Home » Blog »  බළල්ගේ කතන්දරේ

 බළල්ගේ කතන්දරේ

by lakehouse
0 comments

එක් දිනක් ගැහැනු ළමයෙක් ඇයගේ පොත් මේසයට වාඩි වී පින්තූර අඳීමින් සිටියා. හදිසියේම, ඇගේ සුරතල් බළල් පැටවා වූ ඉරි සහිත බළලා එතැනට පැමිණ ඇය චිත්‍ර අඳීන දෙස බලා සිටින්නට පටන් ගත්තා.

“ඔයා මොකක්ද කරන්නේ?” කුතුහලයෙන් සිටි බළලා ඇසුවා.

“මම ඔයාට ගෙයක් අඳීනවා” ගැහැනු ළමයා කිව්වා.
” මේ බලන්න, මෙන්න වහලය, මෙන්න දුම් කවුළුව. මේ දොර.”
ගැහැනු ළමයා විස්තර කළා.
“මම එතැන මොකක්ද කරන්න යන්නේ?”
බළලා ඇසුවා.
“ඔයා ළිපක් හදලා කැඳ ටිකක් උයන්න.”

ගැහැනු ළමයා කිව්වා.
එතකොටම ගැහැනු ළමයා දුම් කවුළුවෙන් පිටතට විහිදෙන දුම් ටිකක් ඇන්දා.

“ඒත් ජනේලය කොහෙද? මොකද බළලුන් නිතරම ජනේල හරහා එළියට පනිනවා!”
බළලා ඇසුවා.

“මෙන්න ජනෙල්. එකක්, දෙකක්, තුනක්, හතරක් ” කියමින් ගැහැනු ළමයා ජනෙල් කවුළු හතරක්ම ඇන්දා.
“ජනේලයෙන් එළියට පැනලා මම ඇවිදින්න යන්නේ කොහේද?”

“මෙතැන.”

එසේ කියූ ගැහැනු ළමයා ගෙදර වටේටම වැටක් ඇන්දා. කහ පාට පින්තාරු කළ ලස්සන වැටක්.

“මේක තමයි ගෙවත්ත ” ඇය පැවසුවා.

බළලා ඒ දෙස බලා මෙසේ පැවසුවා.

“ඒ මොන ගෙවත්තක්ද? ඒකේ මොකුත් නෑනේ!”

” ඔහොම ඉන්න,” පැවසූ ගැහැනු ළමයා . “මෙන්න මල් පාත්තියක් සහ ඇපල් ගසක් ඒ ගෙවත්තේ තිබෙනවා. මේක එළවළු පාත්තියක්. මෙන්න කැරට් සහ ගෝවා.”

“ගෝවා!” බළලා එහෙම කියලා මූණ වෙනස් කළා.
“ඒත් මම කොහෙන්ද මාළු අල්ල ගන්නේ?”

“මෙතැනින්.”

ගැහැනු ළමයා පොකුණක් සහ පොකුණේ පිහිනන මාළුවන් තුන් දෙනෙක් ඇන්දා.

“ඒක හොඳයි…. එතකොට කුරුල්ලොත් මේ ගෙවත්තෙ ඉන්නවද?” කුතුහලයෙන් සිටි බළලා ඇසුවා.
“මම කුරුල්ලන්ටත් කැමැතියි.”
බළලා කිව්වා.

“ඔව්. මෙන්න කිකිළියක්, මෙන්න කුකුළා, මෙන්න පාත්තයෙක්, මේ කුකුළු පැටවුන් තුන්දෙනෙක්.”

එවිට බළලා තොල කට ලෙවකමින්, මුහුණ පිරිසුදු කර ගනිමින් ඉතා මෘදු හඬින් මෙසේ ඇසුවා.

“හා… ආ… මේ ගෙදර මීයෝ… ඉන්නවද?”

“නෑ, මීයන් ඉන්න එකක් නැහැ.” ගැහැනු ළමයා පිළිතුරු දුන්නා.

” මගේ ගෙදර ආරක්ෂා කරන්නේ කවුද?” බළලා තවත් ප්‍රශ්නයක් ඇසුවා.

“මෙන්න, මෙයා තමයි ඔයාගේ ගෙදර ආරක්ෂා කරන්නේ” ගැහැනු ළමයා කුඩා සුනඛ නිවෙසක් ඇන්දා. “මේ බලු රාල ඔබේ නිවෙස ආරක්ෂා කරයි!”
ගැහැනු ළමයා කිව්වා.
බළලා තම වලිගය ඉහළට ඔසවා, ඇඟේ ලොම් කෙළින් කරගත්තා.

“මම ඔයාගේ ගෙදරට කැමැති නැහැ, මං බලු රාලට කැමැතිත් නැහැ. වැටවලින් වටවුණු නිදහසක් නොමැති ගෙදරක ඉන්න මම කැමැතිත් නැහැ ”

බළලා කිව්වා.

” ඒ නිසා මම ඒ ගෙදර ජීවත් වෙන්නේ නෑ!”

එසේ පැවසූ බළලා එතැනින් පිටත්ව ගියා.

මේ කතන්දරයේ සිටින බළලා වගේ පුංචි ඔයාලගේ ගෙදර ඉන්න බළල් පැටවුනුත් කැමැති නැතිව ඇති අනවශ්‍ය විදියට එයාලාව සිර කරමින් ඔවුන්ගේ නිදහස සීමා කරනවාට. ඒ නිසා ඔයාලත් බළලෙක් හෝ බල්ලෙක් නිවෙසේ ඇති කරනවා නම් එයාලගේ නිදහස ගැනත් හොඳීන් සිතාවි කියලා මං හිතනවා.

රුසියානු
ළමා කතාවක් ඇසුරින්

ලේඛක වී. සුතේයෙව් විසින් රචිත

හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department