Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by lakehouse
0 comments

හැට හැවිරිදි “මිහිර” අන්තර්ජාලයත් සමඟ ළමයෙක් වෙයි

අ, ආ, ඉ, ඊ යනුවෙන් අකුරු එකිනෙක පටලවමින් කියවන්නට පුරුදු වූ දා සිට අතැඟිලි අතර සිර වූ නෙතට ප්‍රිය වූ මිහිරිතම කඩදාසි පිටු වී නම් ඒ “මිහිර” පත්ඉරු වූ ඔබ ය. පාට පාට ලෝකයේ විචිත්‍ර රූප මා මනසට ගෙන දුන්නේ ද පත්ඉරු වූ “මිහිර” මය.

අලංකාර පින්තූර සමඟින් මුල් පිටුව සැරසෙන “මිහිර” එහි අලංකාරය වගේම කුමන හෝ පණිවිඩයක් අපට හැමවිටම ඒත්තු ගන්වයි.

සැඟවුණු තොරතුරු මූලාශ්‍ර සහිත පූජනීය ස්ථාන ඇතුළු අනෙකුත් විවිධ ස්ථාන ලංකාවේ මෙන්ම ලෝකයේ ඇති බව මට පසක් කර දුන් “මිහිර” තවත් විටෙක ලෝකප්‍රකට මෙන්ම ලාංකේය සුන්දර දිය ඇල්ලක සිසිලස මට ලබා දුන්නේ එහි ජීවමාන පහස විඳගැනීම හා සමානවම ය.

විවිධ චරිත ඇතුළත් කතා ලෝකවල අපව අතරමං කරනු ලැබුවේ, “මිහිර” ඔබ විසින් ඒ කතා පුවත් තුළට පණ පොවා තිබූ චිත්ත රූප මනසේ ගිල්වමින් ය. එම චිත්‍ර හා රූප, කතාවේ රසය තව තවත් වැඩි කරනවා මෙන්ම වත්මන් රූපවාහිනී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට එහා ගිය, සිත් තුළින් මවා ගත් පරිකල්පනය ඔස්සේ සිතීමේ හැකියාව හා ශක්තිය මෙන්ම අපගේ කියවීමේ වේගය ද ප්‍රගුණ කරවමින් ය.

තොරතුරු රැස්කර ඔළුගෙඩි පුරවනවා මෙන්ම එක් එක් ශ්‍රේණිය හා විෂයයන්ට අනුකූල වූ අධ්‍යාපනික දැනුම බෙදාහරින්නටත් “මිහිර” ඔබ උපන් හපනෙකි. පාසලෙන් ලබාගන්නා තරග ජයග්‍රහණ,කුසලතා හා නායකත්ව පාසලේදී පමණක් කතාබහට ලක්වීම යන කරුණට තිත තබා, එම තොරතුරු සමස්ත ලාංකේය පාඨක ජනතාව උදෙසාම දැනගැනීමට ඉඩහසර සලසා හා එමඟින් අප සිත් සතන් ඉමහත් සතුටට පත්කරලීමට නිරතුරුවම වෙහෙස වූ “මිහිර” ඔබට අපි සැමවිටම කෘතවේදී වන්නෙමු.

උකහා ගත් දැනුම පිරික්සීම සඳහා ප්‍රශ්න නඟා පිළිතුරු අපේක්ෂාව හා ප්‍රහේලිකා වගු තුළ අතරමං කර, නුවණ සොයා වඩන්නටත් ඔබ අපව පෙළඹ වූ අතර, අප ඉන් ලැබූ සතුට අපරිමිත ය. කියවීමේ දක්ෂතාවෙන් පිරිපුන් අපි, “මිහිර” ඔබව අනුකරණය හරහා ඔබේ ලිපි තුළින්ම අපව ද ලේඛක ලේඛිකාවන් බවට පත්කරලූයේ අපටත් නොදැනුවත්වම ය. ඉන් නොනැවතුණු ඔබ, පත්ඉරු මත අපගේ නිර්මාණ, ලිපි අකුරු කොට, ලාංකේය සමස්ත පාඨක ජනතාව සඳහා කියවීමට සැලැස්වූයේ, මගෙන් මෙන්ම පාඨක සැමගේම ගෞරවාදරයට පාත්‍ර වෙමින් ය.

මෙකී කාරණා සේම බොහෝ එහා ගිය කරුණු ඇතුළත් අති විශාල වූ දැනුම් සම්භාරයක් අපට තිළිණ කරන ආදරණීය “මිහිර”, ඔබ වසර හැටක් වූ ඉතිහාසයකට උරුමයක් ලදුව හා තවමත් ගෞරවාදරයට පාත්‍ර වනුයේ ද ඔබ බෙදා දෙන දැනුමෙහි වටිනාකම හා ඔබ කෙරෙහි ඇති පාඨක විශ්වාසය නිසාම ය.

පිටු අතරින් අතර ඇඟිලි තුඩින් පෙරළනවිට මට අදටත් දැනෙන “මිහිර” ඔබේ නැවුම් පත්ඉරු සුවඳ ආයේ විඳගැනීමට නොලැබුණ ද වෙනස්වන හා දියුණු වන ලෝකයේ නව තාක්ෂණයත් සමඟ පාඨකයාගේ දැනුම් ලොවට නව පියවරක් තබමින් අන්තර්ජාලය හා අත්වැල් බැඳගත් මගේම අඹ යහළුවා වූ “මිහිර” ඔබට තව තවත් ආයු වඩා ආයුබෝවේවා යැයි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

මෙතුම්ලි මුදලිගේ,

11 ශ්‍රේණිය,

මධ්‍ය විද්‍යාලය,

පිළියන්දල.

——————

මිහිරට හැටක්

හැටවැනි වියට පා තබන මිහිරට පුංචි අපේ සුබ පැතුම්. ඊ පුවත්පතක් ලෙසින් අප හමුවට අන්තර්ජාලය ඔස්සේ මිහිර පැමිණියත් අපි ආදරයෙන් මිහිර පිළිගන්නවා. රට රටවල විවිධ තොරතුරු, පහේ ශිෂ්‍යත්වය හදාරන දරුවන්ට ශිෂ්‍යත්ව තක්සලාව වැනි ලිපි, අපේ ඉංග්‍රීසි පාඩම, උරුමයක වගතුග වැනි ලිපි මඟින් අපට නොයෙක් ආකාරයේ ලිපි අපි කියවනවා. ඇතැම් වෙලාවට අපට ලැබෙන ලස්සන පිංතූර අපි කපලා පොත්වල අලවා ගන්නවා. ඒවා හරිම ලස්සනයි. අපට අවශ්‍ය ආකාරයේ නොයෙක් තොරතුරු මිහිරේ තියෙනවා. ඒ වගේම ආප්තෝපදේශ අපට ගොඩක් වටිනවා. චතූ නැන්දා ලියන ලෝකය ගැන ලියන තොරතුරු ඉතා වැදගත්. මමත් අක්කලා අයියලාට කියන්නේ මිහිර පුවත්පත අන්තර්ජාලයෙන් ප්‍රකාශයට පත් වුණත්, එය කියවන්න කියලා. කියවීමෙන් තමයි බොහෝ දෙනා සම්පූර්ණ වෙන්නේ. හැකි සෑම විටම හර්ෂි නැන්දාගෙනුත් මොනවා හරි අහලා එවන්න. හර්ෂි නැන්දා ලස්සන උත්තර දෙනවා. ඒ වගේම මිහිරයි පාසලයි විශේෂාංගයට අපේ පාසල ගැන ලිපියක් පළ වුණා. ඒක හරිම ලස්සනයි. ඒ නිසා පුංචි ඔයාලත් කැමැති නම් අලංකාර ලිපි මිහිරට ලියලා එවන්න. ඊ පත්තරය වුණාට ඒවාත් පළ වෙනවා. අනෙක් අය ලියන ඒවායින් දැනුමක් ගන්නත් පුංචි ඔබට පුළුවන් වේවි. නවීන තාක්ෂණය ගැනත් ලිපි තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මිහිර පුවත්පතට දීර්ඝායුෂ ලැබේවා කියලා.

එම්. සනාදි සුවෙත්මා

5 ශ්‍රේණිය

බප/මිනු/ කීනදෙණිය ප්‍රාථමික විද්‍යාලය

———————

පුංචි අපට දැනුම බෙදන මිහිරට හැටයි

මිහිර පුවත්පත පුංචි අපට දැනුම ලබා දෙන පුවත්පතකි. අපේ රටේ තොරතුරු රට රටවල තොරතුරු එමඟින් අපට දැකගත හැකියි. පුංචි අපේ කවි, ගීත චිත්‍ර මිහිර පුවත්පතේ පළ කරන්න අවස්ථාව අපට ලැබී ඇත. මිහිර පුවත්පතට දිගු අතීතයක් ඇත. මගේ අම්මා ද පුංචි කාලයේ මිහිර පුවත්පත ආසාවෙන් කියෙව්වා කියා මට කියලා තියෙනවා. අපේ පාසලේ බොහෝ වැදගත් අවස්ථාවලදී ඒ විශේෂාංග මිහිර පුවත්පතෙහි පළකර තිබිණි. අපේ ඉස්කෝලෙ නමත් රටටම කියන්න හැකියාව ලැබුණා. මිහිර පුවත්පතට අපේ පාසලේ සෑම ගුරුවරයකුම ළමයකුම කැමැතියි. අපගේ මවුපියන්ට මෙන්ම අනාගතයේදී පුංචි දරුවන්ටත් දැනුම බෙදන්න හැට වැනි උපන්දිනය සමරන මිහිරට හැකිවේවා යැයි සුබ පතන්නෙමු.

චමාෂි උත්තරාංගි

5 ශ්‍රේණිය

ශ්‍රී සෝභිත ප්‍රාථමික විද්‍යාලය

මොරගස්මුල්ල

——————-

බස රස වත් කළ මිහිර

ලෝකයේ ඕනෑම භාෂාවක අක්ෂර , යෙදුම් වචන වැනි දෑ භාවිත වෙයි. ඒවා මඟින් ඕනෑම භාෂාවක් රසවත් වෙයි. සිංහල භාෂාවේ ඇති සමහරක් යෙදුම්, ඉඟි වැකි, ප්‍රස්තා පිරුළු වැනි දේවල් මඟින් අපේ භාෂාව රසවත් වේ. මේ හැකියාව ලබා ගැනීමට අප පොතපත කියවිය යුතුයි. බස යෙදෙන අයුරු, හර්ෂි නැන්දා, ළමා පුවත්, හෙට ලෝකය අපෙයි, පුංචි ලේඛකයෝ වැනි විශේෂාංගවලට ලිපි සැපයීමෙන් අපේ හැකියාව තවත් දියුණු විය.

මට ද මිහිර පුවත්පතට ලියන්නට අඳීන්නට අවස්ථාව ලැබීම භාග්‍යයකි. සැන්ටින් මහත්තයා මම අඳීන චිත්‍ර කතාවයි. මට වගේම බොහෝ දෙනාට මේ මඟින් අවස්ථාව ලැබී ඇති බව මම පුවත්පතෙන් දුටුවෙමි. මිහිර පුවත්පත අවුරුදු 60ක් දැයේ දූ පුතුන්ට මිහිරක් දුන් අතර, බොහෝවිට අප එයින් ලැබූ අධ්‍යාපනය ඉතා වටිනා බව ඔබට පැහැදිලි කරමි. තෑගි තරගවලින් අප සැමදෙනාම සතුටට පත් කළ අතර, එයින් බොහෝ අයට තෑගි ලබාදීමට හැකියාව ලැබිණි. මේ නිසා වයස හැටක් වුව ද බස රසවත් කරන මිහිරට අපි ගොඩක් ආදරය කරන්නෙමු.

සඳුන් ඉමන්ත දෙවනගල

7 ශ්‍රේණිය

කෑ/ ස්වර්ණ ජයන්ති ජාතික පාසල කෑගල්ල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department