නිසොල්මන්ව වැවක් ළඟ ගසක් උඩට වී සිටින පිළිහුඩුවකු ඔබේ ඇස ගැටෙන වාර අනන්තවත් ඇති නේද? බොහෝ වේලාවක් නිශ්ශබ්දව සිටින පිළිහුඩුවා එකවිටම කලබල වන්නේ තමන්ගේ ගොදුරු දුටු විට ය. එලෙස කලබල වන පිළිහුඩුවා එක විටම තමන්ගේ ගොදුරු ග්‍රහණය කරගනියි. මේ ආකාරයේ දිවි පැවැත්මක් ගෙවන පිළිහුඩු පරපුරේ වත ගොත පිළිබඳ කියන්නයි මේ සූදානම. ඉතින් දුවේ පුතේ, කියවලා බලන්නකෝ මේ පිළිහුඩු පරපුරේ කතාව. අද අප හඳුනා ගන්නේ ශ්‍රී ලංකාවේ පිළිහුඩු පරපුර පිළිබඳයි.
රන් පිළිහුඩුවා
(Three Toed Kingfisher)
ශ්‍රී ලංකාවේ දැකිය හැකි ඉතා කුඩාම පිළිහුඩු විශේෂයකි. මේ කුරුල්ලා අලංකාර ය. පහතරට මෙන්ම කඳුකර ප්‍රදේශවල සහ වනගතව ද දිය පහරවල් ආශ්‍රිතව ද මොවුහු ගැවසෙති. මොවුන්ගේ හොටය දිලිසෙන රතු පැහැයක් ගනියි. හිස, ගෙල, නිතඹ හා පෙඳයේ තැඹිලි පැහැය මිශ්‍ර ය. සවන් පත් දෙපස තද නිල් හා සුදු පැහැ පැල්ලම් පිහිටා ඇත. අනෙකුත් පියාපත් ද දිලිසෙන දම් පැහැයෙන් වර්ණවත් වී ඇත.
නිල් කන් පිළිහුඩුවා
(Blue Eared Kingfisher)
නිල් කන් පිළිහුඩුවා ශ්‍රී ලංකාවේ කලාතුරකින් දැකිය හැකි ය. මොවුන්ගේ පිල් කළඹ හා සවන් පත් දෙපස තද නීල වර්ණයෙන් යුතු ය. එහෙත් මෙම වර්ගයේ පිළිහුඩු පැටවුන්ගේ සවන් පත් දෙපස තැඹිලි පැහැය දක්නට ලැබේ. පරිණත වීමේදී එම වර්ණය නීල පැහැයට හැරෙයි. මොවුන් ඉන්දියාවේ සිට ගිනිකොන ආසියාවේ ද ජාවා දූපත්වල ද දක්නට ලැබේ.
මල් පිළිහුඩුවා
(Common Kingfisher)
මොවුන්ගේ පිල් කළඹේ උඩු පියාපත් දිලිසෙන නිල් පැහැයක් ගන්නා අතර, යටි කය (බඩවත) තැඹිලි පැහැයක් ගනී. කන් සිදුරු (සවන් පත්) වටා ද මෙම තැඹිලි පැහැය පැතිර පවතී. මල් පිළිහුඩු පිරිමි කුරුල්ලාගේ හොටය කළු පැහැ වන අතර, කිරිල්ලියන්ගේ හොටයේ කොටසක් තැඹිලි පැහැයක් ගනියි. මේ අනුව මල් පිළිහුඩුවාගේ ලිංග භේදය පහසුවෙන් හඳුනාගත හැකිවේ.
ළය සුදු පිළිහුඩුවා
(White Breasted Kingfisher)
ළය සුදු පිළිහුඩුවා ශ්‍රී ලංකාවේ බහුලවම වාසය කරන පිළිහුඩු විශේෂයකි. ගෙල දෙපසින් ඇරැඹී ළය පහළට යනතෙක්ම පැහැදිලිව පැතිරුණු සුදු පැහැයක් ගනියි. මේ නිසා මෙම පිළිහුඩුවා ඉතා පහසුවෙන් හඳුනාගත හැකි ය.
මූකලන් පිළිහුඩුවා
(Forest Kingfisher)
මූකලන් පිළිහුඩුවා ද මත්ස්‍යයන් ද, කකුළුවන් හා ගෙම්බන් ආහාරයට ගනියි. ජලාශ්‍රිතව ගැවසීම තරමක් අඩු ය. මොවුහු කැලෑබද හා වනගත ප්‍රදේශවල ජීවත්වීමට දැඩි කැමැත්තක් දක්වති. මොවුන්ගේ හොටය පළල ය. එමෙන්ම පැතලි ස්වභාවයක් ගනියි. මොවුන්ගේ උඩ හනුවේ කෙළවර කොක්කක් මෙන් පහතට නැමී පිහිටන බව කුරුලු විශේෂඥයෝ පවසති. වනගත ඇළ ඉවුරක හෝ ගං ඉවුරක උඩු අතට ඇලවන සේ හාරාගත් උමඟක මූකලන් පිළිහුඩුවෝ බිත්තර දමති. මේ උමඟ මීටරයක් පමණ දිගු ය. උමඟ කෙළවර නිර්මාණය කර ගන්නා ලද විශේෂ ගෝලාකාර කුටීරයකි. එහි ඇතුළත පිළිහුඩු කිරිල්ලිය බිත්තර දමයි. බිත්තරවල ආරක්ෂාව වෙනුවෙන් පිළිහුඩුවෝ සැලකිලිමත් වෙති. පිළිහුඩු බිත්තර කටුව තුනී ය. සුදු පැහැති ය. ගෝලාකාර ය.
ගෝමර පිළිහුඩුවා
(Lesser pied kingfisher)
පහතරට වියළි කලාපයේ වැව්, ගං මෝය හා කලපු ආශ්‍රිතව වැඩි වශයෙන් ගැවසෙන ගෝමර පිළිහුඩුවා ජලාශ්‍රිත ප්‍රදේශවලට ඉහළින් පාවෙමින් ගොදුරු අල්ලා ගැනීමට අති දක්ෂ ය. මත්ස්‍යයන් හා කකුළුවන් මොවුන්ගේ ප්‍රධාන ආහාර වේ. අප්‍රිකාවේ සිට මැද පෙරදිග කලාපය ඔස්සේ දකුණු ආසියාව තෙක් ගෝමර පිළිහුඩුවෝ වාසය කරති.
ධීවර පිළිහුඩුවා
(Fishing kingfisher)
ධීවර පිළිහුඩුවාගේ හොටය දිගු ය. පටු ය. තියුණු උලක් ආකාර ය. ජලය මතට එකවරම කඩා වැදී දිගු හොටයේ හනු අතර ගොදුර සිරකරගන්නා ධීවර පිළිහුඩුවෝ ක්ෂණයකින් අහසට ඉගිලී යති. මත්ස්‍යයන්, ඉස්ගෙඩියන්, ගෙම්බන් හා කකුළුවන් මොවුන්ගේ ප්‍රියතම ආහාර වේ. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පිළිහුඩු විශේෂ අතරින් වැඩි ගණනක් ධීවර පිළිහුඩුවන් ය.
හිස කළු පිළිහුඩුවා
(Black Capped Purple Kingfisher)
මොවුන් පහතරට වියළි කලාපයේ කඩොලාන සහිත ගංමෝය හා කලපුවලට සංක්‍රමණය වන පිළිහුඩු විශේෂයකි. ගිනිකොන දිග ආසියාවේ වෙරළාශ්‍රිතව පැතිර සිටින මොවුන්ගේ ප්‍රධානතම ආහාරය මුහුදු කකුළුවන් ය.
මහ පිළිහුඩුවා
(Stork Billed Kingfisher)
මහ පිළිහුඩුවා ශ්‍රී ලංකාවේ වාසය කරන විශාලම පිළිහුඩු විශේෂයයි. මොවුන්ගේ ශරීරය මයිනකුට වඩා තරමක් විශාල ය. මහ පිළිහුඩුවාගේ හිස දුඹුරු පැහැති ය. උදර පෙදෙසේ දුඹුරු මිශ්‍ර කළු පැහැයෙන් පටියක ආකාරයේ පිහිටීමක් පවතී. සිරුරේ උඩු පියාපත් කොළ පැහැය මිශ්‍ර වූ දීප්තිමත් නිල් පැහැයකින් යුක්ත ය. ඇළ දොළ , ගංගා හා ගංමෝය, කලපු හා කඩොලාන පරිසරවල වැඩි වශයෙන් දක්නට ලැබේ. එසේම වියළි කලාපයේ වැව්, පොකුණු , ගංගා, මඩවගුරු ආශ්‍රිතව සුලබ පැතිරීමක් පෙන්වයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ගිනිකොන දිග ආසියාව ද පිලිපීනය හා ජාවා දූපත්වල ද මහ පිළිහුඩුවා ජීවත් වේ.
වන්දනා අබේසේකර