කොංගෝ ගංගාව විශාලත්වයෙන් ලොව නවවැනි ගංගාවයි. මෙම ගංගාව සැතපුම් 2920ක් පමණ දිගකින් යුක්ත වේ. මෙය ලොව ගැඹුරුම ගංගාවයි. කොංගෝ ගංගාවේ ගැඹුර අඩි 700ක් පමණ වේ. අප්‍රිකාවේ දෙවැනි දිගම ගංගාව මෙය වේ. කොංගෝ යන්නෙහි අදහස වන්නේ උතුම් යන්නයි. මෙම කොංගෝ රාජ්‍යයේ නමට අනුකූලව ගංගාවේ නම තබා ඇත. 18 වැනි සියවසේදී මෙම ගංගාව නම් කරනු ලැබුවේ ‘රියෝ කොංගෝ’ යනුවෙනි. වර්ෂ 1971 හා වර්ෂ 1997 කාලයේදී කොංගෝ ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව සයරේ (ඛචඪපඥ) යනුවෙන් නම් කරන ලද අතර, ආණ්ඩුව විසින් ගඟේ නම ද සයරේ ගඟ යනුවෙන් වෙනස් කර ඇත. කෙසේ වුවත් එම කාලයේදී ගංගාව කොන්ගෝ ලෙසින් ලොව පුරා ප්‍රසිද්ධ විය. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට අලංකාර ගංගාවක් වන කොංගෝ ගංගාව ගැන තොරතුරු රැගෙන එන්නයි.
කොංගෝ ගඟ අප්‍රිකාවේ බලවත්ම ගංගාවයි. වැසි සමයේදී තත්පරයට ඝන මීටර් 50,000කට අධික ජල ප්‍රමාණයක් අත්ලාන්තික් සාගරයට ගලා යයි. එම නිසා කොංගෝ ගඟට සහ එහි අතු ගංගාවලට ජල විදුලිය උත්පාදනය කිරීමට ඇති අවස්ථා අතිමහත් ය. කොංගෝ ගංගාව අප්‍රිකාවේ සියලුම විදුලි අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් බලයක් සපයනු ඇත.
දැනට කොංගෝ ද්‍රෝණියේ ජල විදුලි බලාගාර 40ක් පමණ ඇත. විශාලතම විදුලි බලාගාර වන්නේ කින්ෂාසා සිට නිරිත දෙසින් කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ඉන්ගා වේලි ය. මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ වර්ෂ 1970 මුල් භාගයේදී, පළමු වේල්ල නිම කළ අවස්ථාවේදී ය.
කොංගෝ ගංගාව කොංගෝ ජනරජය, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, බටහිර සැම්බියාව, උතුරු ඇන්ගෝලාව සහ කැමරූන් සහ ටැන්සානියාවේ සමහර ප්‍රදේශ හරහා ගලා යයි . මෙම දිගු ගංගා කොටස් තුනකට බෙදා ඇත. එනම් ඉහළ කොටස, මැද කොටස සහ පහළ කොටසයි. ඉහළ කොටස අතු ගංගාවලින් සෑදී ඇත. මැද කොටස ස්ථායි දිය පහරක් වන අතර, පහළ කොටස ගිරි දුර්ග සහ ඇල්ලකින් සමන්විත වන අතර, එය අනතුරුදායක විය හැකි ය.
කොංගෝ ද්‍රෝණියේ ඉඩමෙහි කුඩා ගංගා, වගුරු බිම් සහ වනාන්තර දැකගත හැකි ය. මෙහි සම්පූර්ණ ප්‍රදේශය කොංගෝ ජනරජය, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, බටහිර සැම්බියාව, උතුරු ඇන්ගෝලාව සහ කැමරූන්, ගැබොන් සහ ටැන්සානියාවේ කොටස් සියල්ලම ආවරණය කරයි. උතුරින් සහරා කාන්තාරය ද, දකුණින් සහ බටහිරින් අත්ලාන්තික් සාගරය ද , නැඟෙනහිරින් අප්‍රිකානු විල් කලාපය ද ද්‍රෝණියට මායිම් වේ.
කොංගෝ ද්‍රෝණිය වැසි වනාන්තර අද්විතීය ශාක හා සත්ත්ව ජීවීන්ගේ නිවහන වේ. විද්‍යාඥයන් පවසා ඇත්තේ මෙම දැවැන්ත වැසි වනාන්තරයේ නිවර්තන ශාක විශේෂ 10,000ක් පමණ දක්නට ලැබෙන බවත්, එයින් 30% ක් පමණ ලෝකයේ වෙනත් තැනක දක්නට නොලැබෙන බවත් ය. කොංගෝ ද්‍රෝණියේ ක්ෂීරපායි විශේෂ 400ක්, පක්ෂි විශේෂ 1,000ක් සහ මත්ස්‍ය විශේෂ 700ක් පමණ ජීවත් වෙති. වනාන්තර අලි, පහතරට සහ කඳුකර ගෝරිල්ලන්, චිම්පන්සියන්, බොනොබෝ වඳුරන්, මී හරකුන්, කැලෑ ඌරන්, ඔකාපි (වන බද ජිරාෆ් විශේෂයක්), දිවියන් , පැන්ගොලින්, මැනිටීස් ( ඵඥච ජධඹ) සහ සිංහයන් මෙහි ජීවත් වෙන ක්ෂීරපායි සත්ත්ව වර්ග වේ. මෙහි වාසය කරන කඳුකර ගෝරිල්ලන්, චිම්පන්සියන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. එයට හේතුව වන්නේ වන විනාශය සහ වන සතුන් දඩයම් කිරීමයි. ලෝක වනජීවී අරමුදලට අනුව මිනිසුන් වසර 50,000ක කාලයක සිට කොංගෝ ගංගා ද්‍රෝණියේ ජීවත් වී ඇත. එම ප්‍රදේශයේ විවිධ ජනවාර්ගික කණ්ඩායම් 150ක් පමණ ජීවත් වෙති. දළ වශයෙන් මිලියන 75ක ජනයා මෙහි වාසය කරති. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ගෝත්‍රිකයන් මීට වසර 4,700කට පමණ පෙර කොංගෝ ගංගාව ආශ්රිත ගම්මාන පිහිටුවීමට පටන්ගෙන ඇත.
චතුරි ලක්ෂිකා