ආදරණීය දුවේ පුතේ, ඔන්න මෙවර උරුමයක වගතුගවලින් පුංචි ඔයාලට ශ්‍රී ලංකාවේ හින්දු ආගමට අයත් කෝවිලක විස්තර කියන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ, කියවලා බලන්නකෝ බැරැන්ඩි කෝවිල ගැන.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල සහ තල්දූව නගරවලට ආසන්නව පිහිටා ඇති බැරැන්ඩි කෝවිල සීතාවක රාජධානි සමයේ ඉදිකරන ලදැයි සලකයි. අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට තල්දූව දෙසට ගමන් කරන විට දකුණු පසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකළ නාමපුවරුවක් දක්නට හැකි ය. එම නාමපුවරුව අසලින් ආරම්භ වන අතුරු මාර්ගයේ මීටර් එකසිය පනහක් පමණ ගමන් කිරීමෙන් මෙම කෝවිලට ප්‍රවේශ වීමේ හැකියාව තිබේ. මෙම කෝවිල සීතාවක ගඟට මායිම්ව ඉදිකර ඇත. එනිසා මනරම් පරිසරයක් මේ කෝවිලට උරුම වී තිබේ.
මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරු එසේත් නැත්නම් සීතාවක රාජසිංහ වශයෙන් හඳුන්වනු ලැබූ පළමුවැනි රාජසිංහ රජු සීතාවක රාජධානිය යුගයේදී මෙම කෝවිල ඉදිකරන ලදැයි සලකයි. ජනප්‍රවාදයට අනුව සීතාවක රාජසිංහ රජු විසින් පියා ඝාතනය කිරීමෙන් පසුව මහ සඟරුවන වෙත ගොස් උන්වහන්සේලාගෙන් එම පාප කර්මය සඳහා පිළියමක් පැතුව ද එය ආනන්තරීය පාපකර්මයක් වශයෙන් සලකා එම පාපකර්මයෙන් කිසිදා මිදීමට නොහැකි බව පවසා ඔහුව ප්‍රතික්ෂේප කොට ඇත.
එයින් කළකිරුණු සිත් ඇති ඔහු පසුව ශිව ආගම වැලඳගෙන එම ආගමෙන් පිහිට පැතූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ සඳහා රජු පොලඹවන ලද්දේ රජුගේ සමීපතමයකු වූ අරිට්ට කී වෙන්ඩු පෙරුමාල් නමැත්තා ය. පසුකාලීනව රාජ්‍ය සේවයට එක්වූ ඔහු රජුගේ මහා මාත්‍යවරයා බවට පත්වී ඇත. මෙයින් මිදීමට නම් සීතාවක ගඟ අසබඩ ශිව දෙවියන් උදෙසා කෝවිලක් ඉදි කළ යුතු බවට උපදෙස් ලැබී ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.
මෙම කෝවිල ඉදිකර ඇත්තේ අවසානයක් දැකීමට නොවන බව අදටත් එහි දැකිය හැකි නටබුන්වලින් පැහැදිලි වේ. එහි අදටත් කටයුතු අවසන් නොවූ ඉදිකිරීම් බහුල ය. මෙම කෝවිල ඉදිකිරීම් කටයුතු ආරම්භකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1582දී ය. බැරැන්ඩි යනු දෙවියන් උදෙසා යොදන වෙනත් වචනයකි. මිනිසුන් විසිදාහක් පමණ යොදා ගනිමින් වසර විස්සක් පුරා තැනූ මේ දේවාලය දෙවියන් උදෙසා මහල් හතකින් යුතුව කරන්නට සැලසුම්කර තිබේ. රාජා හෝමා හෝ ගංගා හෝ යන ප්‍රකට කියමන මෙම කෝවිලේ ඉදිකිරීම් හා සම්බන්ධව ඇති වූවකි. එහි අර්ථය වන්නේ රජු මිය ගිය පසු හෝ තමන් මියගිය පසු හෝ ගඟ පිටාර ගලා ඉදිකිරීම් කටයුතු අතහැර දැමීම සිදුවන බවයි. ඒ අනුව කොයි මොහොතක හෝ මෙම ඉදිකිරීම් අතහැර දැමීම ඔහුගේ අරමුණ වූවා විය හැකියි.
එයින් අනතුරුව සීතාවක රාජසිංහ රජුගේ අකල් මරණයෙන් පසු රාජසූරිය නමැති කුමාරයා බලයට පත් වූයේ ය. පසුකාලීනව අරිට්ට ඔහු ඝාතනය කළේ ය. අනතුරුව රජකමට රාජසිංහ රජුගේ සහෝදරියක වූ මහා බිසෝ බණ්ඩාර දේවියගේ පුතකු පත් විය. බැරැන්ඩි කෝවිලේ ඉදිකිරීම් කෙරෙහි අවධානය යොමු නොකළ බැවින් එම කෝවිල තවමත් නිමා නොවූ කෝවිලක් වශයෙන් අද දක්වා පවතී.
මෙම කෝවිල තැනීම සඳහා කැටයම් කළ කළුගල් පමණක් භාවිතකර තිබීම මෙහි ඇති විශේෂි ලක්ෂණයකි. එහි සුන්දර සිතුවම් ඇඳ තිබේ. රාම රාවණ යුද්ධය, මහාභාරත කතා පුවත, අසුර යුද්ධය, කඳ කුමරුගේ සිතුවම් ආදිය ඇති බව සැවුල් සංදේශයේ සඳහන් වේ. එහෙත් වර්තමානයේ එවැනි කිසිම නිර්මාණයක සලකුණු දක්නට නොමැත. අද අපට දක්නට ලැබෙන්නේ පොළොවෙන් උඩට ඉදිකළ අඩිතාලම හා අඩි කිහිපයක් පමණක් උඩට මතුව ඇති කැටයම් සහිත ගල් කණු පමණි. එ දවස කෝවිල හා රජ මාලිගාව අතර සීතාවක ගඟ හරහා ඉදිකරන ලද පාලමක් ද යටින් දිය අගලක් ද තිබී ඇත.
ගංගාවේ සිට ඉහළට නැඟීමට පඩි පෙළක් ද තිබී ඇති අතර, එම දිය අගල ප්‍රාකාරයකට සම්බන්ධ වී තිබෙන්නට ඇතැයි පැවසේ. පියගැට පෙළ සමීපයේ පස්වලට යටව කොරවක් ගල් කිහිපයක් දක්නට හැකි ය. අලංකාර කැටයමෙන් නිර්මාණය කරන ලද බොරදම් කුලුනු හා පොහොට්ටුවක හැඩය ගත් දිය පිහිල්ල එහි තවත් ඇති විශේෂ නිර්මාණයන් ය. ඒවා සම්පූර්ණයෙන්ම කළුගලින් නිර්මාණය කරන ලද ඒවා ය. එහි ඇති වේදිකාව අඩි සියයක් පමණ වේ. එහි මධ්‍යයට වන්නට අඩි පහළොවක් සහ අඩි විස්සකින් දිගින් යුතු දෙවොල් ගෙයක ලක්ෂණ හමුවේ. එහි පුන්කලස් තුනක් ද දක්නට හැකි ය. පසුකාලීනව පෘතුගීසි ආක්‍රමණ හේතුවෙන් මෙම කෝවිල විනාශ වී ගිය ද සීතාවක යුගයේ ඉදිකරන ලද දැනට ශේෂව පවතින ස්ථාන අතරින් වැදගත්ම ස්ථානය බවට හඳුනා ගෙන තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවති හින්දු ආගමික ඇදහිලි හා වත් පිළිවෙත් පිළිබඳ දැන ගැනීමට ඇති හොඳම ස්ථානයක් වන්නේ ද මෙම ස්ථානයයි.
ලක්නා නිරෝෂිමාලා