Home » Blog » පාසලෙන් පසු

පාසලෙන් පසු

by thanushika
0 comments

මහම්බානෙ තොටුපොළෙත් ඔන්න දැන ගල් මතුවෙලා. ලොකු පෑවිල්ලක් හින්ද වෙන්න ඇති” සුගතේ කියයි.

“ඔව්! ඔව්!! …………අන්දරයස් මුත්තත් කිව්වා.” විමලේ ද එයට සාක්ෂි දැරීය.

“හරි ෂෝක් නේද කරුණෙ. අපි කාටත් නොදන්වා ගඟ දිඟේ ඉහළට හෝ පහළට යමු.”

“මරු තමයි” ඩැනියගේ කතාවට කවුරුත් සිනාසුණහ.

“හරියටම යන අය කවුද කියල අපි ලිස්ට් එකක් හදමු.” දැන් විභාගෙත් අහවර නිසාත්, දැන් අපි පුංචි එවුන් නොවන නිසාත් ගෙවල්වලින් විරෝධයක් එල්ල වෙතැයි සිතිය නොහැකි ය.

“ඔන්න එක සුගතේ, දෙක විමලේ. තුන කංචු. හතර කරුණෙ. පහ ඉඳුරුගෙදර ඩැනී. හය රොඩ්ඩා. හත මද්දුවා අට සිරිමලා. දැන් ඇති නේද? උඹලා ෂුවර්ම නේද?” අසන කරුණේ “හරි නේද කංචු?” . මගෙන් ද අසයි.

“හරි හරි මං රෙඩි”

“දැන්ම වහින එකක් නෑ මයෙ හිතේ.” සෝමේ කීවද ඔහු ගමනට එකතු වූයේ නැත. නෑමට පවා වතුර නැත. ජලය ඒ තරමටම සිඳී ඇත.

“එහෙනම් කන්න මොනා මොනා හරි අරං වරෙල්ලා. ගඟ දිගේ යන නිසා ඔය ගඩා ගෙඩිත් මොනාහරි බලමු. නේද කංචු?” කරුණේ මා ද ඊට ඈඳා ගත්තේය. “පිහියක්. දෙකක් පොඩි කඹයක්, මල්ලක්” කරුණේ නොනවත්වාම කියයි.

මම ද ගෙදර විත් සාලුවක් හා පිහියක් ද පාසල් ගෙන ගිය බෑගය ද ඊට සූදානම් කර ගතිමි.

“මං බෑගය සූදානම් කරනවා දුටු ආත්තම්මා.” කොහෙ යන්නද මේ හරුබස්ස පොදි ගහන්නෙ?”යි මගෙන් ඇසීය.

“අපි අද ආත්තම්මේ ගඟ දිගේ ඉහළට යනවා. වතුරත් අඩුනේ.”

“කවුද තව යන්නෙ.?”

“අපෝ මාත් එක්ක තව හත් දෙනෙක් ඉන්නවා. බය ගන්න එපා”.

“ආත්තම්මා නම් බය නෑ. මොනා හරි වින්නැහියක් කර ගත්තොත් කියලයි මට බය.” ඇය කීවාය.

මම ආත්තම්මාටත් අම්මාටත් වැන්දෙමි. කරුණේත් වැන්දේය. අප්පච්චි රබර්වත්ත පහළ ඇවිදින්නට ගොසිනි. මිදුලේ සිටි මුත්තණ්ඩීට ද වැන්දෙමි.

“අවදානම් තැන්වල යන්න එපා. නිතරම පරෙස්සම ගැන හිතන්න ඕන. ඒ වගේම පරිසරය ගැන අවධානයෙන් ඉන්නට ඕන.” ඔහු ද කීවේ ය.

“අයියේ අනේ මාත් එඤ්ඤා?”

“සූටි කොහෙ යන්නද? විභාගෙ ලියලා අහවර වුණාම යන්න පුළුවන්.”

“අනේ අයියේ……..මාත්……ආසයි.” ඔහුගේ හැඬුම්බර මුහුණ දෙස මට බැලිය නොහැකි ය.

“මං ආයෙම යද්දි ඔයාව එක්කගෙන යන්නම් මල්ල” මම කීමි. ඔහු දමා යෑම මට ද දුක ය. ඒත් ඔහු දඩබ්බරයකු නිසා හිතු මනාපයට කැඳවා ගෙන යෑම ද කළ නොහැකි ය.

“මං හිරකාරයා වගේ ගෙදර ඉන්නම්.. ඔයාලා විනෝද වෙලා එන්න. එකෙකුටවත් හොයාගන්න බැරිවෙන්න මම යනවා.” ඔහු කියනු ඇසුණි.

“ඕන් නෑ සූටි පුතේ. අපි කට්ටියම එකතු වෙලා වෙන වන්දනා ගමනක් යමුකෝ.” ආත්තම්මා කීවා ය.

“ඔය නාකි බජ්ජොත් එක්ක යන ගමන් මට ඕන නෑ.” ඔහු ආත්තම්මාටම කීවා ය.

“බලාපන්කො හිච්චි හාමිනේ සූටිගේ කතාව. අර ලොකු එකානම් කවදාවත් මට ඔහොම කියන්නේ නෑ.”

“ඒ ලොකු එකානේ. මං පොඩි එකා.”

“පව් නේ පුතේ ඔයාලගෙ තාත්තගෙ අම්මනේ. මුකුත් කියන්න එපා. මගේ සූටි පුතේ” අම්මාගේ කීමට රොබින් මුකුත් නො කීවත් “එයා හින්ද තමයි මේ ඔක්කොම” කීවේ ය.

“හිච්චි හාමිනේ මං හවහම යනවා. දෙණියෙ මහතුන්ගෙ ගෙදර. ඌ මගේ පොඩි එකා. මේ වගේ මාව පන්න ගන්න එකක් නෑ.”

“අම්ම ඕව ගණන් ගන්න එපා. ඌ තාම පොඩි එකා නේ. වචනෙක බරක් පතලක් දන්නෙ නෑ.” අම්මා කීවා ය.

අපි ඒවා ඇසුණ නෑසුනා සේ අපේ ගමන පිටවී ආවෙමු.

“ගඟ දිගේ යන ගමන නිසා හොඳට පරිසරයට කන් දෙන්න ඕන. හිටපු ගමන් දිය ඇල්ලක් කඩා හැලෙන්න බැරිකමක් නෑ. අහසෙ වැහි උලක් නැතත් වැහි ලිහිණියෝ කැරකෙමින් පියාසර කරනවා.

ඔහොම රංචු රංචු කැරකෙන විටත් වැහි ලකුණු අත ළඟයි කියනවා. ඒ විතරක්ය කඩි මතුවෙලා පෝලිමේ දිගට යනව නම් ඒත් ළඟදිම වහින ලකුණු. මෙරු මතු වෙලා ඉගිලී ගිහින් විනාශ වෙනව නම් ඒත් වැස්සක ලකුණු” මුත්තණ්ඩී කියූ හැටි අපි සාකච්ඡා කළෙමු. ඒ වගේම ගෙම්බො කෑ ගහන්නෙ පොළොව යටින් ගොරවමින් ගුගුරන හඬ ඒත් නියඟය අහවර වෙන ලකුණු.”

“මේ කියපුව ගැන අපි අවධානෙන් යන්න ඕන” කරුණේ නඩේට පැහැදිලි කළේ ය.

ගඟේ වතුර අඩු වුණද සමහර ගල්පතුරු ලිස්සන සුළු ය. අපි ඒවාට ප්‍රවේශමින් අඩිය තබමින් ඉදිරියට ගමන් කළෙමු. “බලාපන්කො කරුණෙ. වැල්ල රත් වෙලා. කාන්තාරවල කොහොමට ඇද්ද? අපි ඔය ගං ඉවුරෙ ගහක් යට වාඩි වෙලා මහන්සි නිවාගෙන ඉස්සරහට යමු. කැමැතිද විමලේ?” “හරි හරි අපි තව ඉස්සරහට යන්නම්. මහන්සි අය විඩා නිවාගෙන එන්න කො.” ඩැනී කීය. මාත්, විමලෙත්, කරුණෙත්, සිරිමලාත් විඩා නිවා ගැනීමට ඉවුර අයිනේ ගල් පොත්තක් උඩ ඉඳ ගතිමු. අනෙක් හතර දෙනා ඉදිරියට ගියහ. අපි ගෙනෙන ලද බටර් විස්කෝතු එක බැගින් කා ඇල්වතුර බීවෙමු. අවට බලද්දී ඉවුරේ මඳක් ඇතුළට වන්නට රඹුටන් ඉඳී රතු පැහැ වී තිබුණ මුත් ලේන්නු ගස බදුගෙන තිබිණි.

“අපි යමුද කංචු රඹුටන් කන්න?”

“ආ………..හරි හරි මං රෙඩි. ඒත් මට ගස් නඟින්න බැහැනේ.”

“මට ගස් නඟින්න පුළුවන්” සිරිමලා කීවේ ය.

“මටත් පුළුවනි ගස් යන්න” විමලෙත් කීවේ ය.

රඹුටන් ගස එතරම් ලොකු නොවේ. කඩ කඩා බිමට දැම්මා මිස මාද ඒවා එකතු කළේ නැත.

ඒ ගසට එහායින් සිහින් අඩිපාරක් විය. ඒ අඩිපාර ඔස්සේ වයසක ආත්තම්මා කෙනෙක් මිනිබිරියක් සමඟ ගඟට එමින් සිටියාය. ගස උඩ සිටි අය ඒ ගැන මට කී නිසා මම රඹුටන් ටික එක ගොඩකට එක් කළෙමි.

ආත්තම්මා ගෙනා පනිට්ටුව රෙදිත් සමඟ බිම තබා උඩ බැලුවා ය.

“මේ පුතාලා කොයි කොන ඉඳලද මෙහෙට පනං වුණෙ දරුවෝ?” ඇය ඇසුවා ය.

“අපි පල්ලෙහා ඉඳලා ගඟ උඩහට යනවා වතුර අඩු නිසා.” ආත්තම්මාගේ බැල්ම විමසුම් සහගත ය.

“පුතා…….උඹැහෙලා කාලාද?”

“ නෑ….”

“කරකොළ කූර එළලා. හෙරලි තම්බලා ඇති. ආවොත් උඹැහෙලාටත් කෑ හැකි.”

“නෑ ආත්තම්මා………අපේ තව කට්ටියක් ආවා. එයාලා උඩහට ගියා.”

“නංගී ඔය පනිට්ටුව අල්ලන්න රඹුටන් දෙන්න” මම කීමි.

ඇයගේ බඳුනට ද රඹුටන් ගෙඩි විසි පහක් තිහක් දැමුණි. සුගතේලටත් ටිකක් වෙන්කර ගතිමි. අනෙක්වා කමින් අපි ඉදිරියට ගියෙමු. කිලෝමීටර් දෙසියයක් පමණ ආව ද අපට සුගතෙලා හමු නොවුණි.

“මොකද කරුණෙ සුගතෙලා ගියා වත්ද ඉස්සරහට? ඩැනිය හිටිය නේ. ඔය බඩවැටියකට රිංගුවද දන්නෙ නෑ.” අපි කතාවෙන් කතාවෙන් ඉදිරියට යද්දී පසුපසින් හූ හඬක් ඇසී හැරී බැලුවෙමු.

“ඒයි……..අන්න අරුන් අපට පහු වෙලා. අපි ඉඳිමු එනකම්………….”

රත්නා කහඳගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department