ආදරණීය දුවේ පුතේ, ලයිකාගේ අභ්‍යවකාශ ගමන අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වඩාත් සංවේදී කතන්දරයක්. මොස්කව්හි වීදිවල අයාලේ යන සුනඛ ධේනුවක් වන ලයිකා 1957 නොවැම්බර් 3 වැනි දින සෝවියට් අභ්‍යවකාශ යානය ස්පුට්නික් 2 මතින් පෘථිවිය වටා ගමන් කළ පළමු ජීවියා බවට පත්විය. එම මෙහෙයුම මානව වර්ගයාගේ අභ්‍යවකාශ ගවේෂණයේ තීරණාත්මක පියවරක් වුවත් එයට විශාල වියදමක් දැරීමට සිදු විය.
තෝරා ගැනීම සහ පුහුණුව
ලයිකා අයාලේ යන සුනඛයන් කණ්ඩායමකින් තෝරාගනු ලැබුවේ ඔරොත්තු දීමේ හැකියාව සහ කටුක තත්ත්වය යටතේ ජීවත් වීමේ හැකියාව හේතුවෙනි. සෝවියට් විද්‍යාඥයන් විශ්වාස කළේ වීදිවල කටුක පරිසරයට හුරුවී සිටින සුනඛයන් අභ්‍යවකාශ තරණයේ ආතතියට වඩා හොඳීන් අනුගත විය හැකි බවයි. කුඩා, සීමිත අවකාශයන්ට ඔරොත්තු දීමට, ශූන්‍ය ගුරුත්වාකර්ෂණය අත්වි¼දීමට සහ රොකට් දියත් කිරීම හා සම්බන්ධ ශබ්දය සහ කම්පන හැසිරවීමට සතුන් පුහුණු කරන ලදි.
ස්පුට්නික් 2 මෙහෙයුම
ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව වන Sputnik 1 සාර්ථකව දියත් කිරීමෙන් පසු සෝවියට් සංගමය පසු විපරම් මෙහෙයුම Sputnik 2 ඉක්මනින් සැලසුම් කළේය. සරල සංඥා පමණක් සම්ප්‍රේෂණය කළ ස්පුට්නික් 1 මෙන් නොව, ස්පුට්නික් 2, ලයිකාව අභ්‍යවකාශයට ගෙන යන ලද්දේ, ඇය පෘථිවිය වටා කක්ෂගත වූ පළමු සත්ත්වයා බවට පත් කරමිනි.
දියත් කිරීම සහ පියාසර කිරීම
1957 නොවැම්බර් 3 වැනි දින Baikonur Cosmodrome දියත් කිරීමේ මධ්‍යස්ථානය වෙතින් Sputnik 2 යානයෙන් ලයිකා අභ්‍යවකාශය වෙත ගෙනයන ලදි. එම දියත් කිරීම සාර්ථක වූ අතර, ලයිකා ඉක්මනින් පෘථිවිය වටා කක්ෂගත වූ අතර, එය සිදු කළ පළමු සත්ත්වයා බවට පත්විය. කෙසේ වෙතත්, මෙහෙයුම සැලසුම්කර ඇත්තේ ඇයගේ නැවත පැමිණීම සඳහා කිසිදු සැලසුමක් නොමැතිව ය. එයින් අදහස් වන්නේ ඇයගේ මරණය නොවැළැක්විය හැකි බවයි.
ගුවන් ගමනේ මුල් පැය කිහිපයකදී යානය බලාපොරොත්තු වූ පරිදි ක්‍රියාත්මක විය. තරණය අතරතුර ලයිකාගේ හෘද ස්පන්දනය වැඩි වුවත් කක්ෂයට පැමිණි පසු ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වූ බව සංවේදක පෙන්වා දුන්නේ ය. කණගාටුවට කරුණක් නම්, තාප පාලන පද්ධතියේ දෝෂයක් හේතුවෙන්, කුටියේ උෂ්ණත්වය මාරාන්තික මට්ටම් දක්වා ඉහළ යෑමයි.පැය කිහිපයකට පසු, ලයිකා අධික උණුසුම හා ආතතිය නිසා මිය ගියේ ය.
ලයිකාගේ ගමන ඛේදජනක වුවද, ඇයගේ පරිත්‍යාගය මානව අභ්‍යවකාශ ගවේෂණයට මඟ පෑදීය. ඇගේ මෙහෙයුම මඟින් අභ්‍යවකාශ ගමනේ ජීව විද්‍යාත්මක බලපෑම්, බර අඩුකමට ජීවීන් ප්‍රතිචාර දක්වන ආකාරය සහ අභ්‍යවකාශ ගමනේ ආතතිය වැනි තීරණාත්මක තොරතුරු සොයාගන්නා ලදි. 1961දී පෘථිවිය වටා කක්ෂගත වූ පළමු මිනිසා ලෙස යූරි ගගාරින් විසින් අභ්‍යවකාශයට යවන ලද පසුකාලීන මෙහෙයුම් සඳහා ද මෙම දත්ත උපකාර විය.
ලයිකාගේ ගුවන් ගමනෙන් පසු වසර කිහිපයකදී අභ්‍යවකාශ පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමේ ආචාර ධර්ම පිළිබඳ සැලකිය යුතු මහජන විරෝධයක් ඇති විය. අද වන විට ලයිකා අභ්‍යවකාශ ගවේෂණයේ පුරෝගාමියකු ලෙස සිහිපත් කරනු ලබන අතර, ඇය ස්මාරක, මුද්දර සහ කලා කෘතිවල අමරණීය වී ඇත. 2008 දී, ලයිකාගේ මෙහෙයුම සූදානම් කළ හමුදා පර්යේෂණ මධ්‍යස්ථානය අසල මොස්කව්හි ස්මාරකයක් ඉදිකරන ලදි.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය
එක රාජධානියක රජුට හා රජ බිසවට දුවලා දෙන්නෙක් හිටියා. බාල දුව ස්ටෙලා නම් හරිම කරුණාවන්තයි. ඒත් වැඩිමහල් දුව ජෙසිකා නම් හරිම ආඩම්බරයි. ඔන්න හිටි හැටියේම රජුට හා බිසවට භයානක රෝගයක් හැදුණා. මේ රෝගය නිසා ටික දවසකින් රජු හා බිසව මරණයට පත්වුණා. ඊට පස්සේ රාජධානිය උරුම වුණේ බාල දුව ස්ටෙලා කුමරියටයි. මේ බව දැන ගත් ජෙසිකා කුමරිය ගොඩාක් කලබල වුණා. එයාට හරිම තරහයි. ඉතින් රාත්‍රිය පුරාම කල්පනා කරපු ජෙසිකා කුමරිය උදේම අවදිවෙලා ස්ටෙලාගේ කාමරයට ගියා. ඊට පස්සේ ජෙසිකා ස්ටෙලාට මෙහෙම කිව්වා.
” ඔයාට නෙවෙයි රාජධානිය හම්බවෙන්න තිබුණේ මටයි. මමයි වැඩිමහල් කුමරිය. මේක හරිම අසාධාරණයි.”
“අනේ අක්කේ ඔයා ඇයි මට ඔහොම කතා කරන්නේ. අපේ පිය රජතුමානේ මාව මීළඟ පාලිකාව විදිහට නම් කරලා තියෙන්නේ. ඒක නිසා මට කරන්න දෙයක් නෑ.” ස්ටෙලාත් ටිකක් තරහින් කිව්වා.
“එහෙනම් ඔයාම ඔය රාජධානිය පාලනය කරන්න. මම යනවා යන්න. හැබැයි මම ආයෙ දවසක එනවා. ඒ ඔයාගෙන් මගේ රාජධානිය අයිති කරගන්න බලාගෙන. එදාට මම ඔයාව විනාශ කරනවා.”ජෙසිකා තරහෙන් ස්ටෙලාට බැණලා රාජධානියේ ඉන්න බලගතු මායාකාරයෙක් වෙච්ච මායාකාර විලියම්ව හොයාගෙන යන්න තීරණය කළා.
එයා හොර රහසේම මාලිගාවෙන් පිට වුණා. එයා ටික දුරක් ගමන් කළා. ඊට පස්සේ එයාට පුංචි ගෙදරක් හම්බ වුණා. එයා දන්නේ නැති වුණාට ඒ තමයි විලියම්ගේ ගෙදර. ජෙසිකාට හොඳටම මහන්සි නිසා එයා ඒ ගෙදර දොරට තට්ටු කළා. එයා දැකපු දෙයින් පුදුමයට පත්වුණා. ඒ දොර ළඟ හිටියේ වයසක පුද්ගලයෙක්.
“එන්න ඇතුළට ඔබට හුඟක් මහන්සි පාටයි. මේ සිසිල් පැන් බොන්න. ටිකක් අසුන් අරගෙන වෙහෙස නිවාගන්න. මේ ආහාර අනුභව කරන්න.” වයසක පුද්ගලයා කරුණාවෙන්
කතා කළා.
“ඔබ කවුද?” ජෙසිකා සැක සහිතව ඔහුගෙන් ඇසුවා.
“මම තමයි මායාකාර විලියම්. මේ රාජ්‍යයේ ඉන්න බලගතුම මායාකාරයා මම තමයි”. එසේ කියමින් ඔහු තමාව ඇයට හඳුන්වා දුන්නා.
ඔහු කියපු දෙයින් ඇය පුදුමයට පත්වුණා.
“මම ආවෙත් ඔබව හොයාගෙන”. ජෙසිකා උත්තර දුන්නා.
“ඒ මොකටද ඔබ මාව හොයාගෙන ආවේ? මේ රාජ්‍යයේ ඉන්න බලගතුම කුමාරිකාවට මොනවද මගෙන් කෙරෙන්න ඕන?” මායාකාර විලියම් ඇසුවා.
“මට ඕනේ අඳුරු මායාවන් ඉගෙන ගන්න”. ජෙසිකා කුමරිය උත්තර දුන්නා.
ජෙසිකා කියපු දෙයින් විලියම් පුදුමයට පත්වුණා.
“ඔබ මොකටද අඳුරු මායාවන් ඉගෙන ගන්නේ? මොකක්ද ඔබේ අරමුණ?” විලියම් සැකෙන් ඇසුවා.
“මට ඕන ස්ටෙලාගේ රාජධානිය විනාශ කරන්න. එයා මට වංචා කරලා රාජධානිය මගෙන් උදුර ගත්තා”. ජෙසිකා උත්තර දුන්නා.
“බොහොම හොඳයි ජෙසිකා. මටත් ඕන වෙලා තිබ්බේ ඒක කරන්න තමයි. මම ඔබට උදව් කරන්නම්. අපි එකතුවෙලා වැඩ කරමු.” විලියම් මහ හයියෙන් හිනා වෙවී ජෙසිකාට කිව්වා.
ඊට පස්සේ දෙන්නත් එක්ක එකතුවෙලා අඳුරු මැජික් පුරුදු වුණා. ජෙසිකාට හොඳට අඳුරු මැජික් පුරුදු කරන විදියට කපටිකමෙන් ජසිකා සතුව තිබ්බ බලය තමන් යටතට ගත් විලියම් හිනා වෙවී තමාටම මෙහෙම කියා ගත්තා
“කොච්චර හොඳද දැන් මට මගේ වැඩේ ඉබේම කරගන්න පුළුවන්”.
ඊට පස්සේ දෙන්නත් එක්ක එකතුවෙලා ස්ටෙලාගේ රාජධානියට පහර දෙන්න සූදානම් වුණා.
ඒ වුණාට ජෙසිකා දන්නෙ නෑ විලියම් ඇයව තමන්ගේ කුමන්ත්‍රණයකට යොදා ගන්නවා කියලා. තමන්ගේ බලය විලියම් අර ගත්තා කියලවත්.
ඔහොම ටික දවසක් ගිහින් දවසක් දෙන්නත් එක්ක එකතු වෙලා ස්ටෙලාගේ රාජධානියට ගියා. ජෙසිකා රාජධානියට රහස් මාර්ග ඔස්සේ විලියම්ව එක්ක ගෙන ගියා. මේ බව දැන ගත් ස්ටෙලා තමාගේ රාජධානිය ආරක්ෂා කරන්න ඉස්සරහට ආවා.
“මම තමයි ලෝකෙන්ම ඉන්න බලවතා. දැන්වත් මට යටත් වෙලා රාජධානිය මට භාර දීලා පණ බේරගෙන යන්න” විලියම් හයියෙන් හිනහ වෙවී කිව්වා.
“අක්කේ ඔයා ඔය මොකක්ද කරන්න හදන්නේ? ඔය නපුරු මායාකාරයත් එක්ක එකතු වෙන්න එපා. අපේ රාජධානිය විනාශ වෙලා යාවි” ස්ටෙලා වැලපෙමින් කිව්වා.
ඒක අහපු ජෙසිකා මහ හයියෙන් හිනා වුණා.
“අපේ රාජධානිය, මේක අපේ රාජධානිය නෙවෙයි. මේක ඔයාගේ රාජධානිය. ඒ වුණාට තව ටික වෙලාවකින් මේක මගේ රාජධානිය වෙනවා”. ජෙසිකා ආඩම්බරයෙන් කිව්වා.
කපටිකමින් හිනාවෙච්ච විලියම් එකපාරටම ජෙසිකාට පහරක් එල්ල කළා. ඒක දැකලා ස්ටෙලා ඉක්මනින් ජෙසිකා ඉන්න තැනට දුවගෙන ගියා. ස්ටෙලා හයියෙන් එයාගේ අක්කාව වැලඳගත්තා. ඊට පස්සේ එයා ඇත්ත එළි කළා.
“අක්කේ අපි දෙන්නටම මායා බල තියෙනවා ඒක දැනගෙන හිටියේ මමයි අපේ අම්මයි තාත්තයි විතරයි. ඒක නිසා අපි එකතුවෙලා විලියම්ව පරාජය කරමු. එයා හදන්නේ අපි දෙන්නටම පහර දීලා අපේ රාජධානිය විනාශ කරන්න. අනේ ඒක වෙන්න දෙන්න එපා. ඔයාගේ මායා බලය විලියම් උදුරගෙන. ඒකයි එයා ඔයාට පහර දුන්නේ. ඒත් අපි එකතුවෙලා ආයෙ ඒ බලය ලබා ගනිමු” ස්ටෙලා පැහැදිලි කළා.
ඒක ඇහුවාම ජෙසිකා කුමරියට ඇත්ත තේරුම් ගියා. එයා විලියම්ට රැවටිලා කියලා තේරුම් ගියා. අවසානයේ ස්ටෙලයි ජෙසිකයි දෙන්නම එකතුවෙලා විලියම්ට පහර දුන්නා. ගොඩාක් දුර්වල වුණු විලියම් අවසානයේ පරාජය භාරගත්තා. ඊට පස්සේ ඒ දෙන්නම එකතුවෙලා සතුටින් සමගියෙන් තමන්ගේ රාජධානිය පාලනය කළා. ආයෙ කවදාවත් එයාලා බලය නිසා රණ්ඩු කළේ නෑ. තරහා වුණේ නැහැ.
ටී. ඩබ්ලිව්. මෙතුලි උමල්ජා
5 වසර
මො/මල්වත්තාවල ප්‍රාථමික විදුහල
පාලම් මෙන්ම උමං මාර්ග ද නූතන ඉංජිනේරු තාක්ෂණයේ ආශ්චර්යයකි. අපගේ නවීන තාක්ෂණය සමඟින්,අපට වඩාත් වේගවත් හා දක්ෂ ලෙස කැණීම් කළ හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස විශාල උමං ජාල ඇති වී තිබේ. එමඟින් ස්ථාන අතර ගමන් කිරීමට යන කාලය අඩුකර ගත හැකි වේ. වඩාත් ආකර්ෂණීය උමං මාර්ග ලෝකයේ සෑම රටකම දැකගත හැකි ය. දිගම උමං මාර්ග යුරෝපය සහ ආසියාව වැනි මහාද්වීපවල පිහිටා ඇත. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ලෝකයේ පිහිටා ඇති උමං මාර්ග ඇසුරෙනි .
Gotthard Base Tunnel
Gotthard Base උමඟ යනු ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරය ඔස්සේ දිවෙන දුම්රිය උමඟකි. මෙම උමං මාර්ගය වර්ෂ 2016 ජූනි මාසයේදී විවෘතකර ඇත. මෙහි දිග කිලෝමීටර් 57.09 ක් පමණ වේ. ලොව දිගම දුම්රිය සහ ගැඹුරුම ගමනාගමන උමං මාර්ගයකි. මෙය Gotthard අක්ෂයේ හදවතෙහි පිහිටා ඇත. Gotthard Tunnel සහ Gotthard Road උමඟට පසුව Uri සහ Ticino කැන්ටන් සම්බන්ධ කරන තුන්වැනි උමඟ පිහිටයි. ටොන් 67,000 ක්‍රියාන්විතයේ පළමු වසරේදී සෑම දිනකම දුම්රිය 120ක් උමඟ ඔස්සේ ගමන් කරන ලදි. වර්ෂ 2017 අගෝස්තු මාසයේදී සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයන් 10,400ක් උමඟ හරහා ගමන්කර ඇත. මෙම මාර්ගය ඔස්සේ ඉතාලියේ සිට ස්විට්සර්ලන්තය දක්වා දුම්රිය සේවා වර්ෂ 2020 සිට වේගවත් විය. Gotthard Base උමඟෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඇල්පයින් බාධකය හරහා දේශීය ප්‍රවාහන ධාරිතාව වැඩි කිරීමයි.
Marmaray Tunnel
තුර්කියේ පිහිටි Marmaray උමඟ යනු කිලෝමීටර් 13.6ක උමං මාර්ගයකි. මෙය අර්ධ වශයෙන් Bosphorus යටතේ ධාවනය වන අතර, ඉස්තාන්බුල්හි යුරෝපීය සහ ආසියානු ප්‍රදේශයේ පවතින දුම්රිය මාර්ග සමඟ සම්බන්ධ කරයි. මෙම උමඟ යුරෝපයේ Kazlıcesme සිට ආසියාවේ Ayrılık Cesmesi දක්වා දිවෙන අතර, Bosphorus යටතේ කිලෝමීටර 1.4ක දුරකට විහිදෙයි. මෙහි කාර්යයන් සඳහා රජය විසින් නව ස්ථාන පහක් නිර්මාණය කරන ලදි. එනම් Kazlıcesme, Yenikapı, Sirkeci,Uskudar සහ Ayrılık Cesmesi වේ. Marmaray උමඟ වර්ෂ 2013 ඔක්තෝබර් 29 වැනි දින මගී ගමනාගමනය සඳහා විවෘත කරන ලදි. වර්ෂ 2019 මාර්තු මාසයේදී Marmaray ව්‍යාපෘතියේ භූගත කොටස නිමකර ඇත. YHT සහ භාණ්ඩ ප්‍රවාහන සේවා ඇතුළු සාමාන්‍ය දුම්රිය ගමනාගමනය මෙම උමඟ ඔස්සේ ධාවනය වීමට පටන් ගත්තේ ය. Marmaray උමඟෙහි මුහුද යට කොටස ලෝකයේ ගැඹුරුම ගිල්වන ලද නළ උමඟ වේ. එහි ගැඹුරුම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 60ක් පමණ ය.
Seikan Tunnel
ජපානයේ ප්‍රධාන දූපත වන හොන්ෂු සහ උතුරු අසල්වැසි දූපතක් වන හොකයිඩෝ සමඟ සම්බන්ධ කරන උමං මාර්ගයකි. Seikan උමඟ යනු ස්විට්සර්ලන්තයේ Gotthard Base උමඟට පසුව ලොව දිගම උමං මාර්ගයයි. මෙම උමං මාර්ගයේ දිග කිලෝමීටර 53.8ක් පමණ වේ. Seikan උමඟෙහි දුම්රිය මාර්ගයක් පිහිටා ඇත. මෙම උමඟ ඉදිකිරීම සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ ජපන් ජාතික දුම්රිය සේවය විසිනි. Seikan උමඟ ඉදිකිරීම වර්ෂ 1964දී ආරම්භකර ඇති අතර, වර්ෂ 1988දී පමණ මෙහි වැඩ නිම කරන ලදි. මෙහි කැණීම් සඳහා එක්වර කම්කරුවන් 3000ක් පමණ සේවය කරන අතර, ගුහා, ගංවතුර සහ වෙනත් අනතුරු හේතුවෙන් ජීවිත 34ක් පමණ අහිමි විය. මෙම උමං මාර්ගය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සඳහා, කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැදගත් මධ්‍යස්ථානයක් ලෙස පවතී. වර්ෂ 2016දී මෙම උමඟ ෂින්කන්සන් “බුලට් දුම්රිය” සඳහා පහසුකම් සලසා ඇති අතර, අනෙකුත් මගී මාර්ග නතර කරන ලදි.
Yerba Buena Island Tunnel
Yerba Buena Island Uv` Yerba Buena උමඟ ලෙස ද හඳුන්වනු ලබයි. මෙය අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන්ෆ්රැන්සිස්කෝහි අධිවේගී උමං මාර්ගයකි. Yerba Buena Island උමඟ යෙරේබා බුවන දූපත ඔස්සේ සැන්ෆ්රැන්සිස්කෝ -ඕක්ලන්ඩ් බේ පාලම් සංකීර්ණයේ කොටසකි. වර්ෂ 1936දී බේ පාලම විවෘත කිරීමේදී මෙය ලොව විශාලතම සිදුරු සහිත උමං මාර්ගය විය. මෙම උමඟ තට්ටු දෙකකි. මුලින් නිම කරන ලද ඉහළ තට්ටුව මෝටර් රථ ගමනාගමනය සඳහා වෙන්කර ඇත. මෙය අඩි 9යි අඟල් 8යි පළල බැගින් වූ මංතීරු හයකින් යුක්ත වේ. පහත තට්ටුව බර ට්‍රක් රථ සඳහා මංතීරු තුනකට බෙදා ඇත. මෙම උමඟ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මෙහෙයවනු ලබන්නේ මාර්ග ගමනාගමනය පමණි. සෑම තට්ටුවකම එක් දිශාවකට ගමන් කිරීමට හැකි ගමනාගමන මංතීරු පහක් ඇති අතර, අධික බරැති ට්‍රක් රථ ගමනාගමනය සඳහා ඉහළ තට්ටුව පහත් කරන ලදි. ඉහළ තට්ටුව බටහිර දෙසට වාහන ගමනාගමනය සඳහා වෙන්කර තිබූ අතර, පහළ තට්ටුව නැඟෙනහිර දෙසට ගමන් කිරීම සඳහා වෙන්කර ඇත.
Smart Tunnel
මැලේසියාවේ පිහිටි ඉථචපබ උමඟ කිලෝමීටර් 9.7ක් පමණ දිගකින් යුක්ත වේ. මෙය අග්නිදිග ආසියාවේ දිගම කුණාටු ජලාපවහන උමං මාර්ගයයි. මෙම උමඟෙහි ප්‍රධාන අරමුණ වන්නේ ක්වාලාලම්පූර්හි හදිසි ගංවතුර ගැටලුව විසඳීමයි. Smart උමඟෙහි කොටස් දෙකක් ඇත. සාමාන්‍ය තත්ත්වකදී නම් ජලය හරවා නොයවයි. දෙවැනි ස්වරූපයේ උමං මාර්ගය සක්‍රිය කළ විට ගංවතුර ජලය යතුරුපැදි උමඟට යටින් ඇති බයිපාස් උමඟ ඔස්සේ ගමන් කරයි. මෙම අධිවේගී උමං මාර්ගය සැහැල්ලු වාහන සඳහා පමණක් සුදුසු වේ. යතුරුපැදි සහ බර වාහන සඳහා අවසර නැත.
Eisenhower Tunnel
Eisenhower උමඟ අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ඩෙන්වර් සිට සැතපුම් 60ක් බටහිරට වන්නට පිහිටා ඇත. මෙය ද්විත්ව සිදුරු සහිත මංතීරු හතරකින් යුත් වාහන උමං මාර්ගයකි. Eisenhower උමඟ මුහුදු මට්ටමේ සිට අඩි 11,158ක උපරිම උන්නතාංශයකින් යුක්ත වේ. මෙය ලෝකයේ උසම වාහන උමං මාර්ගවලින් එකකි. වර්ෂ 1973දී විවෘත කරන ලද මෙය බටහිර දෙසට යන සිදුර නම්කර ඇත්තේ එක්සත් ජනපද ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර්ගේ නමිනි. නැඟෙනහිර දෙසට යන සිදුර වර්ෂ 1979දී නිම කරන ලද අතර, එය එක්සත් ජනපද සෙනෙට් සභිකයකු වන එඩ්වින් සී.ජොන්සන් වෙනුවන් නම්කර ඇත.
New Guanjiao Tunnel
New Guanjiao උමඟ Qinghai පළාතේ Guanjiao කඳුකරයේ Qinghai -Tibet දුම්රිය මාර්ගයේ 2 වැනි මාර්ගයේ ඇති උමං මාර්ගයකි. මෙම උමඟෙහි මුළු දිග කිලෝමීටර් 32.645ක් පමණ වේ. මෙහි උමඟෙහි වැඩ නිම කිරීමෙන් පසු මෙය චීනයේ දිගම දුම්රිය උමං මාර්ගය වූ අතර, ලෝකයේ සිව්වැනි දිගම උමං මාර්ගය බවට ද පත් විය. New Guanjiao උමඟ නිර්මාණයකර ඇත්තේ පැයට කිලෝමීටර් 160ක් පමණ වේගයෙන් ගමන් කළ හැකි සමාන්තර තනි ධාවන උමං මාර්ග දෙකක් සඳහා ය. මෙහි ඉදිකිරීම් වර්ෂ 2007දී ආරම්භකර ඇති අතර, වැඩ නිමකර ඇත්තේ වර්ෂ 2014 අප්‍රේල් මාසයේ ය.New Guanjiao උමඟ වර්ෂ 2014 දෙසැම්බර් 28 වැනි දින විවෘතකර ඇත. මෙම උමඟෙහි ඊසානිදිග ද්වාරය ටියැන්ජුන් ප්‍රාන්තයේ සහ නිරිතදිග ද්වාරය උලාන් ප්‍රාන්තයේ පිහිටා තිබේ.
GuadrramaTunnel
Guadrrama උමං මාර්ගය ස්පාඤ්ඤයේ Madrid Asturias අධිවේගී දුම්රිය මාර්ගයේ ප්‍රධාන කොටසක් වන Sierra de Guadrrama ඔස්සේ දුම්රිය උමං මාර්ගයකි. මෙය ස්පාඤ්ඤයේ විශාලතම උමං මාර්ගය වන අතර, ලෝකයේ පස්වැනි විශාලතම උමං මාර්ගය වේ. උමඟ තනි සමාන්තර නළ දෙකකින් සමන්විත වේ. බටහිර නළයේ දිග මීටර් 28,407ක් සහ නැඟෙනහිර නළයේ දිග මීටර් 28,418ක් වන අතර, එය ස්පාඤ්ඤයේ දිගම උමං මාර්ගය වේ. මෙම උමඟ වර්ෂ 2007 දෙසැම්බර් මාසයේදී ගමනාගමනය සඳහා විවෘත කරන ලදි. මෙය මූලික වශයෙන් AVE අධිවේගී මගී දුම්රිය විසින් භාවිතකර ඇත. මෙම උමඟ මධ්‍ය රේඛාවේ සිට මීටර් 30ක් දුරින් එකිනෙකට සමාන්තර සිදුරු යුගලයකින් සමන්විත වේ. මේ සෑම සිදුරකම විෂ්කම්භය මීටර් 8.50ක් පමණ ය.මෙම සිදුරු අවට භූ ගර්භය කළු ගල් සහ ග්‍රැනයිට් වැනි ආග්නේය පාෂාණ සහ විකෘති පාෂාණවලින් නිර්මාණය වී තිබේ.
Channel Tunnel
Channel උමං මාර්ගය එංගලන්තය සහ ප්‍රංශය අතර දුම්රිය උමඟ යටින් දිව යයි. මෙම උමඟ කිලෝමීටර් 50ක් පමණ දිගින් යුක්ත වේ. මහා බ්‍රිතාන්‍ය දූපත හා යුරෝපීය ප්‍රධාන භූමිය අතර, ඇති එකම ස්ථාවර සම්බන්ධකය වන්නේ මෙම උමඟයි. මෙය ලෝකයේ ඇති උමං මාර්ගයක දිගම දිය යට කොටස වන අතර , මෙම උමඟ ලෝකයේ තුන්වැනි දිගම දුම්රිය උමං මාර්ගය වේ . උමං මාර්ගයේ දුම්රිය සඳහා වේග සීමාව පැයට කිලෝමීටර් 160ක් පමණ වේ. Channel උමඟෙහි ඉදිකිරීම් වර්ෂ 1988දී ආරම්භ වූ අතර, වර්ෂ 1994දී අවසන් විය. වර්ෂ 1985 දී පවුම් බිලියන 5.5ක් ඇස්තමේන්තුකර ඇත. මෙය මෙතෙක් සැලසුම් කරන ලද වඩාත්ම මිල අධික ඉදිකිරීම් ව්‍යාපෘතියක් විය.
Memorial Tunnel ( අනුස්මරණ උමඟ)
අනුස්මරණ උමඟ යනු මීටර් 854 මංතීරු දෙකක වාහන උමං මාර්ගයකි. අනුස්මරණ උමං මාර්ගය අමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජීනියාහි පිහිටි මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් වර්ෂ 1952දී ආරම්භ විය. මෙහි ගමනාගමනය වර්ෂ 1954 නොවැම්බර් 8 වැනි දින විවෘත කරන ලදි. අනුස්මරණ උමං මාර්ගය ඉදිකිරීම් සඳහා පෘථිවියේ කියුබික් මීටර් 70,000ක් චලනය කිරීමට අවශ්‍ය වූ අතර, එය සංවෘත පරිපථ රූපවාහිනී නිරීක්ෂණ ඇති පළමු උමං මාර්ගය විය. එකල බටහිර වර්ජිනියා ටර්න්පයික් හැඳීන්වූයේ “සැතපුම් 88 ආශ්චර්යයක්” ලෙසිනි.
චතුරි ලක්ෂිකා
ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් හි පිහිටා ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපළකි. මෙම ගුවන්තොටුපළ ක්වාලාලම්පූර් නගරයට දකුණින් කිලෝමීටර් 45ක් පමණ දුරින් Selangorහි Selangor දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. KLIA යනු මැලේසියාවේ විශාලතම සහ කාර්ය බහුලතම ගුවන්තොටුපළයි. වර්ෂ 2023 දී මගීන් 47,224,000ක්, භාණ්ඩ ටොන් 980,040ක් සහ ගුවන් යානා චලනයන් 819,026ක් හසුරුවා ඇත. මෙම ගුවන්තොටුපළ මුළු මගී ගමනාගමනය අනුව ලෝකයේ 35 වැනි කාර්යබහුලම ගුවන් තොටුපළ වේ. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොට පළ ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලද්දේ වර්ෂ 1993 ජූනි 1 වැනිදා ය. මෙම ගුවන්තොටුපළ ඉදිකිරීම ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබුවේ රජය සතු ඉදිකිරීම් සමාගම් සහ Tan Sri Datuk Lim Kang Hoo විසින් මෙහෙයවන ලද ඡ්ඬධමඥඵබ ඕඥපඩචඤ විසිනි. මෙය මැලේසියාවේ මහා සංවර්ධන සැලැස්මක් වන බහුමාධ්‍ය සුපිරි කොරිඩෝවේ කොටසක් ලෙස නිර්මාණය කරන ලදි. නව ගුවන්තොටුපළ පර්යන්තය නිර්මාණය කළ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ ජපන් ගෘහ නිර්මාණ ශිල්පී කිෂෝ කුරොකාවා ය.
ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වර්ෂ 1998 ජූනි 27 වැනි දින විවෘත කරන ලදි. මෙම ගුවන්තොටුපළේ සමාන්තර ධාවන පථ තුනක් ඇත.මෙම ධාවන පථ තුනෙහි පැයකට ගොඩබෑම් 78 හැසිරවිය හැකි ය. ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථ වර්ෂ 2019 දී වැඩි දියුණු කිරීමෙන් පසු පැයකට ගොඩබෑම් 108 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විශ්වාස කරයි. මෙම ගුවන් තොටුපළෙහි නවීන අංග රැසක් දැකගත හැකි ය. ගුවන්තොටුපළ කාර්යක්ෂමව ක්‍රියාත්කම කිරීමට මෙම නවීන අංග උපකාරී වේ. මෙය 100%ක් තීරු කේත සහිත බෝඩිං අවසර පත්‍රයක් බවට පත් වූ පළමු ආසියා පැසිෆික් ගුවන්තොටුපළවලින් එකකි.
ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රධාන පර්යන්ත දෙකකින් සමන්විත වේ. පර්යන්තය 1 නිර්මාණය කරන ලද්දේ ජපන් ගෘහ නිර්මාණ ශිල්පී Kisho Kurokawa විසින් ය. ඔහු ගුවන්තොටුපළ සංකීර්ණයේ ස්වාභාවික ආලෝකය අවධාරණය කරමින් Nursultan Nazarbayev ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දේශීය පර්යන්තය (T2) ද නිර්මාණය කළේ ය. පර්යන්තයේ 1 හි බිම් ප්‍රමාණය වර්ග අඩි 4200000ක් පමණ වේ. මෙම ගොඩනැඟිල්ලේ වහලය ඒකක 39 කින් සමන්විත වේ. වර්ෂ 2007 සිට මෙම ගුවන්තොටුපළේ ස්වයං පරීක්ෂා කිරීමේ පහසුකම් ඇත. දේශීය පිටත්වීම් සඳහා, A සහ B උපසර්ගයන් ද ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා G සහ H ලෙස ද ලකුණුකර ඇත. චන්ද්‍රිකා පර්යන්ත ඒ වර්ග මීටර් 176,000 ක් පමණ වේ. මෙම චන්ද්‍රිකා ගොඩනැඟිල්ල KLIA T1 වෙත පිටත් වන සහ පැමිණීමට ඇති ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා පහසුකම් සපයයි. චන්ද්‍රිකා පර්යන්තයේ නවතා ඇති ගුවන් ගමන් ගන්නා මගීන් ප්‍රධාන පර්යන්තයේ සිට බස් රථයකින් ප්‍රවාහනය කරයි. වර්ෂ 2003 දී චන්ද්‍රිකා ගොඩනැඟිල්ල ප්‍රධාන පර්යන්තය හා සම්බන්ධ කරන Aerotrain අලුත්වැඩියාව සහ රෝලිං කොටස් සංවර්ධනයකර ඇත.
මෙහි දෙවැනි පර්යන්තය KLIA 2 ලෙස හඳුන්වා ඇත. දෙවැනි පර්යන්තය ඉදිකරන ලද්දේ පෙර පැවති අඩු වියදම් වාහක පර්යන්තය (LCCT) වෙනුවට ය. දෙවැනි පර්යන්තයේ සංවර්ධනයේ කොටසක් ලෙස, මෙහි මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා තුන්වැනි ධාවන පථයක් සහ නව ගුවන් ගමන් පාලන කුලුනක් ඉදිකරන ලදි. KLIA T2 හි ආරම්භක ධාරිතාව වසරකට මගීන් මිලියන 45කි. පිටවීමේ දොරටු 68ක්, දුරස්ථ නැවතුම් පොළවල් 10ක්, ගුවන් පාලම් 80ක් සහිත පර්යන්තය වර්ග මීටර් 257,845ක් පමණ ප්‍රදේශයකින් සමන්විත ය. මෙහි මුළු සිල්ලර අලෙවිසැල් 220කට ඇති අතර, වර්ග මීටර් 32,000ක සිල්ලර ඉඩ ප්‍රමාණයකින් යුක්ත වේ. KLIA T2 හි ප්‍රධාන පර්යන්ත ගොඩනැඟිල්ලේ සැටලයිට් කුලුනු සමඟ ස්කයිබ්රිජ් සම්බන්ධකර ඇති අතර, මෙය පහසුකම් සහිත ආසියාවේ පළමු ගුවන්තොටුපළ බවට පත් කරයි. පිරික්සුම් කවුන්ටර දූපත් 4ක පිහිටා ඇති පේළි 8කට බෙදා ඇත. සෑම පේළියක්ම S – Z අක්ෂරවලින් සඳහන්කර තිබේ.බෝඩිං ගේට්ටු අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා J සහ K අක්ෂරවලින් ද පෙන්වා ඇත. Gateway@klia2 යනු ප්‍රධාන KLIA T2 පර්යන්ත ගොඩනැඟිල්ලට සම්බන්ධ වී ඇති ඒකාබද්ධ සාප්පු සංකීර්ණයකි. එය වර්ග අඩි 350,000ක් පමණ භූමි මට්ටම් හතරක් පුරා විහිදී ඇත.
චතුරි ලක්ෂිකා
“ ඉස්කෝලේ නිවාඩුවක් ඉවර වුණා ලොකු දරුවගේ පොත් ටික අද හෙටම ගේන්න ඕනේ” කියන අම්මා මගෙත් මල්ලීගේත් කොණ්ඩය කප්පා ගැනීමට යෑමට සූදානම් වන ලෙස කීවා ය.
“මේ දරුවන්ගෙ කොණ්ඩය කපන්නවත් අප්පච්චිට ඕනෑකමක් නැහැ නොවැ”
“මොකටද අම්මේ මෙයාලගේ කොණ්ඩේ කපලා? මේ මාත් කොණ්ඩේ බැදලානේ ඉන්නේ” අප්පච්චි කීවේ
අත්තම්මා කේන්ති ගැස්වීමට ය.
අප දෙදෙනා සමඟ අම්මා ආවේ සුදු කමිස දෙකක් මහන්නට සූරි අයියාට මිම්ම දෙන්නටත් සමඟ ය.
අපට කොණ්ඩය කප්පා ගැනීමට නම් බාබර් සාප්පුව තිබුණේ උගන්විටිය පිල්ලෑව හන්දියේ ය. ටේලර් සාප්පුව ද වූයේ ඒ ආසන්නයේම ය.
අම්මා සමඟ වැල්පාලමෙන් එගොඩ වී අපි පයින්ම හන්දියට ගියෙමු.
මුලින්ම ඇඳුම්වලට මිමි දී පසුව බාබර් සාප්පුවට ගියෙමු.
“ නංගි, දරු දෙන්නා එක්කගෙන ආවද කොණ්ඩය කප්පන්න? දැන් ඔය ගෙවල්වල කපලා හරියන්නේ නැහැ” අමුවල ගොඩේ වඩු මාමා අම්මාට කියයි.
“හ්ම්…! විදානෙ මහත්තයට එන්න විදියකුත් නැහැ. අද හරක්ගේ හණ පුච්චන්න ගුරුන් උන්නැහේ එනවා කිව්වා. ඉතිං මංම ආවා කඩෙන් අහෙත් පහෙත් අඩුම කුඩුම ටිකකුත් අරගෙනම යන්න බැරියැ” අඩුම කුඩුම ටිකකුත් අරගෙනම යන්න බැරියැ” අම්මා පිළිතුරු දෙයි.
“හිච්චි හාමිනේ බොහොම දොහකින් නොවැ දැක්කේ” හෙණ්ඩු ගොඩැල්ලේ ගෙදර අත්තම්මා, අම්මා දැක කීවා ය.
“කහට ඇබින්දක් බීලා යන්න දරුවොත් එක්ක ගොඩ වුණා නම් ” ඇය ආරාධනාවක් ද කළා ය.
“දැන් බෑ අක්කණ්ඩියේ. ගෙදරත් වැඩ ගොඩක් පටලගෙන. පාලම ළඟ කඩෙන් දුරු මිරිස් ටිකකුත් ඇරන් යනවා ගෙදර” අම්මා කියයි.
“මම නම් ගිය ගමන් නානවා” මල්ලි කීවේ ය.
“මමත් නානවා” කෙස් කෑලි බෙල්ල පුරා ඇලී ඇති සෙයකි. බෙල්ල කසන්නේ ඒ නිසා විය යුතු ය.
අම්මා වැල් පාලම ළඟ කඩෙන් එන තුරු අපි දෙදෙනා වැල් පාලම උඩට වී සිටියෙමු.
“අයියා අර බලන්නකො අර ගල ළඟ ලොකු මාළු දෙන්නෙක්”
උන් ලොකු ය. කිසිවකුගේ දැලකට අසුවී නැති හෙයින් මෙසේ අපට දැකිය හැකි විය. අම්මා බඩුත් රැගෙන පාලම මුලට ආව ද අපි නොදුටිමු.
“ලොකු දරුවො කංචු, පුතාට ඇහැකි නේද මේ මල්ල ගන්න? පොඩී ඔයා මේ තෙල් ගැලුම අරගන්න. දඟලන්නේ නැතුව ඔය පාලමෙන් යමු. දැන් පාලමේ කම්බි උඩ දාපු සමහර කිතුල්පටි කැඩිලා” කියන අම්මා අපව ඉස්සර කර ගනී.
“අන්න අන්න අර තඩි මාළු දෙන්නා. අම්මේ අන්න බලන්න. මැද දුරක් පැමිණි මල්ලි පාලම උඩ නතරව ගඟ දිය ගල් කෙමේ පීනා යන මාළු පෙන්වයි.
“උන් ඔහේ හිටපුදෙන් අපි යමු. අර ගුරුන් උන්නැහේ හරක් හණ ගහන්න ඇවිල්ලත් ඇති” අම්මා කියයි.
“්අර වගේ තඩි මාළු අපේ තොටු පොළේ නැත්තෙ ඇයි අම්මේ….?”
“කවුද උන්ට කෑම ගෙනත් දෙන්නේ…? අතන නම් වීසිකරන පරණ පාන්, බනිස් වගේ දේවල් දෙනවා. දෙනවා කියන්නේ ගඟට විසික් කොරපුවාම උන් කනවා. උන් ඒවාට පුරුදු වෙලා කවුරුහරි එතැන මාළු අල්ලන්න ආවොත් කඩේ ලොකු මහත්තයා ලවා පන්න ගන්නවා. එතැන ගල් කෙමක් නොව. ඒවා අස්සේ උන් හැංගිලා ඉන්නවා. උන් ලොකු වෙන්න හේතුව ඒකයි.”
අම්මා අපට ලොකු විස්තරයක් කළා ය.
“හා……. දැන් යමු හොඳටම සුනංගු(ප්‍රමාද) වෙලා” අම්මා කීවා ය.
ගෙදර නොයා බැරි නිසාත් පාලමේ තවත් අය යන එන නිසාත් අපි ආවෙමු.
“අහ්… මේ දෙන්න කවුද?…”
“හාමිනේ අඳුන ගන්නත් බැරි විදියටම ලස්සනට කොණ්ඩෙ කපලා. මං හිතන්නේ සිස්සත්තෙට යද්දි බාබර් සාප්පුවෙන් කැපුවට පස්සේ ඔය කැපුවමයි” අප්පච්චි සිහිපත් කෙරුවේ ය.
ගුරුන් මාමා හරක් හණ ගහන හැටි බලන්න ගාල ගාවට යන්න අත්තම්මා ඉඩ දුන්නේ නැත.
“මොකෝ මේ ගාල ගාවට යන්න දත කන්නේ.? ඒ මනුස්සයාගේ රස්සාව නවත්වන්න ද?
යනවා යනවා ගඟේ වතුර හොඳටම වතුර අඩුයි. ගිහින් නාගෙන එනවා” අත්තම්මා අපට සැර කළා ය.
අපි ගඟට ගියෙමු. උදේ සිට වැලිගොඩ දැමූ පීටර් මාමා බට පඳුර යට වැල්ලේ සෙවණට වී සිටියි.
“මාමේ මහන්සි ද?”
“ ඔව් මහත්තයෝ. අපි දැන් වයසයිනේ.”
“දැන් දවල්ට කෑව ද මාමේ..?”
“නෑ පුතේ. ආයෙ කාලා මේ වැඩේ කරන්න බෑ, ඒ හින්ද දෙක තුන වෙද්දිත් මේක නතර කරනවා. ඒ සැරේ නා කියා ගෙන ගොහින් තියෙන දෙයක් ගිල දානවා.”
ඔහු කියයි.
“අපිත් වැලි මලු හත අටක් ඇදල දෙන්න ද මාමා…?”
“ අප්පේ විදානෙ මහත්තයාගෙන් මට දෝස් මුරේ අරං දෙන්නයි ඔය හදන්නේ”
“ නෑ…. නෑ….. බය වෙන්න එපා.
අත්තම්මා දොස් කිව්වත් අප්පච්චී මුකුත් කියන එකක් නෑ..” මම කීවෙමි.
මම ගෝණියටත්, මල්ලී පනිට්ටුවටත් වැලි ගොඩ දමමින් පීටර් මාමාට සහය වුණෙමු.
මේ අතර සුගතෙත් විමලෙත් ගඟේ පුංචි පුංචි රොඩු ගොඩවල් ගොඩ දමමින් මුල්කඩදූව තොටු පොළේ සිට උඩහට එමින් සිටියහ. විමලෙගෙ අතේ ඉස්සන් දැමූ කැටයකි. එය සාදා ඇත්තේ පොල් ගෙඩියකිනි.
සුගතෙ රොඩු වැල්ලට වීසිකරන විට උඩ පැන පැන යන ඉස්සන් අල්ලා පොල් කැටයට දැමීම විමලේ කරයි.
“අයියෝ… අපට ඔය දෙන්නව අඳුන ගන්න බැරිවුණා. කොණ්ඩෙ කැපුව ද? දැන් නම් මූණ කට හරිම එළියයි. හරි ලස්සනයි” සුගතේ කීවේ අප දෙස බලමිනි.
“දැන් මොකද මේ කරන්නෙ දෙන්න එක්ක?”
‘අනේ සුගතෙ මේ පීටර් මාමට උදව්වට වැලි මලු දෙකතුනක් ඇද්දා”
“කෝ… කෝ… දෙන්න අපිත් දෙන්නම් සපෝට් එක” ඔවුහු කීහ.
අපි මාරුවෙන් මාරුවට පීටර් මාමාට වැලි මලු විස්සක් විතර ගොඩ දා දුනිමු. එකිනෙකාට තෙහෙට්ටුව දැනෙන විට වැල්ලේම ඉඳගෙන සිටියෙමු.
ගඟේ එහා ඉවුරේ පේර ගසක ගෙඩි කහ පාට වී තිබෙනු දුටු සුගතේ නොගැඹුරු දියෙන් ගොඩවී පේර කඩා වැල්ලට වීසි කෙරුවේය. ගම් මී කඩා වැල්ලට විසි කෙරුවේය. ගම් මී කඩා එය ද දෝත පුරා පුරවාගෙන එන විටම අප්පච්චී එය දුටුවේ ය.
“මං මේ බැලුවෙ ඉලංදාරි දෙන්න මොකද පරක්කුව කියලා. බජාර් එක අහුවෙලා.”
“ආ.. පීටර් උබැහෙන් වැලිගොඩ දානව වගෙයි.” පීටර් මාමා දුටු අප්පච්චී කීවේ ය.
“අනේ ඔව් විදානෙ මහත්තයා මේ මහත්වරුත් මට උදව් කෙරුවා.”
“හ්ම්… හ්ම්… ඒ දෙන්නගෙ පරක්කුවටයි මං ආවෙ. දන්නවනේ. කොල්ලන්ගෙ හැටි” කියන අප්පච්චී පරක්කු නැතිව ගෙදර එන ලෙස කීවේ ය.
“මහත්තයලා නාගෙන ගෙවල්වලට යන්න. තව වැලි මලු දහයක් ඇදලා මාත් යනවා.” පීටර් මාමා කීවේ ය.
රත්නා කහඳගමගේ
යොවුන් විද්‍යා ප්‍රබන්ධයක් යැයි කිව හැකි ආකාරයේ අපූරු ග්රන්ථයක් පසුගියදා කියවීමට ලැබිණි. ඒ යොවුන් ලේඛිකා තරුකි ලක්නාරා මනමේන්ද්‍ර දියණිය විසින් රචනා කරන ලද ‘ඔරලෝසුවෙන් ගමනක්’ යන ග්‍රන්ථයයි.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක ලෙස ද කටයුතු කරන ඇය මීට පෙර ද තරු මල් , ජීවිත කඩඉම නමින් කාව්‍ය ග්රන්ථ දෙකක් සහ ගුවන්විදුලි ළමා නාට්‍ය එකතුවක් ද රචනාකර තිබේ.
මෙය පරිවර්තන නවකතාවක් තරමට රසවත් ය. කතාවේ නායකයා එංගලන්තයේ වාසය කරන ජැක් පර්සිවල් නමැති පිරිමි ළමයායි. ඔහුට නිකෝ නමින් රොබෝ කෙනෙක් ද සහායට සිටියි. විද්‍යා සහ තාක්ෂණික දැනුමින් සපිරි ජැක් අමුතුම ආකාරයේ අත් ඔරලෝසුවක් සාදා අත් හදා බලයි. එය සැබවින්ම මැජික් ඔරලෝසුවකි. එහි කොළ පැහැති බොත්තම ඔබා තමන්ට යෑමට අවශ්‍ය තැනකට යෑමට හැකි ය. එහි නිල් පැහැති බොත්තම ඔබා තමන්ට ආපසු සිටිය තැනටම පැමිණිය හැකි ය.
” ඔරලෝසු මුහුණ තද කළාම ඔයාලාට ඕන කරන බොත්තම් ටික එනවා. කොළ පාට එක යන්න. නිල් පාට එක ආපහු හිටපු තැනට එන්න. අභ්‍යවකාශයට වුණත් යන්න පුළුවන්. මං මේක ටිකක් අලුත්වැඩියා කළා. ඔරලෝසු මුහුණට දෙපාරක් තට්ටු කළොත් කළු පාට බොත්තමක් එයි. ඒක එබුවාම ඔයාලට නොපෙනී ඉන්න පුළුවන්. කතාකරන ඒවත් කාටවත් ඇහෙන්නෙ නෑ.
ඒ වුණාට අපි පස්දෙනාට අපිව පේනවා කොච්චර පේන් නැතුව හිටියත් . ඒ ඔරලෝසුව බැඳන් ඉන්න කන්” (පිටුව 59)
ජැක්ගේ පාසල් මිතුරන් වන මිචෙල්, ජේසන්, ජේසන්ගේ නැගණිය ඇලීෂියා සමඟ පාසල් නිවාඩු කාලයේදී ජැක් තමන්ගේ ශ්‍රී ලාංකික මිතුරකු වන ෂෙහාන් බැලීමට ශ්‍රී ලංකාවට යයි. ඉන්පසු ෂෙහාන්ගේ නිවෙසේදී ඔවුහු තවත් මැජික් අත් ඔරලෝසු සාදාගෙන ඒවායේ බලයෙන් ලංකාවේ විවිධ පෞරාණික ස්ථාන නැරැඹීමටත් ලෝකයේ විවිධ රටවල විවිධ ශිෂ්ටාචාරවලට අයත් විශේෂ ස්ථාන නැරැඹීමටත් පහසුවෙන්ම යති. (ලංකාවේ සීගිරිය, දළදා මාලිගාව, යෝධ ඇළ, එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ්, අමෙරිකා එක්සත් ජනපදයේ කොරල් මාලිගය ආදී වශයෙන්) මේ සෑම සංචාරයකදීම අපට ලෝක උරුම, පෞරාණික ස්ථාන, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ දැනුමක් ලබාදෙන අතරම, එම අතීත නටබුන්වල අගය ද මතක් කරදෙයි. ඊට අමතරව අන්තර්ජාල පරිහරණය වැනි දෑ මඟින් දැනුම වර්ධනය කරගැනීම, තාක්ෂණික ඥානය වැඩිදියුණුකර ගැනීම ආදිය සිදුකළ හැකි බවත්, මව්පිය සෙනෙහසේ, මිතුරුදමේ වැදගත්කම ද මෙම කතාවෙන් මතුකර දෙයි. අපව මැජික් ඔරලෝසුවෙන් තව තවත් ලොව වටා ගෙන යෑමට අදහස් කරන බව ජැක් කතාව අවසානයේදී පවසා තිබේ. එනම් මෙම ග්‍රන්ථයේ ඊළඟ කොටස ද තරුකි නුදුරු දිනයකදී රචනා කරනු නොඅනුමාන ය. තරුකිට මෙවැනි අපූරු ග්රන්ථ රචනා කිරීමටත් අනාගතයේදී
දක්ෂ නිර්මාණශීලි ලේඛිකාවක වීමටත් හැකි වේවා යැයි සුබ පතමි. මෙම ග්‍රන්ථය කියවා ජැක්ලා සමඟ ඔරලෝසුවෙන් ලෝකෙ වටේ ඇවිද යන්න කියලාත් පුංචි ඔයාලාට මං මතක් කරනවා.
හර්ෂණී ගමගේ
ආදරණීය දුවේ පුතේ, ආචාර්ය නුවන් නයනජිත් මාමා ‘අග්‍රගණ්‍ය ආනන්දය’ කෘතිය රචනා කළේ ආනන්ද විද්‍යාලයේ විස්තර ඇතුළත් කරමින් ය. ඉතින් දුවේ පුතේ, ආනන්ද විද්‍යාලය පිළිබඳ ඔබ නොදත් කරුණු දැන ගැනීමටත් දත් කරුණු වැඩි දියුණු කරගැනීමටත් මේ කෘතිය ඉතා වැදගත් වෙනවා. ඉතින් අපි අද දුවලා පුතාලාට ඒ කෘතිය ගැන කියන්නයි මේ සූදානම් වන්නේ.
”මේ ග්‍රන්ථය මගේ දහ අට වැනි ග්‍රන්ථයයි. මම අධ්‍යාපනය ලැබුවේ ආනනන්ද විද්‍යාලයේ. ආනන්ද විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ පුංචි දුවලා පුතාලා මෙන්ම වැඩිහිටියන් නොදත් තොරතුරු පිළිබඳ කියන්න තමයි මම මේ පොත නිර්මාණය කළේ. ආනන්ද විද්‍යාලයේ පුතාලාට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවේ සියලුම දූ දරුවන්ට මේ පොත වැදගත් වෙනවා. ප්‍රමාණයෙන් විශාල පොතක් වුවත්, මේ පොත කියවීමෙන් පුංචි ඔබට දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.”
” මට මේ පොත කුඩා පොතක් වශයෙන් ද කළොත් හොඳයි කියලාත් එදා මගේ පොත දොරට වඩින අවස්ථාවේදීම ආරාධනාවක් ආවා. ඒ කියන්නේ මේ පොත තවත් සරලව දරුවන්ට අවශ්‍ය නිසා කියලා සමහර වැඩිහිටියන් තීරණය කරලා තියෙන නිසා වෙන්නැති. පාසල් දරුවන්ගේ පුස්තකාලවලටත් මේ පොත ඉතා වැදගත් කියලා මම හිතනවා. අපේ පාසල ගැන මුළු ලංකාවේම දරුවන් මෙන්ම අපේ පාසලේ දරුවනුත් දැනුම්වත් වීම ඉතා අවශ්‍ය වෙනවා. ආනන්දයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු වත්මන් දරුවන්ට ඉතා වැදගත් වෙනවා. අපේ පාසල වෙනුවෙන් මෙවැනි කාර්යයක් මට කිරීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටට පත් වෙනවා. මේ පිළිබඳ කරුණු හොයන්න මට විශාල කාලයක් ගත වුණා. ඒ වගේම ඒවා නිසි පිළිවෙළට ගොනු කරන්නත් කාලයක් ගත වුණා. ඒ කෙසේ වුවත්, ආනන්දය පිළිබඳ කරුණු හොයන ඕනෑම කෙනෙකුට මේ පොත ඉතා වැදගත් ග්රන්ථයක් වෙනවා.”
” මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමේදී ඉමාෂි ප්‍රකාශන ආයතනය දිරියක් ලබා දුන් අතර, පොත දොරට වැඩීමේදී මාතර ෆ්රීලන් ආයතනයේ සහයෝගය මා හට ලබා දුන්නා. ඒ වගේම අනන්ද විද්‍යාලයේ වත්මන් විදුහල්පති ලාල් දිසානායක මහතාගෙන් ද නොමඳ සහයක් මට ලැබුණා. ඉතින් දුවේ පුතේ, පුංචි ඔබට මෙන්ම ආනන්දය පිළිබඳ කරුණු සොයන වැඩිහිටි අයට ද මේ ග්‍රන්ථය ඉතා වැදගත් වෙනවා කියලා මං හිතනවා.”
ඒ නිසා දුවේ පුතේ මේ ග්‍රන්ථය ගැන කියවලා ආනන්දය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න කියලා මම පුංචි ඔබෙනුත් ඉල්ලා සිටිනවා.
රූපාන්ති බුලත්සිංහල