Home » Blog » ගණිත ලොවේ වීරයා පයිතගරස්

ගණිත ලොවේ වීරයා පයිතගරස්

by lakehouse
0 comments

ගණිතය කියූ පමණින් පුංචි දුවලාට පුතාලට මතක් වෙන්නේ අමාරු ම අමාරු විෂයක්. ඒත් ඉතින් ගණිතයට ගොඩක් කැමැති දුවලා පුතාලත් ඉන්නවා. ඒ අයට නම් ගණිතය කියන්නේ එතරම් දෙයක් නෙවෙයි. මේ විෂය වෙනුවෙන් සේවයක් කළ ගණිතඥයෙක් හඳුන්වලා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. මේ ගණිතඥයා ජීවත් වූයේ ග්‍රීසියෙ. ඔහු ගණිතඥයකු මෙන් ම මුනිවරයකු, විද්‍යාඥයකු, ලෙස විශාල සේවයක් ඉටු කළ අයෙක්. ග්‍රීකයන් මොහුව හැඳීන්වූයේ දර්ශනවාදියෙක් ලෙසයි. ගණිතය සම්බන්ධයෙන් විවිධ ශිල්ප ක්‍රම ඔහු සොයා ගනු ලැබුවේ ගණිතය පහසු කිරීම සඳහා ය. පයිතගරස් ප්‍රමේය ද සොයා ගනු ලැබුවේ ද ඔහු ය. මේ නිසා ගණිතය විෂය ඉගෙන ගැනීමේ දී මොහු ගැන දැනගෙන සිටීම පුතාලාට දුවලාට ඉතාමත් වැදගත් වේවි.

අතීතයේ ගණිතයට හිමිවූ වැදගත් ස්ථානය

ඉලක්කම්වලට විශේෂ අරුතක් ආරෝපණය කිරීම අතීත සමාජයේ පොදු ලක්ෂණයකි. ඉලක්කම් යොදා ගනිමින් සෑම දෙයක් ම විස්තර කළහැකි බව හයවන සියවසේ විසූ ග්‍රීක දාර්ශනිකයකු වූ පයිතගරස් ඉගැන්නුවේ ය. ක්‍රමවත් බවටත්, සමානුපාතික බවටත්, විනය වඩාත් වැදගත් බව පයිතගරස් තම ගෝලයන්ට ඉගැන්නුවේ ය. ගෝලයෝ ද පයිතගරස්ගේ අනුදැනුම මත ඔහු අනුව ගමන් ගත්තෝ ය. සෑම අවස්ථාවකදීම සොබාදහම අනුව ගණිතය යොදා ගනිමින් සිය ජීවිතයේ තීරණ ගැනීමට ද විවිධ නිර්මාණ කිරීමට ද පයිතගරස් සිය ගෝලයන්ව යොමු කළේ ය. මේ අනුව ගණිතය කවදාවත් ජීවිතය හැරනොයන බව සිසුහු වටහා ගත්හ. ගණිතය අත්‍යවශ්‍ය විෂයක් වූයේ ඒ ලෙසයි.

ගණිතය සඳහා ග්‍රීසියේ දායකත්වය

ග්‍රීසිය සැලකෙන්නේ ලෝකයට විශාල නිර්මාණ ප්‍රමාණයක් දායාද කළ රට ලෙස ය. ඉතාමත් දිගු ඉතිහාසයකට ග්‍රීසිය උරුමකම් කියයි. රෝම අධිරාජ්‍යය කෙරෙහි ද බලගතු බලපෑමක් කළ ග්‍රීසියට බටහිර සංස්කෘතියට පෙර මඟ සැපයූ අතීතයක් ඇත. මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කරුණු සහ අදහස් ඉදිරිපත් වූයේ ද ග්‍රීසියෙනි. මේ නිසා ඕනෑම විෂයක් පිළිබඳ හැදෑරීමටත්, එය හෙළිදරව් කිරීමටත් ග්‍රීසියේ නිදහසක් තිබිණි. අතීතයේ ග්‍රීසියේ ජනගහනයෙන් සීයයට හතළිහක් අසූවක් අතර ප්‍රමාණයක් දාසයන් වූ අතර බොහෝදෙනා වහල් සේවයේ නිරත වූහ. මේ නිසා ආර්ථික වශයෙන් ගැටලු රාශියකට ග්‍රීක ජනතාව මුහුණ පෑහ. මේ තත්ත්වයෙන් මිදීමට බොහෝ ගණිත විශේෂඥයෝ විවිධ උපක්‍රම ඉදිරිපත් කළහ. ගණිතය සමඟ සැසඳෙන ආර්ථිකයක් ග්‍රීසියට ඇති බව ග්‍රීක ගණිතඥයෝ තේරුම් ගත්හ. විවිධ විෂයන් විවිධාකාරයෙන් ඉදිරිපත් කිරීමට ග්‍රීකයෝ දක්ෂ වූහ. බොහෝවිට විවිධ විෂයන් උගන්වන ස්ථාන ග්‍රීසියේ ව්‍යාප්ත වූයේ මේ අවදියේදී ය. මේ අනුව ලෝකයට පාසල හෙවත් ඵජඩධධත යන වචනය හඳුන්වා දීමේ ගෞරවය ද ග්‍රීසියට හිමි වී තිබේ.

ළමා අවධිය

පයිතගරස් කුඩා කල සිට දක්ෂ දරුවෙකි. පයිතගරස්ගේ පියා මෙනෙසාර්කත් ය. ඔහුගේ මව පාර්ටීනියා ය. කුඩා කාලයේ දීම තම දරුවාගේ දක්ෂතා හඳුනාගැනීමේ හැකියාවක් මේ මවුපියන්ට තිබිණි. මේ නිසාම පයිතගරස් ජර්ටෝඩමන්ට් නම් දක්ෂ ගුරුවරයකුට යොමු කළේ ය. ඔහු පයිතගරස්ගේ හැකියාවන් අවබෝධ කරගත්තේ ය. මේ අනුව ළමා අවධියේ දී ඉතාමත් ඕනෑකමින් අධ්‍යපනයේ නියැළුණු අයෙකු බවට සාධක ඇත. තමන් ජීවත් වන පරිසරයේ තිබෙන නොයෙක් දෑ ගණිතයට සම්බන්ධ කරගනිමින් විසඳීමේ හැකියාවක් පයිතගරස්ට තිබිණි. කුඩා කාලයේ කියවීමට ලිවීමට බෙහෙවින් දක්ෂයකු වූ පයිතගරස් යෞවන වයසට එ‍ළඹීමත් සමඟ නොයෙක් අත්හදා බැලීම්වල නිතර වූයේ ය. යෞවනයේ දී සිය පරම්පරාවෙන් ඈත් වී ගණිතය පිළිබඳව හැදෑරීමට වෙනත් රටවලට ගියේ ය. පයිතගරස් ජ්‍යාමිතයට මෙන්ම අජටාකාශ විද්‍යාව හැදෑරීමට බෙහෙවින් ඇල්මක් දැක් වූයේ ය. රටවල් අතර සංචාරයේ දී ඊජිප්තුව ඔහුට විශේෂ වූයේ ය. එහිදී ඔහු ගණිතය හා ජ්‍යාමිතිය පිළිබඳ අඛණ්ඩ අධ්‍යයනයක් කරගෙන ගියේ ය.

පයිතගරස් ගේ සේවය

ස්වභාවධර්මය සමඟ ඒකාබද්ධවීමෙන් පසුව කටයුතු කළ හැකි බව ඔහු අවබෝධ කර ගත්තේ ය. සොබාදහමේ සෑම දෙයකටම සංඛ්‍යාත්මක අර්ථයක් ඇති බව පයිතගරස්ට වැටහිණි. ස්වභාවධර්මය, කලාව, සංගීතය සමඟ ගණිතමය සම්බන්ධතා ඇති බව ඔහු අවබෝධ කරගත්තේ ය. මේ අනුව ලෝකයේ ඕනෑම වස්තුවක හෝ සම්පතක පැවැත්මට ගණිතය අවශ්‍ය බව හෙතෙම තහවුරු කළේ ය. ගණිතයෙන් තොරව මනුෂ්‍ය ජීවිතයට තනිව තීරණය ගත නොහැකි බව මේ සුවිශේෂ ගණිතඥයා පැහැදිලි කළේ ය.

අනාවැකි පළ කිරීමට හා සිහිනවල අර්ථය පැහැදිලි කිරීමට මෙන් ම මතක ආධාරකයක් ලෙස ද අංක යොදා ගැනීම පයිතගරස්ගේ කාලයේ සිට අද දක්වා සිදු වී තිබේ. ග්‍රීකවරුන්, මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානි ආගම්වල සාමාජිකයන් ද ඒ සඳහා අංක යොදා ගැනීමේ කලාව අනුගමනය කර තිබිණි.

වන්දනා අබේසේකර

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department