Home » Blog » අපේ ළමා ලෝකයේ සුන්දරත්වය රැක ගනිමු

අපේ ළමා ලෝකයේ සුන්දරත්වය රැක ගනිමු

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, ළමා ලෝකය කියන්නේ සුන්දරත්වයෙන් පිරුණු ලෝකයක් කියලා පුංචි ඔයාලා දන්නවා නේද? ඒ සුන්දරත්වය රැක ගැනීමට නම් අපි සුන්දර දරුවන් ලෙස ළමා ලෝකය අත්විඳීන්න ඕනේ. පරිසරයේ ඉගිළෙන ලස්සන කුරුල්ලන්, ලස්සන මල් වගේම ලස්සන ඇළ දොළ පිළිබඳ අත්දකින්න අපට හැකියාව තියෙන්නේ ඒ දේවල් අප අලංකාර ලෙස අත්විඳීන්න සූදානම් වූ විටයි. බොහෝ වේලාවට පාසලේදි ඔබ ලබන අධ්‍යාපනය නිසාම සුන්දරත්වය අත්දකින්න ඔබට වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒත් දුවේ පුතේ, ළමා විය ගෙවන විට ළමා ලෝකයේ අලංකාර බව ඔබ අත්විඳීන්න අවශ්‍යයි.

පාසල් අධ්‍යාපනය

පාසල් අධ්‍යාපනය ලබන අවධියේදී ඒ පිළිබඳ ඉතා උනන්දුවෙන් වැඩ කළ යුතු අතර, ඒ සඳහා අවධානය ද යොමු කිරීම වැදගත් වේ. මෙහිදී දරුවන් සැබෑ වූ

සිහි නුවණින් යුතුව කටයුතු කළ යුතු අතර, පාඩම් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් යොදා ගත යුතුයි. එසේ ක්‍රමවේදයක් ලබා ගැනීමට නොහැකි වුවහොත්, විෂයානුබද්ධව ලබන ලකුණු ප්‍රමාණය අවම වේ. බොහෝ දූ දරුවන්ට මේ පිළිබඳ වැටහීමක් නොමැති අතර, ඔවුහු විභාගය ළං වූ විට කලබලයෙන් පාඩම් කරති. පාසලේදී සෑම විටම ලබන අධ්‍යාපනය පිළිබඳ ඉතා ඕනෑකමෙන් සහ උද්‍යෝගයෙන් කටයුතු කළ යුතුයි.

සෞන්දර්ය විෂයයක් හැදෑරීම

පාසලේදී හදාරණ විෂයයන්ට සමගාමීව සෞන්දර්ය විෂයයක් හැදෑරීමෙන් සිත සුවපත් කරගැනීමට ද හැකියාව ලැබේ. බොහෝ දරුවන් තරගකාරී අධ්‍යාපනයට මේ වන විටත් යොමු වී ඇති අතර, ඉලක්ක හඹා යෑම ඔවුන්ගේ පුරුද්දක් වී තිබේ. මේ නිසා ළමා කාලයේදී ලැබිය යුතු විනෝදය අත්පත් කරගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැති වේ. මේ නිසාම පාසලේදී ලබන අධ්‍යාපනය මෙන්ම සෞන්දර්ය විෂයයන්ට ද නැඹුරුවක් ඇති කරගත යුතුයි. එසේ ඇති කරගැනීමට අපොහොසත් වුවහොත්, ඔබ දැඩි පීඩනයකට ගොදුරු වේ.

ක්‍රීඩා කටයුතුවලට යොමු වීම

පුංචි ඔබ ක්‍රීඩා කටයුතුවලට යොමු වීමෙන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. දිගින් දිගටම අධ්‍යාපනයේ නිරතවීමෙන් ලැබෙන පීඩාව ක්‍රීඩාව නිසා සමථයකට පත් වේ. මේ නිසා ක්‍රීඩා කටයුතුවලට යොමුවීමෙන් ශාරීරික පීඩාව මෙන්ම මානසික පීඩාව ද අඩු වේ. වර්තමානයේ බොහෝ දරුවන් ක්‍රීඩාවේ අගය පැහැදිලිවම තේරුම් අරගෙන ඇති බව මේ වන විටත් සනාථ වී තිබේ. ක්‍රීඩාව ළමා මනසට අත්‍යවශ්‍ය වේ. මේ බව ගුරුවරුන් මෙන්ම මව්පියන් ද පැහැදිලිවම තේරුම් ගත යුතුයි. එසේ තේරුම් නොගතහොත් එයින් අපහසුවට පත් වන්නේ දරුවන් ය. මේ නිසා මව්පියන් මෙන්ම ගුරුවරුන් ද හැකි සෑම වේලාවකම දරුවන් ක්‍රීඩාවට යොමු කළ යුතුයි.

අමතර දැනුමෙන් පෝෂණය වීම

බොහෝ දරුවෝ තමන්ට අදාළ වෙන අධ්‍යාපනික පොතපත කියවති. එයින් ඔවුහු තමන්ට අවශ්‍ය වන විෂය දැනුම රැස් කර ගනිති. දැනුම යනු කෙතරම් තිබුණත් ප්‍රමාණවත් නොවන දෙයකි. දරුවකු සෑම විටම දැනුමෙන් පෝෂණය වීමට අවශ්‍යයි. එසේ පෝෂණය වීමට අපොහොසත් දරුවාට තරගය සමඟ ඒකාබද්ධ වීමට නොහැකි වේ. අමතර දැනුමෙන් පෝෂණය වෙනවා මෙන්ම භාෂා කිහිපයක් ඉගෙන ගැනීමෙන් ද ඔබට විද්වත් සමාජයකට ඇතුළත් වීමට හැකියාව ලැබේ.

දැනුමෙන් පිරි වීඩියෝවලින් දැනුම්වත් වීම

වර්තමානයේ යූ ටියුබ් එකේ නොයෙක් වර්ගයේ වීඩියෝ තිබේ. ඒවායින් ඇතැම් ඒවායිින් වඩාත් හොඳ දැනුමක් ලබා ගැනීමට පුංචි ඔබට හැකියාව තිබේ. මේ නිසා ඔබ නිරන්තර දැනුම සොයන්නකු වන්න. අධ්‍යාපනයට මෙන්ම විනෝදයට අවශ්‍ය වීඩියෝ නිරන්තරයෙන්ම නැරැඹීමට ඔබ පුරුදු පුහුණු වන්න. ඇතැම් දරුවන්ට දැනුමෙන් පිරි වීඩියෝ නිර්මාණය කරන්නට ද හැකියාවක් තිබීමට හැකි ය. එවැනි අවස්ථාවල ඔබ අධ්‍යාපනයෙන් පිරිපුන් වීඩියෝ නිර්මාණය කරන්න. ඒ සඳහා වීඩියෝ සම්බන්ධයෙන් දැනුමක් ඇති අය මුණ ගැසෙන්න. එවිට එය නිර්මාණාත්මකව ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ ඔබට දැනුම්වත් විය හැකියි.

භාෂා ඥානය පිළිබඳ අවබෝධය

කුඩා කාලයේදී පුංචි ඔබට භාෂා ඥානය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නම් ආදර්ශවත් කුඩා කතන්දර කියවා ඒ පිළිබඳ දැනුම්වත් වීම ඉතාමත් අනර්ඝ වේ. උදාහරණ ලෙස ජන කතාවල කියැවෙන හාවා ඉබ්බා කතා, ලබුගෙඩිය ඇතුළේ තොවිලේ කතාව වැනි කතාවලින් බොහෝ ආදර්ශ ලබා ගැනීමට හැකියාව ලැබේ. හාවා ඉබ්බාගේ තරගය කතාවෙන් ඉබ්බා නිසොල්මන් ජයග්‍රහණයක් අත්විඳී ආකාරය පැහැදිලිව නිරූපණය වේ. මේ නිසා කිසිම දෙයකදී ඉක්මන් නොවන ලෙස පුංචි ඔබට කිව යුතුයි. ඉක්මන්වීමෙන් පරාජය අත්පත් කරගැනීමට සිදු වන අතර, ඉතා සංයමයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණය අත්පත් වෙයි.

ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුම්වත් වීම

1989 වර්ෂයේදී ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පිළිබඳ පුංචි ඔබත් සරලව දැනුම්වත් විය යුතුයි. ලෝකයේ සුන්දර වීමට නම් ළමයින් ප්‍රථමයෙන්ම ළමයින්ව ආරක්ෂා කරගැනීමට මූලික විය යුතුයි. මේ සඳහා සෑම දරුවකුම තමන්ගේ ආරක්ෂාව සලසා හැකි අයුරින් දැනුම්වත් විය යුතුයි. අපි මුලින්ම ළමයා කියන්නේ කවුද? යන්න පිළිබඳ දැනුම්වත් වෙමු. අවුරුදු 18ට අඩු සියලුම දෙනා ළමයින් ලෙස නීතියෙන් පිළිගනු ලබයි. මේ අනුව ළමයින් සඳහා ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව පිළිගෙන එකතුවන්නේ 1990දී ය. මේ ලිඛිත ලේඛනයෙහි පුංචි දූ පුතුන්ට සිතීමේ නිදහස මෙන්ම හෘද සාක්ෂියේ නිදහස සහ අධ්‍යාපනය ලැබීමේ නිදහස ඇතුව බොහෝ නිදහස් අයිතීන් සම්බන්ධයෙන් කරුණු දැනගෙන සිටීම වැදගත් වේ. කිසිදු කෙනෙක් දරුවකුට අධ්‍යාපනය ලබන අයිතිය නැති නොකළ යුතුයි. එසේ කළහොත් ඔහු හෝ ඇය එම දරුවාගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැති කළ කෙනෙක් ලෙස සලකයි. මේ නිසා පුංචි ඔබ අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඔබ සතු ඉතා වැදගත් අයිතියක් බව දැනුම්වත් විය යුතුයි.

පරිසරය සමඟ ඒකාබද්ධ වීම

ඔබ කුඩා දරුවන් ලෙසින් සෑම විටම පරිසරය සමඟ ඒකාබද්ධ වී වැඩ කළ යුතුයි. වර්තමානයේ අධ්‍යාපන රටාවේ ද පරිසරය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ආකාරය පැහැදිලිව දක්නට ලැබේ. මේ අනුව දරුවෝ පරිසරයට ගොස් ගස්වැල් ආදිය හඳුනා ගැනීමට ද පුරුදු වී සිටිති. පරිසර නියමු වැඩසටහන් මෙන්ම පරිසරයට ලැදි දරුවන් කවුද යන්න පිළිබඳ හඳුනා ගැනීමට ද මේ මඟින් හැකියාව ලැබේ. පුංචි ඔබ කුඩා කාලයේ සිටම පරිසරය ආදරය කිරීමට පුරුදු කිරීමෙන් ඔවුන්ගේ සංවේදීත්වය වැඩි වෙයි. මානව ගුණ දහම් වර්ධනය වේ. මේ නිසාම වර්තමානයේ පරිසරය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට බොහෝ දරුවෝ පුරුදු වී සිටිති. මේ සඳහා ගුරුවරු ද සහයෝගය ලබා දෙන්නේ ඒවා අධ්‍යාපනයට සම්බන්ධ බැවිනි.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department