියෙහි සුනාමියකට පෙර මුහුද විස්තරකර ඇත්තේ විසල් රළ තෙරට පැමිණෙන දසුනකි.
මෙම කවියෙහි ““and the waves reached conifers high” ” “රළ ගස් මුදුන් දක්වා ළඟා විය” යන වාක්‍යයෙන් රැල්ලෙහි උස හා විසල් බව පාඨකයාට මනාව විද්‍යමාන කරයි. එමෙන්ම සුනාමියෙහි ඇති දරුණු බව ද පාඨකයාට මෙයින් මනා ලෙස විද්‍යමාන කරයි.
“නොසන්සුන්, නොසන්සුන් සහ ගොරවන රළ, ගිගුරුම් සහිත ශක්තියකින් කඩාවැටිණි
කම්පනයට පත් වූවන්ගේ හැඬීම, රාත්‍රියේ දී ගිල දමනු ලැබේ
වටලෑමක් මෙන් බලවත් මුහුද දැවැන්ත රැල්ලක් දියත් කළේ ය
නගරය ජලයේ දිය වී යන පස් මෙන් ගසාගෙන ගියේය.
එය ගින්නෙන් විනාශ වූ නගරයක් මෙනි
ජීවිතයක් ලෙස ඉතිරි වී ඇත්තේ දෝංකාරය පමණි”
මෙම පේළිවලින් සුනාමියෙහි නොසන්සුන් බව හා දරුණු බව පාඨකයාට මනා ලෙස ජනිත කරයි. එමෙන්ම, මෙහි දී සුනාමියෙහි ඇති නොසන්සුන් බව හා නගරය විනාශ වන අයුරු ද පාඨකයාගේ සිතේ සිතුවම් කරන ලෙස කවියා විස්තරකර ඇත. මෙහි දී ජීවිත විශාල ප්‍රමාණයක් සුනාමියෙන් විනාශ වන බව ද පාඨකයාට මනාව විද්‍යමාන කරයි. මෙම කවියෙහි සුනාමියෙන් විනාශ වූ නගරයේ ජීවිතයක් ලෙස ඉතුරු වී ඇත්තේ දෝංකාරයේ පමණි යන අදහස ව්යංගාර්ථයට යොදා ඇත. එයින් අදහස් වන්නේ කිසිම ජීවිතයක් විනාශ වූ නගරයේ ඉතිරි වී නැති බවයි.
මෙම කවියෙහි “The waves, relentless, restless and roaring…”, යන වාක්‍යයෙහි ‘ප’ ‘ථ’ යන ශබ්දය නැවත නැවත යොදා ගෙන ඇත. එනම් ඉංග්‍රීසි භාෂාවේ ‘consonant letters’ නම් අකුරු නැවත නැවත යෙදීම “alliteration” නම් වේ.
මෙම කවියෙහි Simile නැත්නම් උපමා රාශියක් යොදා ඇත. Simile නැත්නම් උපමා යනු යමක් යමකට like නැත්නම් චඵ යොදමින් සමාන කිරීමයි. “වටලෑමක් මෙන් බලවත් මුහුද දැවැන්ත රැල්ලක් දියත් කළේ ය”, “The mighty sea, like a siege… යන පාඨයේ දී කවියා සාගරය වටලෑමකට උපමා කරයි. “නගරය ජලයේ දිය වී යන පස් මෙන් ගසාගෙන ගියේ ය”, “The city washed away like soil dissolving in water””, යන පාඨයේ දී නගරය ජලයට ගලා යන පස්වලට උපමා කරයි. “එය ගින්නෙන් විනාශ වූ නගරයක් මෙනි”, “Like a city laid to waste by fire”,, යන පාඨයෙන් නගරය ගින්නෙන් විනාශ වුණු නගරයකට උපමා කර ඇත. ඉහත සඳහන් පාඨවල Simile නැත්නම් උපමා මනාව යොදා ගෙන ඇත.
අකීෆ් අහමඩ්