ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 2024 ඌව පළාත් පාසල් කරාතේ තරගාවලිය පසුගියදා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී මැදගම ජාතික පාසල ප්‍රථම ස්ථානයක් සහ දෙවැනි ස්ථාන දෙකක් සමඟින් ජයග්‍රහණ තුනක් හිමිකරගෙන ඇත.
(වමේ සිට පිළිවෙළින්) අවුරුදු 18 පහළ 61 ම්ඨ ප්‍රථම ස්ථානය ආර්.එම්. විරුල් කෙම්සිත, අවුරුදු 16 පහළ 57 ම්ඨ දෙවැනි ස්ථානය ආර්.එම්. නිර්මාල් සස්මිත, අවුරුදු 20 පහළ 67 ම්ඨ දෙවැනි ස්ථානය අයි. පසිඳු රණවීර යන ක්‍රීඩකයන් හිමිකරගෙන ඇත.
ඔවුන්ගේ පුහුණුකරු ලෙස බිබිල අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා පුහුණු ගුරු උපදේශක සමන්ත විජේසිංහ මහතා කටයුතුකර තිබේ.
ඩී.එස්. ගුණතිලක- ඌව වෙල්ලස්ස විශේෂ
4 වැනි ගාලු ඇලෝසියස් බාලදක්ෂ සමූහය සහ රිචඩ් පතිරණ බාලදක්ෂ සමූහය එක්ව ගාල්ල රිචඩ් පතිරණ විද්‍යාලයේ දී පසුගිය 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කඳවුරු බඳින ලදි. කඳවුරු සංවිධායක ලෙස ලකිදු ලක්ෂාන් හා කඳවුරු නායක ලෙස සහය දිසා කොමසාරිස් කේ. එච්. අසංග ප්‍රසාද් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කාණ්ඩ කඳවුර පැවැත්විණි. මෙම කාණ්ඩ කඳවුරේ ගිනිමැළයේ ප්‍රධාන අමුත්තා ලෙස ගාලු දිසා කොමසාරිස් උපුල් කලන්සූරිය මහතා සහභාගි විය.
Osaka Aquarium Kaiyukan යනු ජපානයේ ඔසාකා ප්‍රාන්තයේ ,ඔසාකා බොක්ක අසල ඔසාකාහි මිනාටෝ පිහිටා ඇති මින්මැදුරකි. මෙය ප්‍රථමයෙන් විවෘත කරන විට ලෝකයේ විශාලතම මින්මැදුර විය. Osaka Aquarium Kaiyukan ජපානයේ දර්ශනීය මින්මැදුර වේ.මෙම මින්මැදුරේ ජීවින් විශේෂ 630ක් පමණ සිටිති. 30000කට අධික ජීවින් සංඛ්‍යාවකට නිවනහන වන්නේ මෙම මින්මැදුරයි. මින්මැදුරේ ඇති සෑම දැවැන්ත ටැංකියකම පැසිෆික් සාගරයේ විශ්මය ජනක ලෙස විවිධ වූ වාසස්ථාන සහ පරිසර පද්ධතියක් ප්‍රතිනිර්මාණය කරයි. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට සුන්දරත්වයෙන් යුතු Osaka Aquarium Kaiyukan මින්මැදුර පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
Osaka Aquarium Kaiyukan මින්මැදුර වර්ෂ 1990 දී විවෘත කරන ලදි. මෙම මින්මැදුර විවෘත කළ දින 40කදී නරඹන්නන් සංඛ්‍යාව මිලියන 1 ක් සහ දින 101 ක නරඹන්නන් සංඛ්‍යාව මිලියන 2 ක් පමණ පසුකර ඇත. වසරකදී මෙම මින්මැදුර නරඹන්නන් සංඛ්‍යාව මිලියන 5.6 ක් පමණ වේ. එවකට පැවති ටෝකියෝ සී ලයිෆ් උද්‍යානයේ ජාතික වාර්තාව අභිබවා යමින් ජපානයේ Osaka Aquarium Kaiyukan මින්මැදුරට වේගවත්ම වාර්තාව හිමි විය. 2014 වර්ෂයේ මුළු නරඹන්න සංඛ්‍යාව මිලියන 65 ඉක්මවා ඇත. මෙම වාර්තාව ජපානයේ හොඳම වාර්තාව වූ අතර, එය Toba Aquarium අභිබවා ගියේ ය. වර්ෂ 2017 දී, නරඹන්නන් සංඛ්‍යාව මිලියන 75 දක්වා ළඟා වූ අතර, එය ජපානයේ වැඩිපුරම නරඹන ලද මින්මැදුර බවට පත් විය. වර්ෂ 2024 මිලියන 85 ක සම්පූර්ණ අමුත්තන්ගේ ජයග්‍රහණය සැමරීම සඳහා උත්සවයක් පවත්වන ලදි.
ඇවිදින මින්මැදුරේ ප්‍රධාන ප්‍රදර්ශන 16 ක ටැංකි 27කින් සමන්විත වාසස්ථාන කිහිපයක සාගර ජීවින් ප්‍රදර්ශනයකර ඇත. කැලිෆෝනියානු මුහුදු සිංහයන්,ලාර්ගා සීල්,පෙන්ගුයින්,මුදු වලිග සහිත කබාය ,කොළ ඉගුවානා,පැසිෆික් සුදු පාර්ශ්වීය ඩොල්ෆින්,පෙන්ගුවානා,බූවල්ලා,පොකිරිස්සෝ,රතු මුහුදු බ්‍රීම්,ලොගර්හෙඩ් මුහුදු කැස්බෑවන් සහ කකුළුවන් වැනි සතුන් රාශියකගේ නිවහන වේ.මෙහි ඇති විශාලතම ටැංකිය වන්නේ පැසිෆික් සාගර ටැංකියයි. එහි දිග මීටර් 34 කි.ගැඹුර මීටර් 9 ක් සහ ඝනකම මීටර් 5400ක් පමණ වේ.මෙම ටැංකියේ ඉන්දියානු මාළු වර්ග ජීවත් වේ.
Osaka Aquarium Kaiyukan මින්මැදුරේ ප්‍රදර්ශනයකර ඇති ජනප්‍රය සතුන් වන්නේ තල්මසුන් සහ මෝරුන් ය. Osaka aquarium යනු okinawa ocean expo aquariumf පසුව තල්මසුන් සහ මෝරුන් තබාගැනීමට ආරම්භ කළ ලොව දෙවැනි මින්මැදුරයි. වර්ෂ 1994 දී මෙම මින්මැදුරට සාර්ථකව මැන්ටා කිරණ ආකර්ෂණය කරගත් අතර, එය ලෝකයේ දෙවන ස්ථානය හිමිකර
ගෙන ඇත. වර්ෂ 1995 දී සාගර සූර්ය මාළුවකු මෙම මින්මැදුරේ තබා ගන්නා ලදි.මෙම මාළු ඇති ලෝකයේ මින්මැදුරන් කිහිපයෙන් එකක් බවට මෙය පත් විය. සාගර සූර්ය මාළුවන්ගේ විශාල ප්‍රමාණය සහ හැඩය නිසා ,මෙම මින්මැදුර ජනප්රයතාවයට පත් විය. වර්ෂ 2013 නව අන්තර් ක්‍රියාකාරී ප්‍රදේශයක් විවෘත කරන ලදි.මෙය විවෘත කිරීමෙන් අමුත්තන්ට සතුන් සමීපව දැකීමට සහ සතුන් ස්පර්ශ කිරීමට හැකියාව ඇත.මෙම අන්තර් ක්‍රියාකාරී ප්‍රදේශයේ කලාප ත්‍රිත්වයක් ඉදිකර තිබේ. එනම් ආක්ටික් කලාපය ,ෆෝක්ලන්ඩ් දූපත් කලාපය හා මාලදිවයිනේ කලාපය වේ.
මින්මැදුරේ භාවිතකර ඇති ටැංකි ඇක්‍රිලික් වීදුරුවලින් සාදා ඇත . ටැංකිය තැනීම සඳහා ඇක්‍රිලික් පැනල් 100ක් පමණ භාවිත කරන ලද අතර, එය සමාගම් හතරක් විසින් නිෂ්පාදනය කරන ලදි. ටැංකිවලට ඔක්සිජන් සපයනු ලබන්නේ කෘතීම දිය ඇලි නිර්මාණය කිරීමෙන් ය.බොහෝ දිය ඇලි ටැංකි පිටුපස පිහිටා ඇත. පිටත බිත්තියේ ඇති මාළු බිතුසිතුවම එක්සත් ජනපදයේ වෙසෙන ඉංග්‍රීසි නිර්මාණ කරුවකු වන Serge Chermayeff විසින් පින්තාරු කරන ලදි.මෙහි සම්පූර්ණ ගොඩනැඟිල්ල නිර්මාණය කරන ලද්දේ Cambridge Seven Associates r පාරිසරික සංවර්ධන ආයතනයේ ප්‍රධානියා වූ ඔහුගේ පුත් පීරට් විසින් ය.
චතුරි ලක්ෂිකා
නියං කොබෙයියන්ගේත්, උලමුන්ගේත් හඬ අවටින් බෙරිහන් තලද්දී අපි ඇඳිරියත් පොරෝගෙන නිවෙසට ආවෙමු. කරුණෙත් මාත් එක මඟ ආවත් අනෙක් අය සපත්තු කානුව ළඟදී වෙන්වී තම තමන්ගේ ගෙවලට ගියහ.
අප ගෙට ගොඩවන විට මල්ලී මිදුලේ ගසා ඇති ලෑලි බංකුව උඩට වී කල්පනා කරමින් සිටිනු දක්නට ලැබී ය.
“මොකද මල්ලී එළියට බැහැලා” කරුණෙ ඇසුවේ ය.
ඒවාට පිළිතුරක් නොදී ඔහු ඇසුවේ “කෝ අපේ අයියා ?”
“අම්මෝ……ඔන්න එක්කගෙන ආවා. ඔහු කීවේය.
“මල්ලි අපි ආවනේ. ඔයා අපිත් එක්ක තරහින්ද ඉන්නේ.” මම ඇසුවෙමි.
“මගේ එහෙම තරහක් නෑ අයියා. මට ඒ ගමන යන්න බැරි වුණාට දුක හිතුණා.”
“කංචු එහෙනම් මං යන්නම්.” කියා කරුණේ යන්නට සූදානම් වන විටම පිළට ආ අප්පච්චී “ඔය යන්නද හදන්නෙ” කියා කරුණෙගෙන් ඇසුවේ ය.
“ඔව්, අපි උඩහටම ගියේ නෑ.”
අපි කීවෙමු.
“කංචු හොඳයි ද ගමන.” අප්පච්චි ඇසුවේ ය.
“අම්මෝ කියල වැඩක් නෑ. මේ හරියෙ ගඟේ පළල බැලුවම උඩහට යද්දිං හරි පටුයි අප්පච්චි.”
“හැබැයි ඉතින් ලොකු ගල්පරත් වැලි පාරකුත් තියෙනවා. හරිම ලස්සනයි.” මම කීමි.
“ආ පුතා ආව ද මගෙ කොල්ලා? මං මේ කටහඬ ඇහිලයි එළියට ආවෙ.” ආත්තම්මාත් අම්මාත් ආලින්දයට ආහ.
මම අම්මාටත් ආත්තම්මාටත් වැන්දෙමි.
කරුණෙ තම බෑගය කරේ දමා ගන්නාව දුටු අප්පච්චි “මොකද……දරුවො ආපයින්ම යන්නෙ….?” ඇසුවේ ය.
“ එපා. එහෙම යන්න එපා. දරුවො. දෙන්න එක්ක ගෙහුං ඇඟපත හෝදගෙන තේ කහට ඇබින්දක් බීලා වෙහෙස නිවාගෙන බත් ඩිංගක් කාලා යමු පුතා. මං ගෙදරට ගෙහුං ඇරදාන්නම් තාත්තණ්ඩි නම් ඊයෙත් ඇවිදින් ගියා.”
මුත්තණ්ඩි ද කීවේ ය.
“ඔය දරුවන්ට ඇඟපත හෝද ගන්න ඉඩ දීපල්ලකෝ…..” ආත්තම්මා මුළුතැන්ගෙය දෙසින් හඬ දෙන්නට විය.
“දැක්ක නේද මං කතා කරනවට තියන ඉරිසියාව.” මුත්තණ්ඩි ආත්තම්මා කේන්ති ගස්සන්නට කීවත් ඇය එය ගණන් ගත්තේ නැත.
කරුණෙත් මමත් ළිඳ ළඟට ගොස් නා ගතිමු. හොඳටම සිසිලක් දැනුණි. මෙතෙක් තිබූ විඩාව තෙහෙට්ටුව නැති විය.
“මේ දෙනියෙ ළිඳේ කවදාවත්ම වතුර හිඳෙන්නෙ නෑ. අපේ අප්පච්චිලා පුංචි කාලෙත් මේ ළිඳ මේ වගේමලු. හැමදාම වතුර උතුරා යනවලු.”
මම කීවෙමි.
“හරි සනීපයි ඒ වතුර ටික නම්.” අපි නාගෙන එන විට ආත්තම්මා කෑම බෙදා තිබුණි.
“මල්ලි එන්න අපි කෑම කමු.” මම මල්ලීට ද කතා කරගතිමි. මා නොකා යනවට විදානෙ මාමා කැමැති නැත. ඒ නිසා හොඳ කෑම වේලක් කෑවෙමි.
“ඉතින් කංචු ගෙනා ගඩා ගෙඩි ටික ගත්ත නේද? මං ගෙදර යන්නම්.” හීන් තෙත් සුළඟක් හමා ගියේ වැස්සක පෙරනිමිති ලෙසිනි.
“කෝ………..පුතා යමුකො. මාත් එඤ්ඤා.”
අප්පච්චී ඉස්සර විය.
“කොහොමද පුතා ගමන…..? හිතට පිරියක්. තේරුමක් අවබෝධයක් ගත්ත ද? දැක්ක නේද නියඟයක් ආවම මිනිසුන්ට ඇතිවෙන අපහසුව.“ විදානෙ මාමා අසයි.
“මාමා අපි ඇස් දෙකෙන් දකින දේට වඩා හිතට දැනුණ, දේ අපමණයි.” අපට එක ආත්තම්ම කෙනෙක් හෙරලි තම්බා දුන්නා. ඒ ගැන කංචු කියාවි.
“හෙරලි කියන්නෙ කොස්වලට බව අප දැන ගත්තේ එදා. ඒ පැත්තෙ අය ගෙවන්නෙ හරිම දුක්බර ජීවිතයක් මාමා.
මේ කාලෙ එහෙම වුණාට මම හිතනවා වැහි කාලෙ එයාලට මීටත් වඩා අමාරු වේවි. ඇයි ගංවතුරක් ආවොත්……………? මුළු පදාසයක්ම යටවෙනව ඇති.” මට හිතුණේ එහෙමයි.
“ආ…………..ඕං කතාවෙන් කතාවෙන් ගේ ළඟටම ආවා.”
“ඒක නොවෙන්නම් මාමා.”
“මං මේ බැලුවෙ කතා කරන සද්දෙට කවුද කියලා.”
“දරුව ඇවිල්ලා. මේ………..ඇහුණ ද විදානෙ මහත්තයත් ඇවිල්ලා.”
කරුණෙගෙ අප්පච්චි අප පැමිණ ඇති බව අම්මාට කීවා ය.
“අනෙ මගෙ සන්තෝ මේ මහ රෑත්තිරියෙ. මයෙ දරුවා එහෙ ගියාවෙද විදානෙ මහත්තයා.”
“ගියා තමා අපෙ ළමයත් කැටුං ගමන් විඩාව හොඳටම පෙනුණ නිසා මං කීවා ඇඟ පත හෝදගෙන කාල බීලා යමු. මාත් එන්නම් කියලා.”
“අපෝ ඒකට මක් වෙනවද?” කරුණෙගෙ මව කීවා ය.
අප්පච්චී ගෙදර එනතුරු මම නොනිදා සිටියෙමි.
“ ආ……………මා පුතා උඹ එකහෙලා තීන්දුවටම නොගොහින් ආපහු ආපු එක හොඳයි. ඔන්න ගඟේ වතුර එනවා. ඉහළ වැහැලා වෙන්ට ඇති.”
“ තව දොහක් දෙකක් පහු වුණානම් එන්න වෙන්නෙ. ඔය ගොඩකරය මැද්දෙන්. ආපු එක හොඳා.
“ඉතින් අයියා මේ බැදි දෙල් ඇට කොහෙන් ද?”
“මල්ලි ඔය මඟින් මඟ තියෙන ඒවා තමයි මල්ලෙ රොක්කර ගෙන ආවෙ.”
“චූටි පුතේ දැන් ඉතින් අයියට නිදා ගන්න දෙන්න.” අම්මා කියනු ඇසුණි.
“එහෙනම් අපි උදේ කතා කරමු.” කී මල්ලීද නිදන්නට විය.
පසුවදා ඉර පායා හෝරා දෙක තුනක් ගතවන තුරු මට නින්ද ගොස් තිබුණෙත් කිසිවකු මා අවදි කළේ ද නැත.
“තාම දරුව නිදි.” කියන ආත්තම්මාගේ කටහඬ මට ඇසුණේ සිහිනයෙන් මෙනි. මා නිදි අවදිම එසේම සිටියෙමි. පසුව පියවි කල්පනාවට පැමිණි පසු මා අවදි වී කුස්සියට ගියෙමි. ආත්තම්මා පැදුර වියමින් සිටී. අම්මා දහවල් කෑම සූදානම් කරමින් “අම්මේ………..කෝ ගෙදර අනෙක් අය. අම්මාගෙන් මම විමසීමි.
“අප්පච්චි ගියා කළවිටේ. මල්ලිටත් අද නිවාඩු නේ. එයත් ගියා අප්පච්චිත් එක්ක.
“කළවිටේ මොනාද කරන්නෙ?”
“අර ඉන්නල පාත්ති වගයක් තියෙනව කියල ජේමිස් ඇවිත් ඒක කොටල දාන්නම් කීව. ඒකයි අප්පච්චියි, මල්ලියි දෙන්නම ගියේ.
දැන් නැද්ද ජේමිසාගෙ හැටි. අප්පච්චි රවට ගන්න. ලේසි නැහැනේ චූටි පුතා හිටියම. නැත්නම් අලකන්ද භාගෙට කොටල ඒ ටික විතරක් ගෙනත් දාලා යමින් ගමන අනෙක් ටිකක් හූරගෙන යන මිනිහ නොවැ.
“අනේ අම්මෙ නැති කමටනේ. ඔහෙ ගත්තාවෙ.”
“ඒකට කාරි නෑ වංචාවෙන් නේ ඒක කරන්නෙ. ඒකයි හරි නැත්තෙ.” අම්මා කීවාය.
“ මං යන්න ඕන නැද්ද…………?”
ඕන නෑ. උඹැහෙ ගෙදර හිටිං.” ආත්තම්මා කීවා ය.
රත්නා කහඳගම
තේ කියන්නේ අපේ රටේ ප්‍රධාන වැවිලි වර්ග තුනෙන් එක් වැවිලි වර්ගයක් කියලා දුවලා පුතාලා දන්නවානේ. වර්තමානය වන විට අපට තේ නැතිව ම බැරි තත්ත්වයක් ඇති වෙලා තියනවා. ඒ තරමටම තේ අපට සමීප වෙලා. උදේ තේ කෝප්පය පානය කරන්න නොහැකි වුණොත් අපට එය ලොකු අඩුපාඩුවක් වෙන තරමටම තේ අපට ඕනෑ වෙලා. වර්තමානයේ තේ ප්‍රතිශක්තිකරණය බහුල පානයක් ලෙසත් හඳුනාගෙන තිබීම විශේෂත්වයක්. මේ නිසා තේ පානය වැඩි වැඩියෙන් කිරීමට බොහෝ දෙනා උනන්දු වී ඇති බව නම් පැහැදිලිව ම පෙනෙන්නට තිබෙන සත්‍යයක්. ඛ්චථඥතතඪච ඉඪදඥදඵඪඵ (කැමෙලියා සිනෙන්සින්) ලෙස හඳුන්වන තේ පැළෑටිය මුලින් ම සොයගනු ලැබුවේ චීන ජාතිකයන් විසිනුයි. දහවැනි සියවසේදී තේ පැළයේ වටිනාකම චීන ජාතිකයන් සොයා ගැනීමත් සමඟ චීන අධිරාජ්‍යයන් අතර තේ පානය ජනප්‍රිය වී තිබෙනවා. චීනයේ හුයිසුන් අධිරාජයා තේ පානය කිරීමේ සැබෑ රසවතෙක් බව හෙළිදරව් වී තිබෙනවා. එහෙත් මේ කාලයේදී සෙසු රටවල් අතර තේ ජනප්‍රිය වෙලා නැහැ. එහෙත් වර්තමානය වන විට තේ පැළයට වටිනාකමක් හිමි වෙලා තිබෙනවා. මේ නිසා තේ පැළයේ කතන්දරය දුවලා පුතාලාට කියන්න ඕනේ කියලා අපට හිතුණා.
සෙසු ජාතීන් අතරට තේ පැමිණීම
අද අපේ රටේ තිබෙන තේ පැළය හමු වී ඇත්තේ ඉන්දියාවේ හිමාලය කඳු පාමුල ඇසෑම් ප්‍රාන්තයේ වනාන්තරයකිනි. එහෙත් මෙය එතරම් රසවත් පානයක් බව එදා කිසිවෙක් දැන සිටියේ නැත. මේ පැළෑටියේ තිබෙන ස්වාභාවික සුවඳට බොහෝ ජනතාව ප්‍රිය කළහ. මේ නිසාම තේ පැළය වගාවක් ලෙස වගා කිරීමට බොහෝ දෙනෙක් පුරුදු වූහ. මහා පරිමාණයෙන් තේ අලෙවි කිරීමට පටන් ගත්තේ ලන්දේසි ජාතිකයන් ය. එහෙත් චීන ජාතිකයෝ ද තේ පානයට ප්‍රිය වූහ. චීනයේ තේ හැඳීන්වෙන්නේ චා යන නමිනි. රුසියාව චායි යන නාමයෙන් හඳුන්වයි. මේ නිසා චීන මෙන් ම රුසියන් ජාතිකයන් ද තේ සඳහා මහත් අභිරුචියක් දැක් වූ බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවට තේ පැළයේ පැමිණීම
ශ්‍රී ලංකාවේ කළු තේ නිෂ්පාදනය ආරම්භ වූයේ හෙම්ලියා වැස්ටක්ස් නම් මාරාන්තික දිලීරය මඟින් දිවයිනේ කෝපි වගාව විනාශ කිරීමෙන් අනතුරුව ය. තම වගාව වෙනස් කළ යුතු බව කෝපි වගා හිමියන්ට ඒත්තු ගැන්වෙන්නේ මේ සිද්ධියත් සමඟ ය. ශ්‍රී ලංකාවට මුලින් ම තේ බීජය ගෙන්වන ලද්දේ වර්ෂ 1824 දී ය. තේ පැළය ලක්වැසියෝ හඳුනාගැනීමත් සමඟ ගෙවතු වගාවට එය එක් කළහ. ගෙවත්තේ තේ පැළ කිහිපයක් වගා කිරීම ඔවුන්ගේ අදහස වුණත්, මෙය එතරම් වටිනා භෝගයක් ලෙස ඔවුන් හඳුනාගෙන නොතිබිණි. කාලයක් තේවල වටිනාකම නොදැන තේ වගා කළ නිසා තේ පැළය ගැන කිසිවෙක් උනන්දු නොවූයේ ය. ඒ නිසා තේ පැළය වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ පෑවේය. එහෙත් නැවත වරක් වර්ෂ 1839 දී තේ පැළය මෙරටට ගෙන එන ආවේ ය. මෙලෙස ගෙන ආ තේ පැළය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී සිටුවන ලද්දේ සිහිවටනයක් ලෙස ය. වර්ෂ 1852 දී ජේම්ස් ටේලර් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. වර්ෂ 1966 දී ඒ මහතා ඉන්දියාවට ගොස් තේ වගාව පිළිබඳ අධ්‍යයනයක් කළේ ය. වර්ෂ 1867දී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් මහතා තේ වාණිජ වගාවක් ලෙස ආරම්භ කිරීමට තීරණය කළේ ය. එහෙත් ඊට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනීමට ස්ථානයක් සොයමින් එතුමා පසු වූයේ ය. මේ අවස්ථාවේ දී ලූල්කඳුර වතුයාය එතුමාගේ නෙත ගැටිණි. තේ වගාව වාණිජ වශයෙන් වගා කිරීමට ලූල්කඳුර වතුයාය වඩාත් යෝග්‍ය භූමියක් ලෙස ජේම්ස් ටේලර් මහතා තීරණය කළේ ය. අක්කර දහනවයක් පුරා තේ වගාව ව්‍යාප්ත කළේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය. වර්ෂ 1875 ප්‍රථම සිලෝන් ටී තොගය නැව් ගත කරන ලදි.
වන්දනා අබේසේකර
එකමත් එක කාලයකදී පුංචි පිරිමි ළමයෙක් එක් උද්‍යානයක ඇවිද යමින් සිටියා. උද්‍යානය මැදට වන්නට ඔහු ගිය පසු එහි විශාල අමුතු ගසක් ඔහුට හමු වුණා. එම ගසේ මෙසේ සඳහන් කර තිබුණා.
“මං මැජික් ගසක්. ඔයා දන්න මැජික් වචනය කියන්න බලන්න. මගේ මැජික් එක ඔයාට බලාගන්න පුළුවන්“
මෙය දුටුවිට කුඩා පිරිමි ළමයාට සිතුණා මැජික් වචනයක් කියලා ගසේ මැජික් බලය දැනගන්න. ඉතින් ඔහු තමන් දන්න මැජික් වචන කියලා බැලුවා.
“ඇබ්ර්කඩාබ්රා! ටන් ට රා………… “ මේ විදියට ඔහු තමන් කලින් අසා තිබුණු මැජික් වචන ගසට ළං වී පැවසුවත් කිසිම වෙනසක් ඇති වුණේ නෑ.
මේ විදියට මැජික් වචන කියලා හෙම්බත් වුණු පිරිමි ළමයා ඊට පස්සේ ගසට ළං වෙලා මෙහෙම කිව්වා.
“ කරුණාකරලා, ආදරණීය ගස!“
මෙහෙම කිව්වා විතරයි එක පාරටම ගසෙහි කඳ දොරක් මෙන් විවෘත වුණා.
එහි ඇතුළ කළුවරටයි තිබුණේ.
“ ඔබේ මැජික් වචන දිගටම පාවිච්චි කරන්න“ එහි සඳහන් කර තිබුණා. ඉතින් පිරිමි ළමයා නැවතත් මෙසේ පැවසුවා.
“ ඔයාට ස්තූතියි ආදරණීය ගස“
එසේ පවසනවාත් සමඟම ගස ඇතුළත ආලෝකවත් වුණා. පිරිමි ළමයා එහි ඇවිද ගියා. ලස්සන සෙල්ලම් බඩු සහ රසම රස චොකලට් ගොඩාක් එහි තිබුණා. පිරිමි ළමයාට හරිම සතුටුයි. ඒවගේම පුදුමයි.
ඔහු ඒ රසවත් චොකලට් සහ සෙල්ලම් බඩු අරගන්න ඔහුගේ මිතුරනුත් එහි එක්ක ආවා. ඔවුන් හරිම සතුටින් ගස ඇතුළත සාදයකුත් පැවැත්වූවා. බලන්න ‘කරුණාකරලා’ කියන වචනයට සහ ‘ස්තූතියි’ කියන වචනයට මොන තරම් මැජික් එකක් කරන්න පුළුවන්ද කියලා. පුදුමයි නේද? ඔයාලාත් මේ ලස්සන වචන දෙක නිතරම පාවිච්චි කරලා බලන්න.
ස්පාඤ්ඤ ජාතික ලේඛක Pedro Pablo Sacristan ලියන ලද Magic treeකතාව ඇසුරෙන්
-හර්ෂණී ගමගේ
තැනට හෙවත් අවස්ථාවට ගැළපෙන ආකාරයට විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් යොදාගැනීම සිංහල භාෂාවේ බහුලව සිදුකරනු ලැබේ. මෙය ප්‍රස්තාව පිරුළු ලෙස හඳුන්වයි. ”සුදුසු අවස්ථාවට ප්‍රයෝජන ලබාගැනීම සඳහා අනුන්ගෙන් ලබාගත් වැකි” යන තේරුම ද ප්‍රස්තාව පිරුළු හැඳීන්වීමට යෙදිය හැකි ය . මෙම පිරුළු ඇතැම්විට උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු බොහොමයක් බිහිවීමට පසුබිම් වූ ජන කතන්දර ද තිබේ. අද අපි ‘පුහුල් හොරා කරෙන් දැනේ ‘යන ප්‍රස්තාව පිරුළට පසුබිම් වූ ජන කතන්දරය හඳුනා ගනිමු.
එක් මිනිසෙක් එළවළු කොරටුවක් කළා. එහි අළු පුහුල් වැලකුත් තිබුණා. එක දවසක් ඔහු කොරටුවට ගොස් බලනවිට එහි පුහුල් ගෙඩියක් හටගෙන තිබුණා. පුහුල් ගෙඩිය හොඳීන් පැසුණු පසු අනෙක් එළවළු ද සමඟ එය ද විකුණන්නට හැකියි සිතා
ඒ මිනිසා සතුටු වුණා. ඔහු දිනපතාම තම එළවළු කොරටුවට ගොස් පුහුල් ගෙඩිය පැහිලා දැයි බැලුවා. එක දවසක් උදේ ඔහු බලනවිට පුහුල් වැලේ පුහුල් ගෙඩිය තිබුණේ නැහැ. හොරෙක් ඒ ගෙඩිය කඩාගෙන ගිහින්. ඔහු වහාම ගමේ රාලහාමිට ඒ ගැන පැමිණිලි කළා. ඉන්පසු ගමේ රාලහාමි එය බලන්න කොරටුවට ගියා. ඔහු ඒ ගමනට ගමේ මිනිස්සුන්ට ද කතා කළා. මේ ගම්වාසීන් අතර පුහුල් හොරාත් සිටියා. හේනට ගිය රාලහාමි පුහුල් වැලට හොඳීන් ළං වී බැලුවා. පුහුල් වැල හොඳීන් නිරීක්ෂණය කළ රාලහාමි “පුහුල් ගෙඩිය ගොඩක් ලොකු ගෙඩියක් ද?” කියා ඇසුවා.
“ඔව් රාලහාමි ඒක ගොඩාක් ලොකු පුහුල් ගෙඩියක්” කොරටුවේ අයිතිකරුවා පැවසුවා.
“ඒක ඒ තරම් ලොකු ගෙඩියක් නම් ඒ පුහුල් ගෙඩිය කඩාගත්ත හොරා ඒක අරන් යන්න ඇත්තේ කරේ තියාගෙනයි. අනිවාර්යයෙන්ම ඒ පුහුලේ අළු හොරාගේ කරේ ගෑවෙන්න ඇති” රාලහාමි කිව්වා. එවිට එතැන සිටි පුහුල් හොරා කලබල වුණා. ඔහු හණිකට තමන්ගේ කර පිස දැම්මා. එය රාලහාමි සහ ගම්වැසියන් දුටුවා.
“අන්න දැක්කද පුහුල් හොරා කරෙන් දැනුණා” රාලහාමි කිව්වා. හොඳටම බිය වූ හොරා පුහුල් ගෙඩිය ආපසු ගෙනත් දෙන්නම් කියලා සමාව ඉල්ලුවා.
කෙනෙක් හොරකමක් හෝ වැරැදි වැඩක් කළවිට එම පුද්ගලයාගේ නොසන්සුන් බාහිර ඉරියව්වලින් එය හෙළිදරව් වන අවස්ථාවලදී ගැමියන් “පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් පැවසීමට පුරුදු වී සිටිනවා.
සමාන පදයි ළමා කවියයි
ළමා කවිය කියවා සමානාර්ථ පද හඳුනා ගනිමු.
සමාන පද යනු යම් පදයක තේරුමට සමාන තේරුමක් ඇති තවත් පදයි. සමාන අර්ථ සහිත පද සමානාර්ථ පද ලෙස හඳුන්වයි. ඇතැම් පදවලට සමාන අර්ථයක් දෙන පද ගණනාවක් ඇති අතර, ඇතැම් පදවලට සමාන අර්ථ දෙන පද ඇත්තේ කිහිපයක් පමණි. සමාන පද පර්යාය පද ලෙස ද හඳුන්වයි.
සරුංගලේ
නිල් පාටැති ගුවන්තලේ
සුළං හමයි නිරන්තරේ
දුවලා ගිහින් අපි මිතුරේ
පා කරමුද සරුංගලේ
පාට පාට අත්තටු ඇති
යෝධ කුරුල්ලෙක් වාගෙයි
පාට පාට සරුංගලේ
දුර අහසේ පාවී යයි
කඩදහි ඇඳුමක් ඇඳලා
රැලි රැලි අබරණ පලඳා
ආඩම්බරයෙන් බලලා
ඉහළ ඇදෙයි වෙර නඟලා
සරුංගලේ වරල් සැලේ
සුළං සමඟ හෙමින් සැරේ
මටත් නොකියා හොරෙන් වගේ
කොහෙද යන්නෙ සරුංගලේ
සේද වලාකුළු අතරින්
නුඹ ඉහළට ඇදී ගියත්
බිමට එන්න මතක ඇතිව
නාවොත් නම් තරහයි මං
මෙම කවියෙන් හමු වූ සමාන පද
නිල් – නීල
ගුවන්තලේ – අහස, අඹර, ගගන, නුබ, නභෝ
සුළං – පවන, නල, මාරුතය
මිතුරේ – යහළුවා, සකි, සබඳ
අත්තටු – පියාපත්
පාට – වර්ණ, පැහැ
යෝධ – දැවැන්ත, සුවිශාල, මහත්
කුරුල්ලෙක් – පක්ෂියෙක්, විහඟෙක්
දුර – ඈත, එපිට, බැහැර
ලස්සන – අලංකාර, ප්‍රියංකර, ශෝභන
ඇඳුමක් – වස්ත්‍රයක්, වත, ඇඟලුම්
ආඩම්බරයෙන් – උඩඟුවෙන්, අහංකාරයෙන්, ඉහළ – උඩ, ඉහත
වෙර – වීර්යය, වෑයම, ආයාසය, ප්රයත්නය
හෙමින් – මන්දගාමීව
තරහයි – අමනාපයි
සැකසුම හර්ෂණී ගමගේ