පසුදා පාසලට ගිය අපි පෙරදා සිදුවුණු ඇබැද්දිය කිසිවෙකුටත් නොකීවෙමු. එදින කරුණේ පාසලට ආවේ නැත. අපි පාසල අවසන් වී හවස් වරුවේ කරුණේ ගැන තොරතුරු හොයන්නට ඔහුගේ ගෙදරට ගියෙමු.
අප යනවිට කරුණෙගෙ අම්මා සීලිං නැන්දා ආලින්දයේ පිල මත බර කල්පනාවක ඉඳගෙන සිටියා ය.
“මොකද නැන්දේ අද කරුණෙ ඉස්කෝලෙ ආවෙ නැත්තෙ? අපි මේ බලන්නයි ආවෙ.”
“ආං………….ඔන්න ඔය පිටුපස පැත්තේ ලෑලි ඇඳේ හිටියද කොහෙද බලන්න පුතෙ”
“ඕ කරුණෙ. අපි ආවා ඔයාව බලන්න. හොඳටම අමාරුද?”
“එච්චරම අමාරුවක් නෑ කංචු. ඒ වුණාට අම්ම හොඳටෝම බය වෙලා. මට රෑ උණ හැදුණානේ. අම්ම ඉතින් ළඟටම වෙලා හිටියා. මං හිතන්නෙ වෙනිවැල් තැම්බූ වතුර කෝප්ප පහ හයක්ම හිස් කළා. හැබැයි මං හිතන්නෙ ඒකෙන්ම තමා හොඳ වුණේ.”
“අනේ පුතේ මොක දන්නෑ. මේ දරුවට ඊයෙ රාත්තිරියෙ සහලෝල උණ. ඉතිං කොත්තමල්ලි තම්බා තම්බා දුන්න. දැන් නම් උණ බැහැලා” සීලිං නැන්දා කීවා ය.
“හවහ සිද්ධිය අම්මට කීවද?” පොඩි ඉඩවරයක් බලා අපි සීලිං නැන්දාට නොදැනෙන්නට කරුණෙගෙන් ඇසීමු.
“නෑ………..නෑ……….මුකුත් කියන්නා එපා. මං කිව්වෙත් නෑ. වෙනිවැල් ගැට වතුර නිසා දෝ ඇඟේ කැක්කුම් නැතුව ගියා. උණත් නෑ. මං හෙට දිහාට ඉස්කෝලෙ එනව විමලෙ. මට පුදුම මං ඉතුරු වුණ එක ගැන.” කරුණෙ කීවේ ය.
“දැන් ඕක අමතක කරලා දාමු”
“දරුවනේ, මේං මේ කෝපි ඩිංගිත්තක් බොමු. මේ ඉඳහිට හමන වියළි හුළඟ හින්ද වෙන්න ඇති මෙයාට උණ හැදුනෙ.” සීලිං නැන්දා කීවා ය.
අපි කිසිත් නොකීමු.
ගෙවල්වලට කිසිවකුගෙන් සිද්ධිය ආරංචි වී නොතිබීම අපට ලොකු සහනයක් විය. නැත්නම් අපට කිසිම දේකට එකට එකතු වී යමක් කරන්නට ඉඩක් නොලැබේ.
කෝපි උගුරක් දෙකක් දුන් නිසා නොබී බැරිකමට බීවෙමු. “අපි පන්සලට යනවා” අපි කරුණෙලගෙ ගෙදර සිට කෙළින්ම පන්සලට පැමිණියෙමු.
අප යන විට ලොකු හාමුදුරුවෝ හාන්සි පුටුවේ ඇලවී සිටියේය.
“හාමුදුරුවනේ අපි ආවා. දැන් මොනවද කරන්න ඕන?” විමලේ ඇසුවේ ය.
“ආං අර දෙමට ගඟ ළඟ ඉඳල දිගටම අඹ ගහ ළඟට වෙනකම් කෙළින්ම කාණුවක් කපනවකො. ඒ තරම්ම ගැඹුරට ඕන නෑ. ඊට පස්සෙන් පහු ඉතුරු හරිය බලමුකො.
හරියට වතුර මීටරේ හයි කරන තැනට බට එලන්න ඕන නේ. අද දැන් වයසක උන්දෑ වැඩ පටන් අරන්. එයාට කරන්න බෑ. ඒ වුණාට ඉතින් හිතේ හයිය නේ” ලොකු හාමුදුරුවෝ කීහ. “දැන් නොවෙයි. ඉතුරු හරය” හෙට ඉඳලාම කොරමු.
ආ………………ඒ වගේම තමුන්ලාගෙන් මට කාරණාවක් දැනගන්න ඕන වෙලා තියෙනවා.
අපේ මේ සෝරත උන්නාන්සෙට ඊයෙ මොනාහරි ඇබැද්දියක් වුණාද? කවුරුත් මට හරි ඇත්තක් කිව්වේ නැහැනේ.”
“ඇ……..ඇයි හාමුදුරුවනේ………?”
“අර අතකුත් ඉදිමිලා. බෙල්ලත් එක්ක පිටත් සීරිලා.
ධම්මානන්ද හාමුදුරුවො දන්නෙත් නෑ. පන්සලේ ඉන්න සීයා දන්නෙත් නෑ. මං වේවැල ගත්තම තමයි කීවෙ සිවුර පැටලිලා වැටුණා කියලා. මම ඔය ළමයින්ගෙන් ඇහුවෙ. මේ ගැන දන්නවද බලන්න.”
“අනේ ලොකු සාදු අපි නම් දන්නෙ නෑ.” පසුදා එන බව කියමින් අපි ආපසු පිටත් වුණෙමු.
“ම්……..අපි යමු. පටබැඳි ආත්තගේ ගඩු ගුඩා ගහට සුද්දයක් දාල එමු.” විමලේ කීවෙන් අපි කවුරුත් ඊට එකඟ වීමු.
“මොකද කරන්නෙ කියලා තමයි මාත් මේ කල්පනා කෙරුවෙ. ඒ වුණාට මට ගස් නඟින්න නම් බෑ…….”
“මොනවද හලෝ……..දැන් ගෑනුන්ටත් ගස් නගින්න පුළුහන් කාලෙ. ලැජ්ජයි.” විමලේ මට විහිළු කළේ ය. “කරුණෙ ආවෙ නැති එකමයි හොඳා. ඒත් ඉතිං…….මේ ගෑනුත් එක්ක ඇවිල්ල බැහැනේ වැඩක් කරන්න” විමලේ මට ඔච්චම් කළේ ය.
පටබැඳි ආත්තා පි‍්‍රයමනාප වැඩිය උස නැති හුරුබුහුටි කාන්තාවකි. ඇගේ කටේ එක ද දතක් නොමැත. සුදුම සුදු රැළි වැටුණ කොණ්ඩය එකතුකර කුඩා ගුලියක් ලෙසට බැඳ ඇත. ඒ වගේම ඇයගේ තරහ මුහුණක් කිසිදු දවසක දැක නැත. ඇයට සිටින්නේ එකම එක පුතෙක් පමණි. ඔහු ද අපට වඩා වයසින් වැඩි ය. පාසල් යන්නේ ද නැත.
දුර තියාම ඇය අප හඳුනා ගත්තා ය.
“මොකද පුතාලා දැන් දකින්නවත් නැත්තෙ?” ඇය අපෙන් ඇසුවා ය.
“දැන් පුතා පලතුරු හිඟයි. තිබුණ නම් මං ඇහිදලා ගේ ඇතුළෙ තියල හරි දෙනව නෙ ”
“ආත්තම්මගෙ නැවුම් කළයෙන් වතුර කීරක් ගන්නද අපි?”
“බීපල්ලා මගෙ රත්තරනේ බීපල්ලා. තිබාස කාරයෙකුට බොන්න තමා පිල්කොමුවෙ නැවුම් කළේ වතුර තිව්වෙ. ඒකට තමා ඔය මයෙ කොලු ගුණදාස කටුමැස්සක් හැදුවෙ.
වතුර කළය එක පසෙකත් අනෙක් පැත්තේ සුද්ද කරන ලද පොල්කටු කිහිපයකුත් දක්නට ලැබේ. කටුමැස්ස යනු ලී කෝටු පිළිවෙළක් නැතිව තබා හරහට ලී දෙකක් බැඳ ඇති මැස්සකි. එහි බර දේ තැබිය නොහැකි ය. පේර ගෙඩියක්. අඹ ගෙඩියක් කපා ගැනීමට කුඩා පිහියකුත් එහි තබා ඇත.
“අත්තම්මා අපට ගඩු ගුඩා වැලක් දෙන්න බැරිද?” මම ඇසුවෙමි.
“මයෙ දරුවන්ටයි, කුරුල්ලන්ටයි තමා ඒවා ගස්වල හැදෙන්නෙ. ඉතිං මයෙ පුතේ. වැලට වැල් දහයක් දෙන්න බැරුවයැ. හැබැයි ඉතින් දැන් නම් තාම ඒවා පැහිල නෑ” ඇය කීවාය. ඒ අතර මිදුලේ ඇටඹ ගහේ ද එක ගෙඩියක් හෝ ඇය අපට නොදුන්නා ය.
බලාපොරොත්තු සුන් වූ අපි ඊළඟට ආවේ අද්දර ගෙදර මාමාගේ කඩයට ය. කුඩා කඩයක් කරගෙන යන හෙතෙම ගල්කූරක්වත් ණයට දෙන්නේ නැත.
එහි විකිණීමට ඇත්තේ ද ටොෆී සීනිබෝල, පොල් අලුවා හැරුණාම කොපි පොත් ගල්ලෑලි ගල්කූරු හා පැන්සල්, රටහුණු ආදිය පමණි.
හැමදාම ඔහුගේ කඩයට එන දරුවන්ට බැණුම්වලින් අඩුවක් නැත.
අප දුටු ඔහු අපට කීවේ ද එවැනි වදන්ම ය.
“මේකට එනව නැහැදිච්ච කොල්ලෝ ඊයෙ දවාලියෙ මගෙ හකුරු බෝතලෙන් බාගයක් විතරම කාලා. සල්ලි සතපහක් දුන්නෙත් නෑ. උන් කෑවෙත් නෑලු. නොට්ටිගෙ පුතාලා. ආව දෙන්කො.”
“මේ මොකද සීයෙ අපටද බනින්නෙ? අනේ අපි හොරා කෑවෙ නෑ” දිගු බංකුවේ ඉඳගත් අපි කීමු.
ඒ අතර සියාතු මාමා කඩයට ආවේය.
“කෝ ………..මේ මුදලාලි කියමින් කෙසෙල් ගෙඩියක් කඩාගත් හෙතෙම “මට කහට පෙතක් ඇන්න දීපන් මුදලාලි.” කීවේ ය.
කිහිප දෙනෙක්ම කඩයට ගොඩවී විවිධ අවශ්‍යතාවන් කියා පෑවේ ය.
ඒ අතර විමලේ ද තලකැරලි බෝතලය හැර අහුරක් ගෙන අපටත් බෙදුවේය. උක්කුං ද සීනි බෝල මිටක් ගත්තේ ය. මම කෙසෙල් ගෙඩි කිහිපයකට වග කියුවෙමි. එදින කුරුන්දේ වැඩ දිනයක් වූ නිසා බොහෝ දෙනෙක් කහට බීමට පැමිණියහ. ඔහු කහට වක් කරද්දී අපි පැන ගතිමු. මඟ දුරක් පැමිණ බලන විට විමලේ නැත.
“අන්න අර සිරිමල්හාමිගෙ දරුව අල්ල ගෙන තලබෝල කෑම කියලා”
“අනෙ අප්පේ මෙහෙම කුම්මැහි මිනිහෙක්. පුංචි එකෙක් තලබෝලයක් කෑහම මොකද? ”
“ආ………..අන්න යාළුවා හොරා කෑවා කියලා මුදලාලි අල්ලල බැඳගෙන ඉන්නවා අගිද නැන්දා කඩයේ සිට එන ගමන් අපට කීවා ය.
“කවුද? සිරිමලාගෙ ළමය විමලසේන ද?” තව කෙනෙක් ඇසුවේ ය.
රත්නා කහඳගමගේ