රාජාලියාගේ ස්වරූපය
‘රාජාලියා’ යන සත්ත්වයාගේ ප්‍රතිරූපයේ ගැබ් වී ඇති අර්ථය නම් ධෛර්යය, අභිමානය හා ධනාත්මක බව යන ගුණාංගයි. තනිවම ඉහළට පියාඹමින් ඈතටම යෑමට සූදානම් රාජාලියා ගැනයි අද අප කියන්න සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ, රාජාලියා කියන්නේ අද්විතීය කුරුල්ලෙක්. ඒ කියන්නේ කිසිවකුට දෙවැනි වෙන්නේ නැහැ කියන එකයි. කවදාවත් රාජාලියා පරාජය වන්න කැමැති නැහැ. රාජායලින්ගේ ගැහැනු කුරුල්ලන් පිරිමි කුරුල්ලන්ට වඩා ප්‍රමාණයෙන් විශාලයි. දෙපක්ෂයට ම කිලෝ මීටර් 7 සිට 9 දක්වා උසකට නැඟීමට හැකියාව තිබේ. කුමන පරිසරයක ජීවත් වුණත් රාජාලියන් කූඩු සාදන්නේ ඉතා ඉහළ ස්ථානවල ය. සෑම අවස්ථාවකදීම අලුත් ලෙස ජීවිතය දකින්නට රාජාලියා හුරුවී තිබෙන්නේ සොබාදහමට අනුගත වෙමින්ම ය. ඒ නිසා අවුරුදු හතළිහ පසු වූ විගස ඉහළම ස්ථානයකට පියඹා ගොස් එහි නැවතී තමන්ගේ අත්තටු සහ නියපොතු සියල්ල සිඳ දමා නැවත අලුත් නියපොතු සහ පිහාටු වැඩෙන තෙක් බලා සිටියි. අලුත් පිහාටු සහ නියපොතු වැඩුණු පසු ඉතා සතුටින් පහළට පියඹා විත් අනෙක් කුරුල්ලන්ට පෙනෙන්නට ඉතා අභිමානයෙන් කාලය ගත කිරීමට රාජාලියා හුරු වී තිබේ.
රාජාලියා සම්බන්ධ විවිධ මත
රෝමානු ජාතිකයෝ සූර්යයාගේ උණුසුම් කුරුල්ලා ලෙස රාජාලියා හඳුන්වති. රාජාලියාට ශක්තිමත් පාලකයකුගේ ස්වරූපය ඇති බව ද ඇතැම් ගෝත්‍රිකයෝ විශ්වාස කළහ. රාජාලියාගේ පවතින ගාම්භීර බව නිසා ම ඇතැම් නායකයෝ රාජාලියාගේ පිහාටු තම ක්ෂේත්රයේ හෝ තනතුරේ ගාම්භීර බව පෙන්වීම සඳහා පැලඳ ගනිති. හින්දු දහමේ මෙන්ම ක්‍රිස්තියානි දහමේ ද දිව්‍යමය ප්‍රතිමූර්තියක් ලෙස ද රාජාලියා හඳුන්වයි. ධනාත්මක චින්තනයේ විවිධ සිද්ධාන්ත හඳුන්වා දීමට ද රාජාලියාගේ ගති පැවතුම් ද උපකාරී කරගනියි. සෑම විටම රාජාලියාගෙන් ආදර්ශ ගත යුතු බව ද විවිධ ජන කොට්ඨාසවල ජනතාව විශ්වාස කරති.
අවුරුදු හතළිහ පසු වූ පසු
අවුරුදු හතළිහ පසුවීමෙන් පසු රාජාලියාගේ සිරුර වඩාත් වැහැරුණු ස්වරූපයක් පෙන්වයි. පිහාටු හැකිළී හොටය වක් වී නියපොතු ද දිගට වැවුණු ස්වරූපයක් පෙන්වයි. මේ අවස්ථාවේදී රාජාලියාට විසඳුම් දෙකක් තිබේ. එකක් ඒ විදිහටම ජීවත් වී මිය යෑමයි. එසේ නැතිනම් අලුතින් ජීවිතය පටන් ගැනීමයි. එහෙත් රාජාලියා තෝරා ගන්නේ අලුතින් ජීවිතය පටන් ගැනීම කියන පියවරයි. මේ සඳහා ඈතට පියාසරකර උස් ස්ථානයක ගල් පර්වතයකට ගොස් එම ගල් පර්වතයේ තමන්ගේ හොට ගසා කඩා ගැනීම රාජාලියා සිදු කරයි. ඊට පසු දින 50ත් 55ත් අතර කාලයක් ඉතා වේදනාකාරී මොහොතකට මුහුණ දීමට රාජාලියාට සිදු වෙයි. මේ කාලයේදී නිරාහාරව සිටිමින් අමාරුම කාලපරිච්ඡේදය ගෙවා දමන රාජාලියා හොටය වැඩීමෙන් පසු තමන්ගේ වක් වූ නියපොතු ගලක ගසා කඩා දමයි. නැවතත් දින 35ක් නියපොතු වැඩෙන තෙක් ඉවසා දරා ගැනීමට රාජාලියාට සිදු වේ. නියපොතු වැඩුණු විගසම තම පිහාටු එකිනෙක ගලවා දමන රාජාලියා ඒ වේදනාවත් දරාගෙන තවත් දින ගණනාවක් ගත කරයි. නැවතත් අලංකාර පිහාටු වැඩී රාජාලියා අලංකාර වේ. එහෙත් මේ දරා ගැනීම එතරම් පහසු නැත. සියල්ල නිමාවීමට මාස පහක කාලයක් ගත වේ. අවසානයේ නැවත සිටියාටත් වඩා රාජාලියා ලස්සන වේ. මේ අමාරු කාලය මාසය පහක් තරම් පවතින අතර, රාජාලියාට දැඩි වේදනාවක් දරා ගැනීමට සිදු වේ.
රාජාලියාගෙන් ලබා ගත හැකි ආදර්ශ
ඉවසීම, ධෛර්යවත් බව,අභියෝගවලට මුහුණ දීම,
තමන්ගේ අරමුණට ළඟා වීම, ධනාත්මක බවින් ඉදිරිය ගැන සිතීම
සිතුමිණී රාජපක්ෂ