චමත්කාර චරිත
අද පුංචි පුස්තකාලයෙන් හඳුන්වා දෙන්නේ ලේඛක චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසින් රචනා කරන ලද චමත්කාර චරිත නමැති ග්‍රන්ථයයි. ලේඛකයන්, ඉතිහාසඥයන් , සංගීතඥයන්, දේශපාලනඥයන් ඇතුළු විවිධ ක්ෂේත්රවල විද්වතුන් 35 දෙනකුගේ ජීවන තොරතුරු ඇසුරෙනුයි මෙය රචනා කර තිබෙන්නේ. එහි මහගම සේකර කවියා පිළිබඳ සඳහන් වන පරිච්ඡේදයෙන් උපුටාගත් කොටසක් පහත දැක් වේ.
මහගම සේකරගේ නිර්මාණ භාවිතාවේ අංශ රාශියකි. පද්‍ය, ගීත, නවකතා, කෙටිකතා, චිත්‍ර, සිනමා නිර්මාණ, නාට්‍ය ඒ අතර ප්‍රධාන වේ. ඔහුගේ ප්‍රකාශන මාධ්‍යයෙහි ප්‍රබලම ඉසව්ව ගීත රචනයයි.
සේකර රාජගිරියේ සේවය කළ කාලයේ බොරැල්ල බෞද්ධ සංගම් සමිති ශාලාවේ නිතර ගැවසිණි. එහිදී බොහෝ සැන්දෑ සමයන් ගෙවී ගියේ වල්පල් කතා කිරීමට නොවේ. ශාස්ත්‍රීය යමක් පිළිබඳව දැහැන්ගත වීමට ය. දිනක් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ කතාවකට සවන් දුන් සේකරට ගීතයක් ලියමි යන අහිංසක කල්පනාව පහළ වූ බව ඔහුම තැනක සඳහන්කර තිබිණි.
එසේ ගීත රචනයට ලොල් වූ මහගම සේකර එකී විෂයයෙහි කූටප්රාප්ත විය. ගුවන්විදුලියට පැමිණි සේකර අමරදේව සමඟ එක්ව නිෂ්පාදනය කළ මධුවන්ති ගීත මුළු රටම ශ්‍රවණය කරමින් සිටින්නාහ.
අදත් අප දැහැන්ගත කරවන සන්නාලියනේ, අවුකන පිළිමය, පාළු අඳුරු නිල් අහස ආදී සේකරගේ ගීත නිර්මාණ අද්‍යතන සිංහල ගීත සාහිත්‍යයේ පරිච්ඡේද කිහිපයක් පුරා සනිටුහන් වී ඇත.