රුක්අත්තන ගොඩ කඳු ගැටයේ තේ හිටවා තිබුණේ එහි අයිතිකාරයන් ය. අප දන්නා හැටියට “ඕක හාමු මහත්තයගෙ ඉඩමක්” වැඩිහිටියෝ කීහ. ඔවුන් කඳු ගැටය වටකොට මායිම් හදන්නට එද්දී අපේ මුත්තණ්ඩී ඊට විරුද්ධ වී තිබිණි.
“ඒ මිනිහ මේ සේරම අයිති කර ගන්න හදනවා. එහෙම දෙන්න පුළුහන් කමක් නෑ.” ඔහු කීවේ ය.
“ඒ අපේ ආණ්ඩුවෙ මුලාදෑනි. අපට විරුද්ධව එයාට පුළුවන් කමක් නෑ මායිම් ගල් දාල කම්බි ගහන්න.” ලොකු මුත්තණ්ඩීත් එයට විරුද්ධ වී තිබේ.
වෙද ආරච්චි ගෙදර මුත්තණ්ඩීත් ඊට විරෝධය දැක්වීම නිසා සුද්දට ඕනෑ විදිහට කඳුගැටය හාමුට පවරන්නට නොහැකි විය. ඒ නිසා එම කඳු ගැටයෙන් යම් ප්රමාණයක් අපේ පරම්පරා ඉඩම් බවට පත් වී තිබේ.
කාලයක්ම අපේ මුතුන් මිත්තන්ගේ ශ්රමය සූරා කමින් සුද්දා උන්ගේ රට පොහොසත් කළ බව අප්පච්චී කියයි.
හාමු මහත්තයා ඉඩම මන්නවා ගත්තාට පසුව වුවද එහි වැඩ කළේ අපේම ඥාතීන් ය.
එහි අප දන්නා කාලයේ සිට වගාකොට තිබුණේ තේ ය. එහි තේ දලු නෙළුවේ අපේම ඥාතීන් ය. වත්තේ මුර සඳහා රඳවා සිටියේ ද අපේ කුඹුරු යාය අසල පවුලකි.
ඔහුට දියණියන් දෙදෙනකු හා එක් පුතකු වූයේ ය.
වත්තේ කංකානි කමින් හිස උදුම්මා ගත් එම පවුලේ පියා ඔහුගේ දරුවන් යැව්වේ අප ගිය පාසලට නොවේ. ඔහු වත්තේ කංකානි වූවා මෙන්ම මුරකරු ද විය. ඔහුට හොඳ පඩියක් හාමු ගෙවනු ඇතැයි සමහරු කීහ.
මුළු කඳු ගැටයම අක්කර විසි අටක් විය. එය අක්කර තිහකැයි කීව ද අපේ ලොකු මුත්තණ්ඩි සුද්දා බලහත්කාරයෙන් පන්නා ගත් නිසා උන්ට බිම් ප්රමාණය අඩු වූවා යැයි අප්පච්චී කියන්නේ ය.
කෙසේ වුවද එහි මාර ගස් හා ගිනිසීරියා ගස් සිටුවා ඒවාට ගම්මිරිස් වැල් සිටුවා ඇත.
කංකානිට කවුරුත් කීවේ රතු ආරච්චි කියා ය. හෙතෙම ගමේ කිසිවෙක් හා සෑහෙන්නේ නැති ආඩම්බරකාරයෙකි.
දලු නෙළන අය මෙන්ම වත්ත උදළු ගාන්නට ඔහු පිට ගම්වලිනුත් කාන්තාවන් බඳවා ගත්තේ ය. එසේම පිරිමි කම්කරුවන් ද වැඩට බඳවා ගන්නා ලදි.
මහලපිටිය, පැළෑගැස්කැටිය, උනන්විටිය හා පාතවැලිවිටිය යන ප්රදේශවලට අයත් වැඩි ප්රමාණයක් මෙහි වැඩ කළහ.
ඔවුන් වැඩකරන විට තේ උණුකර ගැනීම සඳහා භාජන ලබාගන්නේ බොහෝ විට අපේ ගෙදරිනි. ඇතැම් වැහිදාට අම්මා හෝ ආත්තම්මා වතුර උණුකර දෙයි. නිකුලස්, උග්ගල්ගොඩේ පියදාස ආදීහු තේ බීමට එද්දි ගම්මිරිස් කරල් ඔක්කක් කඩාගෙන ඒමට පුරුදු වී සිටියහ.
“ඕනි නෑ දරුවෝ ඔය දහ මහ දෝසේ.” විටෙක ආත්තම්මා කියයි. ඒ වුණාට ඒ අය අසන්නේ නැත.
අප්පුගෙවත්තෙ ආත්තාත්, ලියනෝරා ආත්තාත් අම්මගෙ නෑ පරපුරට සම්බන්ධ ය. කැප්පෙටියා ගොඩ ආත්තාත් වැඩ කරන ගමන් අපේ ගෙදරට ගොඩ වෙන්නේ තේ බොන්න හෝ නැති නම් මොනවා හරි කෑමට ය. අපේ ගේ ඉසව්වේ ඔවුන් වැඩ කරන දවස්වලට ආත්තම්මා ලොකු කොස් මුට්ටියක් තම්බයි. ඔවුන් ගෙනෙන ලද කොච්චි දමා සම්බෝලය අඹරන්නේ බොහෝවිට ධනවතී නැන්දා ය. දවල් කෑමෙන් පසු වැඩමුරය පටන් ගන්නේ එකට ය. ඒ වන විට රතු ආරච්චි වත්ත පුරා ඇවිදින්නට පටන් ගෙන ය. කවුරුත් ගජරාමෙට වැඩ ය. හවස තුන හමාරට පමණ මනිය ගහන්නේ තේ බීමටයි. තේ වත්තේ රවුම් පාරේම තබාගෙන උතුරවනු ලබන වතුර මුට්ටියට දිනෙන් දින තේ කොළ දමන්නේ එක එක්කෙනා බැගිනි. ඇතැම් දොහක මහල පිටියේ බේබි නැන්දා අපේ ගෙදරට පැන ගෙන එන්නේ හකුරු කෑල්ලක් හපමින් කහට පොඩ්ඩක් බීමට ය.
“පේනව නේ කංචු. දුප්පත් මිනිසුන් ජීවත් වෙන්න ගන්න මහන්සිය” ආත්තම්මා මට පහදා දෙයි.
“මේ වැඩ කරන්න ආවට හිච්චි හාමිනේ දැන් අපේ කාලෙ ඉවරයි. මේ වැඩ කරලා ගියාට සමහර දාට රෑට උයන පිහින දෙයක් ගෙයි හරියෙ නෑ. අනික අත පය කකියනවා. ගහලා තළලා දාලා වගෙයි. ඔය වාත විදුරංග තෙල් ටිකක් ගා ගන්නවා. මගේ කොල්ල නම් කියන්නෙ අම්මා වැඩට යන්න එපා. මං කීයක් හරි එවන්නම් කියලයි. ඒ වුණත් හිච්චි හාමිනේ, කෙල්ල දීග දෙන්න කලින් ඒකිගෙ කනකරවත් හදන්න එපා ය.”
අම්මා කිසිවක් කීවේ නැත. එහෙත් ඒ දුක වේදනාව එසේ මෙසේ නොවන බව මට වැටහුණි.
“ඉඳා ලියනෝරා මේ බත් එක ගෙහුං කාපං……..” ආත්තම්මා කියයි.
“ඕන නෑ හාමිනේ. කෙල්ල ඇගිටිවනක් කොටල ඇති.” කියන ලියනෝරා ආත්තා බත් මුල දෑතින් අල්ලා තම පන්මල්ලට දා ගත්තේ උපනූපන් ජාති ජාතිත් පින් පතමින් ය.
මේ පැත්තේ වැඩ අවසන් වුව ද දිනපතා ඔවුන්ට වැඩ තිබේ. එක් එක්කෙනා කරඬිය ගා පැළ වටා තණකොළ නෙළා දැමීමට අක්කර දෙක බැගින් නම දමා අර ගනිති. දඩේවට ආත්තාත්, ලියනෝරා ආත්තාත් ජේන් ආත්තාත් වැඩිපුරම ගන්නේ ගඟ අද්දර පැත්තේ අපේ ගෙවල් ඉසව්වේ බිම් කොටස් ය.
එවිට දවසම ඒ වෙනුවෙන් යෙදවීමට ඔවුන්ට කාලය ලැබෙන්නේ, බඩ ගෝස්තරයේ ප්රශ්නය විසඳෙන නිසා ය.
අම්මාත් අප්පච්චීත් ආත්තම්මාත් එවැනි සංග්රහ කටයුතුවලට මනාප ය. ඒ වගේම අමතර වැල වරකා සපාය දීම හා අල ගහක් දෙකක් තම්බා දීම ද ඔවුහු සිදු කරති.
“දැන් ඔය අක්කරේට කීයක් ගෙවනවාද නැන්දම්මේ” විටෙක අප්පච්චී අසයි.
“දැනට නම් විදානෙ මහත්තයෝ මුළු වස්සක් හම්බෙන්න රුපියල් තිස් පහයි. හැබැයි අක්කරේම තණකොළ ගලවා අහවර වෙලා තියෙන්නෝන.”
“මේ සැරේ මම හිතාගෙන ඉන්නවා හැමදාම කෑව බිව්වට ඇත. කෙල්ලට වළල්ලකට කීයක් හරි බදින්න. කවද හරි ඉතුරුවෙන්න ඒක විතරයි නේ විදානෙ මහත්තයා.”
“ඒක ඉතිං තම තමන්නෙ මනාපෙ නේ නැන්දම්මෙ. මොකෝ මං එපා කියන්නයැ.”
දියණියක් ඇති මවක් හැටියට ඇය ඒ යුතුකම් ඉටු කළ යුතු යැයි මට හැඟේ. අව්ව වැස්ස නොබලා මෙසේ මුදල් සොච්චමක් ලබා ගත්ත ද ඇයට එය මහමෙරකි.
“මේ සැරේ විභාගෙ කරන්න බෑ කියනව නේ.” වැඩ අටෙන්ම පහයි පාස්. ඒවට නම් සම්මාන තියෙනවා. ඊළඟ වාරෙ විභාගේ පාස් කරලා දෙන්නම් කියලා අර ඇච්. ඇස්. සී. ද කොහෙද කරන්න ඇහැකිලු. ඒ වුණාට මේකි ආයේ ලියන්න බෑ කියනව නේ.”
“ගේන කර්මපල විපාකවල හැටියට තමයි, ඉතින් ඒවා වෙන්නෙ.” ආත්තම්මා කීවා ය.
‘දැන් බිම් කළුවරත් වැටීගෙන එනවා. ගෙහුං හෙට දිහාට එන්න බලන්නම්.” කියමින් ලියනෝරා ආත්තා තමා ගෙනා උදළු කෙටිය කුස්සියේ පිල අයිනේ තැබුවේ ය.
“හොඳා පරෙස්සමට යන්න” නැන්දම්මේ අම්මා ද කීවා ය.
“ගෙදර ස්වාමියා නැති වුණාට පස්සෙ ඒ මනුස්සයා කොච්චර දුකක් විඳිනවද ජීවිතේ ගැට ගහගෙන අර දැරිවිට උගන්වන්න.” ආත්තම්මා සුසුම් ලෑවා ය.
“මොනා වෙලාද ඒ ආත්තගෙ මුත්තණ්ඩිය මළේ ?” “මම ඇසීමි.
ඒ මුත්තා කළේ කැලෙන් බට කපාගෙන ඇවිත් වට්ටි, පෙට්ටි, කූඩා වියන එක නේ. එක දවසක් කැලේ බට කපද්දී සර්පයෙක් දෂ්ට කරලා. සතා අඳුනා ගෙනත් නෑ වෙදකම් කොළාට හරිගියේ නෑ. ඒ මනුස්සය ඒකෙන්ම මළා. එදා හිටන් මේ මනුස්සයා අනුන්ට කුලී කරලා තමා ජීවත් වෙන්නේ.”
“නෑයො නැද්ද අප්පච්චි?”
“පුතේ.. නෑයො හිටියත් වැඩක් නෑ. වැරදිච්චදාට එකෙක් වත් නෑ. අර ඉස්සර මිනිස්සු කියලා තියෙන්නෙ කට කහනවටයැ.”වැරදුණ දාට නෑයොත් මව්පියොත් නැත.” කියලා. වටේ පිටේ මිනිස්සු තමයි උදව් පදව් කළේ. මෙයාට මල්ලි කෙනෙක්ද කොහෙද ඉන්නවා. මිනිහ වඩුවැඩ කරනවලු මොරටුවෙ. එයා ගම එන්නෙ නෑ මයෙ හිතේ. ඒ දවස්වලම ඔය දුව ඉල්ලලා තියෙනවා උගන්වන්නම් කියලා. මෙයා දීලා නෑ. මට මැරෙන කොට වතුර ටිකවත් දෙන්න ඉන්න එකී.” කිව්වලු.
අප්පච්චී ඒ ආත්තම්මා ගැන බොහෝ විස්තර කීවේ ය.
“අම්මෝ අදනම් ඉතිහාසෙට සියයෙන් සීයම ඇති” කියාගෙන මල්ලි ගෙට ආවේ ය.
රත්නා කහඳගම