බො හෝ කලකට පෙර රුසියාවේ ගමක ගොවියෙක් ජීවත් වුණා. ඔහුගේ නම ඩිමියන්. ඔහු ඉතා මුරණ්ඩු, ඉක්මනින් කෝපයට පත්වන, තමන්ගේ මතය පතුරුවන්නටත් එයට විරුද්ධ වන්නන් සමඟ කලහ කර ගැනීමටත් කටයුතු කරන්නෙක්.
ඇතැම් අවස්ථාවල ඔහු අසල්වැසියකුට තමන්ගේ නිවෙසට ආරාධනාකර, නිවෙසේ ඇති හොඳම කෑම බීමවලින් සංග්‍රහ කරනවා. එවැනි අවස්ථාවල ආගන්තුකයා එම කෑම බීම සියල්ල අනුභව කිරීම නරක පුරුද්දක් බව සිතා පිළිගැන්වූ ආහාර ටිකක් ඉතිරි කරනවා. මෙය සිදුවන බව දන්නා ඩිමියන්ට හොඳ අවස්ථාවක් එළඹෙනවා. එසැණින් ඔහු ආරවුල ඇති කරනවා.
එක් වරක් මෙම සිදුවීමට මුහුණ දුන් අයෙක් තවත් අවස්ථාවක බුද්ධිමත්ව කටයුතු කරනවා. ආහාරපානවලට ස්තූති කරමින් සියල්ල ඉක්මනින් කා බී අවසන් කරනවා. මේ අවස්ථාවේ ඩිමියන් නම් ගොවියාට තමා සිතූ පරිදි ආරවුලක් ඇතිකර ගැනීමට නොහැකි වූ නිසා තවත් උපක්‍රමයක් යොදනවා.
ඔහු ඔහුගේ කෆ්තාන් නම් කබාය පිටතට ගෙන එනවා. අමුත්තාගේ බැටළු හම ගලවන්න යැයි පවසනවා. ඉන්පසුව කෆ්තාන් නම් කබාය ඇඳ ගන්න යනුවෙන් පවසනවා. මෙහිදී අමුත්තා එය පිළිගැනීමට අකැමැති වේ යැයි ඩිමියන් සිතනවා. එවිට අමුත්තාට පාඩමක් උගන්වන්නට සිතනවා. එහෙත් ඩිමියන් සිතූ දේ සිදුවන්නේ නෑ. ආගන්තුකයා ඔහුට ස්තූති පුද කරමින් ඩිමියන්ගේ සත්කාරයට ගරු කරන්නට එය භාර ගැනීමට අවශ්‍ය බව කියමින් නව කෆ්තාන් කබාය පැලඳ ගන්නවා. මේ අවස්ථාවේදී ඩිමියන්ගේ කේන්තිය වැඩි වෙනවා. මේ උපක්රමයෙනුත් ඔහුට අවශ්‍ය දේ ඉටු නොවුණු නිසා ඔහු තවත් උපක්‍රමයක් යොදනවා.
ඩිමියන් ඉක්මනින් ඉස්තාලයට ගොස් තම හොඳම අශ්වයා පිටතට ගෙනැවිත් තම ආගන්තුකයාට අශ්වයා ලබා ගන්නැයි කියා සිටිනවා. එහෙත් ඩිමියන් තම සිතින් සිතන්නේ “මෙවර ඔහු නිසැකවම මෙය ප්‍රතික්ෂේප කරනු ඇත. එවිට මගේ වාරය පැමිණේ” ලෙසිනි. එහෙත් ආගන්තුකයා එය ප්‍රතික්ෂේප කරන්නේ නෑ.
“ඔබේ නිවෙසේ පාලකයා ඔබයි” කියා පවසන ඔහු ඉක්මනින් අශ්වයාගේ පිටට පැන ඩිමියන්ට නැවතත් මෙසේ පවසනවා. “ඔබ හැර වෙන කිසිවකුත් ඔබව උගුලට තල්ලු කළේ නැත” මෙසේ පැවසීමත් සමඟ අමුත්තා අශ්වයා ද රැගෙන යන්නට ගියා. ඩිමියන් අමුත්තා දෙස බලා හිස වනා “ඔව් මම මගේ උගුලට පැටළුණා” යැයි පැවසුවා.
රුසියානු කතාවක් ඇසුරෙන්
වන්දනා අබේසේකර