පුංචි ඔයාලා මල්වලට කැමැතිද? මල්වලට අකමැති මනුස්සයෙක් මේ ලෝකේ ඉන්න පුළුවන්ද කියලා පුංචි ඔයාලා පිළිතුරු දෙයි. මල්වලිනුත් වැඩිපුරම කැමැති මල මොකද්ද කියලා ඇහුවොත් පුංචි ඔයාලා අතරින් බහුතරයක් දෙනාගේ පිළිතුර වෙන්නේ රෝස මල. එහෙම නේද? මේ ලෝකේ පිපෙන හැම මලක්ම සුන්දරයි. සුගන්ධවත්. ආකර්ෂණීයයි. ඒ අතරින් රෝස මල
විශේෂයි නේද? පෙනුමෙන් වගේම සුවඳීන් ද ඉතාමත් වැඩියි. එහෙනම් අද ඔයාලා කැමැතිම රෝස මල ගැන දන්න කරුණු මතක් කරගන්න ගමන් නොදන්න දේවල් ඉගෙන ගනිමු.
රෝස මල් විවිධ ප්‍රභේදයන්ගෙන් කිහිපයක් විස්තරාත්මකව මෙලෙස හඳුනා ගනිමු.
රෝස මල කියන්නේ ලෝකයේ වැඩිපුරම වගා කරනු ලබන මල් වර්ගයයි. බහු වාර්ෂික පුෂ්ප හටගන්නා ශාකයක් වන අතර, එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Rosa rubiginosa යන්නයි. මෙය පඳුරු ලෙස වර්ධනය වන ශාකයකි. රෝස පුෂ්පය විවිධ වූ වර්ණයන්ගෙන් සමන්විත වේ. රතු , කහ, සුදු වර්ණ පරාසයන්
ඒ අතර වේ. Rosaceae කුලයට අයත් වන රෝස ලොව පුරාම ජනප්‍රිය මල් වර්ගයක් වන අතර, සුවඳ දියර , ජෑම් වර්ග, විනාකිරි, වයින් ආදිය නිපදවීම සඳහා රෝස මල්, ගෙඩි ආදිය යොදාගනු ලබයි.
ලොව පුරා ස්වාභාවිකව හටගත් රෝස වර්ග 140-180ක් පමණවන අතර, මිනිසුන් විසින් බෝ කරන ලද රෝස මල් විශේෂ 35,000කට වැඩි වේ. මෙම සියලුම රෝස විශේෂයන් ප්‍රධාන වර්ග 4කට බෙදනු ලබයි.
තනි කොළ රෝස වර්ගය – Hultemia
හෙස්පර්රොඩෝස් වර්ගය
ප්ලැටිරෝඩෝන් වර්ගය
රෝසා වර්ගය
රතු රෝස
ලෝකයේ වඩාත්ම ජනප්‍රිය රෝස විශේෂය වන්නේ රතු රෝස විශේෂයයි. ආදරය සංකේතවත් කරන්නේ රතු රෝස විශේෂයයි. වර්තමානයේදී ශක්තිමත් සහ සියල්ලට ඔරොත්තු දෙන කාන්තාවගේ ද සංකේතයක් ලෙස සැලකේ. ග්‍රීක සහ රෝමානු මිථ්‍යා කතාවන්හි ආදරයේ දේවතාවිය වන ඇෆ්‍රොඩයිට් හා සම්බන්ධ මලක් ලෙස රෝස මල සැලකෙයි. 19 වැනි සියවසෙහි එංගලන්තයේ මේරි රැජන විසින් මුළු මාලිගාවම සැරසීමට යොදා ගත් මල් වර්ගය ලෙස ද රෝස සැලකෙයි.
කහ රෝස
මිහිරි ස්වාභාවික සුවඳක් ඇති එමෙන්ම දීප්තිමත් බවින් වැඩි මෙම රෝස වර්ගයෙන් වර්තමානයේ අවංකබව, වාසනාව, සතුට යන ධනාත්මක දේ සංකේතවත් වුවද අතීතයේදී පාවාදීම වැනි ඍණාත්මක දෙය සංකේතවත් විය.
දම් රෝස
දම් රෝස යනු ඉතාමත් දුර්ලභ රෝස විශේෂයකි. ස්ත්රීත්වයේ සුන්දරත්වය, චමත්කාරය, අද්භූත හා ආකර්ෂණීය බව සංකේතවත් වේ. දම් රෝස 18 වැනි සියවසේදී චීනයෙන් බෝකරන ලැබූ බවත් ඇතැමුන් එය ග්‍රීසියෙන් බෝකරන ලද බව ද සඳහන් කරනු ලබයි. ගැඹුරු දම් රෝස-පෞරුෂය, ශක්තිය නියෝජනය කරන අතර, ළා දම් රෝස-අවංක බව කල්පවත්නා බව සංකේතවත් කරයි.
නිල් රෝස
නිල් රෝස බොහෝ දෙනා පුදුමයට පත් කරනු ලබන්නකි. එයට හේතුව නම් බොහෝ පිරිස් සිතනුයේ නිල් රෝස ජනප්‍රවාදයන්හි පමණක් පවතින රෝස වර්ගයක් බවයි. එහෙත් නිල්රෝස 2004 වසරේදී ජපානයේ බෝකරන ලද රෝස ප්‍රභේදයකි. වර්තමානයේ වඩාත්ම මිල අධික මල් වර්ගවලින් එකකි. සදාකාලික නොනැසී පවතින ආදරයේ සංකේතයක් ලෙස නිල් රෝස සැලකේ. සාමය , විශ්වාසය යන හැඟීම් ලබාදෙනු ලබයි.
සුදු රෝස
යුරෝපයේ ආරම්භ වූ දෙමුහුම් රෝස මල් සඳහා පොදු නාමයකි. ආගම් අතර සාමයේ සහයෝගිතාවයේ සංකේතයක් ලෙස ද ආදරයේ පාරිශුද්ධත්වයේ සංකේතයක් ලෙස ද මිත්‍රත්වයේ සංකේතයක්
ලෙස ද ජේසුස්වහන්සේගේ මව වූ කන්‍යාමරියතුමියගේ ගුණයේ සංකේතයක් ලෙස ද සුදු රෝස සැලකෙයි.
කේරි රෝස්
එංගලන්තයට ආවේණික බුෂ් රෝස වර්ගයකි. නැවුම් ළා රෝස පැහැයකින් යුත් මෙම රෝස වර්ගය සිසිල් මෘදු සුවඳක් නිකුත් කරයි. මෙම රෝස වර්ගයේ සාමාන්‍ය විෂ්කම්භය සෙන්ටිමිටර් 6-9 දක්වා විශාල වේ. දින 3-4 දක්වා මල් නැවුම්ව පවතී. සියුම් හා ආකර්ෂණීය අලංකාරයේ සංකේතය ලෙස සැලකේ.
රෝස ජුලියෝ
මෘදු සුවඳකින් යුක්ත Juliorose ප්‍රංශයේ රෝස ප්‍රභේදයක්වන අතර, 2004දී මයිලන්ඩ් ඉන්ටර්නැෂනල් විසින් බෝකරන ලදි. සාමාන්‍ය ජුලියෝ රෝස ප්රභදයේ පෙති 50ක් ඇති අතර, විෂ්කම්භය සාපේක්ෂව සෙන්ටිමීටර් 7-9 දක්වා පරාසයකින් යුක්ත වේ. උස මිටර් 1.5 සිට 1.7දක්වා දැඩි කඳක් සහිත මෙම ප්‍රභේදයේ මල් , රතු සහ ක්‍රීම්, සුදු වර්ණයන් එකිනෙකට සම්බන්ධ වි ඇත.
රතු ඊඩ්න් රෝස
ඇසට වඩාත් ආකර්ෂණීය බවකින් යුක්ත මෙම වර්ගය කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකි තරමට ආකර්ෂණීය වේ. 2002දී Alain Meilland විසින් බෝකරන ලදි. මෙම රෝස ප්‍රභේදය තති තනිව වර්ධනය නොවන අතර, පොකුරු ලෙසින් වර්ධනය වේ. මෙම ප්‍රභේදය පරිපූර්ණ බවකින් යුක්තවන අතර, රවුම් හැඩයකින් යුක්ත ය.
රෝස කොන්ස්ටන්ස්
මංගල මල් සැරසිලි සඳහා ඉතා ප්‍රසිද්ධ මෙම වර්ගය 2008දී ඩේවිඩ් ඔස්ටින් විසින් එංගලන්තයේ බෝකරන ලදි. පොකුරු ලෙසින් පිපෙන මෙම රෝස මල්, රෝස සහ තැඹිලි පැහැයෙන් යුක්ත වේ. පරිපූර්ණ ආදරයේ සහ ප්‍රීතිමත් අනාගතයේ සංකේතයයි.
මිරැන්ඩා රෝස්
මංගල මල් රැජන ලෙස නම් කර ඇති මෙම රෝස ප්‍රභේදය 1997දී එංගලන්තයේ ඩේවිඩ් ඔස්ටින් විසින් බෝකරන ලද රෝස වර්ගයකි. සතුට සහ විවාහ ජීවිතයේ දීප්තිමත් අනාගතය සංකේතවත් කරයි. මෙම රෝස වර්ගය වටකුරු හැඩයකින් යුක්ත වේ. කඳ මීටර් 1-1.2 දක්වා උසකින් යුක්ත ය.
මිසාකි රෝස්
පෙති ඉතාමත් මෘදු සිනිඳු බවින් යුත් මෙම ප්‍රභේදය 2009දී ජපානයේ Teizo Yo shiike විසින් බෝකරන ලදි. ඕනැම පුද්ගලයකුට ප්‍රසන්න හැඟීමක් ඇති කළ හැකි මෙම රෝස ප්‍රභේදය පාරිශුද්ධත්වය, කෘතඥතාව, ප්‍රීතිය සංකේතවත් කරයි.
කැටලිනා රෝස
දීප්තිමත් ලෙමන් කහ පැහැයෙන් යුත් රෝස වර්ගයකි. කැටලිනා රෝස යනු 2002දී නවසීලන්ත ගොවියකු වන ෆ්රෑන්ක් බාර්ට් ෂුර්මන් විසින් බෝකරන ලද රෝස ප්‍රභේදයකි. කැටරිනා යන නමින් ද මෙම වර්ගය හඳුන්වයි. පෙති සිනිඳු හා මෘදු වන අතර, පිපෙන විට සෙන්ටිමීටර් 6-8 දක්වා විශාල වේ. වියට්නාම දේශගුණික තත්ත්වය තුළ මෙම ප්‍රභේදය හොඳීන් වර්ධනය වේ. මල් සැකසුම් සඳහා බහුලව භාවිත වේ.
රෝස තේසා
ජුලියෝ රෝස හෝ මිරැන්ඩා රෝස වැනි විශාල උසක් නොමැති මෙම රෝස වර්ගය සාපේක්ෂව කුඩා හා ලස්සන පෙනුමක් ඇත. විෂ්කම්භය සෙන්ටිමීටර් 2-4 දක්වා ප්‍රමාණයේ මල් හටගනී. මෙම වර්ගය 2007 වර්ෂයේදී එක්සත් ජනපදයේ Greenheart විසින් බෝකරන ලදි.
පරිගණක පිටු සැකසුම සහ ග්‍රැෆික් නිර්මාණය චාම් නිර්මාණ්
නදීෂා හේරත්