පුංචි කතාවයි උපමා දැනුමයි
යම් දෙයක් තවත් යමකට සමානකර දැක්වීම උපමා කිරීම වශයෙන් හඳුන්වන බව අපි දැනගත්තා පුංචි ඔයාලාට මතක ඇති.
උපමාව යෙදෙන්නේ වගේ, වැනි, මෙන්, සේ, පරිද්දෙන්, බඳු, ලෙසින් යන පදයක් සමඟ බවත් ඔයාලා දන්නවා. ඉතින් අදත් අපි මේ පුංචි කතන්දරය ඇසුරින් උපමා කිහිපයක් හඳුනා ගනිමු.
සමනල පැංචි
එකමත් එක මල් යායක සමනල පැංචියක් සිටියා. එයාට තිබුණේ කහම කහ පාට ඇඳුමක්. ඒ නිසා සමනල පැංචි ඉගිළෙන කොට පෙනුණේ කහ පාට මලක් පියාඹනවා වගෙයි. එයා හරිම දඟකාරයි. නිතරම මලින් මලට පියාඹන එකමයි කළේ. එයාගේ අම්මා සමනල පැංචිට නිතරම අවවාද කළා වැඩිය ඈතට ඉගිළෙන්න එපා කියලා. එක දවසක් සමනල පැංචි මල් යායේ ඉන්නකොට කහපාට ගවුමක් ඇඳගත් පුංචි ගැහැනු ළමයෙක් ඒ ළඟ තිබුණු බංකුවේ වාඩි වුණා. බෝනික්කෙක් වැනි හුරුබුහුටි ඒ දැරිය දුටුවම සමනල පැංචිට ඇයත් එක්ක යාළු වෙන්න සිතුණා.
ඉතින් සමනල පැංචි ගැහැනු ළමයා ළඟට පියාඹලා ගිහින් ඇයගේ උරහිසේ වැසුවා. “දැන්නම් අපි දෙන්නා අක්කයි නංගියි වගේ පෙනෙනවා ඇති” සමනල පැංචි එහෙම සිතුවා.
“අක්කෙ ඔන්න සමනලයෙක් ඔයාගේ උරහිසේ වහලා. හරියට ඔයාගෙ ගවුමේ මලක් සවි කරලා වගෙයි” එකපාරටම එතැනට ආව පුංචි පිරිමි ළමයෙක් කිව්වා. ඒ සද්දෙට සමනලීට බය හිතුණා. සමනල පැංචි හණිකට එතැනින් පියාඹලා ගිහින් කහ පාට මල් පඳුරක වැසුවා. “කෝ කෝ ඒ ඉගිළෙන කහ මල?” කියමින් පිරිමි ළමයා හා පැටියෙක් මෙන් පැන පැන ගෙවත්ත පුරාම දිව ගියා.
මෙම කතාවෙන් හමු වූ උපමා
කහපාට මලක් පියාඹනවා වගෙයි
බෝනික්කෙක් වැනි
මලක් සවි කරලා වගෙයි
හා පැටියෙක් මෙන් පැන පැන
**************************
පිරුළක් සැදුණු හැටි
තැනට හෙවත් අවස්ථාවට ගැළපෙන ආකාරයට විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් යොදාගැනීම සිංහල භාෂාවේ බහුලව සිදු කරනු ලැබේ. මෙය ප්‍රස්තාව පිරුළු ලෙස හඳුන්වයි. ප්‍රස්තාව පිරුළු ඇතැම්විට උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු බොහොමයක් බිහිවීමට පසුබිම් වූ ජන කතන්දර ද තිබේ. අද අපි හඳුනා ගන්නේ බල්ලාගේ වැඩේ බූරුවා භාර ගත්තා වාගේ යන ප්‍රස්තාව පිරුළට පසුබිම් වූ ජන කතන්දරයයි.
බල්ලාගේ වැඩේ බූරුවා භාර ගත්තා වාගේ
ඈත කාලයේදී එක් රෙදි අපුල්ලන්නකුගේ ගෙදර බල්ලෙක් හා බූරුවෙක් සිටියහ. රෙදි අපුල්ලන්නාට මේ සතුන් දෙදෙනාගෙන්ම සේවයක් සිදු විය. සෝදා වේළූ රෙදි පොට්ටනි නිවෙස්වලට ගෙන යෑමට තම ස්වාමියාට බූරුවා දවල් කාලය පුරා උදව් කළේය. බල්ලා රාත්‍රී කාලයට නොනිදා තම ස්වාමියාගේ වස්තුව සොර සතුරන්ගෙන් රැක දුන්නේය.
එක් දිනක් රාත්‍රියේ සොරු රංචුවක් පැමිණ රෙදි අපුල්ලන්නාගේ නිවෙසේ වස්තුව සොරාගෙන යෑමට උත්සාහ ගත්හ. මිදුලේ සිටි බල්ලා හණිකට මහ හඬින් බුරා පැන්නේය. මේ බිරුම් හඬට බියවූ සොරු පැන ගියහ. තවත් දිනයක ද සොරුන් පැමිණි විට බල්ලා මහ හඬින් බුරා, සොරුන් පලවා හැරියේය. කෙතරම් සේවය කළත් රෙදි අපුල්ලන්නා බල්ලාට කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත. ඉන්පසු ඌ තම ස්වාමියා පිළිබඳ කලකිරීමට පත් විය. ටික දිනක් ගෙවී ගියේය. නැවතත් දිනක සොරු රංචුව රෙදි අපුල්ලන්නාගේ නිවෙසට පැමිණියහ. එදින බල්ලා සොරුන් නොදුටු ලෙසින් නිදාගෙන සිටියේය. මේ සිදුවීම බූරුවා දුටුවේය. බූරුවා, බල්ලාට කතාකර වෙනදා මෙන්ම මහ හඬින් බුරා සොරුන් බියපත්කර ස්වාමියාගේ වස්තුව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එහෙත් බල්ලා එයට කන් නොදුන් අතර, නැවතත් නිදා ගත්තේය. සොරු, රෙදි අපුල්ලන්නාගේ රෙදි පොට්ටනි කිහිපයක් කර තබාගෙන යන්නට වූහ. එය දුටු බූරුවා මහ හයියෙන් කෑගසන්න පටන් ගත්තේය. බූරුවාගේ ශබ්දයට රෙදි අපුල්ලන්නා තිගැස්සී අවදි විය. “මේ කරදරකාර මෝඩයා මහ හඬින් තප්පුලන නිසා මට නිදාගන්නවත් නැහැ” කියමින් රෙදි අපුල්ලන්නා දොර ඇරගෙන පැමිණ බූරුවා නිශ්ශබ්දවන තුරුම බූරුවාට පහර දුන්නේය. බල්ලාට අයත් කාර්යය භාරගන්නට ගිය බූරුවාට සිදු වූයේ ගුටි කෑමට ය.
අනුන්ට අයත් කාර්යයක් වෙනත් පුද්ගලයකු බලෙන් භාරගෙන එම කාර්යය අසාර්ථක වී එම පුද්ගලයා ද අමාරුවේ වැටුණු අවස්ථාවලදී මෙම ප්‍රස්තාව පිරුළ භාවිත කරයි.
*******************
උපසර්ග අඩංගු ඡේදයක්
උපසර්ග යනු අව්‍ය පද වර්ගයකි. අව්‍ය පද යනු ලිංග භේදය අනුව, වචන භේදය අනුව, පුරුෂ භේදය අනුව ආදී වශයෙන් කිසිම විටෙකත් වෙනස් නොවන පදයි. මේවා තනිව යෙදූ විට එහි කිසිම අර්ථයක් නොමැත. මෙම උපසර්ග පද යෙදෙන්නේ පදවල මුලට පමණි. උපසර්ග යෙදීම මඟින් එම පදයේ අර්ථය වැඩි කිරීම එනම් තීව්‍ර කිරීම, අඩු කිරීම හෝ විරුද්ධ අර්ථයක් නිර්මාණය වීම සිදු වේ. සිංහල භාෂාවෙහි මෙවැනි උප සර්ග පද 20ක් ඇත.
ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප, අප, පස්, පිළි, අති, පි
එම උපසර්ගයි.
සිදත් සඟරාවේ එන මෙම උපසර්ග පදවල අප, අති, පි යන උපසර්ග පද වෙනුවට කුමාරතුංග මුනිදාසයන් විසින් වෙනත් පද තුනක් හඳුන්වා දුන්නේය.
ඔ, කු, ඉ
එම උපසර්ගයි.
මීටත් අමතරව පාලි සහ සංස්කෘත භාෂාවලින් අප භාෂාවට ඇති වූ බලපෑම නිසා බිහි වූ උපසර්ග ද තිබේ.
ප්‍ර, පරා, ප්‍රති, සම්, සං, සන්, සත්, සද්, සහ,
අධි, නිර්, නිශ්, නිෂ්, නිස්, දුර්, දුශ්, දුෂ්, දුස්,
අභි, පශ්චාත්, අන්, උව, උත්, උද්, ස්වයං එම උපසර්ගවලට උදාහරණ වේ.
එක් නගරයක තිබූ මල් උයනක් රැකබලා ගැනීමට උයන්පල්ලෙක් සිටියේය. මේ උයන්පල්ලා නිතරම උද්‍යානයේ මල් පැළවලට සාත්තු කරමින් තම දරුවන් මෙන් ඒවා ආදරයෙන් රැක බලා ගත්තේය. සෑම උදෑසනකදීම කුරුලු රෑන් මෙම උද්‍යානයේ තිබූ සුවිසල් තුරු අතු පතර රැඳෙමින් සුමිහිරි ගී ගයන්නට පුරුදු වී සිටියහ. නිසල පරිසරය මැද මේ කුරුලු ගී ඇසෙන විට උයන්පල්ලා පමණක් නොව ගස්වැල් මල් පවා ඉමහත් සතුටක් ලබන්නට විය. උද්‍යානය ඇතුළත කුඩා දොළ පාරක් ගලා ගිය අතර, එහි ජලය ද ඉතා පිරිසුදු විය. එක් දිනක් උයන්පල්ලාට දොළ පාර අසලින් අබිරහස් හඬක් ඇසිණි. ඔහු ඒ කුමක්දැයි පරීක්ෂා කළේය. ඔහු දුටුවේ අමුතු කුරුල්ලෙක් දොළ පහරේ ගිලෙන්නට යන ආකාරයයි. ඔහු හණිකට දිවගොස් කුරුල්ලා දියෙන් ගොඩට ගෙන බේරා ගත්තේය. අධික සීතලත් බියත් නිසා කුරුල්ලා අපහසුවෙන් හුස්ම ගනු ඔහුට දැනිණි. ඔහු කුරුල්ලාගේ සුසිනිඳු පිහාටු අතගාමින් කුරුලු පැටවා උණුසුම් කළේ ය.
මෙම ඡේදයෙන් හමු වන උපසර්ග
සු – සුවිසල්
සු – සුමිහිරි
ඉ – ඉමහත්
පිරි – පිරිසුදු
නි – නිසල
අබි – අබිරහස්
අ – අපහසු
සු – සුසිනිඳු
*******************
ළමා කවිය කියවා සමානාර්ථ පද හඳුනා ගනිමු
සමාන අර්ථ සහිත පද ‘සමානාර්ථ පද’ ලෙස හඳුන්වයි. ඇතැම් පදවලට සමාන අර්ථයක් දෙන පද ගණනාවක් ඇති අතර, ඇතැම් පදවලට සමාන අර්ථ දෙන පද ඇත්තේ කිහිපයක් පමණි.
වළලු වෙළෙන්දා
සිලිං බිලිං සිලිං බිලිං
අපූරු හඬකුයි ඇසෙන්නෙ
අර බලන්න අර බලන්න
වළලු වෙළෙන්දෙකි එන්නේ
ලොකු නැන්දේ සුදු අක්කේ
පොඩි නංගී හණික එන්න
අපි යමු දුවලා මිදුලට
පාට වළලු අරගන්නට
රතු පාටයි කහ පාටයි
කොළ පාටයි වළලු ගොඩයි
සිලිං බිලිං සිලිං බිලිං
වළලු මිහිරි සිනා නඟයි
දිලිසෙන වීදුරු වළලූ
මිලදී අරගමු යහළූ
දෑතෙ දමා හැඩ බලමූ
අපි සතුටින් සිනා නඟමු
සමාන පද
ලොකු – විශාල,
මහත්, මහ, විසල්
පොඩි – කුඩා. පුංචි, සිඟිති
පාට – පැහැය, වර්ණය
සුදු – ධවල,
ඕදාත, ශ්වේත
රතු – ලෝහිත, රක්ත
කහ – පීත
කොළ – හරිත
දිලිසෙන – දිදුලන, බැබළෙන
වීදුරු – කදා
සතුටින් – ප්‍රීතියෙන්
හර්ෂණී ගමගේ