Home » Blog » මහා ඇලගමුව දේවතිස්ස රජමහා විහාරය

මහා ඇලගමුව දේවතිස්ස රජමහා විහාරය

by lakehouse
0 comments

දේවතිස්ස රජමහා විහාරස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහ ඇලගමුව ග්‍රාමයේ මහ ඇලගමුව කඳු වැටියට මායිම්ව ය. අනුරාධපුර යුගයට අයත් විහාරස්ථානයක් වශයෙන් සැලකෙන මෙම විහාරස්ථානය කටාරම් කෙටූ ගල්ලෙන් 37ක් හා කටාරම් නොකෙටූ ගල්ලෙන් හතරකින් සමන්විත වේ. එහි තිබි ක්‍රිස්තු පූර්ව දෙවැනි – හතරවැනි සියවසට අයත් බ්‍රාහ්මීය ලෙන් ලිපි 26ක් හඳුනාගෙන ඇති අතර, ක්‍රි.ව. එක්වැනි හා දෙවැනි සියවසට අයත් ලිපි දෙකක් ද ක්‍රිස්තු වර්ෂ පහ – හත සියවස්වලට අයත් ලිපි දෙකක් ද හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙම විහාරස්ථානය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට අටවැනි සියවස දක්වා කාලපරිච්ඡේදයට අයත්වන බවට කරුණු අනාවරණය වේ. ඉතින් දුවේ පුතේ, කියවලා බලන්නකෝ මේ පිළිබඳ කතාව.

පසුකාලීනව, වල්බිහිව තිබූ මෙම විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කුඹුක්වැවේ රාජකරුණා මුදලිතුමාගේ මූලිකත්වයෙන් නැවත ප්‍රතිසංස්කරණයකර තිබේ. ඒ ක්‍රි.ව. 1775 දී ය. එහිදී ගම්වාසීන් විසින් ඔත් පිළිමයක්, හිටි පිළිමයක් හා කොරසගල්ල වන්නියේ සියලු ගම්වල දායක පිරිස වෙනුවෙන් හිටි පිළිම වහන්සේ නමක් බඳවා සිතුවම් කර්මාන්තය ද කරවා ඇත. එයින් අනතුරුව 1858දී දැනට පවතින පිළිමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත. මෙම පිළිම ගෙයි ලක්ෂණ අනුව එහි මහනුවර යුගයේ ලක්ෂණ සහිත බුදු පිළිම 03ක් ඇති අතර, හිටි පිළිමයේ උස මීටර් 1.36කි. එහි පිළිමයේ දකුණතින් අභය මුද්‍රාව නිරූපණයකර තිබේ. එම පිළිමයෙහි දකුණු පස පිහිටි පිළිමය මීටර් 1.89ක් ද වම්පස පිහිටි පිළිමය මීටර් 1.83ක් ද උස ය. හිඳී පිළිමය දෙපස මීටර් 1.78ක උසකින් යුත් විෂ්ණු හා නාථ දේව පිළිම දෙකක් වෙයි.

මෙහි සඳහන් ලෙන් ලිපි අතරින් ලෙන් පූජා කිරීම පිළිබඳ දැක්වෙන ලිපි දෙකකි. එයින් එක් ලිපියක සුදර්ශන නම් ලෙන ගාමිණී තිස්ස මහ රජුගේ පුත් වූ තිස්ස කුමරු විසින් පූජා කරන ලද බව සඳහන් වේ. එහි තිස්ස කුමරුගේ නම ධරකතිශ යනුවෙන් සඳහන්කර ඇත. පරණවිතාන මහතා එහි සඳහන් ගාමිණී තිස්ස රජු සද්ධාතිස්ස රජු ලෙස හඳුනාගෙන ඇති අතර, තිස්ස කුමරු පසුව රජ පැමිණි ලජ්ජතිස්ස රජු ලෙස හඳුනාගෙන තිබේ.

අනෙක් වැදගත් ලෙන් ලිපිය වන්නේ නන්දි ප්‍රධානියාගේ පුත් වූ මිත්‍ර ප්‍රධානියා විසින් කරන ලද ලෙන් පූජාව පිළිබඳ සඳහන් ලිපියයි. එම මිත්‍ර ප්‍රධානියා දස මහා යෝධයන්ගෙන් කෙනකු වන නන්දිමිත්‍ර යෝධයා ලෙස හඳුනාගෙන තිබේ. විහාරස්ථානයේ දක්නට ලැබෙන සිතුවම් අතර, සූවිසි විවරණය, බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා හා මහරහතන් වහන්සේලාගේ රූප සිතුවම්කර තිබෙනු දැකගත හැකි ය. එහි මුදුන් බාල්කවල මහනුවර යුගයට අයත් කැටයම් ද දක්නට ලැබේ.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department