“ආදරණීය දුවේ පුතේ, අද බොහෝ දෙනා ලාභය ගැන සිතනවා. ඒ වගේම වාසිය ගැන සිතනවා. එහෙම හිතලා තමයි වැඩ කරන්නේ. ඕනෑම වෘත්තිකයෙක් එහෙමයි.” ගුරුතුමිය කතාව පටන්ගෙන කියාගෙන ගියා. ඉතින් දුවේ පුතේ, ගුරුතුමිය කියූ කතාව මිහිර කියවන පුංචි ඔබටත් වැදගත් වේවි. ඒ නිසා මේ කතාව කියවලා බලන්නකෝ.
” ඔන්න දුවේ පුතේ, එක්තරා ධනවත් මිනිසකුට ලොකු වත්තක් තිබුණා. මේ වත්තේ බොහෝ වටිනා ගස් තිබුණා. ඒත් මේ වත්ත පිළිබඳ හොයන්න වෙලාවක් මේ මිනිසාට තිබුණේ නැහැ. එයට තවත් හේතුවක් තිබුණා. ඒ මිනිසාට තමන්ගේ අනෙක් ව්‍යාපාරවලින් හොඳ මුදලක් ලැබීමයි. ඒ මුදල මේ මිනිසාට ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් වුණා. ඒ නිසා මේ වත්තට ඇවිල්ලා ගස්වලට සාත්තු කරන්න මේ මිනිසාට අවශ්‍ය වුණේ නැහැ. මේ නිසාම මේ වත්තේ තිබුණු ගොඩක් ගස් විනාශ වුණා. සමහර ගස්වල පලදාවට සතුන් හානි කළා. සමහර ගස්වල අතු කඩා වැටිලා අනෙක් ගස්වලට හානි වුණා. තවත් ඒවා අවට මිනිසුන් කඩා බිඳ දමා නාස්ති කළා. ඉතින් කාලය ගත වෙලා ගියා. දවසක් මේ මනුෂ්‍යයා මෙහෙම කල්පනා කළා. “මගේ මේ ව්‍යාපාර දවසක අලාභ ලැබුවොත් මට ඉතුරු වන්නේ මම පොළොවේ වගා කළ ගස්වල ආදායම විතරයි. ඒ නිසා මම මගේ වත්තේ ගස් ටික හොඳීන් බලාගන්න අවශ්‍යයි.” ඒත් එහෙම හිතුවත් මේ මිනිසාට තමන්ගේ වත්තේ තිබුණ වටිනා ගස් පිළිබඳ බලන්න වෙලාවක් තිබුණෙ නෑ.”
” ඔහොම ඉන්නකොට මේ මිනිසාට තව තවත් ආර්ථික දුෂ්කරතා ඇති වුණා. ව්‍යාපාර බොහෝමයක් අලාභ වුණා. මිනිසුන් ව්‍යාපාර ස්ථානය හැර දමා ගියා. බොහෝ මිනිසුන් මොහු සමඟ හිටියේ සැපේදී විතරයි. දුකේදී හැමෝම මොහු අතහැරලා ගියා. මේ මිනිසාට එක දෙයක් තේරුණා. හැමෝම දැන් තමාව අතහැර ඈතට යනවා. ඒත් තමා කෙසේ හෝ සුරැකෙන්න අවශ්‍යයි කියන එක ඔහුට හිතුණා. මෙහෙම හිතලා ඔහු ඔහුගේ ගස්වලින් පිරුණු වත්තට ගියා. එහෙම යන වෙලාවේ ඒ වත්තේ සිටිය මෙහෙකරුවා කණාටු වුණු ගසක් මුල වාඩි වෙලා බලාගත්වනම බලාගෙන සිටියා. මෙය දුටු ව්‍යාපාරිකයා මෙහෙකරුවාගෙන් මෙහෙම ඇහුවා. ” මොකද මේ ගස්වලට වෙලා තියෙන්නේ?”
” සර් , මේ ගස් බොහොමයක් නාස්තිවෙලා. සමහර ගස් මැරිලා. ඉතින් මේ ගස්වලට පොහොර සහ ජලය දාන්න ඔබ අවධානයක් යොමු කළේ නැහැනේ” ඒ අවස්ථාවේ අයිතිකරුට ගොඩක් කේන්ති ගියා. ඒ වෙලාවේ අයිතිකරු මෙහෙකරුවාගෙන් මෙහෙම ඇහුවා. ” මම ඔබට වැටුප් ගෙව්වේ මේකට ද?” මෙහෙකරුවා එකපාරටම තිගැස්සුණා. ” ඉතින් සර් මම කීපාරක් ඇහුවාද මේ ගස්වලට මොකද කරන්නේ කියලා? ඒත් ඉතින් සර් මට මුකුත් කිව්වේ නැහැනේ. එහෙම අහලා අහලාම මම හෙම්බත් වුණා.” ව්‍යාපාරිකයා එක එල්ලේම මෙහෙකරු දිහා බලාගෙන ඉඳලා මෙහෙම ඇහුවා. ” අපි දැන් මොකද්ද කරන්නේ?” ඒ වෙලාවේ මෙහෙකරුවා මෙහෙම කිවුවා. ” සර් කළ යුතු දේවල් දෙකයි තියෙන්නේ. ඉතින් අපි මේ දෙකෙන් එකක් තෝරා ගන්න ඕනේ.” ”හරි ඉතින් ඉක්මනින් කියන්න.” අයිතිකරු වේගයෙන් කෑගැසුවා. ” එක්කෝ මේ ගස් ටික කපන්න ඕනේ.ඒක ඉතාමත් ලාභදායකයි. එතකොට ඔබට මේ වටිනා ගස් විකුණලා මුදල් ගන්න පුළුවන්. ඒක ඔබට ඉතාමත් ලාභදායකයි. හැබැයි ඉතින් ඒක තාවකාලික ලාභයක් පමණයි.” ” එතකොට අනෙක් පියවර කුමක්ද?” ” අනෙක් පියවර තමයි, මේ ගස්වලට හොඳීන් සාත්තු කරලා. දිගුකාලීන ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න එක. ඒක තමයි වඩාත් ඥානාන්විත ක්‍රියාව වන්නේ. හැබැයි ඒකට දිගු කලක් ගත වෙනවා.”
ඒක ගැන අයිතිකරු ගොඩක් වෙලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා මෙහෙම කිවුවා. ” ඒක හොඳයි. ඒ ක්‍රමයට මම කැමැතියි.” ඊට පස්සේ අයිතිකරු විශාල පරිශ්‍රමයක් දරලා වත්තේ තිබුණු සෑම ගසකටම සාත්තු කළා. එහෙම කළාට පසු ගස්වල ලස්සන මල් පිපුණා. අලුත් දලු දැමුවා. ගෙඩි හැදුණා. ගස් කපලා ලබා ගන්න මුදල්වලට වඩා ගොඩක් ලොකු මුදලක් ලැබුණා. එයින් අයිතිකරු ගොඩක් සතුටට පත් වුණා.
” ඉතින් දුවේ පුතේ, දැක්ක නේද? ඒ අයිතිකරු දුර දිග බලලා ගත්තේ ඥානාන්විත තීරණයක්. එයා කවදාවත් හිතුවේ නැහැ. ඒ දෙය එයාට කියලා දුන්නේ එයාගේ මෙහෙකරු කියලා. ඒ නිසා එයා ගත්ත දිගුකාලීන පියවර නිසා ගොඩක් මුදල් හම්බ කරගන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ අයිතිකරු ගොඩක් සතුටින් ජීවත් වුණා. ඒත් වර්තමානයේ බොහෝ දෙනා තමන්ගේ මතයමයි දරන්නේ. අනුන්ගේ මතයට ගෞරව කරන්නේ නෑ. එයින් සිදුවන්නේ විශාල පාඩුවක්. මේ තත්ත්වය සමාජයේ සෑම තැනකම තියෙන දෙයක්. ඉතින් දුවේ පුතේ, මේ නිසා ඔබත් අනෙක් අයගේ මතයට ගෞරව කරන්න පුරුදු වන්න. උගත්කම නිසාවත්, බලය නිසාවත්, ධනය නිසාවත්, අනෙක් අයගේ මතයට ගෞරව නොකර ඉන්න එපා. සාමූහික ගමනකින් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්.”ගුරුතුමිය කතාව අවසන් කළා.
ජපන් ජනකතාවක් ඇසුරෙන්
රූපාන්ති