පාරත් අල්ලා වැට ගසා ඇති සමහරු පාර සෑදීමට කැමැත්ත ප්රකාශ නො කළහ. එයට හේතු වූයේ තේ පඳුරු කිහිපයක් ගැලවෙන නිසා ය.
බැකෝ එකෙන් වැඩ කරන හැටි බලාගෙන ඉන්නට තිබූ කාලය අපෙන් ගිලිහී ගියේ වැඩය අතරමඟ නැවැත්වීමට සිදුවූ බැවිනි.
“මොකද කංචු කල්පනාව?”
විමලේ ළඟටම පැමිණ අසන කල් මා සිටියේ කල්පනා ලොවක ය.
“පාර ලොකු කරල හැදුවොත් හොඳා කියල මේ මිනිස්සුන්ට තේරෙන් නැති හැටි විමලේ” මම කීවෙමි.
“ඒක නම් ඇත්ත තමයි. අර ගං ඉවුරෙ එහා අයිනෙ තියෙන ඇටඹ ගස් ටිකක් යනවා පාර හැදුවොත්. ඊළඟට බක් මී ගස් අර දැවැන්ත අත්තික්කා ගහ. මේව අපටම තමා නැතිවෙන්නෙ.”
“ඉතිං ඕව හැමදාම තියෙනවයැ. මේ වරුසාව දවසට මඩයි, කූඩැල්ලොයි මිරික මිරික යනවට වඩා හොඳා ඉතින් පාරෙ ඉඩකඩ ඇතුව යන්න තියෙනව නම් මන්ද මගේ අදහස නම් ඒකයි.”
කෙසේ වුවද තාවකාලිකව පාර හැදීම නතර විය.
මේ නිවාඩුවෙ පියදාස මාමා මට කතා කළා බේකරියෙ වැඩට යන්න. ඉතිං මන් ගිහිං බලනව. පිටි මෝලිය අනන එක වුණත් ඒ තරම් ලේසිපාසු වැඩක් නෙවෙයි.” සුමනෙ කීවේ ය.
“උඹට නම් ඒක හරි කරන එක හොඳයි. ඇසිලින් නැන්දත් ලෙඩා දුකා වෙච්චි. සුමනෙගෙ තාත්තටත් හයිය හත්තියක් නැැහැ නොවැ. ඉතිං නිවාඩුවෙදිවත් ඔහොම දෙයක් කරන එක ලොකු දෙයක්.” විමලේ කියයි.
“ඌ ඉස්කෝලෙ යන්නෙත් අපේ ඕනෙකමට නේ. ඌ පාසලට නොගොහින් හරි නංගිට උගන්න ගන්නයි ඌට ඕනෙ”
“පව් තමා ඉතිං අපිත් පුළුවන් උදව්වක් කරමු.”
විමලෙත්, මමත්, සුගතෙත්, කරුණෙත් කිසියම් නිශ්චිත තීරණයකට පත් නොවී සිටියෙමු. බොකුට්ටාට නම් උගේ බාප්පා මේසෙන් බාස් කෙනකුට අත්වැඩ දීමට යෑමට කතා කර තිබිණි.
“දරුවනේ උඹල දෙතුන් දෙනාටත් මං කාරණයක් කියන්නම්. මට ලාබ ඕනැත් නෑ. අන්න අර පහළ වල්ගහල, මියන පඳුරු බෝවිටියා, ලවල් පඳුරු ගහල දාල එළවළු ටිකක් කලවමේ හිටෝපල්ල. ලාබ පොරෝජන් උඹලා බෙදාගත්තට කාරි නෑ. ඔය පාච්චල් වෙන්නෙ නැතුව. හෝන්දු මාන්දු කෙඩෙත්තු අකා මකා දාලා තමන්ම නැඟිටින්න හිතුවොත් නේද හොඳ?” අප්පච්චී අපට කීවේ ය. අපි කිහිප දෙනාම එයට එක පයින් කැමැති වීමු.
පසුවදා මමත් මල්ලීත් උදැල්ලක් හා පිහියක් ගෙන ආර ළඟට ආවෙමු. කරුණෙත් පිහියක් ගෙනත් තැබුවේය. විමලෙ උදැල්ලක් ද, අනෙක් අය පිහියා හා අත්පොරවක් ද ගෙනවිත් තිබුණි.
ජෝන් මාමා හා විලිසොන් සීයාද අපේ අත් ලෙහෙව්වාට ආවෝ ය.
“මේ කොල්ලො මහන්සි වෙන නිසා ඕං මං කහට මුට්ටියක් ගේන්නැැයි කිව්වා.” අප වැඩ කරන තැනට පැමිණි අප්පච්චි කීවේ ය.
ආත්තම්මා තේ කහට මුට්ටිය ගෙන ආ අතර, හකුරු හා අග්ගලා ද ගෙනාවේ අක්කා ය.
“දරුවනේ, මේං මේ කහට ඇබින්දක් බීල හිටිය නං.” ආත්තම්මා කීවාය. “ආ………..විමලෙ පුතේ කැත්ත අල්ලන්නෙ ඔහොම නොවෙයි. ඔන්න ජෝන් කියා දීපන්..” ආත්තම්මා කියයි. අර ඇඹුල් පේර ගහත්, කජු ගහත්, කැත්තෙන් නම් කපන්න බෑ. “අර මුල්ලෙ හබරල ගාලට පිහියක් ගාවලවත් නෑ…” ආත්තම්මාගේ කතාබහට අපි කැමැති නොවීමු. ඇයගේ උපදෙස් ගණන් නොගත්තෙමු.
අපේ අකමැත්ත අප්පච්චීට ද වැටහුණි. ඔහු ආත්තම්මාට මෙසේ කීවේ ය.
“අම්ම දැන් ගෙදර යන්න වැස්සක් එනව වගෙයි”
අප්පච්චීගේ මඟ පෙන්වීම අනුව බැද්ද ආර වල් සුද්දකර ගිනි දමා බිම එකලාසයක් කර ගතිමු. විලිසොන් ආතාත් ජෝන් මාමාත් අපට හැම විටම ළඟින් ඉඳ කළ යටයුතු දෑ කීවෝ ය.
අපේ එළවළු කොටුව සරුවට වැඩෙන අයුරු බලමින් අපි සතුටු වීමු.
ජෝන් මාමා වල් නෙළන හැටිත් පොඩි පැළවල පණුවන් සිටිය හැකි අන්දමත් අපට පෙන්වා දුණි. ඒ අනුව එයට යෙදිය යුතු ප්රතිකර්මත් පැවසීය. කතා නොකර පාන්දර පිනි පිට අළු ඉසීම, සබන් දියකර ඉසීම ඉන් සමහරෙකි.
මිරිස් ගස් පීදී තරු මල් ගැට සෑදී එන හැටි බලමින් ඇත්තටම අපි සතුටු වීමු. එහෙත් අප්පච්චී නම් කිසිදු විටෙකවත් අපේ කොටුව බලන්නටවත් ආවේ නැත. ජෝන් මාමා තනිකඩයා වීම නිසා නිරන්තරයෙන්ම අප හා එක්ව කටයුතු කිරීමට කැමැති විය. ඔහු ද පැළවලට පස් ළංකිරීම හා
ඒ අතර නිතර ගැවසීම කරයි.
“විදානෙ මහත්තයා. මට හොඳ අදහසක් ආවා. අර බැද්ද අර කෙළවරේ පොඩි පැලක් හදන්නද?”
“ඒ මොකටද ජෝන්………..? ගෙදර පෙනි පෙනී කවුද පැල් ලගින්නෙ….? අනික වන සතුන් එනවයැ.”
“නෑ විදානෙ මහත්තයා අර ගිරවුන් හා වඩු කුරුල්ලන්ගෙන් හරිම කරදරයි. මෑ කරල් ටික කපන් යනවා. කුරහන් පලු සූරගෙනම කනවා. උන් එළවන්න පහසු නේ….ඒකයි මේ දෙඩුවෙ.”
“ඕකෙ පැල් ගහන්න ඕනෙ නෑ. මේ පුංචි උන්ගෙ කම්මැලිකම් යන්න අත පය හිරි යන්න ඕක එළි පෙහෙලි කෙරුවෙ. උඹ මේ පොඩි උන්ට උදව් කළා කියලා තව මොකට පැල්ගහගෙන ලගින්න හදනවද? හිතන්න එපා ජෝන් උඹේ කෛරාටිකකම් මං දන්නෙ නෑ කියල. උඹ දන්නව නේ මං හොඳට හොඳයි. නරකට නරකයි.”
“හොඳා…….හොඳා….විදානෙ මහත්තය දැන් මගේ වැඩක් නෑ නොවැ. මං යඤ්ඤා.” කියා ජෝන් මිදුලට බැස්සේය. “හාමිනේ මං යඤ්ඤා.” ඔහු ආත්තම්මාට ද කීවේ ය.
“මේ උදේට මොනවත් සප්පායම් වෙන්න පලයන් කුස්සිය දිහාට.”
“නෑ………..ඕන නෑ………..”
“මොකද අර ජෝනට ගහපු විකාරෙ? ඔය අමනය ඔහොම තමා. ඌ බැලුවා බැද්ද අතර පැලක් අටෝගෙන ඒකෙ පැල පදියම් වෙන්න. ඒක මයෙං කරගන්න බැරිවුණූු හින්දා යනවා”
“මහ පුදුම මිනිහෙක් නොවැ. ඒකනේ කාත් කවුරුත් ඌව ගණන් ගන්නෙ නැත්තෙ.
හිට අඩියෙම පහත් වෙලා ලැග් ගැහෙන්නත් බැලුවා. ඒ උගේ ඇයි හොඳයියෙ හැටි”
“මොකද කොලුවො දැන් උඹැහෙලා ගෙවගාව?”
“අප්පච්චි හැම දෙයක්ම හොඳට තියෙනවා. මිරිස් ගස් ටිකට වතුර දාන්න වේවි. නැතිනම් හේ බෑවිලා යන්න පුළුවන්.” මම කීමි.
“කංචු ! ජෝන්ව කිසිම වැඩකට කතා කර ගන්න එපා. ඌ මහ ගිනි විජ්ජුම්බරයක්. මට මුලදින්මත් හිතුණා. ඒ වුණාට මං කිසි දෙයක් කීවෙ නෑ.”
“මට නම් එපාවුණෙ මෑකරල් ටික කඩපු දවසෙමයි” කරුණෙ කීවේය.
වදන් තතු
හෝන්දු මාන්දු – අප්රාණික ස්වභාවය
පාච්චල් වෙන්නැතිව – අපහාසයට පත්නොවී
කෙඩෙත්තු – බැරි අමාරුකම්
අකාමකා – නැතිකර දමා
එක පයින් – තනි කැමැත්තෙන්
අත් ලෙහෙව්වට – අත් උදව්වට
වදන් අරුත්
එකලාසයක් – පිළිවෙළක්
හිටි අඩියෙම පහත් වෙලා – අහම්බෙන් ඇවිත්
ලැග්ගැහෙනවා – නවතිනවා
ඇයි හොඳයිය – හිතවත්කම
හේ බෑ විලා – අප්රාණික වෙලා
ගිනි විජ්ජුම්බරයක් – ලොකු කරදරයක්
රත්නා කහඳගමගේ