Home » Blog » ආසියාවේ දිගම ගල්ලෙන පිහිටි කරඳ හෙල කන්ද

ආසියාවේ දිගම ගල්ලෙන පිහිටි කරඳ හෙල කන්ද

by lakehouse
0 comments

ආසියාවේ දිගම ගල්ලෙන වශයෙන් හඳුන්වනු ලබන කරඳහෙල කන්දේ පිහිටි ගල් ලෙන ප්‍රවේශ වීමට අපහසු දුෂ්කර මාර්ගයක පිහිටා තිබේ. මොනරාගල පොතුවිල් මාර්ගයේ දහතුන් වැනි කණුව අසල පිහිටි හුළංනුගේ හංදියෙන් වමට හැරී බක්මිටියාව මීරගල දක්වා වූ ගුරු පාරේ කිලෝමීටර් දෙකක් පමණ ගොස් නැවතත් වමට හැරී මීටර් 300ක් පමණ ගිය විට කරඳ හෙළ කන්ද පාමුලට ප්‍රවේශ විය හැකිය. මෙම කන්ද පාමුල හබුතගල විහාරය පිහිටා තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 633ක් වූ කරඳ හෙල කන්ද රුදුරු වන සතුන් බහුල ඝන වනාන්තරයකි. එයට නැඟීමට ගල්තලා කිහිපයක් විද සකස් කරන ලද අත් වැටවල් උපයෝගි කරගත යුතු ය. එය තරමක දුෂ්කර හා අවදානම් සහිත ගමනකි. ඉතිරිය ගල්තලා බෑවුම දිගේ ඉහළට ගමන් කළ යුතු ය.

මෙම කඳුකර භූමිය වඩා වැදගත් වන්නේ එහි ආසියාවේ පිහිටි දිගම කටාරම් කොටන ලද ගල්ලෙන පිහිටා තිබීම නිසා ය. එම ලෙන දිගින් අඩි පන්සිය දොළහකි. පළලින් අඩි තිහකි. එහි ඇති උසම ස්ථානය අඩි අසූ දෙකකි. මෙම ප්‍රධාන ලෙනට අමතරව තවත් ලෙන් කිහිපයක් මෙම භූමිය තුළ පිහිටා තිබේ. මෙම ලෙනට ප්‍රවේශ වීමේදී මුලින්ම හමුවන්නේ පැරැණි ගොඩනැඟිලි කිහිපයක නටබුන් ය. ඒවා කුමන කරුණක් අරභයා ඉදිකරන්නට ඇතැයි මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර, ඒ අසලම කෙළින් අතට සිටුවා ඇති ගල් කණු නවයක් හා පිය ගැට පෙළක්, සඳකඩ පහණක් ද හමුවේ.

මෙම ගොඩනැඟිලිවලට ඉහළින් පිහිටි සමතලා බිමේ ද තවත් ගොඩනැඟිල්ලක නටබුන් දක්නට හැකි ය. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන ආකාරයට මෙය භික්ෂුණී ආරාමයක් වන්නට පුළුවන. ඊට ආසන්නයේ තවත් විශාල ගොඩනැඟිල්ලක කුලුනු මුල් ගල් නවයක් මතුවී තිබේ. මේ සියලු ගොඩනැඟිලි පසු කර යන විට ආසියාවේ දිගම ගල් ලෙන හා පරිවාර ගල් ලෙන් අපට හමුවේ.

මුලින්ම හමුවන ගල් ලෙන තුළ මැටි ගසා ගත් කොටසකි. එනිසා එහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටින්නට ඇතැයි විශ්වාස කරනු ලැබෙයි. ඒ ආසන්නයේම තවත් ගල්ලෙන් දෙකකි. මේ සියල්ලේම කටාරම් කොටා ඇත. එම ගල්ලෙන් දෙකට ඉහළින් පිහිටා ඇත්තේ නාග ලෙනයි. නාගයකුගේ ස්වරූපය හා සමාන ලෙස පිහිටා ඇති නිසා එම ලෙන ඒ නමින් හැඳීන්වේ. ඉන් අනතුරුව කරඳහෙල කඳු බෑවුමේ අනෙක් කොටසට වන්නට ආසියාවේ දිගම ගල් ලෙන අපට හමුවේ. එහි පාමුල ඇත්තේ සමතලා භූමියකි. බිම් තට්ටුව මට්ටම් අටකින් යුක්ත ය. තැනින් තැන ඇති ගඩොල් එහි බිත්ති බැඳ තිබූ බවට සාක්ෂි සපය යි. එහි ද සම්පූර්ණයෙන්ම කටාරම් කොටා ඇත. මේධානන්ද හිමියන් දක්වන්නේ එහි ඉහළ කොටසේ කටාරමට යටින් අංක එක කොටා ඇති බවත් ඒ මත ස්ථූපවලින් එකක් පිහිටා තිබූ බවත් ය. එම ලෙන හැඳීන්වීමට රාජා ලෙන යන නම යෝජනා කරන බවත් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙම ලෙනට බටහිරින් එක දිගට යාව පිහිටි ලෙන් තුනකි. එහි අංක දෙක යනුවෙන් සඳහන් කර ඇති අතර, මේධානන්ද හිමියන් එම ලෙනට යෝධ ලෙන ලෙස නම් දී තිබේ. එහි ද පැරැණි ගඩොල් දක්නට හැකි ය. යෝධ ලෙන පසුකර යන විට හමුවන්නේ බඹරගල නම් ගල් පර්වතය යි. එයට බටහිරින් දිගින් අඩි 140 ක් උසින් අඩි 60ක් හා පළලින් අඩි 37ක් වන ලෙනක් හමුවේ. එහි කටාරමට යටින් ලිපියක් දක්නට හැකි අතර, ඊට අඩි පහක් පමණ දුරින් තවත් ලිපියක් දක්නට ලැබෙයි. එම ලෙන පසුකර දකුණු දෙසට ගිය විට පිපුණු හත්තක හැඩය ගත් ලෙනකි. එහි රවුම අඩි එකසිය එකක් වේ. එහි ද ලිපියක් පිහිටුවා ඇති අතර, ලිපිය අඟල් අටක් උස ය. මෙහි ඇති අංකය අංක තුන වේ. රාජා ලෙනට නැඟෙනහිරින් අංක දෙක ලෙස සඳහන් තවත් ලෙනකි. මෙවැනි ගල් ලෙන් විසි අටක් මෙම කඳු මුදුන තුළ පිහිටා තිබේ.

කරඳහෙල කන්දට ප්‍රවේශ වන ස්ථානයේ ද ගල් ලෙනක් පිහිටා ඇත. එය දිගින් අඩි 175කි. එම ලෙන තුළ ආසනයක් මත සැතපෙන අඩි 41ක් දිග බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කර තිබේ. එම ලෙන පිළිම ලෙන වශයෙන් හඳුන්වා ඇත. තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනය වශයෙන් අදටත් හඳුන්වන මෙම භූමිය තුළ තවත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන රාශියක් දක්නට හැකි ය.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department