Home » Blog » චීනය නිජබිම කරගත් විසිතුරු විජිනිපත්

චීනය නිජබිම කරගත් විසිතුරු විජිනිපත්

by lakehouse
0 comments

ආදරණීය දුවේ පුතේ, අපේ රට වගේම ඉතාමත්ම විචිත්‍රවත් සංස්කෘතියකට උරුමකම් කියන තවත් රටක් තමයි චීනය කියලා කියන්නේ. එරට සංස්කෘතිකාංග අතර දිගු ඉතිහාසයක් සතු සාම්ප්‍රදායික ජනතා හස්ත කර්මාන්තයක් වන අවාන් (Fans)වලට හිමිවන්නේ ඉතාමත් විශේෂිත ස්ථානයක්. සිංහල බසින් අපි මේ උපකරණයට අවාන, විජිනිපත, විජිනිය, වටාපත, පවන්පත, චාමරය ආදී විවිධ නම් භාවිත කරනවා. ඉතින් දුවේ පුතේ, අද අපි චීනය නිජබිම කරගත් අවාන් සංස්කෘතිය පිළිබඳ ඔබට තොරතුරු කියන්නයි මේ සූදානම් වෙන්නේ.

චීනය කියන්නේ ඍතු භේදය පවතින රටක්, ඉතින් අතීත චීන ජාතිකයන් ගිම්හාන ඍතුවේ පවතින අධික උණුසුම පාලනය කරගැනීම වෙනුවෙන් පවන් සැලීමට මූලිකවම අවාන් නිර්මාණය කළත් විවිධ අලංකරණ කටයුතු වෙනුවෙන් මෙන්ම නර්තන උපකරණයක් ලෙසින් ද අවාන් එකල යොදාගෙන තිබෙනවා. තවත් විශේෂ කාරණාවක් තමයි අතීතයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම පොදුවේ භාවිත කළ අවාන් ධනවත්, බලවත් මෙන්ම උගත් චීන ජාතිකයන් තම ධනවත්බව, බලවත්බව හා උගත්බව විදහා දැක්වීමේ සංකේතයක් ලෙසින් ද භාවිත කරනු ලැබීම. මෙම අවාන් සංස්කෘතියට චීනයේ උණ බම්බු සංස්කෘතිය (Bamboo Culture)  සහ තාඕවාදී සංස්කෘතිය (TaoismCulture) සමඟ ද සමීප සබඳතාවක් පවතිනවා.

ඒ වගේම තමයි දුවේ පුතේ, අතීතයේ දී චීනය හඳුන්වනු ලැබුවේ “අවාන් සෑදීමේ රාජධානිය”(“Kingdom of Fan Making”) ලෙසින්. අවාන් නිර්මාණය ආරම්භ වුණේ චීනයෙන් වුණත් වසර දහස් ගණනාවක සංවර්ධනයෙන් හා විකාශනයෙන් පස්සේ අවාන් සංස්කෘතිය චීනයට සමීප දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ ඉන්දියාව වැනි රටවල ද ව්‍යාප්ත වෙලා තිබෙනවා. ලොව විශාලතම අවාන් අපනයනකරු වෙන්නෙත් චීනයයි. මෙය චීන අවාන් සංස්කෘතිය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ විශේෂ ක්‍රමයක් ලෙසට ද අපට හඳුන්වන්නට පුළුවන්.

චීන ජාතිකයන් අවාන් සැකසීමට යොදාගන්නා ලද ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ උණබම්බු, දැව, කඩදාසි, ඇත්දළ, ඉබිකටු, ජේඩ්, කුරුලු පිහාටු, තල්කොළ ආදියයි.

චීන අවාන් වර්ග

කඩදාසි අවාන් (Paper Fans), සේද අවාන් (Silk Fans) ,තල්කොළ අවාන් (Palm Leaf Fans),පිහාටු අවාන් (Feather Fans), උණ බම්බු අවාන් (Bamboo Fans),සඳුන්දැව අවාන්(Sandalwood Fans),ඇත්දළ අවාන් (Ivory Fans),නැමිය හැකි අවාන් (Folding Fans)
චීන අවාන් වර්ගවල හැඩතල

හතරැස්හැඩය, රවුම්හැඩය, ප්ල්ම් මල්(Plum Blossom)හැඩය, සූරියකාන්ත මල්හැඩය, හයිතංග් මල්(Haitang Flower)  හැඩය

චීන අවාන්වල තිබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ චීන කවි, චිත්‍ර වැනි දේ දක්නට තිබීම යි. මේ නිසා අවානෙහි සුන්දරත්වය තව තවත් වැඩි දියුණු වෙනවා. දූලා පුතාලා දන්නවා ද චීනයේ වඩාත්ම සුලබ අවාන් වර්ගය මොකද්ද කියලා? ඒ තමයි නැමිය හැකි අවාන් (Folding Fans). නැමීමටත් දිග හැරීමටත් හැකි මේ අවාන් භාවිතය ඉතාම පහසුයි. ඒ නිසා බොහෝ දෙනා මේ අවාන් වර්ගය පරිහරණය කරනවා. මේ නැමිය හැකි අවාන් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ හන්ග්ජොව් Hangzhou), , සූජොව් (Suzhou)සහ යුඑජොව් (Yuezhou)යන ප්‍රදේශවලයි. මේ ආකාරයට මුලින්ම චීනයේ නිර්මාණය වූ අවාන් වර්තමානය වනවිටත් ලොව පුරා විවිධ රටවල විවිධ ජාතිකයන් විවිධ අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමට පෙළඹී තිබීම විශේෂත්වයක්.

නිෂාරා අමරකෝන්

කැලණිය විශ්වවිද්‍යාලය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department