ආදරණීය දුවේ පුතේ, අද දවසේ මම ඔයාලට කියල දෙන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික මානවයා විසූ තවත් ඓතිහාසික ස්ථානයක් වන අලවල ලෙන පිළිබඳයි.
අලවල ලෙන පිහිටා ඇත්තේ කොළඹ- නුවර මාර්ගයේ ය. කොළඹ- නුවර මාර්ගයේ නිට්ටඹුව හන්දියෙන් දකුණු දෙසට හැරී කිලෝමීටර් පහක් පමණ ගමන් කළ පසුව හමුවන අත්තනගල්ල රාජමහා විහාරස්ථානය ද පසුකර පස්යාල මාර්ගයේ මඳ දුරක් ගොස් දකුණු දෙසට විහිදුනු මාර්ගයක් වන ඇතාඋඩකන්ද, දුනු මාල, ගලපිටමඩ මාර්ගයේ කිලෝමීටර් හය හමාරක් පමණ ගිය පසු අලවල ග්‍රාමය හමුවන අතර, එහි අලවල පොත්ගුල් ලෙන රාජමහා විහාරස්ථානය අසලින් ඇති අතුරු මාර්ගයේ තවත් කිලෝමීටරයක් පමණ ගිය පසු පොත්ගුල් ලෙන හෙවත් අලවල ලෙන හමුවේ. මෙය සුන්දර පරිසරයක පිහිටා ඇති අතර, පොත්ගුල් කන්ද වන මැද පිහිටා තිබීම නිසා ප්‍රවේශය තරමක දුෂ්කර ය.
මෙම ලෙන ආශ්රිත කැණීම් කටයුතු දෙදහස් අට වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද්් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කරන ලදි. අලවල ලෙන ආශ්‍රිතව සිදු කරන ලද එම කැණීම්වලදී හිස් කබල් කොටස් 29ක්, යටි හනු දෙකක්, දත් විසිදෙකක්, දිගු අස්ථි කැබලි හතක්, දණහිස් කටු දෙකක්, කොඳු ඇට කොටස් දෙකක් හමුවී ඇති අතර, ඒවා වැඩිහිටි පුද්ගලයන්ට මෙන්ම ළාබාල පුද්ගලයන්ට අයත් යැයි ඔප්පු වී ඇත. එම ශේෂ කොටස් අතර, ළාබාල පුද්ගලයන්ට අයත් පහළ හනු කොටස්, කිරිදත් කිහිපයක් හා වැඩිහිටියකුට අයත් ඉහළ හනුවේ ප්‍රථම කෘන්තක දත විශේෂත්වයක් උසුලයි. එම ශේෂ කොටස්වල දක්නට ලැබෙන ලක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික මානවයා මිනීමස් අනුභව කරන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ. තියුණු කැපුම් සහිත ලකුණු සහිත හිස් කබල් කොටස් ද පුළුස්සා ඇති අස්ථි කැබලි ද එම නිගමනයට එළඹීමට විද්‍යාඥයන්ට තොරතුරු සපයයි. එහෙත් මෙම කරුණ පිළිබඳ පිළිගත් ඒකමතික, ස්ථිර තීරණයක් තවමත් නොමැති අතර, ගාමිණි අධිකාරී මහතා විසින් එය තවදුරටත් පර්යේෂණ කළයුතු කරුණක් බව පෙන්වා දෙයි.
අලවල ලෙනෙන් මේ වෙන තෙක් හමුවී ඇති පුරාවස්තු 1305 අතරින් හයසියයක් පමණ අස්ථිවලින් සාදන ලද ආයුධ ය. මේවා සීරීම, කැපීම, උරච්චි කිරීම වැනි ක්‍රම අනුගමනය කර තනා ඇත. මෙම ආයුධ ඇඳුම් තැනීම සඳහා සත්ත්ව හම් සිදුරු කිරීමට, ඊතල හිස් වශයෙන්, බිලී කොකු ලෙස, ගොළුබෙලි කට්ටෙන් මස් ඉවත් කිරීමට, ආයුර්වේද කටයුතු ආදිය සඳහා යොදා ගන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. උගුඩුවා, වඳුරා, කලවැද්දා, උරුලෑවා ආදී සතුන්ගේ අස්ථි කොටස් මේ සඳහා යොදා ගන්නට ඇතැයි පොත්ගුල් ලෙනෙන් හමුවූ සාධක අනුව නිගමනයකර ඇත. මෙම අස්ථි ආයුධවලට අමතරව අලවල මානවයා ගල් මෙවලම් ද භාවිතයට ගත් බවට සාක්ෂි මෙම ලෙන ආශ්‍රිතව සිදු කරන ලද කැණීම්වලින් හමුවී තිබේ. ඔවුන් ඒ සඳහා භාවිතාකර ඇත්තේ පොත්ගුල් කන්ද පාමුලින් ගලා බසින උඩුවක දොළ ආශ්‍රිතව ඇති පාෂාණ විශේෂයකි. ඒවා ඉතා සියුම් ලෙස සකස් කර ගෙන ඇති අතර කැපීම, සීරීම, සිදුරු කිරීම වැනි කාර්යයන් සඳහා උපයෝගි කරගෙන තිබේ.
අලවල මානවයාගේ ආහාර පරිභෝජනය ද පුළුල් පරාසයක විහිදී යයි. ඔවුන් තම වටපිටාවේ ජීවත් වූ ආහාරයට සුදුසු සෑම සත්ත්වයෙක්ම ආහාරයට ගෙන තිබේ. ඒ අතරින් වඳුරන්, රිළවුන් හා දඬුලේනුන් විශේෂිත ය. ඊට අමතරව මිරිදිය කකුළුවන්, ගොළුබෙල්ලන්, ගොඩ ගොළුබෙල්ලන් වැනි සතුන් ද මිරිදිය මසුන්, කටුස්සන්, සර්පයන්, ගෝනුන්, මුවන්, ඉබ්බන්, ඉත්තෑවන් වැනි සතුන් ද ආහාරයට ගෙන ඇති බවට ලෙනින් හමුවූ සත්ත්ව ශේෂ කොටස් සාක්ෂි සපය යි. එසේම බොහෝ සත්ත්ව කොටස් තියුණු ආයුධයකින් වෙන් කර පුළුස්සන ලද ඒවා ය.
අලවල ලෙන කැණීමෙන් මතු කරගන්නා ලද කරුණු අතර වැදගත් කරුණක් වන්නේ ගොළුබෙල්ලන් පරිභෝජනය පිළිබඳ එළඹ ඇති නිගමනයන් ය. එහි හමු වූ සෑම ගොළු බෙලි කටුවකම කුඩා සිදුරක් දක්නට හැකි අතර, එම සිදුර ප්රාග් ඓතිහාසික මානවයා විසින් වෙනත් ගොළුබෙලි කටුවක උල් කෙළවරකින් පහරදී සාදා ඇති බවටත් ඔවුන් ආහාරයට ගන්නා ගොළුබෙල්ලන් අල්ලා ගත් සැණෙන් මරණයට පත් නොකොට දින කිහිපයක් නිරාහාරව, ඔවුන් කලින් ගන්නා ලද ආහාර ශරීරයෙන් ඉවත්වන තෙක් තබා වැලක එල්ලා එය ගින්දරට ඉහළින් එල්ලා හෝ තනි තනිව ගෙන පුළුස්සා ආහාරයට ගන්නට ඇති බවට විද්‍යාඥයෝ නිගමනය කරති.
ඔවුන්ගේ අභිචාර ද අනෙක් ප්රාග් ඓතිහාසික මානවයාගෙන් වෙනස් වේ. මියගිය පසුව එම සිරුර ගුහාවෙන් එපිට තැන්පත්කර කාලයකට පසුව නැවත එම හිස්කබල් හා අස්ථි කොටස්වල ගුරුගල් මිනිරන් තැවරීම සිදුකර ඇති බවට සාක්ෂි හමුවේ. එමඟින් ඔවුන් මියගිය ඥාතීන් කෙරෙහි දැක්වූ හිතෛෂී භාවය ද නිර්මාණශීලි චින්තනය ද පිළිබිඹුවන බව පර්යේෂකයන්ගේ මතය යි.
ලක්නා නිරෝෂිමාලා