“අත්තම්මේ හෙට දිහාට ඉස්කෝලෙන් විනෝද චාරිකාවක් යනවා. ඉතිං මාත් යන්න ඕනෙ”
“හ්ම්……ඉතින් මොකද අම්ම තාත්තා කිව්වෙ? යන්න කිව්ව ද?”
“නෑ ආත්තම්මගෙන් අහල බලපන් කියලා තමා කිව්වෙ”
“හ්ම්……. වෙන කවුරුන්ද යන්නෙ?”
“ම්…අපේ සෙට් එකම යනවා.”
“ඔය කොහේටද යන්නෙ…..?”
“සත්තු වත්ත, කෞතුකාගාරය, ග්‍රහලෝකාගාරය, රත්මලානෙ ගුවන්යානා තොටුපොළ, තව මොනවද කියල නම් මතක නෑ. උදේටයි දවල්ටයි කෑම ගෙනියන්න ඕනෙ. ඉතින් අයිස්ක්‍රීම් එකක් කන්න හරි සල්ලිත් එපායැ”
“තාත්ත සල්ලි දේවි. මයෙ පුතා පරසමට ගෙහුං එන්නකො” ආත්තම්මා කීවාය.
ආත්තම්මා ද මට රුපියලේ කොළයක්ම දුන්නා ය.
අපේ පාසල් ළමයින් රැගෙන යෑමට බසය පැමිණෙන්නේ උදේ හයට බව දන්වා තිබිණි.
අපේ ගෙදර ඔරලෝසුවක් තිබුණේ නැත. තාත්තා වෙලාව නිවැරැදිව කීවේ පහන් තරුව පායා එන අයුරු බලමිනි.
පළමුවරට කුකුළා හඬලද්දී තාත්තා කීවේ “කංචු දැන් නම් දොළහෙ කනිසම පහුවෙන්න ඇති” කියා ය. “හාමිනේ කොල්ලට කන්න දෙයක් හදල දීපල්ලා. ගෙනියන්නත් එපායැ” නින්දත් නොනින්දත් අතර සිටි මට මේ සියල්ලම ඇසුණි.
අම්මා කුස්සියට යන බවත්, අනතුරුව ඇසුණි. මා දඩි බිඩි ගා පැදුරෙන් නැඟිට ගෙන කුස්සියට ගියේ අඟුරු කෑල්ලක් ගෙන දත් මැදීමට ය.
ටික වේලාවකින් අපේ බල්ලා ටොමියා බුරන හඬට තාත්තා ඉදිරිපස මිදුලට ගියේ ය.
“කෝ…….මාමේ……..කංචු සූදානම් වෙනවද? මාත්, විමලෙත් ආවා. අපි සපත්තු පාළම ළඟට යන්නම්. එයාටත් එතැනට එන්න කියන්න.” කරුණෙ කියනවා ඇසුණි.
“හිටපන්………….හිටපන්…….කරුණෙ මේ මාත් එනවා” කියමින් බෑගයත් රැගෙන මම ද ඔවුන් අසලට දිව ගියෙමි.
අපි එකතු වී පාසල් ගේට්ටුව ළඟට ගියෙමු. ඒ යද්දී එතැන ළමයි හා ගුරුවරු කිහිප දෙනෙක් එක්ව සිටියහ.
පොර කකා වාහනයට නඟින්නට වුවමනා වූයේ නැත. සිරිවර්ධන මහතාත් මාලා ඉස්කෝලෙ හාමිනේත් මෙම ගමනේ මූලිකව කටයුතු කළහ. නම් පිළිවෙළට කවුරුත් බසයට නැඟ අසුන් ගත්හ. මමත් විමලෙත් අසුවූයේ එක ෂීට් එකකට ය. එයිනුත් අසුනේ කවුළුව අයින මට ලැබිණි. මම එයින් වඩාත් සතුටට පත් වුණෙමි. බසය වේගයෙන් ඉදිරියට යයි. ඇතැම් තැන්වලින් බසය යනවිට කෝපිමල් සුවඳ නැහැපුඩුවල දැවටී යයි. දස අතේ විසිර යන සුළඟ ඇඟ හිරිගඩු නංවයි.
“කෝ……..ළමයිනේ කවුරුත් සංවරව හැසිරෙන්න ඕනෑ. දෙන්නා බැගින් එක පෙළකට යා යුතුයි. අපි දැන් වේරගම පන්සලට ගොඩවෙලා බුදුන් වැඳලා නොකා නොබී ආ අය උදේට කාලා එළිපහළියට ගිහිල්ලා සන්සුන්ව නැවත බසයට නැඟලා හිටපු අසුන්වලම ඉඳගන්න ඕන. සිංදු කිව්වට කමක් නෑ. තේජානි ශිෂ්‍ය නායිකාවත් වික්‍රම ශිෂ්‍ය නායකයාත් කියන හැටියට වැඩ කරන්න. ඔයාලට යම් ගැටලුවක් ආවොත් අපට දැනුම් දෙන්න.” මාලා මැඩම් පැහැදිලි කළා ය. සියල්ලෝම සන්සුන්ව නැවත ගමන ආරම්භ කළහ.
ඇතැම් තැනෙක පාර අයිනේ ගෙවල්වල ගෙහිමියන් අවදිවූවා පමණි. ඇතැම් තැනෙක එළදෙනකගෙන් කිරි ගන්නා ගෙහිමියෙකි.
වේගයෙන් යන බසය පසු පස ගස්කොළං දුවනවා මෙන් පෙනුණි. බල්ලෙක් පාර මැද ළැග සිට අපේ බසය ළංවත්ම පාරෙන් ඉවතට ගියේය. කඩහිමියෝ කඩ විවෘත කරති. සමහරෙක් සුවඳ අල්ලා අවසාන දුම් කබල එළියට දමති. තවත් තැනෙක වයසක අම්මා කෙනෙක් මල් කඩ කඩා කුඩා වට්ටියක් පුරවයි. පාසලකට යන දැරියක් අම්මා දුන් ආප්ප ටික රැගෙන කඩ බක්කියක් ළඟ සිටගෙන සිටින්නේ මුදලාලි පැමිණ එය ලබා ගන්නා තුරු ය. තවමත් පාසල පටන් ගන්නා වේලාවන් නො ආ හෙයින් දරුවන් පාසල්වලට කැඳවා ගෙන යන අම්මලා තාත්තලා ද තනි තනිව යන දරුවෝ ද පාර පුරා යති.
හිරුඑළිය ක්‍රමයෙන් පොළොවට පතිත වෙද්දී මඟ තොට විවිධ දර්ශන මතුවී නොපෙනී යයි. අපි නගරයට ළංවීමු.
“දුන්නු උපදෙස් ටික මතකයි නේද ළමයි?” ගුරුතුමා ඇසුවේ ය.
අපේ චාරිකාවේ මුල්ම අංකය වූයේ සතුන් වත්ත නැරැඹීම ය. අප කළුතර දී එහි බෝධිය වැඳ පඬුරු දමා, අනතුරුව උදේ ආහාරය සප්පායම් වී නැවත වාහනයට ගොඩ වීමු. එහිදී අපට ගුරුවරුන් කියා ඇති පරිද්දෙන් සංවරව හැසිරෙන්නට වග බලා ගතිමු. විමලේ නම් නිරතුරුවම බැලුවේ ගුරුවරුන්ගේ ඇස් මායිමෙන් ඉවතට පැනීමට ය. මමත් කරුණෙත්, විමලේට ඕනෑ විධියට වැඩ කරන්නට ඉඩ නොදීමු. ඒ නිසා ඔහු නිහඬවම සිටියේ ය.
සිංහයන්, ඔටුවන්, ජිරාෆ්ලා හා හිපපොටේමස් ආදී ලොකු සත්තු සිටියේ ආරක්ෂිත වළවල්වල ය. අලියන්ට වෙනම පැත්තක් නිදහස් කරදී තිබුණි. මුවන්, ගෝනුන්, හාවුන් වැනි රෞද්‍ර නොවන සතුන් කූඩු කර තිබිණි. රිලවුන්, වඳුරන්, චිම්පන්සින් තම කූඩු ඇතුළේ ඉඳගෙන යන එන්නන්ගෙන් ඉල්ලා කෑමට පුරුදුව සිටියහ. පක්ෂීන් ගැවසුණේ වෙනම කොටසක ය. පැස්බරා නමින් පියාසර කළ නොහැකි විශාල පක්ෂියෙක් විය. ඌට වේගයෙන් දිවීමට හැකි වුවද පියාසර කළ නොහැකි ය. උරගයන් සිටියේ වෙනම ය. උන් බැලීම ද මට පි‍්‍රයජනක නොවී ය.
ගැට කිඹුලන් හා දැති කිඹුලන් ද ජීවත්වීමට ජලය ආශි‍්‍රතව ස්ථාන නිර්මාණය කර තිබිණි. ලොකු පොඩි වශයෙන් උන් කිහිප දෙනෙක් එහි විසූහ.
ඉන් අනතුරුව හංසයන්, තාරාවන් වැනි දර්ශනීය සතුන්ට වෙනම ස්ථාන නිමකර තිබිණි. විවිධ වර්ගයේ මත්ස්‍යයෝ ද සිටියහ. මා සිත් ගත් එකම සිව්පාවා කාන්තාරයේ නැව නමින් හැඳින්වූ ඔටුවා ය.
තවත් බොහෝ සතුන් ගැන අපි සටහන් පොතේ ලියා ගතිමු. “සතුන් වත්ත නරඹා අවසන අපි කෞතුකාගාරයට යමු” යි ගුරුවරු යෝජනා කර ගත්හ. ඒ අනුව අපි කෞතුකාගාරයට පැමිණ අපේ භාවිතයෙන් ඉවත්ව ඇති පැරැණි අවි ආයුධ හා එදා මිල ගෙවූ කහවනු, මසුරන් මෙන්ම ඒ සඳහා පාවිච්චි කරන ලද වෙනත් ඒකක සංරක්ෂණයකර තිබිණි. එමෙන්ම පෙර කල ඇඳුම් ආයිත්තම් ද ප්‍රදර්ශනය විය. එදා රජවරුන්ට අඳින්නට සිදු වූ ඇඳුම්, හිඳ ගත් ආසනය ආදිය ඇත්තටම අප වෙනුවෙන් සංරක්ෂණයකර තිබීම කෙතරම් මහඟු සේවාවක්දැයි මම සටහන්කර ගතිමි.
එදා තිබූ සිංහාසනය මගේ සිතේ ඇඳී තිබුණු අසුනට වඩා වෙනස් ය. ටයි කෝට් නොවුණු එදා රජ ඇඳුම් දවස පුරා ඇඳගෙන සිටීම වුවද අසීරු වන්නට ඇතැයි මට සිතිණි. එසේම රාජාභරණ හා හිස පිළිගත් කිරුළ රන් රිදියෙන් නිමකර තිබිණි. මේ සියල්ලෙන් සැරසුණූු රජතුමා කඩු කස්තාන බඳ පටියේ රඳවා මිනිසුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් කටයුතු කිරීම මොනතරම් භාරදූර කාර්යයක් දැයි මම කල්පනා කළෙමි. එදා රජවරුන්ට පැලඳීමට තිබූ ස්වර්ණාභරණ අතර, කුණ්ඩලාභරණ ද විය. රජකම් කිරීමත් කෙතරම් දුක් ගැහැටවලට ලක්වීමක්දැයි මම කල්පනා කළෙමි. වරක් සතුරන් විසින් රජතුමාගේ කුණ්ඩලාභරණ කඩා ගනිද්දී කනෙන් වැටුණු ලේ බිඳුව ඇඳුමේ රැඳී ඇති අයුරු අදටත් අපට දැක ගන්නට සලස්වා තිබිණි. එදා ඒ ලේ බිංදුව අදටත් මළකඩ රලන්දක් මෙන් පෙන්නුම්කර ඇත.
අපට එහි ඇති හැමදේම කියවා බලා සටහන්කර ගැනීමට වේලාවක් නැත. එය නරඹන්නට අප මෙන්ම වෙනත් පාසල්වලින් ද සිසුහු පැමිණ සිටියහ. කාලය ඉතිරිකර ගැනීමත් අපට අවශ්‍ය බැවින්, දෙනෙතින් බලාගෙන යනවා හැර, එහි සඳහන්කර ඇති දේ කියවීමට තරම්වත් කාලයක් එක තැන නතර වී සිටීමට අපට කාල වේලා නොවුණි.
ඊළඟට අපි ගුවන්විදුලි සංස්ථාව නැරැඹීමු. එහි ඇති නවීන උපකරණ ශබ්ද පටිගතකර ගුවනින් රට පුරා ප්‍රචාරය කරන අන්දම එහි සිටි මහත්ම මහත්මීහු අපට පැහැදිලිකර දුන්හ.
ක්‍රමයෙන් හිරු මුදුන් වීමත් සමඟ අපේ දෛනික අවශ්‍යතා ද දැනෙන්නට විය. ඒ නිසා අප දිවා ආහාරය සඳහා සුදුසු තැනකට ගියෙමු.
රත්මලානේ ගුවන් තොටුපොළ නැරැඹීමෙන් අප ලැබූ වින්දනය සුළුපටු නොවන වග පැහැදිලි ය. ගුවන්යානා ගොඩබස්වන ආකාරය හා ගුවන්ගත කරන ආකාරය මා බලා සිටියේ පුදුමයෙනි. මේ තරම් විශාල ගුවන් යානයක්, මිනිසුන් ද රැගෙන ගුවනින් යෑම මට කුතුහලය දනවන්නක් විය. මෙතරම් විශාල බරක් කොහොමද උඩින් යන්නෙ? කොහොමද අහසෙ රඳන්නෙ? අහසෙත් පාරවල් තියෙනවද? එහි නියමුවාට කවුරුත් ගරු කළයුතු ය. මේ මගේ පුංචි හිතට නැඟුණු අදහස් ය. ගුවන් යානයට රෝද මොකට ද? බිමට බාන විට ඇයි එය එක වරම නතර කිරීමට බැරි? මට එවන් ප්‍රශ්න රාශියකි.
කාලවේලා ගෙවී යන නිසා හැකි ඉක්මණට අපි එතැනින් ද ආවෙමු. කොළඹ වැඩි ජනගහනයක් වෙසෙන කුඩා භූමි ප්‍රමාණයකැයි සිරිවර්ධන ගුරුතුමා අපට කියා දී ඇත. ලේක්හවුස් පත්‍ර කන්තෝරුවට යෑමට අපට නොහැකි වුණේ ග්‍රහලෝකාගාරය නැරැඹීමට ගිය නිසා ය.
දිවා රාත්‍රි එළඹෙන හැටි, හිරු සඳු උදා වී ග්‍රහවස්තු කැරකෙන හැටි, ග්‍රහයන් ගැටුම් සිදුවෙන අයුරු. සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ අපි ඉගෙන ගතිමු. අපේ පෘථිවි ග්‍රහලෝකයේ මිනිසුන් ඉඩ කඩම් බෙදාගැනීමට පොරබදන හැටිත් එය අප සතු නොවන බවත් මට වැටහිණි.
රත්නා කහඳගමගේ