කුරුවිට බටදොඹ ලෙන මෙන්ම කිතුල්ගල බෙලිලෙන ද ආදි මානවයා වාසය කරන ලද තවත් ලෙනකි. මෙය ඓතිහාසික ස්ථානයකි . හෝමෝ සේපියන් බළන්ගොඩේන්සිස් හෙවත් බළන්ගොඩ ප්‍රාග් ඓතිහාසික මානවයා මෙම ලෙන ආශ්‍රිතව ජීවත් වූ බවට සාක්ෂි හමුවේ.
කෑගල්ල යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රසිද්ධ ස්ථානයක් වන බෙලි ලෙනට ප්‍රවේශ වීමට නම් තරමක් දුෂ්කර මාර්ගයක් ඔස්සේ යා යුතු ය.
කොළඹ- අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කුරුණෑගලට පැමිණ ඉන්පසු දකුණට ඇති ගිනිගත්හේන- හැටන් මාර්ගයේ ගමන්කර බෙලිලෙන පුරාවිද්‍යා පුවරුව අසලින් ඇති යාහින්න මංසන්ධියෙන් වම් පසට ඇති මහා බාගේ මාර්ගයේ යාහින්න රබර් යාය මැදින් කිලෝ මීටර් හතරක් පමණ ගිය පසු ඉන්ඔය දෙමළ විදුහල හමුවන අතර, එහි සිට තවත් කිලෝමීටර් භාගයක් පමණ ගිය තැන බෙලිලෙන හමුවේ.
කිතුල්ගල බෙලිලෙන එනමින් හඳුන්වා ඇත්තේ ගොළුබෙල්ලන් විශාල සංඛ්‍යාවක් හමුවීම නිසා යැයි සලකෙන අතර, මධ්‍ය ශිලා යුගය ලෙස සැලකෙන ක්‍රිස්තු පූර්ව හතළිස් දාහේ සිට දහස දක්වා කාලයට අයත් ප්‍රාග් ඓතිහාසික හෝමෝසේපියන් මානවයා මෙහි ජීවත් වූයේ යැයි විශ්වාස කරයි.
මෙහි මුල්ම කැණීම1983 දී ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් සිදුකරන ලද අතර, එහිදී මානවයන් තිහකට ආසන්න සංඛ්‍යාවකගේ යැයි සැලකෙන අස්ථි කොටස් ද ක්ෂුද්‍ර ශිලා මෙවලම් රාශියක්ද සොයා ගෙන තිබේ. කාල නිර්ණයට අනුව ඒවා වසර 27,000- 34,000 පමණ එපිට කාලයට අයත් යැයි සැලකෙන අතර, තවත් කැණීම්වලින් පබළු ආභරණ, පාට සෑදීම සඳහා යොදා ගන්නා ලද ගුරුගල් මෙන්ම පැරැණි බැම්මක නටබුන් ද හමුවී ඇත.
අදින් වසර 25,000කට එපිට ජීවත් වූ මානවයන් පිළිබඳ සාක්ෂි මෙම ගල්ලෙන ආශ්‍රයෙන් හමුවන අතර, ගල්ලෙන් තුනක් අපට දක්නට හැකි ය . එයින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කැණීම්කර ඇති මැද පිහිටි ප්‍රධාන ගල්ලෙන පළලින් අඩි 60ක් ද උසින් අඩි 40ක් ද පමණ වේ.
එම ලෙන ආශ්‍රිතව සිදු කරන ලද කැණීම්වලදී අනාවරණය කරගන්නා ඓතිහාසික කරුණු රාශියකි. ඔවුන් ආයුධ වශයෙන් භාවිතකර ඇත්තේ සරල ලෙස තනා ගන්නා ලද ගල් මෙවලම් ය. ඊට අමතරව සත්ත්ව ඇටකටුවලින් තනාගන්නා ලද මෙවලම් ද භාවිතකර ඇති බවට පස් තට්ටු ආශ්‍රිතව සිදු කරන ලද පර්යෂණ මඟින් හෙළිවී ඇත. එම ආයුධ තැනීම සඳහා අලියා, වඳුරා, ගෝනා, මී හරකා වැනි සතුන්ගේ අස්ථි කොටස් හා දත් යොදාගෙන තිබේ.
මෙම ලෙනෙන් සොයාගෙන ඇති ගොළුබෙල්ලන් වසර දොළොස් දහස් පන්සීයත් දහ දහස් පන්සීයත් අතර කාලයට අයත් ආකාවුස් ගණයට අයත් ලෙස සැලකෙයි . ඒවායෙහි කටුව තියුණු ආයුධයකින් සිදුරු කර ඇත. ඒ මස් පිටතට ගැනීම සඳහා විය හැකි අතර, කිතුල්ගල අවට භූමියේ කිලෝමීටර් දෙසීයක් පමණ වපසරියක මෙම ගොළුබෙල්ලන් විශාල වශයෙන් ජීවත් වී ඇති බවට සාධක හමුවේ. ලෙන අවට වල් දෙල් ගස් බහුල ය. ඒ අනුව වල් දෙල් ඇට ආහාරයට ගෙන ඇති බව පස් තට්ටු පරීක්ෂාවේදී අනාවරණය වී ඇති අතර, කිතුල්ගල අවට බහුලව හමුවන වල් කෙසෙල් අවශේෂ ද කැකුණ ඇට ද කුරහන් ඇට ද ආහාර වශයෙන් ගෙන ඇති බව සැලකේ . ලුණු මුහුදු බෙල්ලන් හමුවීමෙන් මෙම මානවයා මුහුදු බඩ ප්‍රදේශ සමග සබඳතා පවත්වා ගනිමින් රට පුරා සංචාරය කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. පාට සාදා ගැනීම සඳහා යොදා ගන්නා ගුරුගල් හමුවීමෙන් ශරීර වර්ණ ගන්වන්නට ඒවා යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. පබළු මාල වැනි දේවල් හමුවීම මඟින් රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි ද යම් නැඹුරුවක් පවතින්නට ඇති බව පෙනෙයි.
මොවුන්ගේ අභිචාර විධි පිළිබඳ සිදු කරන ලද පර්යේෂණ මඟින් හමුවේ. මෙම ලෙනේ මිනිස් ඇටසැකිලි හමුවුව ද මිනී වළවල්වල සලකුණු දක්නට නොමැත . ඒ අනුව ඔවුන්, මියගිය සිරුරු ලෙන බිම යන්තමට හාරා ඒ මත ඉවතලන කසළ දැමීමෙන් වළලා ඇති බව පෙනේ. තවද අළු, අඟුරු, සත්ත්ව ඇටකටු සමඟ මිනී ඇටසැකිලි හමුවීමෙන් මිනීමස් ආහාරයට ගැනීමේ සිරිතක් හෝ මිනී කපා කොටා වළ දැමීමේ සිරිතක් පවතින්නට ඇතැයි ආචාර්ය ශිරාන් දැරණියගල මහතා “ශ්‍රී ලංකා ප්‍රාග් ඉතිහාසය” නම් ස්වකීය කෘතියේ සඳහන් කරයි.
මනස්කාන්ත ස්වාභාවික භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම ලෙන බෙලිලෙන දිය ඇල්ල හේතුවෙන් සංචාරක ආකර්ෂණය ද දිනාගත් ඓතිහාසික ස්ථානයක් ලෙස ද අපට හැඳීන්විය හැකි ය.
ලක්නා නිරෝෂිමාලා