Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by thanushika
0 comments

පරිවර්තන සාහිත්‍යයේ වත ගොත

කියවීම හුරුවීම කරගත් අයකුගේ ජීවන වියමන කලාත්මක ය. විෂම වූ ලෝකය දෙස නිර්මාණශීලි දෘෂ්ටිකෝණයකින් විචාරන්නට ඔහුට හැකියාව ලැබෙනුයේ නිරායාසයෙනි . දේශසීමා මායිම් අතික්‍රමණය කරමින් වෙනත් රටවල දේශපාලනික, සාමාජීය හා ආර්ථික තත්ත්වයන් පිරික්සන්නට පරිවර්තන සාහිත්‍ය ඔස්සේ අවස්ථාව ලැබෙයි. රුසියානු සාහිත්‍යයෙහි උදාර මානව ප්‍රේමයේ ගුණයත් ජීවන පරිත්‍යාගයත් දිගහැරෙන අතර, ප්‍රංශ මහා සාහිත්‍යය නදිය ගලා බසින්නේ මිනිස් චිත්ත සන්තානයේ අහුමුළු පරික්ෂා කරමිනි. ජපන් හයිකු කවි සම්ප්‍රදාය සොබා දහම සමඟ කෙරෙන අපූර්වතම වූ ගනුදෙනුවකි. රටක සංවර්ධනය යනු බාහිරව දකිනා භෞතික සම්පත්වල පමණක් සිදුවන දියුණුවේ ලක්ෂණ ඉස්මතුකර දැක්වීම පමණක්ම නොවේ. එය රටක පුරවැසියන්ගේ ආධ්‍යාත්මික වූ චිත්ත සන්තානයන් අවදි කරන්නට සමත් වන්නක් විය යුතු ය. මෙහිදී ජපානය අනුගමනය කරන්නා වූ එක් පිළිවෙතක් ඔබ සමඟ බෙදා හදා ගැනීමට සිතමි. ජපානය අනෙක් රටවල්වල උසස් කෘතීන් සමඟ කරන මෙම ගනුදෙනුව කාගේත් ආකර්ෂණයට ලක් වූවකි. වෙනත් රටවල උසස් කෘතීන් තම රටට ගෙන්වා ගන්නේ සාහිත්‍යමය වශයෙන් ඇගයීමකට බඳුන් කරමිනි. එහිදී හොඳම විදෙස් කෘතියට හිමි සම්මානය පිරිනැමේ. දෙවැනි පියවර එනම් විශිෂ්ට කොටස උදාවන්නේ ඉන් අනතුරුවයි. වෙනත් රටවල සියලුම කෘතීන් තම භාෂාවෙන් පරිවර්තනය කොට ජපානයේ සියලුම පුස්තකාල වෙත බෙදා හරින්නේ වෙනත් රටක අත්දැකීම් රටේ පුරවැසියන් හා බද්ධ කර ගනිමිනි. සාහිත්‍යයේදී අපරිමිත මෙහෙයක් මිනිසා වෙනුවෙන් ඉටු කළ හැකි ය යන්න පසක් කරන සාධකයක් ජපානය විසින් අප කාටත් පෙන්වාදී අවසන් ය.

රොහන්සා නිසලනී

12 ශ්‍රේණිය

බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය වේයන්ගොඩ

සත්ත්ව ලොවේ ආඩම්බරකාරයා මොනරා

ඉහළ වෙලේ යන මොනරිදු සුබාවා
පහළ වෙලේ යන මොනරිදු සුබාවා
ඒකගේ පිටේ ගිනිමල් තාරකාවා
මොනර නොවෙයි දෙවියනි දේවතාවා

සොබා දහමේ අපූරු නිමැවුමක් වන සුන්දර වූ දුටුවන් නෙත් වශී කරන ඒ මොනර රුව ඇත්තෙන්ම ලස්සන ය. ලොව උසම පක්ෂියා පැස්බරා වුවත් අප රටේ උසම පක්ෂියා මොනරා ය.

මොනරා සහ කොළ මොනරා වශයෙන් මොනර වර්ග දෙකක් ලොව හඳුනාගෙන ඇත. මොනරාගේ ගැහැනු සත්ත්වයා සෙබඩ වන අතර, සෙබඩ හට මොනරාට තරම් දැකුම්කළු රූපයක් ලබා දීමට සොබාදහම අපොහොසත් වී ඇත. සුන්දර දිදුලන එම පිල් කළඹ සමඟ මොනරාගේ මුළු දිග අඩි අටක් පමණ වේ. මොනරාගේ පිල් කලඹේ පිල් 120-180 අතර ප්‍රමාණයක් පවතී. මොනරා තමන්ට ගැහැනු සතකු වසඟ කරගැනීමට දවසට කිහිප වරක්ම තම පිල් කලඹ විහිදා උජාරු රංගනයක් ඉදිරිපත් කරන්නේ ඇයගේ විශේෂ අවධානය ලබා ගැනීමටයි. මොනර පිරිමි පැටවකු සම්පූර්ණයෙන් වැඩීවීමට වසර තුනක කාලයක් ගතවේ. මොනරා සොබාදහමේ තුලනයට මෙන්ම ජෛව විවිධත්වයට ඉතා වැදගත් සත්ත්වයෙකි. කෙතරම් ජෛව විවිධත්වය රැක ගනු ලැබුවත් පරිසරයේ වියළි තත්ත්වය වැඩි වී මොනර ගහනය වැඩිවී ඇති හෙයින් කෘෂිකර්මාන්තයට අහිතකර තත්ත්වයක් උදාවී ඇත.

දහම යනු සර්වසාධාරණ නිමැවුම්කරුවෙකි. පෙර සඳහන් කළ පරිදි මොනරාගේ දිවියේ එක් කලක පිල් කලඹ හැලී, තිබූ දැකුම්කලු බව අඩු වෙන්නේ කෘෂිකර්මයට සිදු කරන හානියට සොබාදහම දඬුවම් කරන්නාක් මෙන් ය. එනිසා කුමන ප්‍රබලයකුගෙන් තම වරද වසන් වුවද සොබාදහම නම් ඔබට සමාව නොදෙනු ඇත. මොනරාගේ සුන්දරත්වයෙන් ජෛව විවිධත්වය වැඩි වන්නා සේම පරිසර හිතකාමී ලෙස ද දිවි ගෙව්වා නම් මොනර මිතුරාට මීට වඩා සොබාදහම ලැදි වීමට ඉඩ තිබුණි.

ඉතින් අප ද කොතරම් රූප සම්පත්තියෙන් යුතු උවත් තමන්ගේ රටට පරිසරයට වැඩදායි යමක් නොවේ නම් ඔබේ වටිනාකම අඩුවේ. අපි ද මෙය ආදර්ශයට ගනිමින් පරිසරයට ලොබ බඳිමින් දිවි ගෙවමු.

ලාංකේය නර්තනය හැඩ කරන පහතරට නර්තන කලාව

උඩරට, පහතරට හා සබරගමුව වශයෙන් නර්තන විශේෂ තුනකින් සමන්විත වන ලාංකේය නර්තනය අපටම ආවේණික උරුමයකි. මෙම සම්ප්‍රදායයන් ත්‍රිත්වයේම “කලඑළි මංගල්‍යය” නමින් සංස්කෘතික උත්සවයක් පවත්වනු ලබයි. නර්තන හා වාදන කලාව අරඹන ආධුනිකයකු එය මැනවින් ප්‍රගුණ කරලීමෙන් පසු තම ගුරු මවුපිය ආශීර්වාදය මැද, තමා උගත් විෂය එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අභිමුව ශිල්ප දක්වා සමාජගත වීම එම උත්සවයේ සැබෑ අරුත වෙයි.

නර්තන ශිල්පියෙක් නම් සුභ මුහුර්තයට ශීර්ෂාභරණ පැල¼දීම, වාදන ශිල්පියෙක් නම් සුභ මුහුර්තයට තමා ප්‍රගුණ කළ වාද්‍ය භාණ්ඩය තම ගුරුවරයා ලවා ඉණ බැ¼දීම ද මෙහි දී සිදු කරන චාරිත්‍ර අතර වේ. උඩරට සම්ප්‍රදායෙහි “වෙස් මංගල්‍යය” නමින් ද සබරගමු සම්ප්‍රදායෙහි “ගුරුවරම් දීම” යනුවෙන් ද මෙම උත්සවය හඳුන්වනු ලබන අතර, පහතරට සම්ප්‍රදායේදී මෙය “මඩු බැසීම” යන නාමයෙන් ද හඳුන්වනු ලබයි. පාසල් නර්තන විෂය ධාරාවේ මෙන්ම සාමාජීය වශයෙන් ද වඩා ප්‍රචලිතව හා බොහෝදෙනාගේ කතාබහට ලක්ව ඇති පහතරට නර්තන කලාව හා මඩුබැසීම ගැන අපි මඳක් සොයා බලමු.

ශ්‍රී ලංකාවේ බටහිර, නිරිත හා දකුණු මුහුදුබඩ ප්‍රදේශයන්හි ප්‍රචලිතව පවතින “පහතරට නර්තනය” විචිත්‍රවත් ශාන්තිකර්ම රැසකට හා කෝලම් නාට්‍යාංගයන්ට ද උරුමකම් කියයි. පහතරට නර්තන සම්ප්‍රදාය ප්‍රාදේශීය වශයෙන් මාතර, බෙන්තර හා රයිගම යන කෝරළවල රංග සම්ප්‍රදායන් තුනකින් ක්‍රියාත්මක වේ. ඒ එක් එක් රංග ශෛලියට අනුකූල වූ අනන්‍යතා ලක්ෂණ එනම් රංග වස්ත්‍රාභරණ, සැරසිලි, ගායන ශෛලිය, වාදන ශෛලිය, ශාන්ති කර්ම, පුද පූජා රටා හා අංග චලනයන්ගේ ස්වරූපය ද වෙනස් වන අතර, භාව ප්‍රකාශන අතුරින් පහතරට නර්තන සම්ප්‍රදාය සෙසු නර්තන සම්ප්‍රදායන් අබිබවා ඉදිරියෙන් සිටිනු දක්නට ලැබේ.

එකල පහතරට ජනයා ඔවුනගේ නීරෝගි බව, වගා ආරක්‍ෂාව මෙන්ම පලදාව, අවට සතුන් හා පරිසරය යන කරුණු වස්තු විෂය කරගනිමින් දෙවියන් යකුන් හා ග්‍රහයන් යන අය උදෙසා ත්‍රිවිධ ආකාරයකට මෙම ශාන්තිකර්ම සිදුකර ඇත.

දෙවියන්ගේ සතුට වෙනුවෙන් ඔවුන්ගේ පිහිට පතා දෙවියන් උදෙසා සිදු කරනු ලබන ගොවි ජනයා හා බැඳුණු “මඩු ශාන්ති කර්මය” මේ අතරින් විශේෂ වේ. දෙවොල්මඩුව, පුනා මඩුව, ගම්මඩුව, මල්මඩුව, ගිනිමඩුව හා දානමඩුව යනුවෙන් ද ශාන්තිකර්ම රැසක් පහතරට නර්තන සම්ප්‍රදායේ පවත්වනු ලබයි. “හැල්ලුම්මඩු” නමින් පත්තිනි දෙවියන් ප්‍රමුඛ කරගනිමින් සිදුකරන ශාන්තිකර්මයක් ද මෙහි ඇත.

එමෙන්ම යකුන් සඳහා පවත්වනු ලබන ශාන්තිකර්ම “යක්තොවිල” ලෙස හඳුන්වා ඇත. “සූනියම් යාගය” හෙවත් මැණික්පාල ශාන්තිය, “මහ සොහොන් හා රට යකුම” හෙවත් රිද්දියාගය, දහඅට සන්නිය හෙවත් “සන්නියකුම”, කළුකුමාර සමයම, ඉරමුදුන් සමයම මෙම ශාන්ති කර්ම ලෙස සිදු කරනු ලබයි. ග්‍රහයන් සඳහා බලි හා ග්‍රහ පූජා ශාන්තිකර්ම පවත්වන අතර, එය “ග්‍රහ තොවිල” ලෙස හඳුන්වා ඇත.

මෙහි හසුරුවන ප්‍රධානතම වාද්‍ය භාණ්ඩය නම් “පහතරට බෙරය” යි. එය දෙවොල් බෙරය, යක් බෙරය, රුහුණු බෙරය, ඝෝෂක බෙරය, සමුද්‍රඝෝෂක බෙරය හා දිග් බෙරය යනුවෙන් එකිනෙකට අර්ථවත් තේරුම් ඇතිව විවිධ නම්වලින් හඳුන්වනු ලබයි.

මෙම සම්ප්‍රදායේ කලඑළි බැසීම එනම්, මඩුබැසීමේ චාරිත්‍රයේදී මඩු යාගයක් සිදු කරන අතර, මෙහිදී දෙයාකාරයක චාරිත්‍ර විධි දක්නට ලැබේ. ඒ අනුව ආධුනිකයා කපු පත්තිනි කෙනකු නම් මඩු බැසීමේදී හලං වැඩමවා පත්තිනි නැටීම සිදු කරන අතර, ආධුනික ශිල්පියෙක් නම් වාහල නැටීම සිදු කළ යුතුවේ. මෙම මූලික චාරිත්‍රවලින් අනතුරුව යාගයේ අනෙකුත් නර්තන රඟදැක්වීම් හා කලඑළි බැසීමේදී යක් තොවිලයක් යොදා ගැනීම ද බොහෝවිට සිදු කරනු ඇත. ශාන්තිකර්මවලට පමණක් සීමා නොවූ පහතරට නර්තන කලාව නාට්‍ය අංගයක් වන “කෝලම් නාට්‍ය” කලාවෙන් ද පෝෂිත වේ.

පහතරට බෙර නදත් සමඟ නෙත් පිනවන දේශීය උරුමයක් ලෙස පාරම්පරිකව පැවත එන පහතරට නර්තන කලාවේ ඇති සම්ප්‍රදානුකූල බව රැක ගනිමින් හා අනාගත පරපුර වෙත තව තවත් ව්‍යාප්ත කරමින් අපි අපේ දායාදයන් ආරක්ෂා කරගනිමු.

මෙතුම්ලි මුදලිගේ

11 ශ්‍රේණිය

මධ්‍ය විද්‍යාලය

පිළියන්දල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department