Home » Blog » කොටුව වනසලා

කොටුව වනසලා

by lakehouse
0 comments

 

අප කිසිවකුත් නැති වෙලාවේ ජෝන් මාමා කොටුවට පැන නිවිති කපා තම්පලා ගලෝගෙන, බණ්ඩක්කාත් කපා ගෙන ගොස් තිබිණි.

අප්පච්චි රොබෝ මාමාගෙ කඩේ ළඟින් එද්දි තම්පලා කඩයේ තිබෙනවා දැක ” අගේ ඇති තම්පලා ටික” යැයි කියා තිබුණි.

”ඔය ජෝන් තමයි එළෝළු බෑග් එකක්ම ගෙනත් දීල ගියේ ” කියා රොබෝ මුදලාලි කීවේ ය.

” හැබෑට එහෙනම් ඌ හොඳ ගොයියෙක් නොවැ” කියා අප්පච්චි ගෙදර ආවේ අලුත් ආරංචියක් ද රැගෙන ය.

” කංචු ජෝන් මාමා ආවේ නැද්ද මෙහේ?”

” නෑ අප්පච්චි”

”හ්ම්….”

” උඹැහෙලා කොටුව දිහාවේ ගියෙ නැද්ද පුතේ?”

” නෑ.. හවහ නේ යන්නේ අප්පච්චි”

” මං කිව්වට දැන් ගෙහුං ආවොත් නරක ද?”

” බණ්ඩක්කා නම් තිබුණා. අද විමලෙට දෙන්නයි හිතුවේ අප්පච්චි”

”හා… කාරියක් නෑ. ඔය ආපු හැම දෙනාටම දෙන එක හොඳයි”

” උඹැහෙල එළවළු කොටුව දිහා යනව නම් ඩැයිවර් උන්නැහෙට දෙන්න නිවිති දඬු දෙක තුනකුත් කපාන වරෙල්ලා”

අප්පච්චි අපෙන් යමක් ඉල්ලීම කෙයිතරම් දෙයක් ද?

අපි සතුටු වීමු.

මාත් මල්ලීත්, එවෙලේ ගෙදරට පැමිණ සිටි කරුණෙත් කොටුවට ගියෙමු.

කොටුවට හරක් පැනීම නතර කිරීමට සාදා තිබූ වැට තැනින් තැන කැඩී ඇත. එහි තිබූ බෝගයන් ගලවා පාගා දමා ඇත. මෑ වැල් මුලින්ම උගුලා දමලා ය. නිවිති, තම්පලා සහමුලින්ම විනාශකර දමා තිබිණි.

” කරුණෙ මේකට මේ නම් හරකෙක් පැනල නෙවෙයි බං”

” නෑ තමා. නිවිති අර සරුවට හැදිලා තිබුණා. ඒවා මේන් මුලින්ම කපලා.”

” කවුද කරුණෙ මේක කරන්න ඇත්තේ?”

” අනේ මන්දා මට හිතාගන්න බෑ”

” අප්පච්චිගෙ ඉල්ලීම ඉටු කරන්න විධියකුත් නෑ නොවැ. හිත කලබල ය. ඒ වගේම හරකුන්ගෙ පා සලකුණු ද කොටුවේ ඇත.

” ඒ කරුණෙ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මට හිතාගන්න බෑ.” මම කීවෙමි.

”අපි දැක්කේ නැතුව කවුරුත් සැක කරන්න බෑ. මට නම් නොයෙක් දේ හිතෙනවා. ”

කරුණෙ කීය.

”අප්පච්චිට අපි මොනා කියන්නද? අපි ගෙදර යමු”

අප යනවිට අප්පච්චි ආලින්දයේ ඉඳගෙන සිටියේ ය.

” අප්පච්චි?”

” කෝ…. දරුවො නිවිති දඬු ගෙනාවද?”

”විදානේ මාමා කොටුවම වනසලා… හරකුන්ගෙ අඩි ලකුණුත් තියෙනවා. නිවිති කපලා.”

” හරි, හරි, හරකා පිහියත් අරන් එන්නැති” අප්පච්චි සිනාසුණේ ය. ”කවුරුවත් විශ්වාස කරන්න එපා. උඹැහෙලා වැඩියෙන් කෙරුවෙ ජෝනට කොටුව බාර දීලා කට්ටි පැන්න එකනේ. පේනවානේද, වෙච්ච වැඩේ.”

ටිකිරි බණ්ඩා කවදාවත් අපේ ගෙදරට එන්නේ කිතුල් පැණි ගෙනයන්නට ය. ඔහුගේ රැකියාව වූයේ කුරුඳු, ගම්මිරිස් , කරාබු නැටි හා කිතුල් පැණි නගරයට ගෙන ගොස් විකිණීමයි.

”හාමිනේ, හාමිනේ, ඔන්න මං මේ හරායටත් ආවා. පැණි එහෙම ඇති නේ.”

” ආ… මේ දරුව නේ ඇවිදින් තියෙන්නේ. පැණි නම් නැළි හත අටක් විතර ඇති. ඊට වැඩිය හදන්න තිබුණා. කොහෙද විදානෙ මහත්තය එක්ක බෑ. සයිමන් රා පෙරන්න තෙලිදිය නැද්ද ඇහුවම එයාට දෙනවා. පීටර් නේ ගස් මදින්නේ. මුරේ එයා ගන්නවා. ඉතින් පැණි අඩුයි.”

” කමක් නෑ. මේක මං ඉතින් අද ඊයේ කරපු වෙළෙඳාමක් ය. නේද?”

” නැතුව නැතුව…..” ආත්තම්මා කියන්නේ සතුටිනි.

” ආ….. හාමිනේ කෝපි, ගම්මිරිස් එහෙම නැතුව ඇති.”

” ගම්මිරිස් සේරු නම් හයක් විතර ඇති. කෝපි නම් කරුංකා කඩේ මුදලාලි ඇවිදින්ම අරං ගියා.”

” මට දෙන්නකෝ ඒවා පැණි නම් මේ දවස්වල ලාබයි. මං හාමිනේට වැඩිම ගණනක් දීලා ගන්නම්කො”

” පුතේ කංචු මෙහෙට ආව නං”

මම දිව ගියෙමි.

” ආං පුතේ අර දුම යට එල්ලපු වැලි හකුරු මුල් හතර පහකුත් ලෙහා ගන්කො..”

මම එය ලිහා දුනිමි. ඇය එය ද ටිකිරි බණ්ඩාට දුන්නත් ඔහු ගෙන ගියේ පැණි හැරුණු කොට වැලි හකුරු මුල් තුනක් පමණි.

”ඇයි බංඩෙ ළමය හකුරු මුල් තුනක් විතරක් ගත්තේ?”

”හාමිනේ අනෙක්වා බර නෑ නේ. ඒවා දෙන්න බෑ ඒකයි.”

”හ්ම්” කියූ ආත්තම්මා. පැණිවලටත් ගම්මිරිස්වලටත් මුදල් ලබා ගත්තා ය.

මා සිටියේ තරමක් හිතේ බියෙනි.

”ඇයි? ”

ආත්තම්මා අපට පැණි නොදෙන නිසා ඒවාට පිහියකින් ඇන පැණි මුල සිදුරුකර ඊට කට තියා පැණි බීම මල්ලිත් මමත් කෙරූ හොර වැඩකි. ඒ වායේ පැණි අඩු නිසා බර නැති බව දන්නේ අප පමණකි.

ආත්තම්මා වැලි හකුරු මූලක් කඩා බැලුවා ය. අප ඒ වටා රැ¼දී සිටියෙමු. ඇත්තටම එක මුලක පමණක් හකුරු මිදී තිබූණේ පැණි නොතිබූ නිසා ය.

”‍ඕං බලනව දරුවනේ. ලිපේ දූං කාගෙන සුමග්ගාත්තරේ කෙරුවට ඒ ගෝත කරුමෙනුත් වැඩක් නැති හැටි.”

”ආත්තම්මේ පැණිමුලත් බඳීන එකත් ඔය තරම් දෙයක් ද?”

මල්ලි ඇසුවේ ය.

”අමාරු නම් නෑ තමා” පුවක් කොළපතක් සුද්දකර ගොට්ටක් සේ සිටින්ට ඉරටුවක් තබා මුලක් සාදා පැණි කෝප්පයකින් මැන ඒ පැත්තත් වසා ඉරටු තබා හකුලා මුලක්සේ බැඳ ගැනීම පමණි අප දන්නේ.

”ඒක නම් අමාරුවක් නෑ දරුවො. අමාරු පැණි උණු කරන එක නොව. දර හොයන්න ඕනෙ. උතුරලා යන්න නොදී හැඳී ගගා උණු කරන්න ඕනෙ. කවුද ඉතින් ඕවට වලංගු වෙන්නේ.”

”අර රොසලින් නැන්දා කියන්නේ. තෙලිජ්ජ තියෙනවනම් මොනවද කරන්න බැරි කියලා.”

”අනේ ඔය එක එක්කෙනගෙ පූචානම්වලින් වැඩක් නෑ. කට කමසෙයියාවක් නැතිව දොඩෝනව. ඒ උන්දැගෙ හැටි මං නොදන්නවයැ.” කියන අත්තම්මා ලැබුණ මුදල පැදුරු ආනේ සඟවන හැටි අපි බලා උනිමු.

ආත්තම්මාට මුදල් ලැබෙන්නේ වත්ත පිටියේ ඇති දෑ විකුණා ගැනීමෙනි. රබර්වල හා කුරුඳුවල ආදායමත් අප්පච්චි ලබාගනියි. තේ දලුවල ආදායම ද ලැබෙන්නේ අප්පච්චිට ය. ගෙදර කෑම බීමට හා වෙනත් ගතමනා සඳහා අම්මාට මුදල් දෙන්නේ අප්පච්චීම ය.

සී සෑමට ගවයන් මුදා හැර එහි ආදායම ද , හරකුන් විකුණා ලබන ආදායම ද හිමි වන්නේ ද අප්පච්චීටම ය.

සියලු කළමනා නිසියාකාරව සකසුරුවමට තියා ගන්නේ අම්මා ය. ආත්තම්මා ඇතැම්විට අපට පොතක් පැන්සලක් ගන්නට මුදල් දෙයි. ඇය සතු අනෙක් මුදල් වෙහෙර විහාර පන්සල ආදියට හා දානමානවලට පූජා කරයි. ඒ අපේ පවුලේ හැටි ය.

වචනවල තේරුම්

හරාය – වාරය

කටකම සෙයියාවක් – තොරතෝංචියක් නැති

පූචානම් – ලොකුකම්

දූ කාගෙන – දුම් පිඹිමින්

සුමග්ගාත්තරේ – කෙළවරක් නැති

ගෝත කරුමෙ – කරදරය

වලංගු – කැමැති

නැළි – කාල් හතරක්

මුරේ – වාරය

පැදුරු ආන – අකුළන ලද පැදුරු ලණු

දෙකකින් එල්ලා තැබීම

 

රත්නා කහඳගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department