ඈත අතීතයේ සිටම මිනිසුන් තම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වූ සෑම අවස්ථාවකම අලුතින් සිතන්නට පෙලඹිණි. මානව ඉතිහාසයේ ලෝකය වෙත නව නිර්මාණ දායාද වූයේ සිතුවිලි පූදින්නට ලබාගත් නිදහස නිසා ය. නිරීක්ෂණයෙන් උගත් මිනිසාගේ ගවේෂණාත්මක සොයා බැලීම් හේතුවෙන් තාක්ෂණික වශයෙන් දියුණු යැයි පිළිගත් කාලවකවානුවක ලෝකයම විශ්වීය වශයෙන් එකම පවුලක් ලෙස අත්වැල් බැඳගෙන ඇත. තොරතුරු සම්පාදනය හා බෙදා හදා ගැනීම මෙහිදී ප්රමුඛත්වයක් ගනී. මුළු ලොවක ක්‍රියාකාරකම් අවසර නැතිවම අන් නිවහනක් තුළ ලැගුම් ගනිද්දී තාක්ෂණය අපට අප අහිමි කළා දැයි යන සාධාරණ සැකය ලියන මට සේම කියවන ඔබට ද ඇතිවනු ඇත. එය විදහා දක්වන්නට පසුගිය කාලය තුළ ළමා පරපුර මෙන්ම වැඩිහිටියන් ද එක ලෙස මුහුණ දුන් විදුලි අර්බුදය හමුවේ ලැබූ අත්දැකීම් ඉවහල් කර ගනිමි.
විදුලි කප්පාදුව සිදුකෙරෙන වේලාව කල් තබා අපට දැනුම් දීම හේතුවෙන් දවසක සවසකට අප කල් තබා සූදානම් වීමු. මවගෙන් හා පියාගෙන් මට සේම අනිත් යහළු යෙහෙළියන්ට ද නිතර අසන්නට ලැබුණේ “ඉක්මන් කරන්න. රෑ වෙන්න කලින් වැඩ ඉවර කරගන්න” යන ලෙස ය. මේ හේතුවෙන් පාඩම් වැඩ කර අවසන් කිරීමට සහ හෙට දිනට අවශ්‍ය ඇඳුම් කල් තබා ම සූදානම් කර ගැනීමට මෙන්ම නිවෙසේ අනෙක් අයගේ කටයුතු සඳහා ද කඩිසරව සහයෝගය ලබා දීමට කටයුතු කළ අතරම, වෙනකක් තබා වෙනදාට ගන්නා රාත්‍රී ආහාර වේල ද වේලාසනින් යුතුව සෑම දෙනාම එක්ව එකට භුක්ති වි¼දීමට පෙලඹුණු අයුරු අද මෙන් මතකයට නැඟෙයි.
මේ කතාවේ අලුත්ම පරිච්ඡේදය ආරම්භ වන්නේ රාත්‍රිය ආසන්න වන විට එන රැහැයියන්ගේ හඬ අපට රිසිසේ විඳීන්නට ඉඩ හසර වෙන් කරමින් විදුලි කප්පාදුව ආරම්භ වන මොහොතේ ය.
එතැන් පටන් එළඹෙන්නේ අපට අපව සොයාගන්නට කාලය විසින් පරිපූර්ණව පවරාදුන් වින්දනීය හෝරාවන් දෙකකි.
පාසලේ සිදුවූ සිදුවීම් මුල, මැද, අග අත නොහැර පවුලේ අය සමඟ පවසන්නට හැකිවිණි. නංගිගේ මල්ලිගේ ගීතයකට තාල තියන්නට ඉඩ වෙන්විණි. මුළු දවසේම අප වෙනුවෙන් වෙහෙසෙන අම්මාගේ විඩාබර මුහුණට සිහින් හසරැල්ලක් එන අපූරුව දකින්නට ඉඩ ලැබුණේ යාන්තමට දිළුණු ඉටිපන්දම් එළිය නිසා ය. මේ සෑම දේ අතර අත්තම්මාගේ හඬින් රස ගැන්වෙන කතන්දර තොටිල්ල අප වෙනුවෙන් එහාට මෙහාට පැද්දිණි. ඒ වායේ කියැවෙන සිද්ධීන් මින් පෙර කිසිදා නොවූ විරූ දේ විය. මේ සියලු දේ කැටි කොට ගත් කල ඒ මතක අපේ ළමා සිත නිබඳ සොරාගත් මිහිරක් බව නොකිවමනා ය.
එහෙත් අද වන විට බොහෝ පවුල් ඒකක තුළ එකම නිවසක හත් අට දෙනකු වාසය කළ ද පුදුමාකාර හුදෙකලාවක් අප වටා පවුරු බැඳගෙන ඇත. ඒ සියල්ලන්ගේ තනි නොතනි මකන්නේ ස්මාර්ට් ජංගම දුරකතනයයි. ඇඟිලි තුඩු ක්‍රියාත්මක වන සැණින් එසැණින් අපි මුළු ලොවක තොරතුරු සමඟ එක්කාසු වෙමු. සොඳුරු වචන හුවමාරුවකට ඉඩක් නැත. එක් එක් අයගේ කතාබහකට සවන් දෙන කෙනකු සොයා ගන්නට නොමැති තරම් ය.
මෙකී තාක්ෂණ දැනුම නිරර්ථක අන්දමින් යොදා ගනිමින් මං මුලාවන පාසල් ජීවිතවල වටිනාකම් කවදා කෙලෙස මිනිය හැකි වේද?
කරුණු මෙසේ වන කල පසුගිය කොවිඩ් අර්බුද සමයේ මුළු ලෝකයම එක මොහොතකට නිහඬ නිසසල කරන්නට දරුණු වයිරසයකට හැකි වූ මොහොතක සන්නිවේදන මායිම් බිඳ දමමින් ඉන් ඔබ්බට ගොස් භෞතිකව මුහුණට මුහුණ හමුවීම් සඳහා වාරණ පැනවූ සමයක මෙකී ස්මාර්ට් ජංගම දුරකතනය අපට පිහිට වූ ආකාරය පිළිබඳ සටහනක් නොතබාම බැරි ය.
මාර්ගගත ක්‍රමය යොදා ගනිමින් පාසල් අධ්‍යාපන රටාවට උපරිම සාධාරණයක් එක්කරලූයේ මෙම ආගන්තුක හිතමිතුරා ය. ලොව ඕනෑම සොයාගැනීමක මතුපිට ප්‍රතිරූපයට හසු නොවී නොපෙනෙන පැතිකඩයන් පිළිබඳ අවධානය යොමු කිරීමත් සහ අවදානමක් පවතින බව දැන සිටීමත් වැදගත් ය. අවබෝධයෙන් කටයුතු කිරීමෙන් අවදානම අවම කර ගැනීමට හැකි සෑම විටම උත්සාහ කරමු.
ඩබ්.කේ. රොහාන්සා නිසලනී
12 ශ්‍රේණිය
වේයන්ගොඩ බන්ඩාරණායක මධ්‍ය විද්‍යාලය