ලන්දේසීන්ගේ පැමිණීම
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවාගෙන සිටි පෘතුගීසින්‍ගෙන් රට නිදහස් කර ගැනීමට නම් සැලකිය යුතු නාවික බලයක් අවශ්‍ය බව උඩරට රජවරු අවබෝධ කර ගත්හ. මේ නිසා දෙවැනි රාජසිංහ රජතුමා පෘතුගීසීන් රටෙන් නෙරපා හැරීමට ලන්දේසීන්ගේ සහාය ලබා ගත්තේ ය. එහෙත් රජු සමඟ ඇති කරගත් ගිවිසුමට පටහැනිව කටයුතු කළ ලන්දේසීහු පෘතුගීසීන් යටතේ පැවැති ප්‍රදේශ බොහෝමයක තම බලය පිහිටුවීමට ක්‍රියා කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1658 සිට 1796 දක්වා දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත් විය. ලන්දේසීන්ගෙන් අපට බොහෝ නිර්මාණාත්මක අත්දැකීම් ලැබුණු අතර, ඇතැම් ගෘහ නිර්මාණ ශිල්ප පවා ඔවුන්ගෙන් අපට උරුම විය. බොහෝ දේශීය නිර්මාණකරුවෝ ඒවා ආභාසයට රැගෙන දේශීය නිර්මාණ කරගැනීමට උනන්දු වූහ. මේ නිසා ලන්දේසීන්ගේ ආභාසය ඇතිව නව ගෘහ නිර්මාණ ශිල්පයට මූලිකත්වය දෙමින් ශ්‍රී ලංකාවේදී ගෘහ නිර්මාණ බිහි විය. මේ අතර ක්‍රිස්තියානි පල්ලි විශේෂ විය. ඇතැම්හු අලංකාර නිවාස ද ලන්දේසි හුරුවට සාදා ගත්හ. ආරුක්කු හැඩයන්, කැටයම් ආදිය ද ලන්දේසීන්ගේ නිර්මාණ අනුව ගෘහ නිර්මාණවලට යොදා ගත්තේ ය.
ආර්. එම්. කෞශල්‍යා උදයාංගනී
9 ශ්‍රේණිය
හා/කුඩාබෝලාන ම.වි
අම්බලන්තොට.
———————–
මහන්සි වී වැඩ කරමු
ස්වයංපෝෂිත ආර්ථික රටාව යනු තම රට නිෂ්පාදනය කරන දේවල් මඟින් ආර්ථිකය දියුණු කරගැනීමයි. අතීත ශ්‍රී ලංකාව ඉතා ඉහළ ස්වයංපෝෂිත ආර්ථික රටාවකට උරුමකම් කියූ රටකි. අප රට අතීතයේ සිටම ආහාර අඩුවක් නැති රටකි. පෙරදිග ධාන්‍යාගාරය ලෙස අප රට හඳුන්වා ඇත්තේ ද එම හේතුව පදනම් කරගෙන ය. අහාර ද්‍රව්‍ය වගා කිරීමේදී අත්‍යවශ්‍ය දෙයක් වන ජලය ලබා දෙන වැව් කර්මාන්තය මඟින් ද රටේ ස්වයංපෝෂිත බව ගොඩනඟා ගැනීමට හැකියාව ලැබේ.
අපේ රටේ ප්‍රධානතම අහාර වර්ගය වන වී වගා කිරීමට වැව්වල ඇති ජලය ලබා ගැනීමට ඇළ මාර්ග ද නිර්මාණයකර ඇත. වියළි කලාපයේ විශාල වැව්වලින් කුඩා වැව්වලට ජලය ගෙන යෑම සඳහා වෙනත් ක්‍රමෝපායක් යොදවා තිබේ.
පැරකුම්බා රජතුමා කළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය වන්නේ “අහසින් වැටෙන එක දිය බිඳක්වත් මුහුදට ගලා යෑමට නොදෙව්” යන්නයි. මේ අනුව ඔහු මහා වැව් නිර්මාණයකර මේ රට සහලින් අස්වැද්දුවේ ය. මේ අනුව අපේ අතීතයේ මුතුන් මිත්තෝ වෙහෙස මහන්සි වී වැඩ කළහ. මේ නිසාම රට සහලින් ස්වයංපෝෂිත විය. බොහෝ දෙනා තමන්ගේ අවශ්‍යතාව මත ආහාර වගා කරගත්හ. වෙනත් රටකින් සහල් ගෙන්වීමේ අවශ්‍යතාවක් අපේ රටට නොවී ය. ඒ අපේ අතීතයේදී ය. මේ අනුව වර්තමානයේදී ද අප මහන්සි වී වැඩ කළ යුතු ය. තමන්ට තමන්ගේ හැකියාව අනුව කිසියම් රැකියාවක නිරතවීමට අවස්ථාව සලසා ගත යුතුයි. මේ නිසා පුංචි අපි කරන සේවය ඉතාමත් සැලසුම් සහගතව කළ යුතුයි. මේ සඳහා හොඳීන් අධ්‍යාපනයේ නියැළිය යුතුයි.
චමිති දෙව්ලිනී
10 ශ්‍රේණිය
පන්නල ජාතික පාසල
පන්නල
———————
සාහිත්‍යයේ නිදහස
“සාහිත්‍යය” යන වචනය නිදහස් අදහස් යන අරුත ලබා දෙන්නකි. විටින් විට වෙනස් වන සමාජයේ ප්‍රබෝධය ඇති කරලීමට බලවත් අවියක් ලෙස සාහිත්‍යය යොදාගෙන ඇත. පන්හිඳ සහ තල්පත අතර පැවති බැඳීම අද වන විට පෑන සහ කඩදාසිය මත රැ¼දී පවතියි.
සාහිත්‍යය යනු ජලය නම්, ජලයේ පවතින ස්වභාවය සාහිත්‍යය දෙස බලන කෝණයයි. වීදුරුවක පවතින ජලය සහ ගඟක ඇති ජලයේ හැඩය හාත්පසින්ම වෙනස් ය. එහෙත් හරියාකාරව බලන විට මේ තිබෙන්නෙත් ජලය යැයි අපට තේරුම් ගත හැකි ය. සාහිත්‍යය යනු ඉතිහාසය සහ වර්තමාන ලෝකය එකට යා කළ හැකි පාලමකි. සාහිත්‍යයට භාෂාව අවශ්‍යම නොවේ. ඉන් ලබා දෙන අරුත පමණක් වැදගත් වේ. ඉතිහාසය හැදෑරීමට පවා සාහිත්‍ය මූලාශ්‍ර බොහෝ උපකාරී වේ. අධ්‍යාපන මට්ටම තේරුම් ගත හැකිව තිබූ එදා සමාජයේ සාහිත්‍යකරුවන්, සියලු දෙනාට ම සරලව අවබෝධ කරගත හැකි ආකාරයට සරල බස් වහරකින් ගැඹුරු අදහසක් එළිදක්වා තිබේ. එස්. මහින්ද හිමියන්ගේ “ජාතික තොටිල්ල” වැනි සාහිත්‍යමය කවි නිර්මාණ මඟින් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ජාතික වශයෙන් හෝ සමාජීය වශයෙන් තම රට, ජාතිය ගැන හැඟීම ඉස්මතු කරලීමට හැකි විය. ඒ තුළින් සමාජයට වටිනා පණිවිඩයක් ලබා දී තිබේ. සාහිත්‍යකරුවාට ද විවිධ වූ චරිතයන්ට අනුගත වීමට සිදු වේ. ළමා නිර්මාණ සිදු කරන විට ළමා මනසකින් එම නිර්මාණය කිරීමට සිදු වේ. සමාජයට පණිවිඩයක් දීමට අවශ්‍ය නම් දාර්ශනික වූ තර්කානුකූල මනසකින් යුතු වීමට සිදු වේ. ඒ සියල්ලටම අනුගත වීමට සාහිත්‍යකරුවන්ට හැකි වී තිබේ. සාහිත්‍යයට ජලය මෙන් හැඩය වෙනස් කර ගත හැකිවීම නිසා, විවිධ වූ තේමාවන් සඳහා සිතීමේ හැකියාව ඔප්නැංවිය හැකි ය. රසාස්වාදය, දැනුම සහ අනාගත දැක්මක් ඒ මඟින් ලබා ගත හැකි ය.
සාහිත්‍යකරුවන් තම නිර්මාණ එළිදක්වන්නේ බලාපොරොත්තුවක් ඇතිව බව මාගේ අදහසයි. සාහිත්‍ය නිර්මාණ තුළින් තම සිතෙහි හටගන්නා චිත්ත රූපයන් තවකෙකු සමඟ බෙදා ගත හැකි වීම විශේෂත්වයකි. මෙය කිසිදා රාමුවකට ගත නොහැකි ය. සාහිත්‍යයේ නිදහස පූර්ණ ලෙස තිබෙන බව අප සියලු දෙනාටම මැනවින් පෙනී යන කරුණකි. අවශ්‍ය වන්නේ සිතීම පමණි.
එළඹී තිබෙන සාහිත්‍ය මාසය සියලු දෙනාටම නිර්මාණ එළිදැක්වීමට ඇති හොඳම කාලයයි. හෙට දවස වෙනුවෙන් අදම පටන් ගනිමු.
වාෂිත හර්ෂණ
හරිස්චන්ද්‍ර ජාතික පාසල
මීගමුව
—————————-
පුංචි අයත් ලොකු වැඩ කරනවා
සඳ කිරණ විහිදුවන රැයකටත් හිමිදිරි උදයටත් මල් පිපෙනවා. දිවා රෑ පිපෙන මල්වලින් ලස්සන වෙන්නේ අප අවට පරිසරයයි. මල් පිපෙන්නේ ලොව ලස්සන කරන්න විතර ද? එය ඉතා සරල පැනයක්. එහෙත් ඊට ලැබෙන පිළිතුර හමුවේ අප කාට කාටත් හිතන්න පොළඹවන බොහෝ දේ තිබෙනවා. අප ද ඇතුළුව පරිසරයේ බොහෝ සතුන් යැපෙන්නේ අවට පරිසරයෙන් ලබාගන්නා ආහාරවලින්. ගහකොළ මත ඵල දරන බොහෝමයක් ඵලයන්ගේ වැඩි අයිතිය කෘමි සතුන්ගේ ය. මලින් මලට පියාඹා ගොස් පරාගණය නොකරන්නට අපට ආහාර යැයි දෙයක් ඉතිරි වන්නේ නැත. ඇසට නොපෙනෙන පෙනෙන කෘමි ගහනය නොවන්නට අපගේ ජීවන පැවැත්ම රඳා පවතින්නේ නැත. ස්වාභාවික ආහාර නිෂ්පාදනයත් කෘමි සතුනුත් අතර ඇත්තේ නොබිඳෙන සම්බන්ධතාවකි. ලොව නව සොයා ගැනීම්වලින් කළ නොහැක්කක් තිබේද? කෙනෙකුට මෙසේ ප්‍රශ්න කළ හැකි ය. එහෙත් කෘමි සතකුගේ කුඩා පාද ස්පර්ශයෙන් ආහාර නිෂ්පාදනයට සිදුකරනා මෙහෙයට අභියෝග කරන්නට මෙතෙක් ලොව කිසිම නව සොයා ගැනීමක් සමත් වී නැත.
ඇතැම් විටෙක වත්මන් ලෝකයේ කොතැනක හෝ තැනක ගවේෂණාත්මක මට්ටමින් සිදුවන පර්යේෂණයක් පමණක් විය හැකි ය. නිරීක්ෂණ නිගමන කෙසේ වෙතත් කෘමි සතුන්ගේ පැවැත්මට අභියෝග රැසකි.
කෘෂි රසායන භාවිතය තුළ කෘමි ගහනය වේගයෙන් අඩුවෙමින් පවතී. අපි අප ගැනම සිතුවා පමණක්ද? ලෝකයේ වෙසෙන සියලු සතුන් මිහිමඬලේ උරුමකරුවෝ ය. එහෙත් බුද්ධියෙන් බලවත් මිනිසා එහි පෙරමුණ ගන්නේය. එනිසාම මේ සටහන තබන්නට මම සිතුවෙමි. එය ඔබටත් මටත් සිදු කළ හැකි සරල ක්‍රියාදාමයකි. ආගම් භේදයකින් තොරව සිතන්න. පූජාසන මත බොහෝ ස්වාභාවික මල් පුද දෙනු අපි දැක ඇත්තෙමු. එලෙසම මල් අලෙවි කරන අලෙවිකරුවෝ ද වෙති. මේ ලිපිය කියවන ඔබ මොහොතකට සිතුවා නම් ඒ මල් අසල ජීවිතය යදින කෘමි සතුන් කොපමණ ප්‍රමාණයක් ඔබ දැක ඇතිද?
බැතිමතුන්ගේ අවශ්‍යතාව සඳහා අලෙවියට තබා ඇති මල් බඳුන් අසල ගැවසෙමින් ගුමු ගුමු හඬ පතුරුවමින් මුමුනණ ඒ හඬ ඔබට නුහුරු නුපුරුදු දෙයක් විය නොහැකි ය .
මල් පූජා කිරීමේ අයිතිය අප සතුවනවා සේම ආහාර ලබා ගැනීමේ කාරුණික ඉල්ලීමත් ඔවුන් සතු ය. මේ කුඩා කෘමි සතුන් යදින්නේ මල් පැණි ය.
අප අදහන ආගම කුමක් වුවද විශාල ප්‍රමාණයෙන් පූජාසන මත අප රැගෙන ගොස් තබන මේ මල්වලින් ප්‍රයෝජන ගන්නා කෘමි සතුන් ගැන මඳකට සිතමු.
පූජාසන මත තබන්නට මල් නෙළා ගැනීමේදී ගසේ වැඩි සංඛ්‍යාවක් මල් ඉතිරි කරන්න. ඒ ඔබ ඉතිරි කරන්නේ අනාගත ආයෝජනයක් වෙනුවෙනි. අපේ හදවත් තුළ නැඟෙන සහකම්පනය සතුන් සමඟත් බෙදා හදා ගනිමු. අපි අප ගැනත් හිතමු . අන් අය ගැනත් හිතමු. අපි පරිභෝජනය කරන දේවල් අරපිරිමැස්මෙන් යුතුව භාවිතයට යොදා ගනිමු.
අපේ පැරණි අත්තම්මලා සීයලා මල් නෙළනා විට අපට කියා දුන් පාඩමක් ඇත. මේ මොහොතේදී එය ස්මරණය කරගන්න. “ගහට මල් ඉතුරු කරලා මල් කඩන්න”
ඔවුන් ඒ භාවිත කළ ඉතිරි කිරීම යන වචනය තුළ ගැබ් වූ බොහෝ වටිනාකම් ඇත. ඒ පරිසරයේ සුන්දරත්වය සේම අහිංසක කෘමි සතුන්ගේ සුරක්ෂිතතාවයි.
මොහොතක් සිතන්න, දරුවන් හැටියට මේ ලෝකයේ වෙසෙන සියලුම දෙනා කෙරෙහි අවධානය යොමු කරමු.
රොහන්සා නිසලනී
12 ශ්‍රේණිය
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය