Home » Blog » බස යෙදෙන අයුරු

බස යෙදෙන අයුරු

by lakehouse
0 comment

පිරුළක් සැදුණු හැටි

තැනට හෙවත් අවස්ථාවට ගැළපෙන ආකාරයට විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් යොදාගැනීම සිංහල භාෂාවේ බහුලව සිදුකරනු ලැබේ. මෙය ප්‍රස්තාව පිරුළු ලෙස හඳුන්වයි. මෙම පිරුළු ඇතැම්විට උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු බොහොමයක් බිහිවීමට පසුබිම් වූ ජන කතන්දර ද තිබේ. අද අපි ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ යන ප්‍රස්තාව පිරුළට පසුබිම් වූ ජන කතන්දරය හඳුනා ගනිමු.


පුංචි කතාවයි උපමා දැනුමයි උපමා යනු

යම් දෙයක් තවත් යමකට සමාන කරමින් දැක්වීම උපමා කිරීම වශයෙන් හඳුන්වන බව අපි පසුගිය සතියකදී කතා කළා පුංචි ඔයාලාට මතක ඇති. උපමාව යෙදෙන්නේ, වගේ, වැනි, මෙන්, සේ, පරිද්දෙන්, බඳු, ලෙසින් යන පදයක් සමඟ බවත් ඔයාලා දන්නවා. අදත් අපි මේ කතන්දරය ඇසුරෙන් උපමා කිහිපයක් හඳුනා ගනිමු.

එදා සඳුදා දිනයක්. මලිත් පාසල් යන්න අවදි වුණාම තමයි මතක් වුණේ සිකුරාදා පාසලේදී ගුරුතුමිය දුන් ගෙදර වැඩ ටික කළේ නෑ නේද කියලා. ඉතින් මලිත්ට ගණිතය ගුරුතුමිය මතක් වෙලා හොඳටම බය හිතුණා. මලිත් මුළුතැන්ගෙය දෙසට ගියා. ගෙදර ඉන්න බළල් පැටියා ඉත්තෑවෙක් වගේ ගුළි වෙලා නිදි.

“මොකද පුතා මූණ අඳුරු කරගෙන? හරියට වහින්න හදන ආකාසෙ වගේ?” මලිත්ව දුටු අම්මා ඇසුවා.

“මට ගෙදර වැඩ කරන්න අමතක වුණානේ. ගණං වගයක් හදාගෙන එන්න කියලා ටීචර් කිව්වනේ” මලිත් කිව්වා.

“ඕක තමයි ඕනෑවට වඩා සෙල්ලමට හිත ගියාම වෙන දේ. දැන් ඉතින් ගණං හද හදා ඉන්න වෙලාවක් නැහැනේ” අම්මා කිව්වා.

“මං මොකද කරන්නේ?” මලිත් ඇහුවා.

“ටීචර්ට ඇත්තම කියලා සමාව ඉල්ලා ගන්න. දැන් ඉස්කෝලේ යන්න” අම්මා කිව්වා.

මලිත් බයෙන් බයෙන් ඉස්කෝලේ ගියා. මුලින්ම තිබුණෙත් ගණිතය පාඩමයි. ගණිතය ගුරුතුමිය පන්තියට එනකොට මලිත්ගේ මූණ සුදු කඩදාසියක් වගේ සුදුමැළි වුණා.

මලිත් ගුරුතුමීගෙන් මූණ හංගා ගන්න උත්සාහ කළත් බැරි වුණා.

“මොකද මලිත් හොල්මනක් දැක්කා වගේ බය වෙලා?” ගුරුතුමිය ඇසුවා.

“ටී …….ටීචර් මට ගණන් හදාගෙන එන්න අමතක වුණා” මලිත් වෙව්ලමින් පිළිතුරු දුන්නා.

“ආ ඒ මොකද?” ගුරුතුමී ඇසුවා.

“මට ඒක අමතක වුණා. වෙනදාට නම් මං ගෙදර වැඩ අමතක කරන්නේ නෑ” මලිත් කිව්වා.

“ඔව් මං දන්නවා. මලිත් මීට කලින් කවදාවත් එහෙම කරලා නැහැ. හොඳයි මං අදට විතරක් සමාව දෙනවා. හැබැයි මීට පස්සෙ කවදාවත් ගෙදරවැඩ අමතක කරන්න එපා” ගුරුතුමී කිව්වා.

ඒක අහලා මලිත්ගේ මූණට එළියක් වැටුණා හරියට ඉර පෑයුවා වගේ.

අද කතන්දරයෙන් හමු වූ උපමා

ඉත්තෑවෙක් වගේ ගුළි වෙලා
වහින්න හදන ආකාසෙ වගේ
සුදු කඩදාසියක් වගේ සුදුමැළි වුණා
හොල්මනක් දැක්ක වගේ බය වෙලා
ඉර පෑයුවා වගේ


කවිය කියවා විශේෂණ පද ඉගෙන ගනිමු

විශේෂණ පද

යම්කිසි පුද්ගලයකුගේ , සත්ත්වයකුගේ හෝ යම්කිසි වස්තුවක කිසියම් විශේෂ ගුණයක් ප්‍රකාශ කිරීමට භාවිත කරන පද විශේෂණ පද නම් වේ. විශේෂණ පද දෙවර්ගයක් තිබේ.

නාම විශේෂණ – නාම පදයක කිසියම් විශේෂ ගුණයක් ප්‍රකාශ කිරීමට යොදන පද නාම විශේෂණ පද නම් වේ.

ක්‍රියා විශේෂණ – ක්‍රියා පදයක කිසියම් විශේෂ ගුණයක් ප්‍රකාශ කිරීමට යොදන පද ක්‍රියා
විශේෂණ පද නම් වේ

සුළං කුමාරී

විසල් අහස පුරා ඇය නිතර සැරිසරයි
නංගිගෙ කෙහෙරැළි ඇදලා විහිළුවක් කරයි
රෝස මලට පිනි දමලා සතුටින් හිනැහෙයි
සුළං කුමාරි ඇය හරිම හරි දඟයි

තුරු පත් බිම අතුරාලා වේගෙන් දිව යයි
නැන්දගෙ පොඩි කුඩය අරන් ඈතට පාවෙයි
ගංගාවේ දියරැළි ඈ හැඩටම නටවයි
මල්ලිගෙ තොප්පිය අරගෙන හණිකට සැඟවෙයි

දිග ගවුමක් ඇඳලයි ඈ ඇවිදන් යන්නේ
ඉමිහිරි ගීයක්දෝ ඈ සෙමින් ගයන්නේ‍
උස් කඳු අතරින් රිංගා කොහොමද යන්නේ
සුළං කුමාරී ඇය කොහේද ඉන්නේ

මෙහි හමුවන විශේෂණ පද කිහිපයක්

නාම විශේෂණ – විසල් අහස, පොඩි කුඩය, දිග ගවුමක්,
ඉමිහිරි ගීයක්, උස් කඳු

ක්‍රියා විශේෂණ – සතුටින් හිනැහෙයි, වේගෙන් දිවයයි ,
සෙමින් ගයන්නේ, හණිකට සැඟවෙයි


ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ

එකමත් එක කාලයකදි හිටියලු ආඬි හත් දෙනෙක්. ආඬි කියන්නේ දුරාතීතයේදී ඉන්දියාවේ සොළී දේශයෙන් අප රටට පැමිණි මිනිසුන් කොට්ඨාසයක්. මේ ආඬි හත්දෙනා දවස පුරා තැන් තැන්වල ඇවිදලා විවිධ දේවල් කරලා කීයක් හරි හොයාගන්නවා. රෑ වුණාම එක අම්බලමකට ඇවිත් නවාතැන් ගන්නවා. මේ විදියට එක දවසක් රෑ වෙලා පුරුදු අම්බලමෙදි හත්දෙනා මුණ ගැසුණා. එදා රෑ කෑම හදන්න සූදානම් වෙනකොට හැමෝම කැමැති වුණාලු එදා රෑට කැඳ බොන්න. ඉතිං ඔවුන් ගල් ගෙඩි කිහිපයකින් ළිපක් හදලා ඒ මත වතුර හැළියක් තියලා කැඳ හදන්න සූදානම් වුණා. “දැන් හැමෝම තම තමන්ගේ හාල්වලින් මිට බැගින් මේ හැළියට දාලා කැඳ හදන එකට සහාය වෙමු “ කියලා ඔවුන් තීරණය කළා. ඉතින් ඔන්න හත් දෙනාම තමන්ගේ හාල් මලුත් අරගෙන එක්කෙනා පිටුපස දුම් දමන වතුර හැළිය අසලට ගමන් කරන්න පටන් ගත්තා. පෝලිමේ මුලින්ම ගමන් කළ කෙනා හැළිය ළඟදි තමන්ගේ හාල් මල්ල ඇතුළට අත දාලා හාල් නොගෙන බොරුවට අත මිට මොළවලා ඒක හැළියට ළං කරලා “ඔන්න මගේ හාල් මිට මං දැම්මා“ කියලා අනෙක් හයදෙනාට ඇහෙන්න බොරුවක් කිව්වා. අනෙක් හය දෙනා හිතුවෙ පළමුවැනියා ඇත්තටම හැළියට හාල් දැම්මා කියලයි. දෙවැනියාත් තමන්ගෙ හාල් මල්ල අරං ළිප ළඟට ගිහින් බොරුවට මල්ල ඇතුළට අත දාලා “ඔන්න මගෙ හාල් මිටත් මං දැම්මා“ කියලා බොරු රඟපෑමක් කළා. එයා හිතුවෙ තමන් බොරුවක් කළාට අනෙක් අය ඇත්තටම හාල් දමයි කියලයි. ඒත් තුන්වැනියාත් කළේ ඒ බොරුවමයි. එයාත් කළේ අනෙක් අයව රවට්ටන්න බොරුවට හැළිය ළඟදි අත මිට මොළවන එක විතරයි. හාල් දැම්මෙ නම් නෑ. ඔය විදිහට හත් දෙනාම හාල් මිට මිට දානවා වගේ බොරු රඟපෑමක් කළා. ටික වෙලාවක් ගත වුණා. කැඳ හැළිය දුම් දමමින් රත් වුණා. “දැන් නම් හොඳටම බඩගිනියි. කැඳ බොමු ” කියලා හැමෝම තම තමන්ගෙ ‍භාජනත් රැගෙන කැඳ හැළිය අසලට ගියා. පළමුවැනියා හැළිය හොඳට කලතලා එයින් හැන්දක් බෙදා ගත්තා. ඒත් ඒකෙ තිබුණේ උණු වතුර විතරයි. බත් ඇටයක්වත් තිබුණේ නෑ. ඊළඟ කෙනා කැඳ හැළියට හැන්දා දාලා තවත් හොඳට කලවම් කරලා හැන්දක් බෙදා ගත්තා. ඒත් ඒකෙ තිබුණෙත් උණු වතුර විතරයි. මේ විදියට ඉතුරු අයටත් කැඳ වෙනුවට හැළියෙන් ලැබුණේ උණු වතුර විතරයි. ඊට පස්සේ හැමෝම මූණට මූණ බලා ගත්තා. හත් දෙනාම කරලා තියෙන්නෙ බොරු කියලා හැමෝටම වැටහුණා. තමන්ගෙ හාල් ඉතුරු කරගන්න හිතාගෙන බොරු කරලා අන්තිමේදි හත් දෙනාම එකිනෙකාට රැවටුණු එක විතරයි වුණේ. හත්දෙනාටම එදා රෑ බඩගින්නෙ නිදා ගන්න සිදු වුණා. ඉතින් පිරිසක් එකතු වෙලා සමගියෙන් එකා වාගේ වැඩක් කරන්න ලෑස්ති වෙලා ඒ වුණාට එකිනෙකාට අවංක නොවී තමන්ගෙ වගකීම ඉටු කරන්නෙ නැතුව එකිනෙකාට බොරු කළොත් අන්තිමට සිදු වෙන්නෙ සියලුදෙනාම එකිනෙකාට රැවටෙන එකයි. ඒ වාගේ සිදුවීමකදි “ඒක හරියට ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය වගේ “ කියලා කියන්න මිනිසුන් පුරුදු වී සිටිනවා.

හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department