Home » Blog » දස පාරමිතා හඳුනා ගනිමු

දස පාරමිතා හඳුනා ගනිමු

by lakehouse
0 comments

පාරමිතාවක් යනු පරිසමාප්ත කිරීමයි. බුද්ධ ධර්මයේදී පාරමිතා නම් වන්නේ යහපත් ගුණධර්ම සම්පූර්ණ කර ගැනීමයි. පාරමිතා පිරීම මඟින් තම කර්ම ප්‍රහීනකර නිර්වාණය අවබෝධ කර ගත හැකි ය. තවත් සරලව හැඳීන්වුවහොත් නිවන පතා කරන කුසලයන් පාරමිතා ලෙස හැඳන්විය හැකිය. පාරමිතා දහයක් බුදු දහමෙහි දැක්වේ.

දානං සීලඤ්ච නෙක්ඛම්මං – පඤ්ඤා විරියෙන පඤ්චමං

ඛන්ති සච්චමධිට්ඨානං – මෙත්තුපෙක්ඛාතිමා දස

යනුවෙන් දැක්වෙන පරිදි දාන පාරමිතාව, ශීල පාරමිතාව, නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව, ප්‍ර‍ඥා පාරමිතාව, වීර්‍යය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව ලෙසින් පාරමිතා දහයක් තිබේ.

සිදුහත් බෝසතුන් හෙවත් අප මහ බෝසතාණන් වහන්සේ සම්බුදු පදවිය පතා තම ආත්ම භවවලදී පිරූ මෙම පාරමී ධර්මවලට උදාහරණ කතා වස්තු පන්සිය පනස් ජාතක පොතෙහි එන විවිධ ජාතක කතාවල දැක්වේ.

දාන පාරමිතාව

දානය හෙවත් පරිත්‍යාගශීලිත්වය , මනසින් අත් හැරීම මෙම පාරමිතාවෙන් නිරූපණය වේ.

තමාට අයත් වස්තුව දන්දීම දාන පාරමිතාව ය. ලොව්තුරා බුදු බව සඳහා දාන පාරමිතාව පුරන්නවුන් බාහිර වස්තුව දන්දීම ම ප්‍ර‍මාණවත් නොවේ. එය ලබනු කැමැතියන් විසින් අඹුදරුවන් ද, ලේ මස් ආදී ශරීර අවයවයන් ද, ජීවිතය ද පරිත්‍යාග කළ යුතු ය. අප මහා බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව වර්ණනා කරන ගාථාවක තේරුම මෙසේ ය.

“උන් වහන්සේ සාගරයේ ජලයට ද වඩා ලේ දන් දුන් සේක. මහ පොළොව පරදවා මස් දන් දුන් සේක. ගොඩ ගැසුව හොත් මහ මෙරට ද අධික ව ඔටුනු සහිත හිස් දන් දුන් සේක. අහසේ තරුවලට වඩා ඇස් දන් දුන් සේක”

සිදුහත් බෝසතාණන්ගේ දාන පාරමිතාවට හොඳම උදාහරණය වෙස්සන්තර ජාතකයයි. වෙස්සන්තර රජු අලි ඇතුන් පමණක් නොව පසුව අඹු දරුවන් පවා දන් දුන්නේය.

බෝසතුන් එක් ආත්මයක සාවකුව ඉපිද සිටියදී සක් දෙවිඳු බමුණකු සේ වෙස් වළාගෙන පැමිණ කුසට අහරක් ඉල්ලූ විට සාවා තමන් ඔහුට ආහාරයක් වේවා යැයි අධිෂ්ඨානයෙන් තම සිරුර දන් දීමට සිතා සක් දෙවිඳුන් මැවූ ගිනි මැළයකට පැන්න විට සක් දෙවිඳු සාවා බේරා ගත් බවත් සස ජාතකයෙහි දැක් වේ.

සිවි ජාතකය, චුල්ල පදුම ජාතකය, ඛදිරංගාර ජාතකය තුළින් ද බෝසතාණන්ගේ දාන පාරමිතාව නිරූපණය වේ.

ශීල පාරමිතාව

පස් පව්වලින් වැළකී සිත කය වචනය සංවරව පවත්වා ගනිමින් ශීල පාරමිතාව පුරනු ලැබේ.

සීල විමංස ජාතකය, සංඛපාල ජාතකය, කුරු ධර්ම ජාතකය, ඡද්දන්ත ජාතකය ශීල පාරමිතාවට ප්‍රධාන උදාහරණ වේ.

සීල විමංස ජාතකය- අප බෝසතාණන් එක් ආත්ම භවයක බමුණු කුලයේ කුමරකුව ඉපිද දිසාපාමොක් ඇදුරු සෙවණෙහි ශිල්ප හදාරන විට සිල්වත්ම ශිෂ්‍යයාට තම සුරූපී දියණිය සරණ පාවා දෙන්නට දිසාපාමොක් ඇදුරුතුමා තීරණය කළේය. ඒ සඳහා තම දියණියට අලංකාර වස්ත්‍රාභරණ තම නෑදෑයකුට නොදැනෙන ලෙස ඔහුගෙන් සොරකම් කරගෙන එන ලෙස ඇදුරුතුමා සිසුන්ට පැවසුවේය. ඒ අතරින් වඩාත් අලංකාර වස්ත්‍රාභරණ ගෙන එන සිසුවාට තම දියණිය විවාහ කර දෙන බව ඔහු පැවසුවේය. අනෙක් සිසුහු කුමරිය විවාහ කරගැනීමේ ලෝභකමින් නෑයන්ට නොදැනෙන ලෙස ඔවුන්ගෙන් සොරකම් කර ඉතා අලංකාර වස්ත්‍රාභරණ රැගෙන ආහ. එහෙත් මෙම කුමරා කිසිවක් ගෙන නොආවේය. ඇදුරුතුමා කරුණු විමසූ විට තමන් සොරකම් කිරීමට අකැමැති බව කුමරා පැවසුවේය. එයින් කුමරාගේ සිල්වත්බව වටහාගත් ඇදුරුතුමා තම දියණිය ඔහුට සරණ පාවා දුන්නේය.

නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව

මෙය නෙක්ඛම්ම පාරමිතාව ලෙස ද හඳුන්වයි.

වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් බැහැර වීම නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව ය. කාමයන්ගේ ආදීනව බලා ගිහිගෙය හැර (අභිනිෂ්ක්‍රමණය), පැවිදි වීම වස්තු කාමයෙන් බැහැර

වීම ය. පැවිදි ව මහණ දම් පුරා ලෝභය දුරු කිරීම ක්ලේශ කාමයෙන් බැහැර වීම ය.

මඛාදේව ජාතකය , චුල්ලබෝධි ජාතකය, සෝමදන්ත ජාතකය

තම හිසෙහි පැසුණු නර කෙසක් දැක ගිහිගෙය කලකිරී ගිහිගෙයින් නික්මුණු මඛාදේව රජුගේ කතාව නෙක්ඛම්ම පාරමිතාවට හොඳම උදාහරණයකි.

ප්‍ර‍ඥා පාරමිතාව‍

ජීවිතය සහ ලෝකය පිළිබඳ යථා තත්ත්වය වටහා ගැනීම ප්‍රඥාව වේ.

සත්පුරුෂ සේවන, සද්ධර්ම ශ්‍ර‍වණාදිය ද ප්‍ර‍ඥාව ලැබීමේ හේතු ය. ප්‍ර‍ඥාව ඇති කර ගත යුතු අයුරු දක්වා තිබෙන ගාථාවක තේරුම මෙසේ ය.

“මහලු උගත් සියුම් නුවණැතියන් සේවනය කරව්. ධර්මය උගන්නා වූ ද නො දත් අර්ථය දන්නවුන්ගෙන් නැවත නැවත විචාරන්නා වූ ද කෙනෙක් වන්න. මෙසේ කරන මිනිස් තෙම නුවණැතියෙක් වන්නේ ය”

ප්‍රඥා පාරමිතාවට ප්‍රධාන උදාහරණයකි උම්මග්ග ජාතකය. මෙහි එන මහෞෂධ පඬිවරයාගේ ප්‍රඥාව ඉතා බලවත් ය.

වීර්‍යය පාරමිතාව

උතුම් බලාපොරොත්තුවක් ඉටු වනතුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම වීර්‍යය පාරමිතාව ය.

කරගෙන යන්නා වූ ක්‍රියා නැවැත්වීමට විවිධ හේතු සහ බාධක පැමිණියත් ඒ කිසිවකින් අධෛර්යය නොවී එම ක්‍රියාව නො නවත්වා ඉදිරියට කරගෙන යෑමෙන් වීර්‍ය පාරමිතාව පිරෙන්නේ ය.

වණ්ණුපථ ජාතකය සහ අපණ්ණක ජාතකය මෙම පාරමිතාවට හොඳම උදාහරණ වේ.

වණ්ණුපථ ජාතකයෙන් කියැවෙන්නේ අප මහ බෝසතාණන් එක් ආත්ම භවයක ගැල්කරුවකුව ඉපිද ගැල්කරුවන් සමඟ ගැල් දක්කාගෙන කතරක් මැදින් යනවිට ජලය නොමැති අවස්ථාවක ඊතණ පඳුරකට යටින් දිය පහරක් ගලා යන බව දැනගෙන දැඩි වීර්යයෙන් එම ස්ථානය සාරා ජලය සොයා ගැනීමයි.

ක්ෂාන්ති පාරමිතාව

ඛන්ති – ඉවසීම යනුවෙන් ද හඳුන්වයි.

අව් වැසි සුළං ආදියෙන් වන පීඩා ද, ආහාරපානාදි වුවමනා දේ නො ලැබීමෙන් වන පීඩා ද, මැසි මදුරු ආදි සතුන්ගෙන් වන පීඩා ද, සතුරන්ගෙන් වන පීඩා ද, ඉවසන ස්වභාවය ක්ෂාන්ති පාරමිතාව ය. පීඩා පැමිණි කල්හි ඒවා ඉවසීමට නො සමත් තැනැත්තේ පළිගැනීම පිණිස හෝ ආත්මාරක්ෂාව පිණිස හෝ අනුන්ට පීඩා කරයි. පීඩා නිසා කරගෙන යන්නා වූ ද, මතු කරන්නට බලාපොරොත්තු වන්නා වූ ද ආත්මාර්ථකාමී ක්‍රියා, පරාර්ථකාමී පුණ්‍ය ක්‍රියාවලට බාධා පමුණුවයි. එනම් යම් යම් සිදුවීම් නිසා ලැබෙන පීඩනය නිසා වෙනසකට පැමිණීම ය. එබඳු වෙනසකට නො පැමිණීම ඉවසීම ය. එසේ ඉවසීමෙන් ක්ෂාන්ති පාරමිතාව පිරෙන්නේ ය.

යමෙක් තමා බලවත් ව සිට දුබලයාගේ වරද ඉවසත් නම් එය උතුම් ඉවසීම ය. දුබලයා නිතර ම ඉවසන්නේ ය යනු එහි අදහසයි.

ක්ෂාන්තිවාදී ජාතකය ක්ෂාන්ති පාරමිතාවට ප්‍රධාන උදාහරණයකි.

අප මහ බෝසතාණන් වහන්සේ එක් ආත්ම භවයක තවුසකුව ඉපිද බවුන් වඩමින් සිටියදී එකල රජ කළ කලාබු නම් වූ රජ කෙනකු විසින් එම තවුසාට දැඩි ලෙස ශාරීරික හිංසා පීඩා කළ ද දැඩි ලෙස ඉවසීමෙන් එම තවුසා කටයුතු කළ ආකාරය මෙම ජාතක කතාවෙහි දැක්වේ.

සත්‍ය පාරමිතාව

සච්ච පාරමිතාව ලෙස ද හඳුන්වයි.

බොරු පොරොන්දු වීම්, නැති ගුණ පැවසීම්, වරද සැඟවීම් ආදිය සඳහා බොරු කීමෙන් වැළකීම සත්‍ය පාරමිතාව ය. සත්‍යය ශීලයටම ඇතුළත් වුවත් සත්‍ය යනු බෝසතුන්ගේ විශේෂ ගුණයක් වන බැවින් එය වෙන් වූ පාරමිතාවක් ලෙස ගනු ලැබේ. මහාබෝධි සත්ත්වයෝ සත්‍යය සැම කල්හි ම රක්ෂා කරති.

වට්ටක ජාතකය සත්‍ය පාරමිතාවට ප්‍රධාන උදාහරණයකි.

අප මහ බෝසතාණන් එක් ආත්ම භවයක වටු කුරුලු පැටවකුව ඉපදුණේය. එක් දිනක් මේ වටු කුරුලු පවුල විසූ කැලෑවේ විශාල ලැව් ගින්නක් ඇති විය. නොමේරූ වටු කුරුලු පැටවා රැගෙන ඉගිලෙන්න නොහැකි වූ නිසා වටු කුරුලු මව සහ පියා ඉතා දුකෙන් එතැනින් ඉවත්ව ඈතකට ඉගිල ගොස් දිවි ගලවා ගත්හ. වටු කුරුලු පැටියා සිටි කූඩුව අසලටම ලැව් ගින්න පැතිරිණි. වටු කුරුලු පැටවාව සිටි බෝසතුන් සත්‍ය ක්‍රියාවේ බලයෙන් ගින්න නිවේවා යැයි පැතුවේය. එවිට එම ගින්න නිවී ගියේය.

අධිෂ්ඨාන පාරමිතාව

අධිට්ඨාන පාරමිතාව ලෙස ද හඳුන්වයි.

කළ යුතු දෙයක් කරමි කියා ද, නො කළ යුතු දෙයක් නො කරමි කියා ද, මතු වෙනස් නො කරන ලෙස සිතා ගැනීම අධිෂ්ඨාන පාරමිතාව ය. අධිෂ්ඨාන පාරමිතාව පුරන තැනැත්තා කරන්නට සිතා ගත් දෙය හැර දමා අනිකක් පටන් නො ගත යුතු ය. නො කරමියි කියා හළ දෙය ද නැවත කිනම් කරුණක් නිසාවත් නො කළ යුතු ය.

තේමිය ජාතකය මෙම පාරමිතාවට ප්‍රධාන උදාහරණයකි. තමන්ට කෙතරම් පීඩා හිංසා ඇති වුවත් තමන්ගේ අධිෂ්ඨානය අත් නොහළ තේමිය රජ කුමරාගේ කතාව මෙහි ඇතුළත් වේ.

මෛත්‍රී පාරමිතාව

මෙත්තා පාරමිතාව යනුවෙන් ද හඳුන්වයි.

අන්‍යයන්ගේ යහපතට සැපයට කැමැති බව අන්‍යයන්ට වෛර නොකිරීම මෛත්‍රී පාරමිතාව ය. මෙත් වැඩීමෙන් හා අන්‍යයන්ට හිතකර වූ ක්‍රියා කිරීමෙන් ද මෛත්‍රී පාරමිතාව පිරේ. මෛත්‍රී පාරමිතාවට ප්‍රධාන උදාහරණ වන්නේ මහා කපි , මග මානවක යන ජාතක කතා ය. මහා කපි ජාතකයේ කතා සාරාංශය මෙසේ ය. අප මහා බෝසතාණන් එක් ආත්ම භවයක (කපි යනු වඳුරා ය.) වඳුරකුව ඉපදුණේය. එක් දිනක් මෙම කැලයෙහි ගමන් කළ එක් අසත් පුරුෂ මිනිසෙක් ගසකට නැඟ දිවුල් කැඩීමට යෑමේදී ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටුණේය. ගසින් ගසට පැන යමින් සිටි මෙම වඳුරා එම මිනිසා දැක ප්‍රපාතයෙන් ගොඩ ඒමට ඔහුට උපකාර කළේය. ඉන්පසු එම මිනිසා වඳුරාගේ මස් කෑමට ගිජු බවක් ඇති වී ගලකින් ගසා වඳුරා මරා දැමීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ගල් පහර වැදී තුවාල ලැබූ වඳුරා එම මිනිසාට වෛර නොකරමින් ඉවසීමෙන් සහ මෛත්‍රියෙන් ඔහුට කැලෑවෙන් එළියට යෑමට ද මඟ පෙන්වීය.

උපේක්ෂා පාරමිතාව

උපේක්ඛා පාරමිතාව යනුවෙන් ද හඳුන්වයි.

නොමනා වස්තූන්ට හා පුද්ගලයන්ට විරුද්ධ නොවීම් වශයෙන් ද ඇලුම් කළ යුතු වස්තූන්ට හා පුද්ගලයන්ට ඇලුම් නොකිරීම් වශයෙන් ද පවත්වන මධ්‍යස්ථභාවය උපේක්‍ෂා පාරමිතාව ය. සියලු දෙය දෙස මැදහත් සිතින් බැලීම උපේක්ෂා පාරමිතාවයි.

ලෝමහංස ජාතකය මෙම පාරමිතාවට ප්‍රධාන උදාහරණයකි.

අප මහා බෝසතාණන් එක් ආත්ම භවයක බොහෝ සැප සම්පත් ඇති පොහොසත් පවුලක ඉපදුණේ ය. ඔහුගේ නම ලෝමහංස කුමාරයා විය. තරුණ වියට පත් වූ පසු ලෝමහංස කුමාරයාට පැවිදි වීමට අවශ්‍ය විය. මේ කුමාරයා ගම්මානයකට ගොස් බවුන් වඩමින් කාලය ගත කළේ ය. එවිට එම ගමේ ළමයි ඔහුට හිංසා කළහ. ඒත් ඒවායින් ඔහු කම්පා වූයේ නැත. ඔහු තවත් ගම්මානයකට ගොස් එහි දී බවුන් වඩද්දිත් එහි සිටි නපුරු නොහික්මුණු ළමයි ඔහුට කෝටු කැබලි පවා ගසමින් හිංසා පීඩා කළහ. ඒත් මේ කිසිවකින් ලෝමංහංස කුමරා කම්පා වූයේ නැත. මේ ලෙසින් දුක සැප නින්දා ප්‍රශංසා හමු වේ සතුටුත් නොවී දුක් නොවී මධ්‍යස්ථව සිටීමෙන් බෝසතාණන් උපේක්ෂා පාරමිතාව පිරූහ.

ආශ්‍රිත ග්‍රන්ථ

බෞද්ධයාගේ අත්පොත

මහාචාර්ය පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

සාමණේර ආයතන සඳහා සාමණේර අත්පොත

සහ වෙනත් විවිධ අන්තර්ජාල මූලාශ්‍ර

සැකසුම – හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department