Home » Blog » රතු තොප්පි වෙළෙන්දා

රතු තොප්පි වෙළෙන්දා

by lakehouse
0 comments

ඔන්න එකමත් එක කාලෙක ලස්සන පුංචි ගමක් තිබුණා. ඒ ගමේ හැමෝම හරිම එකමුතුයි. එයාලා හරිම කරුණාවන්තයි. හැමෝටම උදව් කළා. එකිනෙකාගේ දුක සැප ගැන බැලුවා. ඒ නිසාම එයාලා හරිම සතුටින් තමයි හිටියේ.

ඉතින් එක දවසක මේ ගමට නගරයේ ඉඳලා තොප්පි වෙළෙන්දෙක් ආවා. එයා ගාව තොප්පි ගොඩක් තිබුණා.

“ලාබයි ලාබයි තොප්පි එන්න එන්න හැමෝම අරගන්න”. මෙහෙම කිය කියා තොප්ප වෙළෙන්දා කෑ ගසමින් තොප්පි විකුණ විකුණා ගම පුරාම යන්න පටන් ගත්තා. හැබැයි මේ තොප්පි වෙළෙන්දා ගාව තිබුණු තොප්පිවල විශේෂත්වයක් තිබුණා. ඒ හැම තොප්පියක්ම රතු පාටයි. පබළු අල්ලලා, මල් මහලා, රේන්ද අල්ලලා ඒ තොප්පි ලස්සන කරලා තිබුණා. ඉතින් ගමේ හිටපු බාල, මහලු, ලොකු, පොඩි හැමෝම තොප්පි ගන්න මේ තොප්පි වෙළෙන්දා වටේ එකතු වුණා.

හැබැයි මේ තොප්පි මිලෙන් වැඩි නිසා ගමෙන් ටික දෙනාටයි තොප්පි මිලදී ගන්න පුළුවන් වුණේ. එහෙම තොප්පි මිලදී ගත් අය අනෙක් අයට පේන්න තොප්පි දාගෙන ගමේ එහාට මෙහාට උජාරුවට ඇවිදින්න පටන් ගත්තා. තොප්පි ගන්න බැරි වෙච්ච අය දුකෙන් මේ දිහා බලාගෙන හිටියා. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා.

රතු තොප්පි දාගෙන හිටපු අය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. තොප්පි නැති අසරණ අයට එයාලා හිනා වුණා. තමං උසස් කියලා අනෙක් අයට අපහාස කරන්න පටන් ගත්තා. මේ තිබුණු සමගිය සමාදානය ටිකෙන් ටික බිඳ වැටෙන්න පටන් ගත්තා. මේක දැකපු රතු තොප්පි වෙළෙන්දාට කදිම උපායක් මතක් වුණා. එයා තොප්පි නැති මිනිස්සු හොයාගෙන ගියා. එයාට ඉස්සෙල්ල ම හම්බ වුණේ ගමේ ගොවිරාලයි.

“ගොවිරාල! ගොවිරාල! පොඩ්ඩක් කොහොම නතර වෙන්න. හරියට අව්ව සැරයි නේද? කොහේද මේ තොප්පියක්වත් නැතිව යන්නේ?”. කපටි තොප්පි වෙළෙන්දා ඇහුවා.

“ආ මුදලාලි මම මේ යනවනේ හේනට ගිහින් එන්න. අපිට කොහෙන්ද ඉතින් තොප්පි ගන්න කාසි?”. ගොවිරාල උත්තර දුන්නා.

“එහෙම කියන්නේ එපා ගොවිරාල. ඒ තොප්පි එච්චර මිල වෙන්නෙ නෑනේ. අර එහා ගෙදර වඩුරාලත් අද මගෙන් තොප්පියක් අරගත්තා. හැබැයි ඉතින් එයා නං කිව්ව තමයි ගොවිරාලට තොප්පි ගන්න සල්ලි නෑ කියලා. මම මේ නිකන් දැක්ක නිසයි කතා කළේ” තොප්පෙ වෙළෙන්දා වටපිට බල බල කිව්වා.

“මොනවා වඩුරාල එහෙම කිව්වද? එයාට විතරද තොප්පි ගන්න සල්ලි තියෙන්නේ? ඉන්නකෝ මමත් තොප්පියක් අරන් පෙන්නන්න”. ගොවිරාල තරහෙන් කිව්වා.

“අන්න හරි ගොවිරාල වඩුරාලට පේන්නත් එක්ක එයාට වඩා ලස්සන තොප්පියක් ඔයා අර ගන්න”. තොප්පි වෙළෙන්දා කිව්වා.

“ඒක තමයි මුදලාලි. ඔහොම යන්කො ටිකක් අපේ ගෙදරට. මගේ ගෙදර අටුවේ තියෙන වී ටික ඔක්කොම මම මුදලාලිට දෙන්නම්. ඒ ටික අරගෙන මුදලාලි මට ලස්සන තොප්පියක් දෙන්නකෝ”. මෝඩ වුණ ගොවිරාල එහෙම කියලා තොප්පි වෙළෙන්දත් එක්ක ගෙදරට යන්න පටන් ගත්තා.

ගෙදර ගිහින් තමන්ටයි හාමිනේටයි කන්න තිබුණ වී ටික ඔක්කොම වෙළෙන්දාට දීලා ලස්සන රතු තොප්පියක් මිලදී ගත්තා. ඊට පස්සේ එයා තොප්පිය දාගෙන වඩු රාලගේ ගෙදර ඉස්සරහින් එහාට මෙහාට යන්න පටන් ගත්තා. මේක දැකපු වඩුරාලත් තරහින් එයාගේ තොප්පිය දාගෙන ඇවිදින්න පටන් ගත්තා.

ඊට පස්සේ වෙළෙන්දාට හම්බ වුණේ රෙදි නැන්දා. එයා රෙදි ගොඩාක් සෝදන්න ගඟට යමිනුයි හිටියේ.

“ආ හාමිනේ රෙදි හෝදන්න යනවා වගේ. අව්ව හරි සැරයි නේද?” වෙළෙන්දා ඇහුවා.

“ඔව් මුදලාලි මම මේ ගඟට යන්න කියලා. අව්ව නම් සැරයි තමයි. ඒත් ඉතිං අපිට කොහෙන්ද තොප්පි ගන්න කාසි?”. රෙදි නැන්දා දුකෙන් කිව්වා.

“එහෙම කියන්න එපා හාමිනේ අර උඩහ ගෙදර මල් එතනත් ලස්සන තොප්පියක් ගත්තා. මේ බලන්න මේ තොප්පිය නම් හාමිනේට හරිම ලස්සනට තියේවි”. කපටි වෙළෙන්දා කිව්වා.

“මොනවා මල් එතනත් තොප්පියක් ගත්තද? එයාට කොහෙන්ද ඒ හැටි සල්ලි තොප්පි අරගන්න?. ඒක තමයි එහෙනම් අද උදේ මාව දැකලත් අහක බලාගෙන ගියේ”. රෙදි නැන්දා කල්පනා කරමින් ඇහුවා.

“ඔව් ඔව් එයත් අද උදේ තමයි මගෙන් තොප්පියක් ගත්තේ. දෙන්නද හාමිනේටත් එයාගේ තොප්පියට වඩා ලස්සන තොප්පියක්?”. වෙළෙන්දා ඇහුවා.

“ඒත් ඉතින් මට කොහෙන්ද තොප්පි ගන්න සල්ලි?. ගෙදර වියපු පැදුරු දෙකක් නම් තියෙනවා. මම හෙට පොළට ගෙනියන්නයි හැදුවේ. මුදලාලි කැමැතිනම් ඒ දෙක අරගෙන මට ලස්සන තොප්පියක් දෙන්න”. රෙදි නැන්දා කිව්වා.

“හරි එහෙනම් එහෙමවත් කරමුකෝ”. වෙළෙන්දා එකඟ වුණා.

වෙළෙන්දා රෙදි නැන්දාගේ ගෙදර තිබුණු පැදුරු දෙක අරගෙන තොප්පියක් දුන්නා.

මේ විදියට තොප්පි වෙළෙන්දා තමන්ට හම්බවෙන හම්බවෙන අයට උපක්‍රමශීලිව තොප්පි විකුණුවා. එයාව විශ්වාස කරපු ගමේ මිනිස්සු එකිනෙකා ගැන තරහෙන් හිතුවා. තැන තැන රණ්ඩු ඇතිවෙන්න පටන් ගත්තා. අවසානෙට ගමේ වෙදරාලට මේ විස්තර ආරංචි වුණා. එයා ගමේ හැමෝටම එයාගේ ගෙදරට එන්න කියලා පණිවිඩයක් යැව්වා. ටික වෙලාවකින් ගමේ හැමෝම එකට එකතු වුණා. හැබැයි කවුරුත් කාත් එක්කවත් කතා කළේ නෑ. හිනා වුණෙත් නෑ. ගමේ මේ වෙනස වෙදරාලට හොඳටම තේරුම් ගියා.

වෙදරාල ගමේ හැමෝටම කතා කරන්න පටන් ගත්තා. තොප්පි වෙළෙන්දාගේ කපටි උපාය ගැනත් තේරුම්කර දුන්නා. එකට එකතුව සමගියෙන් ජීවත් වීමේ වටිනාකම ගැනත් ඔහු කියා දුන්නා. ඒක අහලා ගමේ හැමෝටම හුඟක් ලැජ්ජා හිතුණා. තමන් කරපු මෝඩ වැඩ ගැන කම්පා වුණා. ආයෙ කවදාවත් කපටි වෙළෙන්දාට ඒ ගමට එන්න දුන්නෙත් නෑ. එයාලා කවදාවත් ⁣කිසිම හේතුවක් නිසාවත් රණ්ඩු වුණේ නෑ. හැමෝම සතුටින් සහයෝගයෙන් ජීවත් වෙන්න පටන් ගත්තා.

ටී. ඩබ්ලිව්. මෙතුලි උමල්ජා

5 වසර

මො/ මල්වත්තාවල ප්‍රාථමික විදුහල

මොණරාගල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department