ආදරණීය දුවේ පුතේ, අද දවසේ මම ඔයාලට කියලා දෙන්න සූදානම් වන්නේ පොම්පරිප්පු කියන ස්ථානය පිළිබඳයි. ශ්‍රී ලංකාවේ පුරාණ සුසාන භූමි රාශියක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, මෙම පොම්පරිප්පු නම් ස්ථානය ද එසේ හඳුනා ගනු ලැබූ ඓතිහාසික වටිනාකමින් ඉහළ ස්ථානයකි.
ඓතිහාසික සොහොන් බිමක් බවට තහවුරු කරගෙන ඇති පොම්පරිප්පු නම් ස්ථානය විල්පත්තු වනෝද්‍යානය තුළ වෙරළාසන්නයට වන්නට පිහිටා ඇත. ජනප්රවාදයේ සඳහන් ආකාරයට එය මීට වසර ගණනකට පෙර විශාල ප්‍රදේශයක් පුරා පැතිරී පැවතෙන්නට ඇති ජනාවාසයකි. පොම්පරිප්පුව යන නමෙහි සම්භවය පිළිබඳ දැක්වෙන ජනප්රවාදයට අනුව අස්වනු නෙළන කාලයේදී මෙම ප්‍රදේශය රන්වන් පාටින් දිස් වූ හෙයින් “රන්වන් තැන්න” යන අදහසින් යුක්තව ද්‍රවිඩ භාෂාවෙන් පොන්පරප්පු ලෙස හඳුන්වනු ලදුව පසුව එය පොම්පරිප්පු ලෙසට වෙනස් වී ඇත. මෙම සොහොන් භූමිය අවට විශාල ජනාකීර්ණ ජනගහනයක් සහිත වාසභූමි පිහිටා තිබූ බවත් ඒවා බොහෝ දුරට නැඟෙනහිරින් ගල්ගේ විහාර සංකීර්ණය දෙසට වන්නට පිහිටා තිබෙන්නට ඇති බවත් මේ වන තෙක්ම එම ස්ථාන සොයා ගැනීම සඳහා සැලකිය යුතු උත්සාහයක් ගෙන නොමැති බවත් විමලා බෙග්ලි තවදුරටත් පෙන්වා දේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන කැණීම්වලට අනුව අක්කර හතරක පමණ භූමි ප්‍රදේශයක් පුරා විසිරි ගිය මිනී වළවල් අටදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙයින් සොයාගෙන ඇත. ඒවා ක්‍රිස්තු වර්ෂ 1000ත්- 500ත් අතර කාලයේ වාසය කළ සිංහල හා දමිළ ජන කොටස් කිහිපයකට අයත් මානවයන්ගේ යැයි විශ්වාස කෙරේ.
මෙම භූමියේ සිදු කරන ලද කැණීම්වලින් පුද්ගලයන් විසි තුන්දෙනකුට අයත් අස්ථි කොටස් සහිත සුසාන භූමි 14ක් සොයාගන්නා ලදි. එහිදී අනාවරණය කර ගත් තවත් කරුණු වන්නේ භූමදානය කිරීමට පෙර අස්ථි කොටස් විකෘතිකර ඇති බවත් පුද්ගලයන් මිය ගොස් යම් කාලයක් ගතවූ පසු තැන්පත් කිරීම සිදුකර ඇති බවත් ය. හුනුගල්වලින් මුද්‍රා තැබීම ද සිදුකර තිබේ.
පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසුන් අවමංගල්‍ය කටයුතු සඳහා භාවිත කරන ලද මැටි බරණි හා ඒවා තුළ භෂ්මාවශේෂ තැන්පත් කිරීම පිළිබඳ සාක්ෂි හමුවන ප්‍රධාන ස්ථානයක් වශයෙන් ද මෙම ස්ථානය වැදගත් වේ. පොම්පරිප්පුව සුසාන භූමිය ආශ්‍රිතව සිදු කරන ලද කැණීම්වලදී විමලා බෙග්ලි විසින් පෙන්වා දෙන ආකාරයට අනෙකුත් සුසාන භූමිවල මෙන්ම මෙහි ද භෂ්මාවශේෂ මැටි බරණි තුළ බහා භූමදානකර ඇති අතර, එම බරණි තුළ තිබී මානව අස්ථි කොටස්, දත්, පබළු, තඹ වළලු, යකඩ කොටස් ආදිය හමුවී තිබේ. මෙහිදී හමු වී ඇති මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා සකස් කරනු ලැබූ බරණි ආකාර දෙකකි. එක් බරණි විශේෂයක පතුල උල් ආකාරයක් ලෙස ද අනෙක් බරණිවල පතුල රවුම් ආකාරයක් ලෙස ද නිර්මාණයකර තිබේ. මෙහි දී සොයාගනු ලැබූ පබළු අතර කානිලියන්, ඇගේට්, ඔනික්ස්, වීදුරු හා බෙලි බෙලිකටුවලින් තැනූ පබළු විශේෂ වෙයි.
පොම්පරිප්පුව සුසාන භූමිය තුළ සිදු කරන ලද කැණිම්වලදී විමලා බෙග්ලි විසින් සොයා ගනු ලැබූ තිරුවාණා හා කහදවලින් නිර්මාණය කරන ලද ශිලා මෙවලම් රාශියකි. එසේම මෙම සුසාන භූමිය තුළ මිනිරන් හා තඹ කැබලි හමුවීම ද තවත් විශේෂ කරුණකි. මෙම සුසාන තැන්පතු බොහෝවිට කාල වර්ණ හෝ රක්ත වර්ණ බඳුන්වල බහා තැන්පත්කර තිබී ඇත. ඔවුන් එමඟින් මියගිය තැනැත්තාගේ මතු ආත්මය සුඛිත මුදිත කිරීම උපේක්ෂා කළා විය හැකි ය. මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී භාවිත කරනු ලැබූ ඔහු වඩාත් ආසා කළ දේවල් බරණි තුළ බහා තැන්පත් කිරීමෙහි අරමුණ වන්නට ඇත්තේ එයයි.
සමහර පුරාවිද්‍යාඥයන් මෙයින් සොයා ගන්නා ලද භාණ්ඩ දකුණු ඉන්දියාවේ යකඩ යුගයේ සුසානවලින් හමු වූ භාණ්ඩවලට සම්බන්ධ කරමින් මෙරට සංස්කෘතිය සඳහා ද්‍රවිඩ සම්භවයක් ලබාදීමට උත්සාහකර ඇත. මේ පිළිබඳ පිළිගත් එකඟතාවක් නොමැති අතරම, කාබන් කාල නිර්ණය කිරීමට ක්‍රමයක් නොමැති බැවින් භූමදානය පිළිබඳ කාල නිර්ණය කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් ද නොමැත. රාජා ද සිල්වා මහතා එය ක්‍රිස්තු පූර්ව දෙසීයට අයත් වන බවට මතයක් පළ කරන අතර, බෙග්ලි, දකුණු ඉන්දීය සොහොන්වල කාලානුමය සැලකිල්ලට ගනිමින් මේ සඳහා කාලයක් නිර්ණය කිරීමට උත්සාහ දරා ඇත.
ලක්නා නිරෝෂිමාලා