මිහිර කියවන දුවලා පුතාලා මඩොල් දූව පොත නොවරදවාම කියවලා ඇති. ඒ පොත ලියූ මහා ගත්කරු කවුද කියලාත් ඔයාලා දන්නවා ඇති. ඒ තමයි හෙළයේ මහා ගත්කරු ලෙසින් ද කොග්ගල ප්‍රාඥයා ලෙසින් ද හඳුන්වන මාර්ටින් වික්‍රමසිංහ සූරීන්. එතුමා සිංහල සාහිත්‍යයට අගනා කෘති රැසක් දායාද කරමින් සිදුකළ සාහිත්‍ය සේවාව අමරණීය ය. එතුමා අප අතරින් සමුගෙන ජූලි මස 23 වැනි දිනට වසර 48ක් සපිරෙයි. මේ සටහන තබන්නේ එතුමාට උපහාර පිණිසයි.
ජීවන තොරතුරු
* සම්පූර්ණ නම – ළමා හේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ
* උපන් දිනය – 1890 මැයි 29
* උපන් ස්ථානය – දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල, මලලගම
* පියාගේ නම – කොග්ගල මලලගම
ළ මා හේවාගේ දොන් බස්තියන් වික්‍රමසිංහ
* මවගේ නම – මාගාල්ලේ බළපිටියේ ලියනගේ නොච්චෝහාමි
* අධ්‍යාපනය
ලැබූ පාසල් – ගමේ අන්දිරිස් ගුරුන්නාන්සේගෙන් අකුරු ඉගෙනීම, ගමේ පන්සලෙන් අකුරු ඉගෙනීම, ගාල්ල බොනවිස්ටා පාසලෙන් අධ්‍යාපනය ලැබීම, කොග්ගල ධීරානන්ද හිමිපාණන් වෙතින් සිංහල, පාලි, සංස්කෘත ඉගෙනීම, අහංගම සිංහල පාසලට යෑම
* රැකියාව – ලේඛක, පුවත්පත්කලාවේදි
* බිරිය – කතළුවේ බාලගේ ප්‍රේමා ද සිල්වා
* දරුවන් – සරත් කුසුම් , වසන්ත කුමාර, රූපා මාලතී , හිමන්ෂු රංග, ඌෂා , යූනි
* මියගිය දිනය – 1976 ජුලි 23 (වයස 86)
කොළඹ, නාවලදී
සාහිත්‍ය නිර්මාණ
ළමා සාහිත්‍ය :-
බාලෝපදේශය (1903), ගලිවරායණය (1932), රජවෙන්ට ගිය මහන්නා (1932),දඬුමොණරය (1932)රන්කෙඳී කුමාරිකාව (1932), ඥානෝදය කතා (1991) උපන්දා සිට බාලවිය
ජීව විද්‍යාව :-
කුරුමිණි සත්තු (1929), කුරුකුහුඹු සත්තු (1930), වෙස් මාරුකරන සත්තු (1931), මුහුදු වෙරළ (1932), සත්ව ලෝකය (1936), විද්‍යා විනෝද කතා (1957)
අතිරේක කියවීම් පොත් :-
ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය (1934),සදාචාරය හා නිරෝගී සම්පත (1934),පළාත් ආණ්ඩු (1934), ප්‍රජා පාලන ශික්ෂා (1938)
නවකතා :-
ලීලා (1914),සෝමා (1920),අයිරාංගනි (1923),ශීතා (1923), මිරිඟු දිය (1925)උන්මාද චිත්‍රා(1929), රෝහිණී (1929)
ගම්පෙරළිය (1944), මඩොල් දූව (1947)යුගාන්තය (1949), විරාගය (1956), කලියුගය (1957), කරුවල ගෙදර (1963) බවතරණය (1973)
කෙටිකතා :-
ගැහැනියක් (1924),මඟුල් ගෙදර (1927), පව්කාරයාට ගල් ගැසීම (1936), අපේ විත්ති (1945), හඳ සාක්කි කීම (1945),මගේ කතාව (1947),බිල්ල සහ අපූරු මුහුණ (1949), වහල්ලු (1951), කතා අහුර (1955), තෝරාගත් කෙටිකතා (2009),රන් පිළිමය (2012),කෙටි කතා එකතුව ප්‍රථම භාගය, (2013) (කෘති එකතු 1),කෙටි කතා එකතුව ද්විතීය භාගය (2014) (කෘති එකතු 2)
නාට්‍ය කෘති :-
චිත්‍රා (1940),මයුරී (1944),විජිතා (1953), විජිතා සහ තවත් නාටක (1953)
පද්‍ය කාව්‍ය:-
තේරී ගී (1952)
ජීවිතය ඇසුරින් ලියූ කෘති:-
අපේ ගම (1940),කළුනික සෙවීම(1950)උපන් දා සිට මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය ළමා විය, තරුණ විය, හා මැදි විය අලළා රචිත උපන්දා සිට ග්‍රන්ථය (1961), උපන්දා සිට බාල විය
විදේශ සංචාර:-
සෝවියට් දේශයේ නැඟීම (1962), නව චීනයේ පිබිදීම (2006), ඉන්දියාව, ලංකාව හා නිදහස් සම්ප්‍රදාය (2018)
සාහිත්‍ය විචාර:-
ශාස්ත්‍රීය ලේඛන (1919),සිංහල සාහිත්‍යෝදය කතා (1932), සාහිත්‍ය ශික්ෂා-1(1936), සාහිත්‍ය ශික්ෂා-2 (1938), විචාර ලිපි (1941), ගුත්තිල ගීතය (1943), සිංහල සාහිත්‍යයේ නැඟීම (1945), සාහිත්‍ය කලාව (1950), කාව්‍ය විචාරය (1954), ඇත්ත යුත්ත (1955), බණ කතා සාහිත්‍ය (1955), නව පද්‍ය සිංහලය (1957), රසවාදය හා බෞද්ධ කාව්‍ය (1961), සිංහල විචාර මඟ (1964), නවකතාංග හා විරාගය (1965)ජාතක කතා විමසුම (1968), සිංහල නව කතාව හා ජපන් කාමකතා හෙවණැල්ල (1969), සිංහල නාටකය හා සඳ කිඳුරුව (1970), සම්ප්‍රදාය හා විචාරය (1971), ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය (1997), අපේ ළමා සාහිත්‍ය (2011), සිංහල සිනමා සිත්තම් (2012)
පුවත්පත් කලා ජීවිතය
* ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතට ලිපි ලිවීම (1912)
* දිනමිණ පුවත්පතේ කර්තෘ පදවියට පත් වීම(1920)
* දිනමිණ පුවත්පතින් ඉවත් වී කෙටි කාලයක් ලක්වැසියා පුවත්පතේ කටයුතුකර පසුව ලක්මිණ පුවත්පතේ කතුවරයා වීම (1928)
* නැවත ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වීම සහ සිළුමිණ පුවත්පතේ කතුවරයා වීම (1931-1937 දක්වා)
මාර්ටින් වික්‍රමසිංහ භාවිත කළ ආරූඪ නම්
එතුමා ඇතැම් ලිපි ලේඛන සඳහා සහ පුවත්පත් ලිපි සඳහා විවිධ ආරූඪ නම් හෙවත් අන්වර්ථ නම් ද වරින් වර භාවිතකර තිබේ.
හේතුවාදී, හේතුදර්ශනවාදී, විජිත මනුවර්ණ, මයුරපාද, සුසන්ත මනුවර්ණ, මනුවර්ණ, සුසන්ත, පෑලදිගින්, ජගත්ප්‍රිය, හිතවාදී එම නම් වේ.
ලැබූ සම්මාන සහ ගෞරව නාම
* බ්‍රිතාන්‍ය ර්.ඕ.ඡ් සම්මානය-1953
* විරාගය කෘතිය සඳහා දොන් පේද්‍රික් සම්මානය (1957)
* විද්‍යෝදය විශ්වවිද්‍යාලය මඟින් පිරි නැමූ ශාස්ත්‍ර සූරී උපාධිය (1960)
* පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් පිරි නැමූ සාහිත්‍ය චක්‍රවර්තී උපාධිය (1963)
* සෝවියට් දේශයේ නැඟීම කෘතියට යුනෙස්කෝ සම්මානය (1964)
* විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය මඟින් පිරි නැමූ සාහිත්‍ය චක්‍රවර්තී උපාධිය (1965)
* කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිරි නැමූ සාහිත්‍ය චක්‍රවර්තී උපාධිය (1970)
* සාහිත්‍යය සඳහා ජනාධිපති සම්මානය (1974)
භාෂා රැසකට පරිවර්තනය වූ මඩොල් දූව
එතුමන් විසින් ලියූ මඩොල් දූව නවකතාව වැඩි වාර ගණනක් මුද්‍රණය වූ යොවුන් නවකතාවක් වන අතර, 2021 වසරේදී එහි 70 වැනි මුද්‍රණය ද නිකුත් වී තිබේ.
1947දී රචනා වූ මඩොල් දූව සිය 75 වැනි උපන්දිනය 2022 වසරේදී සැමරීම ද විශේෂ සිදුවීමකි.
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර දූපතක් වන මඩොල් දූව ප්‍රදේශය ඇසුරුකර ගනිමින් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් මඩොල් දූව නවකතාව රචනාකර තිබේ.
මෙය මහාචාර්ය ඈෂ්ලි හල්පේ විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනයකර තිබෙන අතර, සුන්දරම් සෞමියන් විසින් දමිළ භාෂාවට පරිවර්තනයකර තිබේ. ඉන් පසු රුසියානු , බල්ගේරියානු , රුමේනියානු, චීන, ලන්දේසි, ජපන් යන භාෂාවලට ද පරිවර්තනය වි තිබේ. මඩොල් දූවේ ඉංග්‍රීසි පරිවර්තනයක් අනුසාරයෙන් මෙය යූරී අක්සනෝෆ් විසින් රුසියානු භාෂාවට පරිවර්තනය කරන ලද්දේ 1959 වසරේ දීය. මෙහි රුසියන් නම වූයේ ‘තායිනා ස්මේයිනවා ඕස්ත්‍රාවා’ යන්නයි. එහි තේරුම වන්නේ සර්ප දූවේ අබිරහස යන්නයි.
* එතුමන් 1944 දී රචනා කරන ලද ගම්පෙරළිය නවකතාවට මෙම වසරට වසර 80ක් සපිරේ.
* එතුමන්ගේ කෘති රැසක් චිත්‍රපටවලට සහ ටෙලිනාට්‍ය නිර්මාණවලටද නැඟී තිබේ.
ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යන තුන් ඇඳුතු නවකතා සහ විරාගය, මඩොල්දූව නවකතා චිත්‍රපටවලට නැඟීම
ගම්පෙරළිය, මඩොල්දූව, කරුවලගෙදර සහ එතුමන්ගේ කෙටිකතා ටෙලිනාට්‍යවලට නැඟීම නිදසුන් ලෙස දැක්විය හැකි ය.
මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය
කොග්ගල පිහිටි එතුමා උපන් නිවෙස වර්තමානයේදී ජන කෞතුකාගාරයක් බවට පත්කර තිබේ. එතුමා ලේඛනය සඳහා භාවිත කළ විවිධ ලේඛන උපකරණ සහ එතුමා පරිහරණය කළ විවිධ භාණ්ඩ සහ එම යුගය සංකේතවත් කරන එකල භාවිත කළ විවිධ පැරැණි භාණ්ඩ ආදිය මෙහි ප්‍රදර්ශනයට තබා තිබේ. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් 1981 වසරේදී මෙය පිහිටුවන ලදි.
* මාර්ටින් වික්‍රමසිංහයන්ට උපහාර පිණිස 1986 වසරේදී එතුමන්ගේ රුව සහිත තැපැල් මුද්දරයක් ද නිකුත්කර තිබේ.
එතුමන් පැවසූ අගනා කියමන්
“මට ද ඇතැම් විටක මගේ ළමා කාලය සිහි වෙයි. කයින් නැවත ළමයකු විය නොහැකි වුවද සිතින් නම් මට ළමයකු විය හැකි ය. මා සිතින් ළමයකු වන්නේ ළමා කාලයෙහි මා කළ විවිධ දේ සිහි කිරීමෙනි”
(අපේ ගම කෘතිය)
“ මා පොත් කියවූයේ විනෝදය පිණිස නොව ලෝකයේ අගමුල දැනගන්නා ආසාවෙනි. පොත් කියවීම වෙහෙසට හේතු නොවූයේ මා එයින් මහත් ආස්වාදයක් ද ලැබූ හෙයිනි.”
(උපන් දා සිට කෘතිය)
“ පොතක් කියවීම වනාහි කෙනකු විනෝදයත් උගැන්මත් සොයා තමා නෙගිය රටකට වැදීම වැන්න”සිංහල සාහිත්‍යෙය් නැඟීම
“දැනුම ලැබිය හැක්කේ තුන් විදියකිනි.
1 පොතපත කියවීම
2 වටපිට බැලීම නොහොත් ඇසීම, දැකීම, පිරික්සීම.
3 මිනිසකු තමා විඳීන දුක් දොම්නස්, සොම්නස් ආදියෙන් ලබන අත්දැකීම් යනු දැනුම ලැබිය හැකි තුන් විදියයි
(සාහිත්‍ය කලාව කෘතිය)
එතුමන් මීට වසර 48කට පෙර මෙලොවින් සමුගත්ත ද එතුමන් සිංහල සාහිත්‍යයට ඉතිරිකර තබා ගිය නිර්මාණ , ශාස්ත්‍රීය ග්‍රන්ථ සමුදාය පාඨකයන්ගේ නැණස පාදමින් පාඨක සිත් සතුටු කරමින් තවත් බෙහෝ කාලයක් පවතිනු නොඅනුමාන ය.
-හර්ෂණී ගමගේ