රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව
තරුෂි අයේෂා නිශ්ශංක
නායකයා සිය කණ්ඩායමට ආදර්ශවත් විය යුතුයි. එසේ නොමැති නම් කණ්ඩායමට සිය ඉලක්කය වෙත යෑමට අපහසු වේ. කණ්ඩායම එකතුවී ඉටු කිරීමට ඇති දර්ශනය සහ ඉලක්කය හඳුනාගත් විට නායකයා ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ යුතුයි. එමෙන්ම සිය කණ්ඩායමට ඇහුම්කන් දිය යුතුයි. වර්තමානයේ බොහෝ නායකයන් තමන්ගේ ඉලක්කය හඳුනාගෙන නොමැතිවීම ගැටලුවකි. ඒ නිසා පාසලේදී සිටම නායකත්වය දරන ශිෂ්‍ය නායක දරුවන් තමන්ගේ දර්ශනය සහ යුතුකම හඳුනාගෙන කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා පාසල්වල නායකත්වය වැඩමුළු පැවැත්වීමෙන් දරුවන් හුරු කරවයි. එමඟින් නායකයන්ට ඇති අභියෝග පිළිබඳ වැටහීමක් ලබා දෙයි. එපමණක් නොව නායකයන්ට ප්‍රයෝගිකව කටයුතු කළ යුතු ආකාරය හුරු කරවයි. මේ නිසාම ශිෂ්‍ය නායක නායිකාවෝ තමන්ගේ අත්දැකීම් ප්‍රයෝගිකව වර්ධනය කරගනිති. මේ ආකාරයට අත්දැකීම් ලබාගත් සිය කණ්ඩායමට ආදර්ශයක් වූ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් පිළිබඳ ඔබට කියන්නයි මේ සූදානම. ඇය රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව තරුෂි අයේෂා නිශ්ශංකයි. අපි දැන් ඇය නායකත්වය ගැන කියන ඇගේ කතාව අසමු.
මම රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට ඇතුළු වූයේ 6 ශ්රේණියේදීයි. ඒ කියන්නේ මම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් සමත්වී සුමන බාලිකා විද්‍යාලයට පැමිණියා. ඊට පෙර මම අධ්‍යාපනය ලැබුවේ රත්නපුර පාතගම මහා විද්‍යාලෙයි. ඒ විද්යාලයෙදිත් මම ගොඩක් බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වුණා. ඒ සෑම දෙයකින්ම මට අත්දැකීම් ලැබුණා. 3, 4, ශ්‍රේණියේදී මට ශිෂ්‍ය නායිකාවක් ලෙස සේවය කරන්න අවස්ථාවක් ලැබුණා. එහිදී මට කුඩා කණ්ඩායමක් පාලනය කරන්න අවස්ථාවක් ලැබුණා. එහිදී මට විශාල අත්දැකීම් ප්‍රමාණයක් අත් කරගන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ සුමන බාලිකා විද්‍යාලයට පැමිණි විටදිත් ඒ අත්දැකීම් මට වැදගත් වුණා. අපි හිතන්නේ අපට අභියෝගයක් පැමිණිවිට එය කරදරයක් කියලා නේද? මටත් එහෙම හිතුණා. ඒත් ඒ අවස්ථාවේ නොබියව මුහුණ දුන් විට, මට ඒ අභියෝගය ජය ගැනීමට හැකියාව ලැබුණා. මට එවැනි අත්දැකීම් ලැබීම ලොකු ජයග්‍රහණයක් කියලයි මම හිතන්නේ. ඒ වගේම කුඩා කාලයේ සිටම නායකත්වයක් දරන්න, අනෙක් අය වෙනුවෙන් වැඩ කරන්න මට ලොකු අශාවක් තිබුණා.”
” 7, 8,9 ශ්‍රේණිවලදී මට දහම් පාසලේ ශිෂ්‍ය නායිකාවක් වෙන්න අවස්ථාවක් ලැබුණා. ඊට පස්සේ දහම් පාසල් අවසානයේදී දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මට ලොකු සතුටක්. ඒක මට ලොකු අත්දැකීමක් වුණා. එමඟින් නායිකාවක් ලෙස කටයුතු කරන්නේ කොහොමද කියන එක අවබෝධ වුණා. මේ අතරතුර 12 ශ්‍රේණියේදී කනිෂ්ඨ ශිෂ්‍ය නායිකා කණ්ඩායමට ඇතුළුවීමට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකා කණ්ඩායමට ඇතුළු වුණා. මේ අතරතුර ප්‍රධාන ශිෂ්‍ය නායිකාව තෝරා ගන්න අයදුම්පත් යොමු කරන්න කියලා ආචාර්ය මණ්ඩලය දැනුම් දුන්නා. ඊට පස්සේ මමත් ඒකට ඉල්ලුම් කළා. එයින් පසු මම සුමන බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තේරී පත් වුණා. ඒක මට ලොකු සතුටක්. මගේ අම්මා තාත්තා මෙන්ම මාව උනන්දු කළ ගුරුවරුන් ද හිටියා. ඒ අයගෙන් ලැබුණේ ලොකු සහයෝගයක්. මට මගේ පාසල වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න අවස්ථාවක් ලැබුණා කියලා මට හිතුණා. ඇත්තටම ඒක මට ලොකු සතුටක්. මට ලැබුණු නායකත්වය මම ඉතා ආදරණීයව භාර ගත්තා. ඒ සඳහා අම්මා තාත්තාගේ මඟ පෙන්වීම බෙහෙවින්ම ඉවහල් වුණා. ”
” මේ වන විට මම ඉගෙනුම ලබන්නේ 13 ශ්රේණියෙයි. උසස් පෙළ අධ්‍යාපන කටයුතු හදාරද්දී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වැනි තනතුරක් දැරීම විශාල වගකීමක්. පන්තියේ පාඩම් පවා අතපසු වූ අවස්ථා තිබුණා. එම අවස්ථාවලදී ගුරුවරු නැවත වරක් එම පාඩම් ඉතා ඕනෑකමෙන් කියලා දුන්නා. ඒවගේම මගේ පන්තියේ යාළුවොත් මට ගොඩක් උදවු කරනවා. මම උසස් පෙළට හදාරන්නේ තාක්ෂණවේදයෙනුයි. එයට විෂයන් තුනක් ඇතුළත් වෙනවා. විද්‍යාව සඳහා තාක්ෂණවේදය, ජෛව විද්‍යාව සඳහා තාක්ෂණවේදය, කෘෂිකර්මය යන විෂයන් මම හදාරනවා. මගේ බලාපොරොත්තුව වන්නේ ජෛව විද්‍යා පද්ධති පිළිබඳ ඉංජිනේරුවරියක් වීමයි. වර්තමානයේ දරන ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර අනාගතයේදී එවැනි වෘත්තියක නිරතවීමට මට පිටිවහලක් වෙනවා කියලා තමයි මම හිතන්නෙ. නායකත්වයක් දැරීමෙන් සෑම දෙයක්ම කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබෙනවා. ඒක මගේ අනාගතයට පහසුවක් කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා මම මගේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරේ වැඩ කොටස අධිෂ්ඨානයෙන් යුතුව කරනවා. සෑම විටම පාසල වෙනුවෙන් අලුත් ව්‍යාපෘතියක් කරන්න මම උත්සාහ කරනවා. අලුත් දේවල්වලින් ශිෂ්‍ය ප්‍රජාවගේ නිර්මාණශීලිත්වය අවදි වෙනවා. මේ ලැබෙන සෑම අත්දැකීමක්ම මගේ අනාගතයට ප්‍රයෝජනවත් වේවි කියලා තමයි මම හිතන්නේ.”
ඔබේ සියලු අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල