Home » Blog » වලස් පවුලේ කතන්දරය

වලස් පවුලේ කතන්දරය

by lakehouse
0 comment

වලසුන් යනු Ursidae පවුලට අයත් සර්ව භක්ෂක ක්ෂීරපායින් වේ . වලසුන් විශේෂ අටකි. ඔවුන් උතුරු අර්ධගෝලයේ සහ අර්ධ වශයෙන් දකුණු අර්ධගෝලයේ විවිධ වාසස්ථානවල බහුලව දක්නට ලැබේ. වලසුන් උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව සහ යුරේසියාව යන මහාද්වීපවල දක්නට ලැබේ . වලසුන්ගේ වාසභූමි විවිධාකාර වේ. ඔවුහු තණබිම්, නිවර්තන පහත් බිම් වනාන්තරවල වාසය කරති. හිම වලසුන් ඔවුන්ගේ ජීවිත කාලයෙන් සැලකිය යුතු කොටසක් අයිස් ප්‍රදේශයන්හි ජීවත් වන බව බොහෝ විට දක්නට ලැබේ. වලසුන්ගේ ආයු කාලය එක් විශේෂයකින් අනෙක් විශේෂයට වෙනස් වේ. දුඹුරු වලසා වසර 25ක් පමණ ජීවත් වන අතර, කළු වලසාගේ ආයු අපේක්ෂාව ආසන්න වශයෙන් අවුරුදු 30කි. වලසුන්ගේ වර්ණය එක් වලස් විශේෂයකින් අනෙක් විශේෂයට වෙනස් වේ. ඔවුන් පුළුල් හිසක් සහ ශක්තිමත් හකු සහිත වන අතර, පෙනුමෙන් දැවැන්ත ය. ඔවුන්ගේ කන් කුඩා හා වටකුරු ය. ඔවුන්ට කුඩා, කළු ඇස් ඇත.

වලසාට කකුල් හතරක් ඇත. ඒ සියල්ල ස්ථූල වේ. ඔවුන්ගේ ඉදිරිපස පාද, පිටුපස පාදවලට වඩා විශාල ය. ඔවුන්ගේ පසුපස නිය ඔවුන්ගේ ඉදිරිපස පාදවල නිය තරම් විශාල නොවන නිසා ඔවුන්ට ගස් නැඟීමට අපහසු වේ.

ඔවුන්ට දත් 42ක් ඇත. ශීත ඍතුවේදී, ආහාර හිඟ වූ විට බොහෝ වලසුන්ට ඔවුන්ගේ පැවැත්මට විසඳුමක් ඇත. ඒ ශිශිරතරණයයි. එය සීත ඍතුවේ දීර්ඝ නින්දකට පිවිසීම

ලෙස ද හඳුන්වයි. හෘද ස්පන්දන වේගය, ශරීර උෂ්ණත්වය, සහ ශ්වසනය අඩු වන භෞතික තත්ත්වයක් එවිට සිදු වේ. ග්‍රිස්ලි සහ කළු වලසුන්ට දින 100ක් හෝ ඊට වැඩි කාලයක් ආහාර ගැනීමෙන්, ජලය පානය කිරීමෙන් තොරව ජීවත් වීමට හැකි ය. ගැහැනු වලසා පැටවුන් හතර දෙනකු දක්වා බිහි කරයි. ශිශිරතරණය නොකරන යෝධ පැන්ඩා සාමාන්‍යයෙන් එක් පැටවකු පමණක් බිහි කරයි. මාස දෙකකට පසු වලස් පැටවුන් තම මව පසුපස හඹා යෑමට තරම් ශක්තිමත් වේ. සෑම වලසෙක්ම මී පැණි රසයට කැමැති ය. එහෙත් සෑම වලස් විශේෂයකටම ඔවුන් ප්‍රිය කරන ආහාර වේලක් ඇත. අමෙරිකානු කළු වලසුන් බෙරි සහ කෘමි කීටයන් ඇති විට ඒවාට ප්‍රිය කරන අතර, වලස් උප විශේෂයක් වන යෝධ පැන්ඩා ප්‍රධාන වශයෙන් උණ ශාකය අනුභව කරයි. එහෙත් ඔවුහු කුඩා සතුන් ද අනුභව කරති. වලසුන් යනු හුදෙකලා සතුන් වන අතර, සියලුම මාංශ භක්ෂකයන් අතර වඩාත් සමාජශීලි සතකු ලෙස සැලකේ. ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් දැකිය හැක්කේ මව පැටවුන් රැකබලා ගන්නා විට හෝ ඔවුන් සියල්ලන්ම එකට ආහාර සොයා යන විට පමණි. ඔවුන් දිවා හෝ නිශාචර විය හැකි ය. අමෙරිකන් බ්ලැක් සහ බ්‍රවුන් වලස් වැනි විශේෂ දවස පුරා ක්‍රියාකාරී වෙති. අලස වලස්සු රාත්‍රියේදී ක්‍රියාකාරී වෙති. කෙසේ වෙතත්, මෙම විශේෂයේ ගැහැනු සතුන් රාත්‍රී විලෝපිකයන්ගෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා දිවා කාලයේදී තම පැටවුන් පෝෂණය කරයි.

මෙම ක්ෂීරපායින් වැඩි වැඩියෙන් කුතුහලයෙන් සිටින අතර, බොහෝ විට ඔවුහු අවට සිදුවන ශබ්ද, සුවඳ හෝ ඕනෑම දෙයක් පරීක්ෂා කිරීමට උනන්දු වෙති.

ඔවුන්ට විශාල ශරීරයක් තිබුණ ද ඔවුහු දක්ෂ පිහිනුම්කරුවෝ සහ සහ ධාවකයෝ වෙති.

වලසුන් ද විශිෂ්ට කඳු නඟින්නන් වන අතර, කළු වලසා වැනි විශේෂ බොහෝ විට ඉදිරියට එන ඕනෑම අනතුරකින් බේරීමට ඉහළට යයි. කෙසේ වෙතත්, ග්‍රිස්ලි වලසා ද සම්බන්ධ විශේෂත්වය වන්නේ ඔවුන් සතු දිගු නියපොතු ය.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, විශේෂයෙන් දුඹුරු, කළු සහ ග්‍රිස්ලි වලස්සු ශීත ඍතුවේදී දින 100ක් පමණ ශිශිරතරණය කරති. මන්ද එම ඍතුවේදී ආහාර හිඟ වන අතර, කාලගුණය සීතල වන නිසා ය. දැඩි සුවඳ ආඝ්‍රාණය කිරීමේ ඔවුන් සතු සහජ බුද්ධිය නිසා ඔවුන්ට කිලෝමීටර ගණනක් දුරින් තිබුණත් සත්ත්ව මළ ශරීර සොයා ගත හැකි ය.

මෙම ක්ෂීරපායි සත්ත්වයෝ ඔවුන්ගේ සුවඳ පැතිර වීමට සහ ඔවුන්ගේ හිමිකාරිත්වය ගැන අන් අයට අනතුරු ඇඟවීමට ඔවුන්ගේ ශරීරය ගස්වල මෙන්ම වෙනත් වස්තූන් මත අතුල්ලමින් තම භූමිය සලකුණු කරති. කෙසේ වෙතත්, ඔවුන්ගේ රටාව එක් විශේෂයකින් අනෙකාට වෙනස් වේ. යෝධ පැන්ඩා ඔවුන්ගේ සීමා සලකුණු කිරීම සඳහා ඉටි වැනි ද්‍රව්‍යයක් සමඟ ඔවුන්ගේ මූත්‍රා භාවිත කරයි. හිම වලසා රසායනික සන්නිවේදනයට යොමු වන්නේ ඔවුන් ගමන් කරන ධාවන පථවල ඔවුන්ගේ සුවඳ ඉතිරි කරමිනි. ඔවුන්ට හොඳ මතකයක් ඇත. ග්‍රිස්ලි වලසා වැනි විශේෂයන්ට ඔවුන් කලින් තම ආහාර ප්‍රභවය සොයාගත් ස්ථාන හොඳීන් මතක තිබේ.

වලසුන්ට ශක්තිමත් හකු තිබීම සමහර ශාකවල ශක්තිමත් කඳන් තළා දැමීමට සහ සපා කෑමට ඔවුන්ට උපකාරී වේ.

 

රිත්මිණි පේලිගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department