ඉර බැසයන සවසට දුන්යාගේ ගේ ඉදිරිපස පාට පාටින් හෙන්දිරික්කා මල් හිනාවෙනවා. බැහැගෙන යන හිරුගේ රැස් පොල් අත්තකට වැටිලා පැහැදිලි නැති හෙවණැල්ලක් මැවී තිබුණා. යන්තම් හැමූ හුළඟකට පොල් අත්ත එහා මෙහා වන විදිහටම හෙවණැල්ලත් හෙළවුණා. අමා කියන්නේ දුන්යාගේ හොඳම යෙහෙළිය. දෙදෙනාම ඉගෙන ගත්තේ එකම පාසලේ එකම පන්තියේ. මේ දෙදෙනාගේ ගෙවල් දෙක වෙන් වුණේ උස තාප්පයකින්. තාප්පයක් ගහලා මායිම් වෙන් කරන්න තරම් වත්කමක් දුන්යගේ මව්පියන්ට තිබුණේ නැ. දුන්යාගේ තාත්තා කුළි වැඩ කරලා හම්බවුණු මුදලින් එදා වේල පිරිමහ ගත්තෙත් හරිම අමාරුවෙන්. අමාගේ මව්පියන් දෙදෙනාම රාජ්‍ය සේවකයින්. පවුලේ එකම දරුවා වූ ඇය කිසිදු අඩුපාඩුවක් නොදැනෙන සැපවත් ජීවිතයක් ගත කළා.
හැමදාම හැන්දෑවට අමාව හොයාගෙන දුන්යා යන්නේ සෙල්ලම් කරන්න. එදා විශේෂ දවසක්. අමාගේ අතේ ලස්සන බෝනික්කෙක්.
“ඔයා දන්නවද මෙයා නිදාගෙන හිටියේ මම ඉස්කෝලේ ඇරිලා එනකල්ම. හුඟාක් වෙලා නිදා ගත්තලු, අපේ අම්මා තමා මට කිව්වේ. මට ආසයි එයාව නාවන්න.”
අමා කියාගෙන ගියේ හරිම ආසාවෙන්.
ඇගේ ඇස්වල සතුට පිරිලා. බෝනික්කාව අතට ගන්න තෙක් දුන්යාට ඉවසුමක් නැ.බෝනික්කාගේ රෝස පාට කම්මුල් අතගාන්න ඇයට හිතුණා. උකුලේ තියාගෙන නළවන්න,බෝනික්කට සිංදු කියන්න, මේ හැමදේම කරන්න අමාගේ පුංචි හිතේ ලොකු ආසාවක් තිබුණා.
“අපි එයාව සබන් ගාල නාවමු. ඊට පස්සේ එයත් එක්ක සෙල්ලම් කරමු.”
මෙහෙම කියාගෙනම දුන්යා අමාගේ අතේ සිටි බෝනික්කා තමන්ගේ අතට ගන්න සූදානම් වුණා.
“අල්ලන්න එපා මගේ බෝනික්කාව. එයා මගේ. ඔයාගේ නෙවෙයි.”
අමා බෝනික්කාව ගෙන පැත්තකට ගියේ කෝපයෙන්.
සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිව දුන්යා බලාගෙන හිටියා. බලාපොරොත්තු සුන් වූ ඇගේ දෙනෙත් හැඬුම්බර වුණා.
“මම ඔයත් එක්ක තරහයි”
දුන්යා තම නිවෙසට යන්නට හැරුණා. ඇගේ ඉකි බිඳුම් හඩ ඇසුණ ද අමා ඇයව නවත්තන්නට සිතුවේ නැහැ.
නිවෙසට ගිය දුන්යා ගල් පඩිපෙළේ හිඳ හඬමින් කල්පනාවකට වැටුණේ ඉබේටම වගේ.
“ඒ බෝනික්කාගේ ලස්සන. නිල් පාට ඇස්,රෝස කම්මුල්. ඒ තරම් ලස්සන බෝනික්කෙක් මම මීට කලින් දැකලා නෑ.”
පසුවදා දෙන්නම පාසල් යන්නට වූ මොහොතේ දී අමා දුන්යා සමඟවත් දුන්යා අමා සමඟවත් කතා කළේ නෑ.
“මොකෝ අද දෙන්න කතා නැත්තේ? ”
අමාගේ මව එසේ ඇසුවත් පිළිතුරු දෙනවා වෙනුවට දෙදෙනාම නිහඬව හිටියා.
” රණ්ඩුවක් වෙලා වගේ. වෙනදාට දෙන්නට දෙන්නා නැතුව බෑනේ.”අමාගේ මව එලෙස කිව්වේ නැවත වරක් දෙදෙනාගේම මුහුණු දිහා බලමිනි.
“පොඩි ඈයෝ තරහ වුණාට විනාඩියයි දෙකයි. ඕවට අපි නම් නෑ. ඔයාලට ඕන වෙලාවක යාළු වෙන්නකෝ.”
සිදු වූ සියල්ල දුන්යා මව සමඟ පවසා තිබුණද ඈ, ඒ පිළිබඳ අමාගේ මව සමඟ කතා කරන්නට ගියේ නැත. දින කිහිපයක් ගත වුවද දුන්යා, අමා සමඟ සෙල්ලම් කිරීමට ගියේ නැත. ඈට මහත් පාළුවක් දැනුණි. ඈ දුන්යා ගැන සොයා බැලීමට තාප්පය අසලට වී සිටියේ දුන්යා වෙනදා මෙන් ඈ සොයාගෙන ඒවී යන බලාපොරත්තුවෙනි. මේ අතර ඇයට දුන්යාගේ කටහඬ ඇසී ඈ විමසිලිමත් වූවා ය.
“ඒ ඇඳුම ඔයාට ලස්සනයි. මේ මම පුංචි කාලේ ඇඳපු ගවුමක්. දන්නවද මේ යටින් අල්ලලා තියෙන රෝස පාට රේන්දෙට මම හරි ආසයි.
අපි අම්මට කියලා තොප්පියක් මස්සවා ගමු.එහෙම නැත්තම් අපි කුරුම්බැට්ටි මැෂිමෙන් තොප්පියක් මහමු.”
“කා එක්කද දුන්යා කතා කරන්නේ. මේ තාප්පෙ මට වඩා උස හින්දා පෙන්නේත් නෑනේ.” මෙලෙස සිතමින් අමා දුන්‍යාගෙ හඬට යළිත් සවන් දුන්නා.
“මම ආයෙත් නම් අමාගේ ගෙදර යන්නේ නෑ.එයාගේ බෝනික්කාව මට පොඩ්ඩක්වත් අල්ලන්න දුන්නේ නෑ නේ. මම දැන් එයත් එක්ක කතා කරන්නේ නෑ.ඔව් ඇත්තමයි. මම අදත් ඉස්කෝලේ දී එයත් එක්ක කතා කළේ නෑ. ආයේ….ආයේ… කවදාවත් කතා කරන්නේ නෑ. මීට පස්සේ මගේ හොඳම යාළුවා ඔයා.ඔයාගේ හොඳම යාළුවා මම. එහෙම හොඳයි. අපි යමු මල් පැළවලට වතුර දාන්න. මම අද උදේ දැක්කා දාස්පෙතියා ගහේ ලොකු මල් පිපිලා.”
මේ කතාබහ කා සමඟ සිදුවෙනවා දැයි දැනගැනීමට අමා බොහෝ වේලාවක් තාප්පය අසල රැ¼දී සිටියා. උස තාප්පයේ පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ඇගේ ඇස් ගමන් කළේ කුතුහලයෙන් යුතුවයි. මෙපමණ උසට මේ තාප්පය බැන්දේ ඇයි දැයි ඇය තනිව සිතුවාය.
“අමාට හමු වූ යාළුවා කවුද? අපේ පන්තියේ සාරධා වත් ද,නැත්තම් නෙතුලිද ? කටහඬ ටිකකට ඇහුණා නම් කවුද කියලා හරියටම අඳුරගන්න තිබ්බා. ඇයි එයා කතා කරන්නේ නැත්තේ?”
දැන් අමාට එයාගේ බෝනික්කා ගැන මතකයක්වත් නැත. දුන්නයාගේ අලුත් යාළුවා කවුදැයි දැනගන්නා තෙක් ඇය කුතුහලයෙන් පසුවෙයි.තොරතුරක් දැනගැනීමට නොහැකි වූ විට අමා ඒ පිළිබද තම මවගෙන් විමසුවා.
“සමහර ළමයින්ට කතා කරන්න බෑ නේ පුතේ. ඒ එයාලගේ නෑදෑ ළමයෙක් වෙන්න ඇති. ඔයාට ඕක දැනගන්නම ඕන නම් අද හවසට ගිහින් අපි දුන්යා ගෙන්ම අහලා බලමු.
එදින සවස අමා තම මව සමඟ දුන්යාගේ නිවෙසට යනවිට දුන්යාගේ මව පලා මිටියක් තෝරමින් සිටියා. දුන්යා ද පාඩම් කරමින් සිටියා. අමා හා දුන්යා අත් අල්ලාගෙන සිනාසුණ මුත් පෙර දිනක තමන් විරසක වූ වගවත් මුහුණුවල දක්නට ලැබුණේ නැත.
“දෙන්නා තරහවෙලා නේද හිටියේ? දැන් හොඳ යාළුවෝ.”
අමාගේ මව පැවසුවේ දෙදෙනාගේම මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලා සිනාසෙමින්.
“කවුද පුතේ ඔයාගේ යාළුවා? නෑයෙක්වත් ආවද?”
“අනේ…දුප්පත් අපිට මොන නෑයෝද?”
ඒ අමාගේ මවගේ පැනයට දුන්යාගේ මවගේ පිළිතුර ය.
“ඔයා එහෙනම් හැමදාම හවසට කා එක්කද කතා කරන්නේ?”
අමා කටකාර ලෙස ඇසුවා.
“ආ එයා ද? එන්නකෝ පෙන්නන්න.”
දුන්යා අමා ද කැටුව කාමරයට ගොස් ටික වේලාවකින් පසු නැවත ආවා.
“අම්මේ මේ…..එයා හරි ලස්සනයි.
ඔයා මෙයාව මට දෙනවද? මගේ බෝනික්කා ඔයා ගන්න. ඔයා මට දෙනවා නේද දුන්යා?”
“ඔයා ගන්න. මමත් එයාට ගොඩක් ආදරෙයි. අපි බෝනික්කෝ දෙන්නගෙන්ම සෙල්ලම් කරමු. මීට පස්සේ අපිත් අපිත් යාළුවෝ එයාලත් යාළුවෝ.”
අමාගේ මව මේ කතාවට සවන් දෙන අතර, ඇගේ අතෙහි වූ දෙය දැක පුදුමයට පත් වූවා. ඉරුණු රේන්ද සහිත ඇඳුමක් අන්දවන ලද කුඩා ලී කොටයක් ඇගේ තුරුලේ විය.
රොහන්සා නිසලනී
12 ශ්‍රේණිය
වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලය
ආදරණීය දුවේ පුතේ, ඔන්න අද දවසේ ‘උරුමයක වගතුග’ ලිපියෙන් මම ඔයාලට කියා දෙන්න සූදානම් වෙන්නේ ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන මැණික්කඩවර බළකොටුව පිළිබඳවයි.
පෘතුගීසි යුගයේ ඉදිකර ඇති මෙම මැණික්කඩවර බළකොටුව 1598දී පෘතුගීසි ජනරාල්වරයකු වූ ජෙරනිමෝ ද අසවේදු විසින් ඉදිකරන ලදැයි සලකයි. පෘතුගීසි සොල්දාදුවන්ගේ ශ්‍රමය උපයෝගි කොටගෙන මෙම බළකොටුව මාස හතරක් වැනි කෙටි කාලයකදී ඉදිකර ඇති අතර, සොල්දාදුවන් 400කට ආසන්න පිරිසක් රඳවා තබා ගැනීමේ හැකියාව තිබී ඇත. ජෙරනිමෝ ද අසවේදු විසින් මහනුවර රාජධානියේ පළමුවැනි විමලධර්මසූරිය රජතුමාට එරෙහිව කළ සටනේදී මෙම බළකොටුව භාවිතකර ඇත.
මෙම මැණික්කඩවර බළකොටුව පිළිබඳ ගවේෂණය සිදු කරනු ලබන එච්. සී.පී. බෙල් මහතා සඳහන්කර තිබුණේ පළමු හා විශාල කඳවුර පිහිටා තිබුණේ මැණික්කඩවර නොව යාබද හොලම්බුව ගම්මානයේ බවයි. අඩි 242ක් පළල සහ අඩි 231ක් දිග පැතලි මතුපිටක් සහිත විශාල වටකුරු පස් කන්දක් මත ගඩොල් විශාල ප්‍රමාණයක් විසිරී තිබෙන බව ඔහු පෙන්වා දෙයි. මෙම බළකොටුව මධ්‍යයේ අඩි 58ක් හා අඩි 45 ක් දිග හා පළල ගඩොල් ගොඩනැඟිල්ලක් තිබී ඇති අතර, එය කාමර 6කට බෙදා තිබී ඇත. බෙල් මහතා සඳහන් කරන්නේ මේ වනවිට මැණික්කඩවර බළකොටුව ක්‍රියාත්මක නොවුණු බවයි. පසුව මෙම හොලම්බුව බළකොටුව සඳහා මැණික් කඩවර යන නම භාවිත කරන්නට ඇතැයි විශ්වාස කරයි. ලන්දේසින් විසින් තුන්තොට බළකොටුව යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මෙම බළකොටුවයි. ඊ.කේ. හේමතිලක බණ්ඩාරයන් ප්‍රකාශ කරන්නේ මෙම බළකොටුව ගම්පොළ සිට කැලණිය දක්වා වූ රජ මාවතේ තුන්තොට තුන්මෝදර අසල ගොඩනඟා තිබූ බවයි. වර්තමානයේ එය දැදිගමට සැතපුම් දෙකක් පමණ ඔබ්බෙන් පිහිටා තිබේ.
මැණික්කඩවර බළකොටුව ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති එකම පැති හතරේ තරු හැඩයේ බළකොටුව වේ. එය යුරෝපීය හා ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් සංකලනයෙන් ගොඩනඟා ඇති අතර, අනෙක් බළකොටුවල කොන්වල ඇති මුර අට්ටාල වෙනුවට මෙහි ඇත්තේ හතරැස් බැමි ය. මෙම චතුරස්රාකාර කොටුව මැද ඇති ගොඩනැඟිල්ලට පිරමීඩ වහළයක් තිබී ඇති අතර, බිම් මහල හා පළමු මහල බරාඳයකින් වට වී තිබෙන්නට ඇතැයි ද විශ්වාස කරයි.
එහි මුර ස්ථාන හතරකි. බළකොටුවේ පවුර ගුරුගොඩ ඔයේ සිට අඩි හතක් පමණ උසින් පිහිටා ඇති අතර, එය තුන්තොට ඔයේ සිට අඩි පහක් හයක් පමණ දුරින් පිහිටා ඇත. එහි මධ්‍යයේ දෝනාවකි. තුන්තොට ඔය මධ්‍යයේ ඇති පර්වතයක අඩි පහක් පමණ ප්‍රමාණයේ සිදුරු දෙකක් දක්නට ලැබෙන අතර, එම සිදුරු භාවිතකර ගල්කණු දෙකක් මත දැව පාලමක් ඉදිකර තිබුණු බව සාධක ඇත. එහි සිට බළකොටුවේ පවුරට යන මාර්ගයේ විශාල ගල් පුවරු තැනින් තැන සවිකර ඇති අතර, ඒවා අඩි නවයක් දහයක් දිග වන අතර, අඩි හතරක් පහක් පමණ පළල වේ. මෙහි තිබී විශාල කාලතුවක්කුවක් ගුරුගොඩ ඔයට දමා ඇති බවත් වැසි අඩු කාලයට එය මතුවන බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. පසුකාලීනව මෙය ශ්‍රී ලංකාවේ තිබූ බළකොටුවකට වඩා යුද පුහුණු පාසලක් බවට පත්ව ඇත.
ලක්නා නිරෝෂිමාලා
දියණියන්ගේ සනීපාරක්ෂාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමෙන් නිරෝගීමත් බුද්ධිමත් කාන්තා පරපුරක් යන සංකල්පය අනුව කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ඉදිකරන ලද සනීපාරක්ෂක පද්ධති සංකීර්ණය පසුගිය දින ලෝක ළමා දිනයට සමගාමීව විදුහල්පතිතුමිය වන ආචාර්ය ජේ. සුමේධා ජයවීර විසින් සිසු අයිතියට පවරන ලදි . එයට සමගාමීව සෙල්ලම් මිදුල ද සිසු අයිතියට පවරන ලදි. ඒ සඳහා ප්‍රවීණ රංගනවේදී සනත් විමලසිරි,විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගි වූහ.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
වර්තමාන සමාජයට ස්වයං විනය ඉතා අවශ්‍ය වේ. මේ නිසාම ස්වයං විනය ඇති දරුවකු බිහි කිරීම පදනම් කරගනිමින් මෙවර මහානාම විද්‍යාලය ළමා දිනය සැමරීමට තීරණය කළ බව එහි නියෝජ්‍ය විදුහල්පතිනිය (අධ්‍යාපන) නිශාන්ති ගමගේ මහත්මිය පැවසුවා ය. මහානාම විදුහල්පති ප්‍රභාත් විතානගේ මහතාගේ සංකල්පයකට අනුව මෙවර ළමා දිනයේ කටයුතු සූදානම් කළ අතර, සෑම විටම දරුවකු තමන්ගේ ස්වයං විනය පවත්වාගෙන යායුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි. මේ අනුව දරුවන් විසින් පොත් තෝරාගෙන කියවන කුඩා පුස්තකාල කාමරයක් මෙන්ම, පාසල අවට දරුවන්ට නිදහසේ ක්‍රියාකාරකම් කළ හැකි ලෙස පරිසරය සූදානම් කිරීම ද මෙහිදී සිදු විය. ගුරුවරුන්ගේ මඟ පෙන්වීමකින් තොරව, ළමයා විසින්ම විනයානුකූලව හැසිරීමට මඟ පෙන්වමින්, පාසලට උදෑසන පැමිණෙන දරුවන් ද තමන්ගේ කාලය අපතේ නොයවා, පොත් කියවීමට නිරායාසයෙන්ම පෙලඹිය හැකි අයුරින් කටයුතු සැලසීම ද මහනාම විදුහල්පතිවරයාගේ ප්‍රධාන අරමුණු වූයේ ය.
අම්පාර දිස්ත්‍රික්කයේ දමන කොට්ඨාස අධ්‍යාපන කලාපයට අයත් අම්/හිඟුරාන මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළ ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් අම්/හිඟුරාන මහා විද්‍යාලයේ විදුහල්පති ටී.ජී.ටී.ජී. ධර්මසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ රංගන දායකත්වයෙන් විවිධ ප්‍රසංගයක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මෙවර ලෝක ළමා දින තේමාව ”දරුවන් රැක ගමු සමසේ” අදහස ඇතිව මෙය සංවිධානයකර තිබූ අතර, මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දමන කොට්ඨාසයේ පාසල් 38ක් අතරින් හිඟුරාන මහා විද්‍යාලයෙන් ඉදිරිපත්වූ ඩී.එම්.කවීෂා නෙත්මිණී සිසුවිය ඒ සාමාර්ථ 9ක් හිමිකර ගනිමින් හිඟුරාන මහා විද්‍යාලයේ නාමයට ගෞරවයක් ලබාදීම වෙනුවෙන් කවීෂාට විශේෂ තිළිණ ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරිණි.
(දමන සමූහ – කේ. ඒ. මෛත්‍රිපාල)
තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයේ සිසු දරු දැරියන් පන්නිපිටිය වෝටර් විලා (Water Villa) හෝටල් පරිශ්‍රයේදී ඊයේ (01) ලෝක ළමා දිනය ඉතා උත්කර්ෂවත්ව සමරනු ලැබීය.
විදුහල්පතිනිය ඩිලානි රුක්මල් කුමාරසිංහ මහත්මියගේ මඟපෙන්වීමෙන්, ගුරු මණ්ඩලයේ කැපවීමෙන් පැවති මෙම උත්සවයට වෝටර් විලා අධිපති ලෝරන්ස් රාජරත්නම්, ලතිකා රාජරත්නම් ඇතුළු කාර්ය මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහකත්වය හිමි වූහ. නොයෙක් නර්තනාංගවලින් වර්ණවත් වූ මෙම උත්සවය දවස පුරා පැවැත්විණි.