සමාජයේ බොහෝ ප්‍රශ්න ඇති වන්නේ විනයානුකූල පුරවැසියන් නොමැති වීම නිසා ය. මේ නිසාම අපි අපේ අනාගත පරපුර විනයෙන් පිරිපුන් පරපුරක් ලෙස ඉදිරියට ගෙන ආ යුතුයි. මේ සඳහා ගුරුවරුන් මෙන්ම මව්පියන් ද කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. නැතහොත් එය අපේ රටට මෙන්ම රටේ අනාගත පරපුරට බාධකයක් වේ. මේ නිසා කුඩා කාලයේ සිටම දරුවන් විනීතව හැදිය යුතුයි. මේ සඳහා වර්තමානයේ බොහෝ ගුරුවරු කැපවී සේවය කරති. මේ ආකාරයට සේවය කරන විදුහල්පතිනියක සහ ගුරුවරුන් සිටින පාසලක් පසුගියදා අපට හමු විය. කොටහේන සාන්ත ලුසියා විද්‍යාලයයි. එහි විදුහල්පතිනිය ශාමිකා ප්‍රසංගනී මහත්මිය දරුවන් පිළිබඳ අදහස් දැක්වූයේ මේ අයුරිනි.
” මේ වන විට සාන්ත ලුසියා විද්‍යාලයට අවුරුදු එකසිය හතළිස් පහක් පිරෙනවා. මේ පාසලේ සෑම ජන වර්ගයකම දරුවන් ඉන්නවා. සිංහල,
දෙමළ, මුස්ලිම්, බර්ගර් කියා අපට වෙනසක් නැහැ. බහුල වශයෙන් මේ පාසලේ සිටින්නේ කතෝලික සහ ක්‍රිස්තියානි දරුවන්. ඒ හැරුණු විට අනෙකුත් ජනවර්ගවල දරුවනුත් ඉන්නවා. ඒ කිසිම කෙනකුට වෙනසක් නොකර අපි අධ්‍යාපනය ලබා දෙනවා. අපේ පාසලේ සිංහල දරුවන්ට හොඳට දෙමළ පුළුවන්. ඒ වගේම දෙමළ දරුවන්ට හොඳට සිංහල පුළුවන්. අපේ පාසල පිරිමි පාසලක්. ඒත් දරුවන් හරිම විනයානුකූල විදිහට තමයි අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ. කිසිදු දරුවකු අනෙක් දරුවන්ට කරදරයක්, හිරිහැරයක් වන ආකාරයට ජීවත් වන්නේ නැහැ. සිංහල දරුවන්ගේ උත්සවයකදී දෙමළ දරුවනුත් උදව් කරනවා. ඒක ලොකු සතුටක් වගේම ආදරණීය හැඟීමක් කියලායි මම හිතන්නේ. එතකොට කා අතරවත් අ½ඩදබරයක් ඇති වන්නේ නැහැ. අපි හැමෝම මිනිස්සු කියන හැඟීම දරුවන්ගේ හදවතට දැනෙනවා. ඒක ලබලා දෙන්න වැඩිහිටියො වන අපි උත්සාහ කරන්න ඕනේ. අපේ පාසලේ පන්ති වෙන් කරලා තියෙනවා. එක ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පන්ති වෙන් කරලා තියෙනවා. සිංහල, දෙමළ මාධ්‍ය වශයෙන් එම පන්ති තිබුණත්, එම පන්ති තියෙන්නේ අනෙක් පන්ති අතරයි. කවුරුවත් බෙදී වෙන්වී යන ආකාරයට අපි පන්ති සැලසුම් කරලා නැහැ.”
” වෙසක් පෝය දවසට සිංහල බෞද්ධ ළමයින් සිල් ගන්නවා. ඒ අයට අනෙක් දරුවන් උපස්ථාන කරනවා. ඒ වගේම නත්තල් දවසට ක්‍රිස්තියානි දරුවන් නත්තල් සැරසිලි හදනවා. එතකොට බෞද්ධ දරුවන් උදව් කරනවා. හින්දු අයගේ තෛපොංගල් දවසට ඒ අයගේ වතාවත් කරන්නත් අනෙක් දරුවන් උදව් වෙනවා. මුස්ලිම් දරුවන්ගේ සැමරුම් උත්සවලදිත් එහෙමයි. මෙතැන තමයි අන්‍යොන්‍ය සුහදත්වය තියෙන්නේ. මේක අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. වචනයෙන් කියලා වැඩක් නැහැ. මේක ප්‍රායෝගිකව කියලා දෙන්න අවශ්‍යයි. නැතිනම් දරුවන්ට අවබෝධයක් ලැබෙන්නේ නැහැ. දරුවන් වචනවලින් කියනවාට වඩා ඔවුන් සමඟ ඒ ක්‍රියාව එකතුවෙලා කරනවාටයි කැමැති.”
” අපි හැමෝම මිනිස්සු කියන එක දරුවන්ගේ හිතට දැනෙන්න අවශ්‍යයි. කවුරුත් හොඳීන් ඉන්න කැමැතියි. සතුටින් ඉන්න කැමැතියි. සහයෝගයෙන් ඉන්න කැමැතියි. ආදරයෙන් ඉන්න කැමැතියි. කවුරුත්, කාටවත් හිරිහැර කරනවාට කැමැති නැහැ. මේ නිසා ආදරණීය බව හැම හදවතකම තියෙන්න ඕනේ. මේ ධර්මතාව දරුවන්ගේ හදවත්වල රෝපණය කරන්න ඕනේ. විදුහල්පතිවරු, ගුරුවරු, මව්පියන් මේ හැම දෙනාගේම යුතුකමක් තමයි මේක. මේ නිසා අපි මේ පිළිබඳ දැඩි උනන්දුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මම හිතන්නේ අද තියෙන්නේ තමන් මූලික කරගත් ලෝකයක්. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් අප මුලින්ම දරුවන් වෙනස් කළ යුතුයි. එයට හේතුව දරුවන් තමයි අපේ රටේ අනාගතය. අනාගතය ලස්සන කරන්න නම් මල් වැනි දරුවන් ආරක්ෂා කරන්න ඕනේ. එතකොට අපේ රටේ අනාගතය ලස්සන වෙනවා. පාසලක් කටයුතු කළ යුත්තේ ඒ පරමාර්ථයෙන්.”
එතුමියගේ ලස්සන අදහස් ඒ අයුරින්ම සාර්ථක වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය